අධිභාරයෙන් EPF – ETF ඇතුළු 13 ක් ඉවත් කරනවා

95

– මුදල් ලේකම් දන්වා ඇතැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිභාර පනත් කෙටුම්පතින් සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල හා විශ‍්‍රාම වැටුප් අරමුදල ඇතුළු අරමුදල් 13 ක් ඉවත්කරන බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ලිඛිතව දන්වා ඇතැයි නීතිපතිවරයා ඊයේ (02 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

එම සංශෝධන එකී පනත් කෙටුපත් සම්බන්ධයෙන් කාරක සභා අවස්ථාවේදී සිදු කරන බව ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නාය.

එම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් සමගි ජන බලවේගය මහ ලේකම් පාර්ලිම්න්තු මන්ත‍්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනු කර තිබූ විශේෂ පෙත්සම් 10 ක් බුවනෙක අළුවිහාරේ, ඒ. එම්. එම්. ඞී. නවාස් හා අර්ජුන ඔබේසේකර යන ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ම`ඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එසේ කියා සිටියාය.

රුපියල් මිලියන 2000 ඉක්මවන වාර්ෂික ආදායමක් ලබන සමාගම්වලින් එක් වරකට පමණක් 25% ක බදු මුදලක් ලබා ගැනීමට අදාළව එම පනත් කෙටුම්පත මේ වනවිට ගැසට් මගින් ප‍්‍රකාශයට පත්කර ඇති බවත් එය ව්‍යපාර මනාව කළමනාකරණය කර පවත්වාගෙන යන ව්‍යාපාරික ආයතනවලින් දඩයක් අය කිරීමක් හා සමාන බවත් ලංකා වෝල්ටයිල්ස් සමාගමේ සමාන්‍යාධිකාරිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට පැවසීය.

නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන් පරිදි සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල ඇතුළු සුවිශේෂී අරමුදල්වලින් එකී අධිභාර බදු අය කිරීම ඉවත් කරන්නේ නම් තමන් සෑහීමට පත්වන බව පෙත්සම්කාර පාර්ශ්වය නියෝජනය කළ ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසීම් මහතා පැවසීය.

පෙත්සම් වැඩිදුර සලකා බැලීම සඳහා ඉදිරියේදී දිනයක් නියම කරන බව විනිසුරු ම`ඩුල්ල කියා සිටියහ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයසේකර, ස්පිස්ටෙක් ලංකා සමාගම ඇතුළු සමාගම් කිහිපයක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment