අන්තර්ජාල විභාග මගින් හෑල්ලුවට ලක්වන අපේ රටේ උපාධි

266

සමන්තී වීරසේකර

වර්තමානයේ පවතින කොරෝනා වසංගතය මේ වන විට වසරකට අධික කාලයක් අපේ රටේ ජන ජීවිතය වෙත දරුණු බලපෑම් එල්ල කරමින් පවතිනවා. වසංගත තත්ත්වය දිනෙන් දිනම උත්සන්න වන අතර එහි අවසානයක් පේනතෙක් මානයක නොමැත. මෙහිදී තදබල බලපෑම එල්ල වී ඇත්තේ රටේ ආර්ථිකයට පමණක් නොවේ. රටේ අධ්‍යාපන අංශයට ද එය එල්ලකොට ඇත්තේ ප‍්‍රබල ප‍්‍රහාරයකි. පාසල් දරුවන් සහ උසස් අධ්‍යාපනය ලබන සියලූම දෙනාට දැනට වසරකට අධික කාලයක් සිය අධ්‍යාපනය අඛණ්ඩව කරගෙන යෑමට නොහැකිව ඇත. මේ පිළිබඳව ඉදිරි වසර කිහිපය සඳහා අධ්‍යාපනය ලබා දීමේ විකල්ප ක‍්‍රමවේදයන් කෙරෙහි අවධානය යොමුකොට ඒ සඳහා පාසල්වලට සහ උසස් අධ්‍යාපන ආයතනවලට සාර්ථක ක‍්‍රමවේදයක අදාළ කරගෙන ක‍්‍රියාත්මක කිරීමේ වගකීම රජය විසින් මේ දක්වා ඉටු කොට නොමැත. මේ නිසා විවිධ අධ්‍යාපන ආයතන තම තමන්ට රිසි පරිදි සිය පාඨමාලාවන් වෙනස් කොට ඇත. නිසි

මාර්ගෝපදේශනයක් නොමැති නිසා විවිධ පාසල් එක වසරේ සිටම 13 වසර දක්වා සියලූම පාසල් දරුවන්ට තමන්ට රිසි පරිදි මාර්ගගත අධ්‍යාපනය ලබා දෙන්නේ එය දෙමාපියන්ට සහ දරුවන්ට මහත් මානසික පීඩාවක් ගෙන දෙමිනි. පස්වන ශ්‍රේණියෙන් පහළ දරුවන්ට පවා උදෑසන හයේ සිට රාත‍්‍රී 10.00 දක්වා විවිධ කාල පරාසයන් තුළ මෙම පන්ති පවත්වන ආකාරය දැකගත හැක. ඒ අතරතුර එම ගුරුවරු සිය පාසලේ පන්තිය උදෑසන 8.00ට පෙර හෝ සවස හයෙන් පසුව පවත්වා, පාසලට නියමිත කාලය තුළ පෞද්ගලික අධ්‍යාපනය ලබාදෙන බව දක්නට ලැබේ. පැය ගාණක් අඛණ්ඩව දුරකථන තිරයක් මතට දෑස යොමු කර සිටීම මගින් දෑස්වල පෙනීම අඩාල වන බවත්, විකිරණ හේතුවෙන් මානසික රෝග, කලබලකාරී ගති ආදිය ඇතිවිය හැකි බවත්, ව්‍යායාම නොමැති වීම හේතුවෙන් සහ බොහෝ කාලයක් ඉඳගෙන සිටීම තුළ ස්ථූලතාවය සහ වෙනත් සංකීර්ණ රෝග තත්ත්වයන්වලට දරුවන් ගොදුරු වන බව වෛද්‍යවරු පවසති. එසේම දරුවන් කිහිපදෙනකු සිටින නිවෙස්වලට එකම වෙලාවේ පන්ති කිහිපයක් පවත්වන විට ඒ හා සම්බන්ධ වීමට දුරකථන කිහිපයක් සහ අන්තර්ජාල සබඳතා අවශ්‍ය වේ. සමහර ප‍්‍රදේශවල අන්තර්ජාල පහසුකම් නොමැති බව සියලූ දෙනාම දන්නා කරුණකි. එම නිසා රූපවාහිනි සහ ගුවන් විදුලි මාධ්‍ය භාවිතාව මගින් සහ අවශ්‍ය නම් අධ්‍යාපන අමාත්‍යාංශය මාර්ගෝපදේශකත්වය යටතේ ක‍්‍රමවත්ව පාසල් දරුවන්ට විෂය ඉගැන්වීම සඳහා ක‍්‍රමවේදයක් සැකසීම ඉතා ඉක්මනින් කළ යුතුව ඇත.

උසස් අධ්‍යාපනය ලබන සිසුන්ගේ උපාධිය ලබා ගැනීම සඳහා යන කාලය දීර්ඝ වීම පිළිබඳව ගැටලූව පිළිබඳ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ප‍්‍රමුඛත්වයේ ලා විසඳිය යුතු ගැටලූවක් බවට පත් වෙමින් පවතී. අපේ රටේ බොහෝ දෙනා උසස් අධ්‍යාපනය හදාරන්නේ උපාධියක් ලබා ඒ සුදුසුකම මත රැුකියාවක නිරතවීම සඳහායි. එම නිසා ඔවුන් හැකි ඉක්මනින් සිය උපාධිය අවසන් කරන අපේක්ෂාවෙන් පසු වේ.

අපොස උසස් පෙළ විභාගයෙන් ඉහළම සුදුසුකම් ලබා උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුළත් වන ශිෂ්‍යයන් වසර තුනක් හෝ හතරක් එහි අධ්‍යාපනය ලබන්නේ, එමගින් තම අනාගත ජීවිතයේ පදනම සකසා ගැනීමේ පරමාර්ථයෙනි. විවිධ උසස් අධ්‍යාපන ආයතන මේ වන විට සිය ආයතනය මගින් අධ්‍යාපනය ලබාදීම සඳහා මාර්ගගත ක‍්‍රමවේදයන්වලට යොමුව සිටින බව දක්නට ඇත. අධ්‍යාපනයට අවශ්‍ය දේශන මාර්ගගත ක‍්‍රමවේදයන් ඔස්සේ ලබාදීමේ කිසිදු ගැටලූවක් නැත. නමුත් ඔවුන්ට උපාධිය ලබා දීමේදී ඔවුන්ගේ නිසි දැනුම පරීක්ෂා කර ගැනීම සඳහා වන විභාගයන් ද ඔන්ලයින් ක‍්‍රමවේදය ඔස්සේ පැවැත්වීමට එම ආයතන කටයුතු යොදා තිබීම තදබල ගැටලූ ඇති කරන්නකි. උපාධිධාරියකු යනු යම් විෂයක් පිළිබඳව නිපුන දැනුමක් ඇති අයෙකි. මෙතෙක් කල් සිදු වූයේ එම විෂය සඳහා අදාළ නිපුණතා මට්ටමට සිසුවා පැමිණ ඇති බවට අදාළ උසස් අධ්‍යාපන ආයතනය මගින් සනාථ කරගත් පසුව පමණක් උපාධිය ලබා දීමයි. එමගින් අදාළ උසස් අධ්‍යාපන ආයතනය මගින් පිරිනමන උපාධියේ ගුණාත්මකභාවය අඛණ්ඩව පවත්වාගෙන යෑමට හැකියාව ලැබී තිබිණි. විවිධ විදෙස් රටවල්වල උසස් අධ්‍යාපන ආයතනවලට අනුබද්ධව ලබා දෙන උපාධි අපේ රටේ ද නොයෙකුත් උසස් අධ්‍යාපන ආයතනවලින් ලබාගත හැක. නමුත් ඒවා සියල්ල අප රටේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව මඟින් පිළිගනු නොලබයි. අධ්‍යාපන ආයතනයේ ප‍්‍රමිතිය සහ උපාධිය ලබා දීමේදී නිපුණතාව ලබා දෙන විෂය ක්ෂේත‍්‍රය, විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සුදුසුකම්, විෂය නිර්දේශය, විෂය ඉගෙන ගැනීමට ශිෂ්‍යයා වැය කළයුතු කාලය, දේශන පවත්වන කාලය, විභාග පැවැත්වෙන ක‍්‍රමවේද ආදී සියල්ල මෙම පිළිගැනීම ලබා දීම සඳහා නිර්ණායක වශයෙන් භාවිතා කරනු ලබයි. මේවායේ යම් වෙනසක් සිදුකරන්නේ නම් ඒ සඳහා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම පූර්ව අනුමැතිය ලබා ගත යුතුව ඇත. එසේම යම්කිසි විශ්වවිද්‍යාලයක් මඟින් ලබාදෙන උපාධියක් විදෙස් රටවල්වල උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමේදී හෝ රැුකියාවක් කිරීමේ දී එයට පිළිගැනීමක් ලැබෙන්නේ අදාළ ප‍්‍රමිතිය පවත්වා ගතහොත් පමණි. නමුත් වර්තමානයේ සිදුව ඇත්තේ මෙම උසස් අධ්‍යාපන ආයතන විසින් තමන්ට රිසි සේ ඊනියා විභාග මාර්ගගත ක‍්‍රමවේදයට පවත්වන බව පවසමින් එම සිසුන් එයට යොමුකර උපාධිය ලබා දීමයි. මෙහිදී අදාළ ප‍්‍රශ්න පත‍්‍රය අන්තර්ජාලය ඔස්සේ එකම වෙලාවකදී සිසුන් සියලූ දෙනාට ලබා දෙන අතර නියමිත කාලය තුළ එයට පිළිතුරු සපයා තවත් නියමිත කාලයක් තුළ එය අන්තර්ජාලය ඔස්සේ අදාළ උසස් අධ්‍යාපන ආයතනය වෙත යුතුවේ. මෑත කාලයේ දී එක්තරා විශ්වවිද්‍යාලයක් මඟින් එක් පාඨමාලාවක උපාධිය ලබාදීම සඳහා අවසන් විභාගයේ ප‍්‍රශ්න පත‍්‍රය අන්තර්ජාලය ඔස්සේ ලබා දී පැය තුනක් තුළ පිළිතුරු සපයා තවත් පැය දෙකක් තුළ අන්තර්ජාලය ඔස්සේ සිය ආයතනයේ නියමිත වෙබ් අඩවිය වෙත එවන ලෙස දක්වා ඇත. මෙහිදී බොහෝ සිසුන් වෙනුවට පිළිතුරු ලියා ඇත්තේ එම විෂය පිළිබඳ නිපුන වෙනත් පුද්ගලයන් විසින් ආරංචි මාර්ගවලින් පවසයි. ඇත්තෙන්ම සිසුවාගේ දැනුම ගැනීම මෙවන් ආකාරයකින් සිදුකිරීම විහිළු සහගතයි. විශ්වවිද්‍යාලයකින් සාමාන්‍ය අන්දමින් විභාග පැවැත්වීමේ දී සිසුවාගේ දැනුම නිසි පරිදි යම් සාධාරණ ක‍්‍රමයකට විදියකට ඇගැයීම සිදුකරනු ලබයි. නමුත් මාර්ගගත ක‍්‍රමවේදයේ දී උත්තර ලියන්නේ කවුරුන් ද? නොඑසේනම් කී දෙනකුගේ සහයෝගයෙන් ද යන්න සහතික කළ නොහැක. ඒ අයුරින් ගත්කල අදාළ විෂය පිළිබඳ කිසිදු නිපුනතාවයකින් තොරව නියමිත වසර ගණනින් පසුව සියලූම සිසුන්ට උපාධි සහතිකය ලබා ගැනීමේ හැකියාව ඇති බව පෙනී යයි. එවන් සහතික පමණක් ඇති උපාධිධාරීන් එම සහතිකය මත රැුකියාවල්වලට යොමු වුවහොත් අපේ රට ඉමහත් ආගාධයකට යෑම වැළැක්විය නොහැක. එසේම අපේ රටේ පිළිගත් උසස් අධ්‍යාපන ආයතන වෙත වෙනත් ලෝකයේ බොහෝ රටවල් ලබා දී ඇති පිළිගැනීම නැතිව යනු ඇත.

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයෙන් ලබාගන්නා ඉසෙඞ් අගය මත පදනම්ව උසස් අධ්‍යාපන ආයතන වෙත බඳවාගෙන වසර තුනක් හෝ හතරක් එහි පූර්ණකාලීන අධ්‍යාපනය ලබන සිසුන් වෙත හැකි පමණ ඉක්මනින් අධ්‍යයන කටයුතු අවසන් කොට නිසි පරිදි විභාග තබා නියමිත උපාධිය ලබාදීම අත්‍යවශ්‍ය වුවත්, ඒ සඳහා මාර්ගගත ක‍්‍රමයට නිපුණතාව මැනීම කිසිසේත් සුදුසු නොවන බව අවධාරණය කළ යුතුය.

රැකියාව කරන අතරතුර උපාධිය ලබාගැනීම සඳහා ඇති විවෘත විශ්වවිද්‍යාලය වැනි ආයතනවලද මේ වන විට මාර්ගගත ක‍්‍රමවේදය අනුව විභාග පවත්වා උපාධිය ලබා දීමේ සූදානමක් ඇති බවට කරුණු අනාවරණය වේ. ඉසෙඞ් අගය මත පදනම් නොවී උසස් පෙළ සාමාන්‍ය සාමාර්ථ මත හෝ සාමාන්‍ය පෙළ සහිතව පදනම් පාඨමාලාව හදාරා ඉන් අනතුරුව උපාධි පාඨමාලාව නිම කර උපාධි ලබාදීම මෙම ආයතන මගින් සිදු කරයි. විශේෂයෙන් විවෘත විශ්වවිද්‍යාලය ලබාදෙන උපාධිය ගුණාත්මක බවින් ඉතා ඉහළ බවට පිළිගැනීමක් පවතී. රැුකියා කරන පුද්ගලයන් ඉලක්ක කොට පිහිටුවා ඇති මෙම අර්ධකාලීන උපාධි පාඨමාලාවන් සඳහා සිසුන් විසින් තැබිය යුතු බර හෙවත් ‘‘ක්‍රෙඩිට්” ප‍්‍රමාණය විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත කොට ඇත. එනම් එම පාඨමාලාවන් අධ්‍යයනය කිරීම සඳහා සිසුන් විසින් වැය කළ යුතු කාලය සහ කැපවීම එමගින් දක්වා ඇත. විවෘත විශ්වවිද්‍යාලයේ දේශන සඳහා සහභාගි වීම අනිවාර්ය නොවේ. මෙවන් පසුබිමක් සහිත මෙවන් ආයතන, කඩිමුඩියේ අන්තර්ජාලය භාවිතා කොට විභාග පවත්වා උපාධි ලබා දීමට කටයුතු කිරීම විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ ඉක්මන් සහ හදිසි අවධානය යොමු කළ යුතු කරුණකි. එම ක‍්‍රමවේදයට ඉඩ දුනහොත්, ප‍්‍රවේශ විභාගයෙන් සමත් සියලූම දෙනාට කිසිදු දිනයක කිසිදු දේශනයකට සහභාගි නොවී කිසිදු අඛණ්ඩ ඇගයීම් පරීක්ෂණයකට හෝ අවසන් විභාගයට තමන් පෞද්ගලිකව පෙනී නොසිට වෙනත් පුද්ගලයන් යොදා උපාධි සහතිකය ලබා ගැනීමට හැකියාව පවතී. අනෙක් අතට වෛද්‍ය, ඉංජිනේරු, කෘෂිකර්ම වැනි පීඨවල සිසුන්ට ප‍්‍රායෝගික පරීක්ෂණ නොමැතිව උපාධිය ලබා දීම කිසිසේත් සිදුකළ නොහැකි බව පැහැදිලිය. එවිට වර්තමාන වසංගතය හේතුවෙන් එම සිසුන්ට පමණක් විභාග පමාවීම සාධාරණීකරණය කළ නොහැක.

වසංගත තත්ත්වය නිසා මුළු රටම අඛණ්ඩව වසා දැමීම කිසිසේත් සිදු නොවන නිසා විශ්වවිද්‍යාලවල විභාග නිසි පරිදි පැවැත්වීමට දින කිහිපයක් සොයා ගැනීමට නොහැකි වන්නේ නැත. ඒ අතරතුර ඉදිරියේදී අන්තර්ජාලය භාවිතා කරමින් විභාග පැවැත්වීම සිදු කරන්නේ නම් ඊට සුදුසු වන පරිදි පාඨමාලාව සංස්කරණය කොට, අදාළ ශිෂ්‍යයාම පමණක් විභාගයට පෙනී සිටීම සහතික කර ගැනීමටත් විභාග වංචා සිදු කිරීම වැළැක්වීමටත් විශ්වවිද්‍යාල කොමිසමේ අනුමැතියට යටත්ව සිදුකිරීම අවශ්‍ය වේ.

විශේෂයෙන්ම වෘත්තීන් අරමුණු කොටගත් දැඩි තරගකාරී නීතිවේදී උපාධිය වැනි උපාධි ලබා දීමේදී, මෙවන් මාර්ගගත ක‍්‍රමවේදයන් ඔස්සේ ලබාගන්නා උපාධීන් පිළිගැනීමට ලක් කරනවාද යන්න නීති අධ්‍යාපන සභාව, නීති විද්‍යාලය වැනි ආයතන මෙන්ම එම උපාධි සහතිකය මත පශ්චාත් උපාධි අධ්‍යාපනය ලැබීමට එම උපාධි සහතික පිළිගන්නා ලබන ආයතන විසින් දැඩිව සලකා බැලිය යුතු වන්නේ කවර තත්ත්වයක් යටතේ වුව ද උපාධිවල ගුණාත්මකභාවය සුරැුකීම අත්‍යවශ්‍ය වන බැවිනි.

රටම වෙලාගෙන ඇති කොරෝනා වසංගතයට මුවා වී, සමහර උසස් අධ්‍යාපන ආයතන මගින් නිසි ප‍්‍රමිතියකින් තොර උපාධි සහතික ධාරීන් බිහි කිරීම වැළැක්වීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම සතු ජාතික වගකීම මෙහිලා අවධාරණය කළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment