අන්තරේ කැඳවුම්කරු ඇතුළු 10 දෙනෙක් අත්අඩංගුවට

74

කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැති විරෝධතාවයක් අතරතුර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු දසදෙනෙක් ඊයේ (10 වැනිදා) පස්වරුවේ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට එරෙහිව සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට එරෙහිව මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.

එම ස්ථානයට මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියකු පැමිණ තිබූ අතර විරෝධතාකරුවන්ට විසිරෙන ලෙසත් මැතිවරණ සමයේ විරෝධතා, පෙළපාලි සඳහා කිසිදු ඉඩක් නොමැති බවත් එම නිලධාරියා පැවසීය.

කෙසේ වෙතත් විරෝධතාකරුවන් පාගමන යෑමට සැරසීමත් සමග අන්තරේ කැඳවුම්කරු පොලිස් අත්අඩංගුවට ගැනුණි.

පසුව පොලිසිය විසින් විරෝධතාව විසුරුවා හැරීමට කටයුතු කිරීමේදී තවත් 9දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

මේ සමග කොටුව දුම්රිය ස්ථානය අසල උණුසුම් විය. මේ සමගම වාහන ගමනාගමනයට ද බාධා එල්ල විය. තත්ත්වය මැඩ පැවැත්වීමට පොලිස් කැරලි මර්දන බළකාය ද කැඳවා තිබිණි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment