අධික වේගයේ මාරක සංගීතය

928

අනතුරු විවිධය. අනතුර විවිධ වුවද එයින් සිදු වන හානිය විශාලය. හදිසියේ සිදු වන අනතුරුවලින් හදිසියේ සිදු වන තුවාල සහ මරණ ප්‍රමාණය දිනෙන් දින වැඩි වෙමින් තිබේ. පුද්ගලික බස් රථ නිසි විනයක් ඇතිව ධාවනය නොකිරීම, මහ මඟ තමනට පුද්ගලිකව ඇති අයිතියක් ලෙස සලකා කටයුතු කිරීම නිසා ද අනතුරු ප්‍රමාණය ඉහළ ගොස් ඇත. නානුඔය – රදැල්ල කෙටි මාර්ගයේ දී සිදුවූ රිය අනතුරින් මියගිය හැටන් දික්ඔය නගරයේ පදිංචි එකම පවුලේ පස්දෙනාගේ අවසන් කටයුතු ඊයේ අලුයම හැටන් දික්ඔය ජුම්මා මුස්ලිම් පල්ලියේ සුසාන භුමියේදී සිදුකෙරිණි. මෙසේ අනතුරෙන් මියගොස් ඇත්තේ අබ්දුල් රහීම් නමැති 54 හැවිරිදි පියා, 42 හැවිරිදි ඒ. අයේෂා නමැති මව, මොහොමඩ් සයිම් නමැති 14 හැවිරිදි ඥාති පුතා, ඒ. මරියම් නමැති 11 හැවිරිදි දුව ය. දික්ඔය මුස්ලිම් පල්ලියේ සිදුකළ විශේෂ යාඥාවකින් පසුව මියගිය පස්දෙනාගේ අවසන් කටයුතු සිදුකළ අතර, අවසන් ගෞරව දැක්වීම සඳහා ප්‍රදේශයේ බහුතර ජනයා සහභාගිව සිටියහ. මෙය තවක් එක් ඛේදනීය අවසානයකි. රියැදුරු මාරයාගේ අධික වේගය අසරණ පවුලක් මෙලොවින්ම තුරන් කරනු ලැබීය. එය ඔවුන්ගේ වරද නොවේ. එහෙත් දෛවය ක්‍රියා කරන්නේ අප නොසිතන ආකාරයකටය. කොළඹ පාසල් බස් රථයේ වේගය දික්ඔය නගරය අඬවන්නට සමත්විය. පාට පාටින් අලංකාර කෙරුණු බස් රථයේ වේගය මෙන්ම අධික සංගීත ශබ්දය මැද්දෙන් අසරණ පවුලක ඉරණම තීන්දු විය. පාට පාට විදුලි එලි මැද්දෙන් නිලංකාර වූයේ කාගේ දෙනෙත්ද? මේ බස් රථ සකස් කර ඇත්තේද විනෝද චාරිකා සඳහාය. විනෝද චාරිකා සංවිධානය කිරීම ගැන කිසිදු ප්‍රශ්නයක් නැත. නමුත් විනෝද චාරිකාව අපේ සතුට මෙන්ම අනෙකාගේ සතුට පැහැර ගන්නේ නම් එයින් කවර ප්‍රයෝජනයක්ද? විනෝදය නිසා පාරේ ගමන් ගන්නා මගී ජනතාව මාරක බිලී බවට පත්විය යුතු නැත. පාසල් දරුවන් වෙනුවෙන් මෙවැනි සංචාර සංවිධානය කිරීමේදී වඩා අත්දැකීම් ඇති පළපුරුදු නිවුණු හැඟීම් ඇති රියැදුරන් යොදාගත යුතුය. මේ සඳහා නිසි නියාමනයක් තිබිය යුතුය. නැත්නම් පපරේ ශබ්දය පරයා යමින් වාහනය ධාවනය කරන්නා යන්නේ මහපාරේ නොව අහසේය. මෙලෙස වේගයෙන් ගමන් ගන්නා බස් රථයේ ගමන් කළ ගුරුවරුන්ට මේ අපරික්ෂාකාරීබව ගැන අවබෝධයක් නොතිබුණේද? ඔවුන්ද සංගීතයේ ඇලී සිටියාද? සිකුරාදා රාත්‍රියේ නුවරඑළිය සිට කොළඹ දක්වා ධාවනය කළ පාසල් සිසුන් රැගත් පෞද්ගලික බස් රථය හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගයේ කර්බර්ග් වතුයාය ප්‍රදේශයේදී වෑන් රථයක සහ ත්‍රිරෝද රථයක ගැටී අනතුරට පත් බස් රථය මීටර් 100 පමණ ප්‍රපාතයට ගමන් කර තිබිණි. මේ බස් රථය පෙරලුනේ නැති නිසා පාසල් දරුවන්ට බරපතළ අනතුරක් වූයේ නැත. එය මහත් වාසනාවකි. හදිසියේ හෝ මේ බස්රථය පෙරළී වට කිහිපයක් කැරකුනා නම් කතාව වඩාත් ඛේදනීය ලෙස සටහන් වනු ඇත.

වයස අවුරුදු 15-45 අතර මරණවලට ප්‍රධානම හේතුව මාර්ග අනතුරු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන ඒකකය මඟින් නිකුත් කළ වාර්තා පෙන්වාදෙයි. සෑම වසරකම ප්‍රතිකාර සඳහා රෝහල්ගතවන පස් දෙනකුගෙන් එක් අයෙකු හදිසි අනතුරකට මුහුණ පෑ අයෙකු බව එකී සමීක්ෂණ වාර්තා හෙළි කරයි. මේවන විට ලංකාවේ සිදුවන රිය අනතුරුවලින් දිනකට මිය යන සංඛ්‍යාව 8-9 අතර අගයක් ගන්නා බව පෙනේ.

පසුගිය 2015 වසරේ සිට මේ දක්වා රිය අනතුරු සම්බන්ධයෙන් සංඛ්‍යා ලේඛන අධ්‍යයනය කර බලන විට පෙනී යන්නේ සෑම වසරකම 3000ට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බවය. එසේම 15,000 ක පමණ පිරිසක් සදාකාලික ආබාධිතයන් බවට පත්ව ඇත. මේ කතා නිරන්තයෙන්ම උපුටා දක්වන නමුත් අනතුරුවල වැඩිවීමක් මිස අඩුවක් නම් දක්නට නැත. කොරෝනා සමයේ වාහන අනතුරු අඩුවූයේ රට වසා දමා තිබුණු බැවිණි. 2020 වසරේ දී වාර්තා වූ මාරක රිය අනතුරු සංඛ්‍යාව අනෙකුත් වසරවලට සාපේක්ෂව අඩු අගයක් ගත්තද ඉන් මිය ගිය සංඛ්‍යාව 2141කි. එම නිසාම පාට පාටින් හැඩ කළ සංගීත බස් රථවල අවදානම් ගමන් නොයෑමට සියලුදෙනා දත යුත්තේය. මේ මනුෂ්‍ය ජීවිතය රැක ගැනීමද ලෙහෙසි පහසු කටයුත්තක් නම් නොවේ.


advertistmentadvertistment