අන්තර්කාලීන ජනපති තෝරා ගැනීමේදී මහජන නියෝජිතයන්ගේ වගකීම

138

මෙරට ඉතිහාසයේ සිදු වූ දැවැන්තම ජනතා නැඟිටීම වූ ගෝඨා ගෝ හෝම් අරගලය ජයග්‍රහණයෙන් අවසන් කිරීමට ජනතාවට හැකිවිය. ගෝඨාට 69 ලක්ෂයක් ජනතාව ඡන්දය දුන්නේ රට ගොඩනැඟීමට ඔහුට හැකියාව ඇතැයි යන විශ්වාසය තුළය. කෙසේ වෙතත් ගෝඨාගේ නොදැනුවත්කම්, නොහැකි කම් මෙන්ම බාහිර වශයෙන් ගෝඨා වෙත හා ගෝඨා පාලනය වෙත බලපෑ විවිධ කාරණාද සමස්තයක් ලෙස ගෝඨා අසමත් වීමට හේතු විය. මෙරට බහුතර ජනතාව සාම්ප්‍රදායික දේශපාලකයකු නොවූ ගෝඨා බලයට ගෙන ඒමට උත්සහ කළේ සාම්ප්‍රදායික දේශපාලනය සහ දේශපාලකයා විසින් නිදහසින් පසුව මෙරට ආර්ථිකයට සහ සමාජයට සිදුවූ හානිය නිසාය. කෙසේ වෙතත් ගෝඨාට ජනතා අපේක්ෂා මුදුන් පැමිණවීමට නොහැකි වූ අතර ඔහුගේ පාලන කාලය 74 වසරක දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් නොවූ අතර ඒහිම අමනෝඥ දිගුවක් විය. 3/2 ක පාර්ලිමේන්තු බලයක්ද 20 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනපති තනතුරේ බලය ද තවදුරටත් වැඩිකර ගත්තද ගෝඨාට එම බලය කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් සඳහා යොදා ගැනීමට නොහැකි විය. ඒ අන් කිසිවක් නිසා නොව ඔහුටද බලය බලය සඳහාම මිස ඉන් එපිට අර්ථයක් ඒ තුළ නොවීමත් ඒ හැර රාජ්‍ය පාලනය සඳහා අවශ්‍ය අවම දැනුම හෝ සාමාන්‍ය බුද්ධියවත් ඔහුට නොවීම නිසාය. ඔහු ගත් තීන්දු තීරණ බොහෝවිට ඔහුගේම නොවූ අතර ඔහු වැරදි තීන්දු තීරණයන්ගේ අතකොළුවක් ද පමණක් විය.

එහි ප්‍රතිඵලය වූ ආර්ථික කඩා වැටීම හමුවේ ජනතාව විසින්ම මහ ඉහළින් කිරුළු පැළැන්දූ ජනාධිපතිවරයා ඊටත් ඉහළ ඝෘජු අදේශපාලනික ජනතා විරෝධයකින් පන්නා දැමීම සිදුවිය. ඒ අනුව එම ක්‍රියාවලිය අතිශය ප්‍රජාතන්ත්‍රවාදී වන අතර ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සහ එහි හරය ආරක්ෂා වීමට එවනි සාමකාමී, අදේශපාලනික අරගල අත්‍යවශ්‍යමය. ඒ විශේෂයෙන්ම අප වැනි රටවල පාලකයන් විසින් සිය අශාවන් සහ අවශ්‍යතාවය අනුව අවභාවිත කරනු ලබන සහ නිර්මාණය කරගනු ලබන ව්‍යවස්ථානුකූලත්වය මත සාධාරණත්වය හෝ ප්‍රජාතන්ත්‍රවාදී පුරුෂාර්ථයන් රක්ෂණය නොවීමද නිසාය.

මීළඟට ගෝඨා පළාගොස් ඉල්ලා අස්වූ තත්ත්වය තුළ රටේ පාලනය ඊළඟ ජනාධිපතිවරණයක් තෙක් සිදුවිය යුත්තේ කෙසේද යන්න ඉතාම වැදගත් කාරණයයි. ඒ අනුව ප්‍රථමයෙන්ම සඳහන් කළයුත්තේ පොහොට්ටුව සහ ඒ හා සන්ධානගත පක්ෂයන් හා පුද්ගලයන් මහ මැතිවරණයේදී ලැබූ ජයග්‍රයණය ඉහත කී පරිදි ජනතාව තුළ ගෝඨා කෙරෙහි වූ සාවද්‍ය අධිතක්සේරුව තුළ ඔහු ශක්තිමත් කිරීම සඳහාම ලබා දෙන ජන වරමේ ප්‍රතිඵලයක් මිස ජනතාව පිළිකුල් කළ කුජීත සාම්ප්‍රදායික දේශපාලකයන් වෙත ලබා දෙන ලද ජනවරමක් නොවේ යන්නයි. ඒ අනුව රටම පිළිගන්නා පරිදි අදාළ පාර්ලිමේන්තු නියෝජිතයන් ව්‍යවස්ථානුකූලව තවමත් පාර්ලිමේන්තු නියෝජිතයන් වුවද ප්‍රජාතාන්ත්‍රිකව ජනයාගේ හෘද සාක්ෂියට සහ ස්පන්ධනයට අනුව ඔවුන් තවදුරටත් වලංගු මහජන නියෝජිතයන් නොවේ. ඒ ගෝඨාට එල්ල වූ පුළුල් මහජන පිළිකුළ සහ ප්‍රතික්ෂේප කිරීම ගෝඨා වෙනුවෙන් තෝරාපත්කර එවූ නියෝජිතයන්ට ද අදාළ බැවිනි. එසේම උද්ගත වූ තත්ත්වය තුළ සාපේක්ෂව පක්ෂ බේදයකින් තොරව පාර්ලිමේන්තු නියෝජිතයන් බහුතරය රට අද පවත්නා තත්ත්වයට වගකිවයුත්තන් ලෙස ජනතා අප්‍රසාදයට සහ උදහසටද ලක් වූවන් බව අවශේෂ වශයෙන් ඔවුන් සියලු දෙනා විසින්ම මතක තබාගත යුතුය.

එබැවින් මේ අවස්ථාවේ උදාවී ඇති තත්ත්වය ඉතා ධනාත්මකව සහ සාමය ස්ථාපිත වන වඩාත් පිළිගත හැකි සර්ව පාක්ෂික පාලනයක් පිහිටුවා ගැනීමට යොදා ගැනීම ඉතා වැදගත් වේ. ඒ අනුව කෙටිකාලීන වශයෙන් ජනතා අපේක්ෂා ඉටුකළ හැකි පාර්ලිමේන්තුවේ පිළිගත් පුද්ගලයන් කිහිප දෙනකු පමණක් වගකීම් දරන ඇත්ත වශයෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුවක් තෝරාගත හැක්කේ කෙසේද? මෙහිදී විශේෂයෙන්ම තෝරාපත්කර ගන්නා ජනාධිපතිවරයා කවරෙක්ද යන්න ඉතා වැදගත්ම කාරණයයි. ඔහු මේ අවස්ථාවේ වඩාත්ම ජනතාවට පිළිගත හැකි ජනතාව විසින් ප්‍රතික්ෂේප හෝ පිළිකුල් කරන්නෙකු නොවීම ප්‍රධානම ඉතා වැදගත්ම සාධකයයි. එසේ නොවී අදෘෂ්‍යමාන හස්ත විසින් හසුරවනු ලදුව හෝ සිය දේශපාලන පැවැත්ම යන සාධක මත අවස්ථාවාදීව ජනාධිපතිවරයා තීරණය කිරීමට දායක වීම රට තවත් අවුල් ජාලාවක් කරනු ඇති අතර මහජන නායෝජිතයකු ලෙස වගකීම් විරහිත ද වේ. දෙවනුව අදාළ පුද්ගලයාට අවම වශයෙන් සිය පක්ෂයේ හෝ සන්ධානයක නම් අදාළ මන්ත්‍රී කණ්ඩායමේවත් ඒකමතික විශ්වාසය හෝ පිළිගැනීම සහිත වූවෙක්ද යන්න සලකා බැලිය යුතුය. තෙවනුව සහ මේ අවස්ථාව අනුව ඉතාම වැදගත් වන්නේ අදාළ පුද්ගලයා ජනාධිපති කිරීමෙන් ඇත්ත වශයෙන්ම අපේක්ෂිත ජනතා අභිලාශ ඇගයෙන සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහිවන්නේ ද යන්නයි.

ඒ අනුව එකී කාරණා සියල්ල සහ විශේෂයෙන් අවසාන කාරණය වන සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා වඩාත්ම සුදුස්සා ලෙස සැලකීමේදී ඒ සඳහා වඩාත් සුදුස්සා ලෙස පෙනී යන්නේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා බවයි. ඒ අදාළ අපේක්ෂකයා අනෙකුත් අනතර්කාලීන ජනපති අපේක්ෂකයන් සහ අපක්ෂපාතී ප්‍රායෝගික දෘෂ්ටියකින් සංසන්දනයේදී සාපේක්ෂ මහජන ප්‍රසාදයක් සහිත අපේක්ෂකයා වීමත්, ඔහුට සිය පක්ෂය සහ මන්ත්‍රී කණ්ඩායම තුළ නොබිඳුණු විශ්වාසයක් පැවතීමත්, පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් ඇති කණ්ඩායමක් නියෝජනය නොකිරීම නිසා අනිවාර්ය වචනයේ පරිසමාප්ත සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා ඔහුට යෑමට සිදුවීමත් නිසාය. ඒ අනුව මෙකී කාරණා සලකා බලා දේශපාලකයා කෙරෙහි ඇති ජන අප්‍රසාදය අවම කර ඉතා අත්‍යවශ්‍ය ගැටලු කිහිපයවත් කෙටිකාලයකදී විසඳාගත හැකි සැබෑ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට මහජන නියෝජිතයන් ලෙස ඔබේ ඇප කැපවීම සියලුම ජනතාව මේ අවස්ථාවේ අවධානයෙන් යුතුව බලා සිටිනු ඇත.

චතුර ජයම්පති
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ හිටපු කථාකාචාර්ය

advertistmentadvertistment
advertistmentadvertistment