අධිමානසිකත්වය හා භාවනාව

1263

පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය ස්ථවිරයන් වහන්සේ විසිනි

කෙනෙකු කරන සෑම ක්‍රියාවකටම මනස ප්‍රධානය. මනසින් තොර වූ ක්‍රියාවක් නැත. යෑම් ඊම්, ඉඳුම් හිටුම්, කෑම් බීම්, ඉගෙනුම්, රැකියාවල් කිරීම්, නානාවිධ නිෂ්පාදන යනාදී හැමටම මනස ප්‍රධානය. කයින් කරන ලද දෑ පමණක් නොව කියන වචන ද සිතම කියනු ලැබේ.

මේ සියල්ල සාමාන්‍ය මානසික ක්‍රියා කොටසට අයත්ය. සාමාන්‍ය තත්ත්වයට වඩා මනසේ ශක්තිය දියුණු කළවුන් කරන විස්මය ජනක දෑ ඇත. ඈත සිටින කෙනෙකුට මනෝමය පණිවුඩ යැවීම, ඈත සිටින කෙනකු චිත්ත බලයෙන් තමා වෙතට ගෙන්වීම, තමාගේ ඝන ශරීරයෙන් වෙන්ව මනෝමය සියුම් සිරුරකින් ඈතට ගොස් එහි තතු බලා දැනගෙන ඊම, වැලි හෝ පස් වැනි දෙයක් අතට ගෙන මද වේලාවකින් එය අන් කිසි ද්‍රව්‍යයක් බවට පරිවර්තනය කිරීම වැනි දෑ කරනු අසන්නට ලැබේ. මේවා අධිමානසික බලයෙන් කෙරෙන ක්‍රියා වශයෙන් සලකත්. පසුගිය කාලයේදී මේවා සුරංගනා කථා වශයෙන් අසත්‍ය ප්‍රවෘත්ති හැටියට තැකූ යුරෝපීය උගත්තු පවා මේවා සත්‍ය වශයෙන් පිළිගනිති. මෙබඳු ක්‍රියාමාර්ග පැරාසයිකොලොජි (Parapsychology) යන වචනයෙන් ඔවූහු මේවා හඳුන්වති. අද සිංහලයෙන් අධිමානසික නම වහරවන්නේ මේ අසාමාන්‍ය ක්‍රියාමාර්ගයට ය.

හිප් නොටිසම් නමින් වැහැරැවෙන ස්වාපන විද්‍යාව ඉහළට පුරුදු කළ කෙනකු විසින් කෙනකු ඔහුගේ කැමැත්ත නැතිව වුවද තමාට වසඟ කොට ඔහු නිදිකරවිය හැකිය. බිත්තියක් නැති තැනක් ඔහුට පෙන්නා මේ බිත්තියෙකැයි කී කල වසඟ වූ තැනැත්තාට එතැන බිත්තියක් පෙනේ. එය ඉක්මයන්නට කී කල බිත්තියේ හැපී පසුබසී. කිසි ජලයක් නැති වියළි පොළොව පෙන්වා මෙහි ගඟෙකි නාමුයි කී කල වශීකෘතයා අමුඩ ගසා නාන්නාසේ බිම දඟලයි. ඔබ දැන් බල්ලෙකැයි කීපවරක් කී පසු වසඟ වූ තැනැත්තාට තමා බල්ලෙකු සේ හැඟේ. බුරන්නැයි කී විට බුරයි. මෙවැනි ක්‍රියා චිත්තබලය තරමක් දුරට දියුණු කොට කළ හැකි ය.

කලකට පෙර එංගලන්තයේ සිටි දක්‍ෂ ස්වාපන විද්‍යාඥයෙකු වූ බොඩී නම් මහතා ලන්ඩනයේ සතුන්වත්තේ සිංහයන් සිටින කොටසට රජයෙන් අවසර ලබා ඇතුල් වූ බවද සිංහයන් ඔහු දෙස බලා ගොරවන විට ඒ මහතා ඔවුන් දෙසට දෑත් දිගු කොට ටික වේලාවකින් එවුන් නින්දට පත් කළ බව ඒ මහතාගේ පොතක සඳහන් වේ. ඇඟිලි අගින් විද්‍යුත්ධාරා වැනි දැයක් නික්මෙනු දක්නට ඇත. මෙවැනි දෑ කරනුයේ සිතේ එකඟ බවත් අධිෂ්ඨාන ශක්තියත් දියුණු කිරීමෙනි. අධිමානසික බලය දියුණු කිරීමෙන් හොඳ දෑ සේම නරක දෑ ද කරත හැක.

සමහර කට්ටඩි කිසි මන්ත්‍රයක් පුන පුනා එකසිය අටවරක් හෝ එයට වැඩි වාර ගණනක් ජප කොට ඈත සිටින කෙනකුට විපත් කිරීමට සමත් වෙති. ඔහුගේ සිතේ එකඟ බවත් අධිෂ්ඨානයත් බලවත් නොවී කොච්චර ඒ මන්ත්‍රය ජප කළත් ඵලයක් නොලැබේ.

සිතේ එකඟ බව ද අධිෂ්ඨාන ශක්තිය ද බොහෝ දුරට වැඩීමෙන් පුදුම දැ කළ හැකි බව යුරෝපා, ඇමෙරිකා රටවල ද බොහෝදෙනා පිළිගෙන ඇත.

භක්ති බලයෙන් රෝග සුව කරන්නෝ එංගලන්යාදී රටවල බොහෝ සිටිති. කෛ්‍රස්තවයන් අතර ද සමහරු භක්ති බලයෙන් රෝග සුවකරන්නෝ ඇත. ඔවුන් අදහනුයේ ඒ රෝග සුවය දේව බලයෙන් කැරෙන එකක් හැටියට ය. එහෙත් ඇත්ත එය නොවේ. තමන් දෙවියන් හැටියට අදහන කිසියම් මනඃකල්පිතයක් අරමුණු කොට සිතේ එකඟ බව ඔහු වඩයි. ඒ එක්ක ම අධිෂ්ඨාන ශක්තියත් වැඩීමෙන් රෝග සුව කිරීමේ හැකියාව ඔහු ලබයි. එහි රෝග සුව වන්නේ දේව බලයකින් නොවේ. සිතේ ඇතිවන එකඟ බවත්, අධිෂ්ඨානයත් දෙකේ වැඩීමෙනි. කෝප්පයක වතුර පුරවා එය දෙස බලා සිතේ එකඟ බව වැඩූ කෙනකු විසින් ද එකඟ බවත්, අධිෂ්ඨානයත් තරමක් දුරට දියුණු කිරීමෙන් ද රෝග සුව කිරීම් ආදිය කළ හැකි ය. එය කෙරෙනුයේ කෝප්පයේ තිබුණු වතුරවල බලයෙන් නොවේ. හිත එකඟ කිරීමේත්, අධිෂ්ඨානයේත් බලයෙනි.

මෙතෙක් දැක්වුණේ බොහෝදෙනා පුරුදු කරන අධිමානසික ශක්තිය ගැන ය.

ආගමික පොත්වල සඳහන් භාවනා බලය මගින් අධිමානසික ශක්තිය වඩාත් ඉහළට නැංවිය හැකිය. අදත් හින්දු ලබ්ධික, ජෛන ලබ්ධික යෝගීන් අතර ද යෝග භාවනා වඩා කිසි ඍද්ධිබල ලබාගත් යෝගීහු සිටිති.

මෙයින් අවුරුදු පනසකට පමණ පෙර මම ඉන්දියාවේ හිමාලය පෙදෙසේ කංචල නම් ගමේ බස්තිරාම් පාඨශාලා නමැති බමුණනට වේදය ඉගැන්වෙන පාසැලෙක උඩ තට්ටුවේ නැවතී සිටි ස්වාමී නාරායණාන්‍ද නම් යෝගියා සමග මාස එකහමාරක් එහි ගත කළෙමි. හේ මා සිතන සියල්ල දනී. ඔහු තුළ පරසිත් දන්නා නුවණ දියුණු වී තිබිණි. මට හැඟෙන පරිදි ඔහු ලබා සිටි අධිමානසික බලය එපමණි. හෙතෙම ප්‍රාණයාම යෝග ක්‍රමය දියුණු කළ කෙනෙකි.

ඉංගිරිසීන් ඉන්දියාව පාලනය කළ කාලයේ ක්‍රි.ව. 1930 පමණේදී බරණැසෙහි මහාලිංගම් ස්වාමි නමැති උස මහත සිරුරක් ඇති ජෛන යෝගියෙක් සිටියේය. දිගම්බර ජෛනයකු වූ හෙතෙම නිර්වස්ත්‍ර කෙනෙකි. හේ සිරිතක් වශයෙන් සෑම උදයකම ගංගා නදී තීරයට යයි. යනුයේ නඩුහලක මිදුල පසුකර ගෙනය. දිනක් ඒ නඩුහලේ විනිශ්චයකාර සුදු මහතෙක්, නිර්වස්ත්‍රව ඒ මිදුලෙන් නොයා යුතු යැයි තර්ජනය කෙළේය. එයට පසු දිනවලත් හේ එහි මිදුලෙන් ම ගියේය. විනිසකරු එහි සිටි පොලිසියේ කෙනකුට ඒ යෝගියා අල්ලා ගෙනවුත් හිර කූඩුවේ ලා එහි දොර වසා යතුර ලන්නට නියෝග කෙළේය. පොලිස්කරු ද එය කෙළේය. එහෙත් ටික වේලාවකට පසු යෝගියා මිදුලේ ඉඳිනු දක්නට ලැබිණ. විනිසකරු හිරකූඩුව පිරික්සීය. එහි යතුර දැමූ පරිදිම තිබුණේ ය. මෙහි කිසි රහසක් ඇතැයි සිතූ විනිසකරු පොලිසිකරු ලවා යෝගියා කාමරයක ලවා තමා ම එහි දොර යතුරු ලා එළියට ආවේය. එවිට ඔහුට දක්නට ලැබුණේ යෝගියා මිදුලේ සිටිනා බව ය.

විනිසකරු පුදුම විය. යෝගියා කැඳවා විචාළේය. යෝගසිද්ධි ලදුවන් සිර කරන්නට කිසිවකුට නොහැකි බව යෝගියා කීය. විනිසකරු මවිත විය. ඔහු කෙරේ පැහැදුණේය. ඔහුට කැමති පරිදි ඒ මගින් යන්නට අවසර දුන්නේය.

යෝගීන් සම්බන්ධයෙන් මෙබඳු බොහෝ පුදුම දෑ ඉන්දියාවේදී අසන්නට ද, දකින්නට ද ලැබේ.

ප්‍රාණයාමාදී හින්දු ජෛන භාවනා ක්‍රම බොහෝ පෙර සිට ඉන්දියාවේ පැවැත්තේ ය. අප බෝසතාණන් උපන් දා සවස සුද්ධෝදන රජු වෙත පැමිණි අසිත තවුසා මහත් ඍද්ධි ලැබූ තවුසෙකි. ගිහිගෙන් නික්මුණු බෝසතාණන් ආලාර තවුසා වෙත පැමිණ ඔහුගේ උපදෙස් පිළිපැද සප්ත සමාපත්ති ලැබූ බව ද උද්‍රකරාම පුත්‍රයාගේ උපදෙස් පිළිපැද අටවන සමාපත්තිය ලද බව ද අප පොත්හි දැක්වේ.

ජාතක කථා කියැවීමේදී නොයෙක් ජාතීන්හි බෝසතුන් කසිණ භාවනා වඩා සමාපත්ති ලැබූ බව දැක්වේ. මෙසේ සමාධි භාවනා ක්‍රම බොහෝ පෙර සිට ඉන්දියාවේ තිබුණු බව පෙනේ. මේ භාවනා ක්‍රම පුරුදු කරන සැටි පාතංජල යෝගි සූත්‍ර, වශිෂඨ යෝග සූත්‍රාදියේ විස්තරයෙන් දැක්වේ. මෙකී යෝග ක්‍රම වැඩීමෙන් ඍද්ධිවිධ ඥානාදී පංචාභිඥා ලබත හැකි ය.

මේ සියල්ල සමාධි භාවනාය.

බුදුරජාණන් වහන්සේ මේ කලින් තිබුණු යෝග භාවනා ක්‍රම ප්‍රතික්‍ෂේප නොකළ සේක. වඩාත් ක්‍රමානුකූල කොට තවත් සමත ක්‍රම එකතු කොට සමථ භාවනා ක්‍රම අටතිසක් වදාළ සේක. අටුවා ඇදුරන් තවත් විස්තර කොට සියලු සමථ කර්මස්ථාන සතළිසක් දක්වා ඇත. මේ සමථ භාවනා මගින් කෙරෙනුයේ කෙලෙසුන් නැසීම නොව සිතේ මතුවිය නොදී යටපත් කිරීම යැයි පෙන්වා දුන්හ.

බාහිරකයන් ලබන අධිමානසික ශක්තියට වඩා බලවත් ශක්තියක් ආනාපානසති කසිණ භාවනාදිය මගින් ලබත හැකි වේ. බුදු දහමෙහි දැක්වෙන සියලුම භාවනා දෙවගයකට බෙදා දක්වා ඇත.

මෙහි භාවනා යනු වැඩීමයි කුමක් වැඩීම ද? යත් සිතේ එකඟ බව වැඩීමත් නුවණ වැඩීමත් ය. සිත එකඟ බව වැඩීම සමාධි භාවනා හෙවත් සමථ භාවනා නමි. නුවණ වැඩීම යනු නාමරූපයන්ගේ අනිත්‍ය ලක්‍ෂණ, දුඃඛ ලක්‍ෂණ, අනාත්ම ලක්‍ෂණ පිළිබඳ දැනුම වැඩීමයි. සමාධි භාවනාව මගින් රූප ධ්‍යාන හතරත්, අරූප ධ්‍යාන හතරත් යන සමාපත්ති අට ලබත හැකිය. එයින් වනුයේ කෙලෙසුන් බොහෝදුරට යටපත් වී මතුවිය නොහැකිව සිටීමය. මෙහි චතුර්ථ ධ්‍යානය ලැබුව පසු රූප මවාපෑම් ආදී ඍද්ධි ද, ඈත කෙරෙන කතාවල් අසත හැකි දිවකන් නුවණය, අනුන් සිතන දෑ තම සිතින්

දැනගැනීමය, පූර්ව ආත්ම සිහි කිරීමය, දිවැස්ස යන මේවා ලබාගත හැකිය. අධිමානසික උසස්ම තත්ත්වය නිසි පරිදි මේ ධ්‍යාන වැඩීම මගින් කෙලෙසුන් යටපත්වීම මිස සහමුලින් නැසීමක් මේ ධ්‍යාන භාවනා මගින් සිදු නොවේ. ධ්‍යාන වඩන අරමුණු හතළිහක් ගැන ඉහත සඳහන් කෙළෙමු.

දස කසිණ, දස අසුභ, දස අනුස්සති, සතර බ්‍රහ්මවිහාර, සතර ආරූප්‍ය, ඒක සඤ්ඤා, ඒක වවත්‍ථාන වශයෙනි.

දස කසිණ

පඨවි කසිණ, ආපෝ කසිණ, තේජෝ කසිණ, වායු කසිණ, නීල කසිණ, පීත කසිණ, ලෝහිත කසිණ, ඕදාත කසිණ, ආලෝක කසිණ, ආකාස කසිණ.

දස අසුභ

උද්ධුමාතක, විනීලක, විපුබ්බක, විචඡීද්දක, වික්ඛායිතක, වික්ඛිත්තක, හතවික්ඛිත්තක, ලෝහිතක, පුළවක, අටඨික.

දස අනුස්සති

බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති, මරණානුස්සති, කායගතාසති, ආනාපානසති, උපසමානුස්සති.

සතර බ්‍රහ්මවිහාර

මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා.

සතර ආරුප්‍ය

ආකාසානංචායතන, විඤ්ඤාණඤ්චායතන, ආකිඤචඤ්ඤායතන, නේවසඤ්ඤානාසඤ්ඤායතන.

ඒක සඤ්ඤාව

ආහාරයෙහි පටික්කූලසඤ්ඤාව.

ඒක වවත්‍ථානය

චතුධාතු වවත්‍ථානය

දැන් මේවා තරමක් දුරට පැහැදිලි කරනු ලැබෙත්.

දස කසිණය

පඨවි කසිණය

කසිණ (කෘත්ස්න) යනු සියල්ල ය. මේ භාවනා වැඩීමේදී ලැබෙන ප්‍රතිභාග නිමිත්ත වැඩීමේදී එය සියලු තැන ම වසාගෙන සිටින සේ වැඩිය යුතු ය. එය සලකා මේ භාවනා දසයට ම “කසිණ” යන නම වැහැරැ වේ.

පඨවි යනු පොළොව යි. සමහර කෙනකුට සීසෑ කුඹුරක් වැනි මහ පෙදෙසක් දැක්මෙන් එහි සිත එකඟ වැ සමාධිය වැඩෙයි. සමහරුනට අරුණු පැහැති මැට්ටෙන් තැනූ රොටියක් වැනි මණ්ඩලයක් දෙස බලා ඉඳීමෙන් සිත එකඟ වේ. මෙසේ ඇසින් දකින ඒ මැට්ටෙන් වැසුණ පෙදෙස ද සාදාගත් මැටි රවුම ද පඨවි කසිණ මණ්ඩල නමි. එහි සිත එකඟ කොට කරනුයේ පඨවි කසිණ භාවනාව යි.

ආපෝ කසිණය

“ආපෝ” යනු ජලය යි. පෙර අත්බව්හි
මෙවැනි භාවනාවක් පුරුදු කළ කෙනකුට වැවක් ගඟක් මුහුදක් දැක්මෙන් එහි සිත එකඟ කොට ධ්‍යාන උපදවත හැක්ක. එසේ වූ පුරුද්දක් නැත්තහු විසින් කොරහක් හෝ ලොකු රවුම් කෝප්පයෙක වතුර පුරවා එය දෙස බලාගෙන සිත එකඟ කරන්නට උත්සාහ කළ යුතු. මේ ආපෝ කසිණ මණ්ඩලය යි.

තේජෝ කසිණය

තේජෝ යනු ගින්න යි. පෙර අත්බව්වල බවුන් වඩා ඇති අයට කවර තැනෙකදී හෝ දක්නට ලැබෙන ගිනි කඳක් දෙස බලා ඉඳීමෙන් චිත්ත සමාධිය ලබත හැක්ක. එබඳු පුරුද්දක් නැත්තහු විසින් පහන් දැල්ලක් හෝ එවැනි ගිනි දැල්ලක් දෙස බලා ඉඳීමෙන් සිත එකඟ කරන්නට තැත් කළ යුතු.

වායු කසිණය

වායු නම් සුළඟ යි. ගස්වල අතුපතර සෙලැවෙන සැටිය බලා මෙතෙක් තැන වායුව පවතී යැයි අනුමානයෙන් සැලකීමෙන් හෝ ඇඟේ වැදෙන සුළඟ අනුව වායුව ඇති නියාව සලකා ගැන්මෙන් එය අරමුණු කොට සිත එකඟ කරත හැක්ක. මෙසේ දැනෙන සුළඟ වායු කසිණ අරමුණ යි.

නීල කසිණය

නිල් මල් ගොඩක් හෝ නිල් පැහැති රෙදිකඩක් වැනි දැයක් වුවත් බැලීමේදී පෙර පුරුද්ද ඇත්තාට එහි සිත එකඟ කරත හැක්ක. සෙස්සන් විසින් වට්ටියක් වැනි දැයක්, නිල් රෙද්දකින් මුවවිට වසා තනාගත් නිල් රවුම හෝ බිත්තියේ ඇඳි කවයක් නිල් සායම් ගා සපුරා එය දෙස බලා සිත එකඟ කරත හැක්ක. මෙය නීල කසිණ මණ්ඩලය යි.

මේ හැම කරුණක් ම සැලකිල්ලට ගන්නා මහාචාර්ය බ්‍රයන් මෙසේ පවසයි. “අද මිනිස් මනස විකෘති වී විනාශ වී ඇත්තේ කෙළවරක් නැති බරපතළ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වී ඇති නිසාය. ඒඩ්ස් වසංගතය, න්‍යෂ්ටික අවි, ත්‍රස්තවාදය, භයානක වෙනත් රෝගාබාධ තොරතෝංචියක් නැතිව මනස අවුල් කරන අතර, අද බොහොමයක් තරුණ තරුණියන් තමන්ට අවුරුදු 20කට 30කට වඩා ආයුෂ නැතැයි යන බියකින් පසුවන තරමට ලෝකය දියුණු වී තිබේ.”

බුදු දහමේ ආකල්පය:

නූතන මිනිස් සමාජයේ අභියෝග හා ගැටලු පිළිබඳ මේ විග්‍රහය පෙරවදනක් ලෙස ගැනීමෙන් බෞද්ධ භාවනාවේ සමාජගත උපයුක්තිය අර්ථසම්පන්නව සාකච්ඡා කළ හැකියයි සිතමි. ඉහත කී අභියෝග හා ගැටලු මුළු ජගත් ප්‍රජාව පුරාම ව්‍යාප්ත වෙමින් තිබේ. මේ තත්ත්වය හමුයෙහි ප්‍රායෝගික පිළිතුරක් ලබාගැනීමට හැකිවන්නේ බුදු දහම තුළින් පමණක් බව කිව හැකියි. මේ කරුණ කෙරෙහි ද ලෝකයේ යම් පමණකින් අවධානය යොමු වී තිබෙන බවට ද සාධක ලැබේ. බුදුදහම විශේෂ තේමාව කරගෙන පළ වූ Time සඟරාවේ බුදුදහම කවර ආගමකට අයත් කෙනකුට වුවද තම භක්තිය අත නොහැරම ප්‍රායෝගිකව කළ හැකි බව විශේෂයෙන් දක්වා තිබේ. එහි ඇති විශේෂතාව නම් නව ශිෂ්ටාචාරයෙන් වෙහෙසට පත්ව ආධ්‍යාත්මික සුවයක අවශ්‍යතාව තේරුම්ගත් බටහිර ලොවින් මෙය ප්‍රකාශ වීමයි.

විද්‍යා හා තාක්‍ෂණ දියුණුව පදම් කරගෙන සැකසුන නව ශිෂ්ටාචාරය අබිමුවෙහි බෞද්ධ පිළිවෙතේ අවශ්‍යතාව වැඩි වැඩියෙන් ප්‍රකාශ වෙයි. බොදු පිළිවෙතේදී පුද්ගලයා තුළට සංවර්ධනයක් ඇතිවන විට ප්‍රඥාවට ලැබෙන්නේ විශේෂ තැනකි. එය ධර්මය තුළ යථාභූත ඥාණදස්සනය හැටියටත්, පඤ්ඤාසම්පදාව හැටියටත්, පඤ්ඤා ඉන්ද්‍රිය හැටියටත්, ආර්ය සම්‍යක් දෘෂ්ටිය හැටියටත් සඳහන් වී තිබේ.

යම්කිසි සංකල්පීය තත්ත්වයක් නිර්මාණය කරගෙන ඒ තුළින් ලෝකය දැකීම වෙනුවට ඒ ක්‍රියාවලිය පිළිබඳ අවදියකින් විසීම ලෙස ද හැඳින්විය හැකියි. සතිපට්ඨානය යනුද එයමය. ප්‍රශංසාවෙන් තොරව, ගර්හාවෙන් තොරව තමා තුළ ක්‍රියාත්මක වන කායික මානසික ස්වභාවයන් පිළිබඳව අවදියෙන් ක්‍රියාකිරීම (awareness) බෞද්ධ භාවනාවයි. කායික මානසික සමබරතාවක් ඇතිවන්නේ එවිටයි.

එහෙත් සමබරතාවකින් යුතු පුද්ගල ජීවිතය සමාජගත වශයෙන් ගැටලු ඇති නො කරන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

අපවත් වීමට පෙර ලියන ලද ලිපියකි

ලබන සතියේ තවත් කොටසක්


advertistmentadvertistment