දිනකට ලුණු භාවිත කළ යුත්තේ මේස හැන්දකි
අධි රුධිර පීඩනයෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ නින්දේදී
නිහඬ මාරයා (Silence Killer) හෙවත් අධි රුධිර පීඩනය අප රට තුළ හිස ඔසවමින් පවතී. මේ පිළිබඳව සිදුකර ඇති සමීක්ෂණවලට අනුව හෙළිවී ඇත්තේ අප රටේ ජනගහනයෙන් සෑම පුද්ගලයන් සිව් දෙනකුගෙන් එක් අයෙකු අධි රුධිර පීඩනයෙන් පෙළෙන බවය.එසේම වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් ගෙන් සියයට 50ක් හෙවත් හරි අඩක් අධි රුධිර පීඩනයට ගොදුරුව සිටිති. අධි රුධිර පීඩනයට ගොදුරුව සිටින අය අතර පිරිමි ප්‍රතිශතය සියයට 27.8 කි. කාන්තාවන් සියයට 23.8 කි. නාගරික මට්ටමේ ජනතාවගෙන් සියයට 26.5 ක් අධි රුධිර පීඩනයට ගොදුරුව සිටිති. ග්‍රාමීය මට්ටමේ එය සියයට 22.9 කි.
● අධි රුධිර පීඩනය
බාහිරයට රෝග ලක්ෂණ නොපෙන්වමින් රුධිර පීඩනය ඉහළ යෑම නිසා මෙය නිහඬ මාරයා ලෙස හඳුන්වයි.සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයකුගේ තිබිය යුතු රුධිර පීඩන මට්ටම 2020 වසරේ එළිදැක්වූ වාර්තා අනුව mmhg/85 mmhg අගයකි. එහි සාමාන්‍ය ඉහළ අගය ලෙස සටහන් කර ඇත්තේ 130-130 mmhg/85-89 mmhg ලෙසය.
අධි රුධිර පීඩනය ලෙස සලකනු ලබන්නේ 140-159 mmhg/90-99 mmhg අතර අගයකි. එය අධි රුධිර පීඩනයේ පළමු කාණ්ඩය ලෙස හඳුන්වයි. එහි දෙවැනි කාණ්ඩය ලෙස සඳහන් කර ඇත්තේ 160 mmhg/100 mmhg ලෙසය.
● අධි රුධිර පීඩනය පරීක්ෂාව
යම් පුද්ගලයකුගේ රුධිර පීඩනය පරීක්ෂා කිරීමේදී විනාඩි 05 ක් ඇතුළත තුන්වරක් පරීක්ෂාවට ලක් කළ යුතුය. එහි අවසානයට ලැබෙන අගය එම පුද්ගලයාගේ රුධිර පීඩන අගය ලෙස සලකුනු ලබයි. එසේම රුධිර පීඩනය පරීක්ෂාවකට යොමුවීමේදී ඊට පැයකට පෙර තේ, කේපි හෝ ආහාර ගැනීම නොකළ යුතුය.
රුධිර පීඩන අගය පරීක්ෂා කරන අවස්ථාවේදී අත මේසයක් මත තැබිය යුතුය. කතා බහ කිරීම නොකළ යුතුය.
● අධි රුධිර පීඩනයේ සංකූලතා
අධි රුධිර පීඩනය නිසා හෘදයාබාධා, අංශ භාගය, හෘද අකර්මන්‍යතා ආදිය ඇතිවිය හැකිය. එසේම දිගු කලක් අධි රුධිර පීඩනය නිසි පාලනයකින් තොරව පැවතීම නිසා වකුගඩුවලට බලපෑම් ඇතිවේ. එවිට වකුගඩු ක්රියාකාරීත්වයේ දුර්වලතා හටගනී.
● අධිරුධිර පීඩනයට බලපාන හේතු
වර්තමානයේ අප රටේ අධි රුධිර පීඩනයට වැඩි පිරිසක් ගොදුරු වීමට බලපා ඇති ප්‍රධානම හේතුව වී ඇත්තේ අප අධික ලෙස ලුණු භාවිතයට හුරුවීමය. සාමාන්‍යයෙන් පුද්ගලයෙක් දිනකට ආහාරයට ගත යුත්තේ ලුණු මේස හැඳි එකකි. ඊට අමතරව දුම්පානය, මත්පැන් පානය, අධික තරබාරුව, ව්‍යායාම නොමැති බව කොලෙස්ටරෝල් අධික බවද මේ සඳහා බලපායි. අධි රුධිර පීඩනය නිසා මරණයට පත්වීම වර්තමානයේ දී බහුලවම සිදුවන්නේ නින්දේදීය. එනිසා රාත්‍රියට රුධිර පීඩනය පාලනය සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතුය.
● අධි රුධිර පීඩනය පාලනය
අධි රුධිර පීඩනය පාලනය සඳහා අනුගමනය කළ යුතු ප්‍රධාන පියවර වනුයේ ලුණු භාවිතය අඩු කිරීම, මේදය අධික ආහාර ගැනීම පාලනය, ව්‍යායාම කිරීම, මානසික ආතතිය පාලනය කර ගැනීමය. මෙහිදී මානසික ආතතිය පාලනය සඳහා සංගීත චිකිත්සාව සහ භාවනාව වර්තමානයේදී බහුලව යොදා ගනී. එය අධි රුධිර පීඩන පාලනය සඳහා සාර්ථක ප්‍රතිකාරයක් බවට පත්ව ඇත.
කොළඹ ජාතික රෝහලේ අන්තරා සර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය විද්‍යාජෝති ප්‍රසාද් කටුලන්ද, මහනුවර මහ රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය උදය රලපනාව, කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ගොඩ්වින් කොන්ස්ටින්ටයින් යන මහත්වරු විසින් පැවැත්වූ දේශන ඇසුරින් මෙම ලිපිය සකස් කර ඇත.
උපාලි ද සේරම්
ඡායාරූප – සුජාතා ජයරත්න