අධි ආරක්‍ෂිත කලාප මදි වුවහොත් බංකර්ද?

195

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින සමාජ, ආර්ථික හා දේශපාලන පරිහානියට ක්‍ෂණිකව විසඳුම් ලබා දීමට ආණ්ඩුවට නොහැකි වුවත් ඒ සඳහා පාලකයන් විසින් සාධනීය සැලැස්මක් ඉදිරිපත් කර තිබේද යන්න සමාජ හා දේශපාලන අංශ දිගින් දිගටම මතු කරනු ලබන ප්‍රශ්නයකි. ඒ සම්බන්ධ පුවත් හා තොරතුරු වාර්තා කරන මාධ්‍ය පමණක් නොව ඒවාට විරෝධතා දක්වන පිරිස් පාලකයන්ගේ උදහසට ලක්වීමද අලුත් ප්‍රවණතාවක් නොවේ. එහෙත් මාධ්‍ය හා ජනතා උද්ඝෝෂණ මර්දනයෙන් එබඳු තොරතුරු වසන් කළ හැකි යැයි කල්පනා කරන්නේ නම් එයද මහත් මුළාවකි. මෙරටේ මන්දපෝෂණයක් තිබේද නැද්ද යන්න එම ක්‍ෂේත්‍රයට අදාළ ප්‍රාමාණිකයන් විසින් හේතු සාධක සහිතව රටට හෙළි කළ යුතු කාරණයකි. එහෙත් මේ වන විට උග්‍රවී තිබෙන ආහාර උද්ධමනය, ඖෂධ හිඟය වැනි ජාතික වසයෙන් අවධානය යොමු විය යුතු කරුණු අනාවරණය කරනු ලබන සංවිධාන, සිවිල් ක්‍රියාකාරීන් ලුහුබැඳ යෑමට පළමුව එබඳු සිදුවීම් උද්ගත වීමට සැබෑ හේතු මොනවාද යන්න විමසා බලා විසඳුම් ලබාදීම ආණ්ඩුවක වගකීමය. විපක්‍ෂනායක සජිත් පසුගිය දිනක ආණ්ඩුවට බරපතළ චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරමින් කියා සිටියේද ඔවුන්ගේ මර්දන ක්‍රියාවලිය උත්සන්න වී තිබෙන බවය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, තරුණ සමාජ ක්‍රියාකාරීන් මර්දනය හා අධිආරක්‍ෂිත කලාප නම් කිරීම ඒ මර්දන ක්‍රියාන්විතයේ අංග ලෙසද ඔහු පෙන්වා දෙයි.

අධි ආරක්‍ෂිත කලාප මදි වුවහොත් බංකර්ද?

ඇත්ත වසයෙන්ම ආණ්ඩුව විරෝධතා හා උද්ඝෝෂණ මැඬලීම සඳහා දැඩි ප්‍රයත්නයක් දරණ බව සැඟවිය නොහැක. ජනාධිපති රනිල් එහිදී අවධාරණය කරන්නේ නීතිය හා සාමය තහවුරු කරන අතරම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බවය. එහෙත් මානව හිමිකම් කොමිසම මෙන් දේශීය හා විදේශීය සංවිධාන ගණනාවක්ම අද මෙරටේ සිදුවන පොලිස් ක්‍රියාකාරකම් පිළිබඳව ප්‍රශ්න කරන බව ද කව්රුත් දනිති. මෙරටේ මන්දපෝෂණයක් නැතැයි සෞඛ්‍ය බලධාරීහු කියති. ඒ සමගම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයෙහි නිලධාරීන්ගේ කටට මුඛවාඩම් දැමීමටද ඔව්හු පෙලඹී සිටිති. ලංකාවේ ඇත්තේ මන්දපෝෂණයක් නොව අධිපෝෂණයකැයි වෛi සංගමයක් එඩිතරව ප්‍රකාශ කරයි. එපමණක් නොව මන්දපෝෂණ විකෘති කතාව හැදූ යුනිසෙෆ් නියෝජිතයා රටින් පිටුවහල් කළ යුතු බවද ඒ සංගමයේම තවත් අයෙක් කියයි. මේ වාතයට පැටලීමට අපට අවශ්‍ය නැත. එහෙත් අද මෙරටේ ගම්දොර පමණක් නොව නගරවලද පීඩිත ජනකොටස්වල ආහාරවේල ප්‍රශ්නයක් වී තිබෙන බව මේ දොස්තරලා නොදනිතත් මාධ්‍යවේදීහු ඉඳුරා දනිති.

කෙසේ වුවද මෙරටේ උද්ගතව තිබෙන ආහාර උද්ධමනය සුළු පටු නැත. එක්සත් ජනපදයේ ජෝන් හොප්ස්කින්ස් විශ්වවිiාලයේ ආර්ථික විශේෂඥ මහාචාර්ය ස්ටීව් හෑන්ස්ට අනුව ලංකාවට උද්ධමනය අතින් ලෝකයේ සිව්වන ස්ථානය හිමිව තිබේ. අද මෙරටේ පීඩිතයන්ගේ ආහාරවේල උග්‍ර අර්බුදයක් වී තිබෙන බව මෙරටේ ජනමාධ්‍යවල පළ කෙරෙන වාර්තාවලින් දැකගත හැකිය. ඒ මාධ්‍යවේදීන් මර්දනය කිරීමට ඇතැම් ඇමැතිවරුන්ට වුවමනා විය හැකිය. එහෙත් විපතට පත් රටක් ගිනි තැබීමට වගකිවයුතු මාධ්‍යවේදියෙක් ක්‍රියා නොකරන බවද අප සඳහන් කළ යුතුය.

කොළඹ නගරයේ තට්ටු නිවාසවල මෙන්ම ඈත ගම්බදවලද නිවෙස්වල බතක් නොඉදෙන වේල් ගණන වැඩිය. බුද්ධ පූජාව කෑම පවක් ලෙස සිංහල ජනතාව පිළිගනිති. එහෙත් එබඳු දේවල් සිදුවන්නේ බඩගින්න උහුලා ගත නොහැකිවීම නිසාය. පාසැලට පොල් මද කීපයක් රැගෙන එන්නේ නැති බැරිකම නිසාය. අම්මා කෙනෙක් සිය දරුවන්ට වරකා මදුළු කීපයක් දෙන්නේත් ගෙයි සන්තකයේ මුකුත්ම නැති නිසාය. මේවා වාර්තා කරන මාධ්‍යවේදීන්ද රටින් පිටුවහල් කිරීමට ඇතැම් දොස්තර මහත්තයෙක් යෝජනා කිරිමටද ඉඩ තිබේ. අද දේශපාලනය ව්‍යාපාරයකි. එයට දායක වන රාජ්‍ය නිලධාරීන්ට, වෘත්තිකයන්ට මෙන්ම දොස්තරවරුන්ටද ප්‍රතිලාභ තිබිය හැකිය. එහෙත් හඬක් නැති ජනයාගේ හඬ බවට පත්විය යුත්තේ මාධ්‍යවේදීන් හා විපක්‍ෂය බව ප්‍රජාතන්ත්‍රවාදය විසින්ද තහවුරු කරන ලද්දකි. දරුවන්ගේ කුසගින්න නිවීමට මව්පියන් දරන ප්‍රයත්නය වරප්‍රසාද සහිත පන්තියට නොදැනීම ඉතා ස්වභාවිකය. තම බත් පත ආහාරවේල පාසලේ දුප්පත් දරුවන්ට දෙන ගුරුමව්වරුන් හා පියවරුන් ගැන අප ආඩම්බර වෙමු. එහෙත් තම සායනයට එන මව්වරුන්ගේ පුෂ්ටිමත් බව සුපෝෂණය ගැන ප්‍රකාශ කරන දොස්තරවරුන් ගැන අපට ඇත්තේ සංවේගයකි.

මෙම මන්දපෝෂණ ප්‍රශ්නය ගැන පාර්ලිමේන්තුවේදීත් ප්‍රශ්න කර තිබුණි. අනුර ප්‍රියදර්ශන මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේ මෙබඳු ජාතික ප්‍රශ්නයක් ගැන විමසන අවස්ථාවක ආණ්ඩුවේ ඇමැතිවරුන් එයට නිහතමානීව ප්‍රතිචාර දැක්විය යුතු බවය. ඒ සිද්ධිය රූපවාහිනී නාලිකාවලින්ද දැකගත හැකි විය. ඇත්තටම අපේ ඇතැම් ඇමැතිවරුන්ගේ ඇමැති ඌෂ්ණය ගැන අපට ඇත්තේද සංවේගයති. රෝහලේ බෙහෙත් නැතැයි කීම ඒ ඇමැතිවරුන් කුප්පවන පුවතක් විය හැකිය. ඒවායින් තම පට්ටම් ගැලවී යනු ඇතැයිද සමහරවිට ඔවුන්ට සිතෙනු ඇත. එහෙත් මේ රට අද වැටී තිබෙන තත්ත්වයට ගෝඨාභය මෙන්ම ඔහු වටකර ගත් ඇමැති නඩයම වගකිවයුතුය. ඒවාට උඩගෙඩි දුන් නිලධාරීහුද දඬුවම් ලැබිය යුතු වෙති.

පේරාදෙණි විශ්වවිද්‍යාලයෙහි ආර්ථික හා සංඛ්‍යාන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පසුගියදා රටට හෙළි කළේ ආණ්ඩුවේ වක්‍ර බදුවලට අන්තිම දුප්පත් පවුලද හසුවී තිබෙන ආකාරයයි. මෙරටේ හැම පවුලක්ම මාසිකව වක්‍ර බදු ලෙස රු.28,000 ක් රජයට ගෙවන බව ඔහු පෙන්වා දෙයි. එසේම සමෘද්ධි වසයෙන් රු.4500 ක් ලබා දෙන දුප්පත් පවුලකින් ආණ්ඩුව වක්‍ර බදු ලෙස රුපියල් 6675/=ක් ලබා ගන්නා බවද ඔහු සඳහන් කරයි. මේ පීඩිතයාගේ ජීවිත අරගලයෙන් බිඳකි. සීනි බදු වංචාව ඇතුළු මහා පරිමාණ බදු හොරු ගැන අද විවිධ චෝදනා නැගෙයි එහෙත් ආණ්ඩුව බිහිරි අලි මෙන් සිටිති. මේ වන විට ඇමැතිකමක් නැති මහින්දානන්ද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේද මෙරටේ බදු ගෙවීම් මගහරින තෝරුන් හා මෝරුන් ගැනය. එහෙත් ඒ හොරු හැම ආණ්ඩුවක් යටතේම නිරුපද්‍රිතව සිටිති. මැල්කම් කාදිනල්තුමා පවසන ආකාරයට දේශපාලනඥයෝ දෙපිලකට බෙදී එක එකාට හොර චෝදනා නගමින් සිටිති. එහෙත් හොරුන්ට නීතිය ක්‍රියාත්මක වීමක් නැත.

අද මෙරටේ පොදු ජන ජීවිතවලට එල්ල වී තිබෙන අපල උපද්‍රව නිමක් නැත. ඒවා සියල්ල දේශපාලන වසයෙන් කුණුවී ගිය රටක, ආර්ථික කළමනාකරණයක් නොවූ පාලනයක අනිටු හා දුෂ්ට විපාක බව නිසැකය. ජීවිතේ කිසි දිනක ගුවන්තොටුපළකටවත් නොගිය දුප්පතා ඒ විනාශකාරී සංවර්ධන වැඩවලට අද වන්දි ගෙවමින් සිටී. ආණ්ඩුවට අවම වසයෙන් ජනතාවට වුවමනා සහල් ටික හෝ ලබා දිය නොහැකිය. මේ රටට ආනයනය කළ සහල් සත්වයන්ට උචිත බව ඇමැතිවරයෙක් කියයි. ඒ වරද වසා ගන්නට තව දහසක් බේගල් ඇද බායි. ත්‍රිපෝෂවල ගුණාත්මක භාවය ගැනද ප්‍රශ්න මතුවී ඇත. ඇත්තටම අද බොහෝ පාසැල්වල උදේට නියමිත රැස්වීම් අවලංගු කර තිබේ. මන්දයත් එහිදී දරුවන් තුන් හතර දෙනෙක්වත් ක්ලාන්ත වී ඇද වැටෙන නිසා බවද කියති. මේවා පාලකයන්ට වැදගත් ප්‍රශ්න නොවිය හැකිය. එහෙත් අද මෙරටේ යථාර්ථය එයයි.

බුදුන්වහන්සේ විසින් දේශනා කරන ලද්දේත් සියලු සත්වයන්ම ආහාර නිසා ජීවත්වන බවත් කුසගින්න පරම රෝගයක් බවත්ය. (සබ්බේ සත්තා ආහාරට්ඨිත්තා යනුවෙන් එය දක්වා තිබේ.) මිනිසාගේ මූලික ප්‍රශ්නයක් වන ආහාර සැපයීම පාලකයාගේ වගකීමක් බවද බුදුහු වදාළහ. චක්කවත්ති සිහනාද සූත්‍රයෙහි පෙන්වා දෙන්නේ ඒ මූලික අවශ්‍යතාව ඉටු නොවන කල්හි සමාජ සදාචාරයද බිඳ වැටෙන බවය.

දේශපාලනඥයන්ගෙන් ඉටුවිය යුතු මූලිකම කරුණු තුන ලෙස ආහාර, නිවාස හා ඇඳුම් පැලඳුම් ලබාදීම පිළිගනී. බුදු සමයෙහි දැක්වේන්නේත් රටවැසියා පෝෂණය, ඔවුන් බාහිර විපත්වලින් ආරක්‍ෂාවීමට නිවාස මෙන්ම රෝගාබාධ දුරලීමට බෙහෙත් ද ලබා දිය යුතු බවය. කෘශ වූ රළු පෙනුමින් යුත් නහර ඉල්පී ගිය දුර්වර්ණ සිරුර නිසා භික්‍ෂුවද ප්‍රියශීලී නොවන බව බුද්ධ වචනය විය. එය ගිහි පැවිදි දෙපිරිසටම අදාළ බවද පෙන්වා ඇත. දරිද්‍රතාව හෙවත් දුප්පත්කම නිසා සමාජයෙහි ප්‍රබල ඒකකය වන පවුල අනාරක්‍ෂිත වන බවද බුදු සමය පෙන්වා දී තිබේ. එසේම දිළිඳු බව වර්ධනය වීම අරගලයෙහි ආරම්භය ලෙස කූටදත්ත සූත්‍රයෙහිම දක්වා තිබේ. ආර්ථික ගැටලු කළමනාකරණය කර ගනිමින් ඒවා බුද්ධිමත් ලෙස විසඳීමට පාලනයක් අසමත් වුවහොත් ඒ සමාජය අවුල් තත්ත්වයකට පත්වන ආකාරයද එහි විස්තර කර ඇත.

කෙසේ වුවද අද මේ රට දේශපාලන කැඳහැළියක් බවට පත්ව තිබෙන බවට කෙරෙන විවේචනයද සාධාරණය. දැන් පොහොට්ටුව කල්පාන කරන්නේ තමන්ට හිමිවී තිබුණු ඒරාෂ්ටක අපලය අවසන් වී ඇති බවය. ඔව්හු පෙර පරිදි ඇමැති ධුර අපේක්‍ෂාවෙන් සිටිති. සමහරුන් ප්‍රසිද්ධියේම කියන්නේ යළිත් මහින්දගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවන බවය. එහෙත් මහපොළවේ දේශපාලනය කුමක්ද? ගෝඨාභය සමග සිටි ඇමැතිවරුන් හා නිලධාරීන් යළිත් ඒ ඒ තැන්වල රඳවා මේ රට ඉදිරියට යා යුතු යැයි ජනතාව කියත්ද? පොහොට්ටුවේ සුළු පිරිසකට එබඳු අරමුණු මෙන්ම තවත් බොහෝ සිහිනද තිබිය හැකිය. අරගලයට බියෙන් සැඟවී සිටි අය දැන් කරළියට පැමිණ කරන නොයෙක් ප්‍රකාශද ඇසෙයි. එහෙත් ඒ විනාශකාරී. පීඩාකාරී පොහොට්ටු පාලනය යළි බලාත්මක කළ යුතු යැයි සිහිබුද්ධි ඇති කිසිවෙක් කියත්ද? අරගලකරුවන් සිරගත කොට, අධි ආරක්‍ෂිත කලාප ප්‍රකාශයට පත් කොට ඒ දේශපාලන ගමන යළි ඇරඹීමට ඔව්හු කල්පනා කරත්ද?

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරය අමතා විදේශ ඇමැති අලි සබ්‍රි ලොවට කියා සිටියේ ලංකාව නව දේශපාලන, සමාජ හා ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බවය. ඒ සඳහා ජාත්‍යන්තර සහාය වුවමනා බවය. මෙරටේ පැවති ප්‍රබල සමාජ විරෝධතා හා අරගලවලට ප්‍රතිචාර දැක්වීමට ආණ්ඩුව ක්‍රියා කරන බවද විදේශ ඇමැතිවරයා පවසා තිබිණි. ආණ්ඩුවක් ලෙස ආසන්න අතීතයෙහි සිදුවූ සියලු ක්‍රියාකාරකම් වටහා ගෙන ඇති බවත්, ජනතා ප්‍රශ්නවලට මේ ආණ්ඩුව සංවේදී බවත් ඇමැති අලි සබි්‍ර ජාත්‍යන්තරයට කියද්දී මෙරටේ සිදුවන්නේ කුමක්ද? ඇමැතිවරයා දේශපාලනයෙන් යැපෙන ආතක් පාතක් නැති මුග්ධයකු ලෙස හැඳින්විය නොහැක. එහෙත් අද දේශපාලනයේ සිටින බහුතරයක් සම්බන්ධයෙන් අපට කිව හැක්කේ කුමක්ද? මැල්කම් කාදිනල්තුමා නම් පවසන්නේ මේ දේශපාලනඥයන් හොඳට තුන්වේල කන, එහෙත් කිසිදවසක දුප්පතකුගේ පිඟාන දෙස නොබලන මෝඩයන් මොන්ටිසෝරි කතාකාරයන් ලෙසය. යුක්තිය සාධාරණය ඉල්ලා පාරට බැස්ස තරුණයන්ගෙන් 4000කට ආසන්න පිරිසක් හිරකර තබා සිටින බවය.

මේ තත්ත්වය බොරුවක් නොවේ. ඇතැම්විට ජනාධිපති රනිල්ට මෙරටේ සිදු වූ ඒ ඓතිහාසික අරගලය පිළිබඳ ප්‍රබුද්ධ කියැවීමක් තිබිය හැකිය. එහෙත් පොහොට්ටුවේ කී දෙනෙක් එය වටහා ගෙන සිටිත්ද? විපක්‍ෂනායක මෙන්ම ජ. වි. පෙ. අනුර කුමාරද චෝදනා කරන අධිආරක්‍ෂිත කලාප නම් කිරීමේ සැබෑ අරමුණ කුමක්ද? විරෝධතා මැඬලීම නොවේද? ජනතා විරෝධතාවන්ට බියෙන් අධි ආරක්‍ෂිත කලාපවල පාලකයන්ට සැඟවී සිටිය හැකිද යන්නත් ඔහු ප්‍රශ්න කරයි. මෙම අධිආරක්‍ෂිත කලාප ගැසට්ටුවට එරෙහිව දේශපාලන මෙන්ම වෘත්තීය නීතිඥයන්ගේද විරෝධය ප්‍රකාශ වී තිබේ. රාජ්‍ය රහස් පනත භාවිතා කරමින් එලෙස අධිආරක්‍ෂක කලාප ප්‍රකාශයට පත් කළ නොහැකි බව නීතිඥ සංගමය පෙන්වාදෙයි. මානව හිමිකම් සභාපති රෝහිණී මාරසිංහ පවසා ඇත්තේද එම පනත මගින් එලෙස ආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කිරීම ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය වීමක් බවය. දැන් අධිකරණය ඉදිරියේ එය අභියෝගයටද ලක් කර තිබේ.

ඇත්ත වසයෙන්ම මෙම අධිආරක්‍ෂිත කලාප, රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන්ද යන්න ප්‍රශ්නයකි. මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමැතිවරයෙක් කරුණු දැක්වුවත් එහි සාධාරණය හා යුක්තිගරුක බව සැකයට තුඩු දෙන්නකි. ආණ්ඩුවට වුවමනා ආකාරයට විරෝධතාවන් පැවැත්වීමට කිසිවකුට අවශ්‍යතාවක්ද නැත. විරෝධතාව යනු පීඩනයට අසාධාරණයට එරෙහිව තිබෙන ප්‍රබල ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවකි. ජනතාව පාරට බැසීම යනු ඒ පීඩනයට එරෙහිව කෙරෙන මානුෂවාදී අහිංසක අරගලයක් බවද පෙන්වා දිය යුතුය. දේශපාලනඥයන්ගේ දරුවන්ට තිබෙන වරප්‍රසාද රැකවරණ කිසිවක් නැති වසන්ත මුදලිගේලා පරපුර පිළිබඳව ඔවුන් සංවේදී නොවීමද අපට තේරුම් ගත හැකිය.

ජනාධිපති රනිල් මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍ය ගැන දක්වන ගෞරවය අපට ප්‍රශ්න කළ නොහැකිය. එහෙත් ඒවා මෙරටේ ජන ජීවිත සමග ගැට ගැසෙන ආකාරය ගැන අපට ප්‍රශ්න තිබේ. ගාලුමුවදොර අරගලය එහෙම පිටින්ම කුඩ්ඩන්ගේ හා රස්තියාදුකාරයන්ගේ අවලම් වැඩකැයි හෑල්ලු කරන පොහොට්ටුකාරයන් සමග අපට දබරයක් නැත. දේශපාලනයේත් ඒ කියන වර්ගයේ අශික්ෂිත අවලම්මු සිටිති. එනිසා කිසිම දෙයක් කළු සුදු කිරීම තර්කයට මෙන්ම බුද්ධියටද එකඟ නොවේ. ප්‍රභූ දේශපාලනඥයන්ටත් ඔවුන් විසින් නඩත්තු කරනු ලබන ගර්හිත ක්‍රමයටත් එරෙහිව නැගුණු අරගලය දෙස බලා රටේ අනාගතයට ප්‍රතිසංස්කරණ යෝජනා කිරීම ජනාධිපති රනිල්ට භාරය. මාලිගාවල නිල නිවාසවල සුඛිත මුදිත ජීවිත ගෙවන දේශපාලන නායකයන්ට හා ඔවුන්ගේ දරුවන්ට මුඩුක්කුවල පැල්පත්වල තට්ටු නිවාස කබලක සිටින ජනතාවගේ දුක නොදැනේ. මෙරටේ සෞඛ්‍ය සේවය ගැන තඹයක විශ්වාසයක් නැතිව සිංගප්පූරුවට යන මැති ඇමැතිවරුන්ටත් ඖෂධ ප්‍රශ්නයන් නැතුවා විය හැකිය. එහෙත් ඇඳන් යට පවා රෝගීන් නිදන රෝහල් සේවයක හෝ ගමේ දුන්නා මළා වර්ගයේ බෙහෙත් ශාලාවක බේත් නැති බව ජනතාවම දනිති. ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදය යටතේ මේවා නිදහසේ භුක්ති විඳින අයිතිය නම් ජනතාවට තිබේ. ජ. වි. පෙ. අනුර කුමාර අනතුරු අඟවන්නාක් මෙන් මේ අර්බුදවලට විසඳුමක් නොදෙන කවර දේශපාලන පක්‍ෂයකට නායකයකුට වුවත් හැංගෙන්නට වෙනම ආරක්‍ෂිත කලාප වෙන් කර ගැනීමටද සිදු විය හැකිය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment