කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට විරුද්ධව අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලය විසින් බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණය අවට මාර්ගයන්හි පැවැත්වු උද්ඝෝෂණයකදී එය පාලනය කිරීමට පොලිස් කණ්ඩායමක් භාරව රාජකාරි සඳහා යොදවා සිටි මහරගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එච්. ජනකාන්ත මහතාට එම ස්ථානයේදී සිදුවූ අනතුරකින් වම් අතෙහි ඇඟිලි දෙකක් අහිමිවී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායම විරෝධතාකරුවන් පාර්ලිමේන්තු සංකීර්ණ මාර්ගයට ඇතුළුවීම වැළැක්වීම සඳහා යොදා තිබූ මාර්ග බාධක අසල සිටියදී විරෝධතාකරුවන් විසින් එම විශාල යකඩ ගේට්ටු තල්ලූ කිරීමේ දී පෙරළුණු යකඩ ගේට්ටුවකට ස්ථානාධිපතිවරයාගේ අත අසුවී මෙම අනතුර සිදුවී ඇති බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.
අනතුරෙන් තුවාල ලැබූ පොලිස් ස්ථානාධිපතිවරයා ප‍්‍රතිකාර සඳහා තලවතුගොඩ පිහිටි පුද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවත් වම් අතෙහි ඇඟිලිවලට සිදුවී ඇති බරපතළ තුවාල හේතුවෙන් සිදුකළ සැත්කමකින් වම් අතේ ඇඟිලි දෙකක් ඉවත් කිරීමට සිදුව ඇති බවත් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.
අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් සීසීටීවී කැමරා පද්ධතිය ඔස්සේ නිරීක්ෂණ කර වාර්තා ලබා ගනිමින් පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.
පොලිස් ඇමැති ස්ථානාධිපති බැලීමට යයි

තම රාජකාරිය නිසි පරිදි ඉටුකිරීමට ගොස් අනතුරට පත් වූ එම නිලධාරියාගේ සුවදුක් විමසා බැලීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ඔහු ප‍්‍රතිකාර ලබන රෝහල වෙත ගිය අතර රාජකාරිය නිසි පරිදි ඉටුකිරීම ගැන ප‍්‍රශංසාවද පුද කළේය.
එස්. ඞී. අබේසිංහ – මහරගම