අන්තරේ විරෝධතාව ජ’පුරේදීම විසුරුවයි

353

‘අයිඑම්එෆ් කොන්දේසිවලට අධ්‍යාපනය, සෞඛ්‍ය විකුණන ජන අයිතීන් කොල්ලකන රනිල් රාජපක්‍ෂ ජුන්ටාව පන්නමු’ යන මැයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මගින් සංවිධානය කරන ලද විරෝධතා පා ගමනට ඊයේ (07 දා) සවස 4.00 ට පමණ පොලිසිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආසන්නයේදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් සමග විජේරාම ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් හට ගැනුණි.

අවස්ථා තුනකදී කඳුළු ගෑස් ප්‍රහාර එල්ල විය. මෙම කඳුළු ගෑස් ප්‍රහාර හමුවේ විශ්වවිද්‍යාලය ආසන්නයේ පිහිටි නිවාසවල නිවැසියෝ වෙළෙඳසැල් හිමියන්, වාහනවල රියදුරන් දැඩි අපහසුතාවට පත්වූහ.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා විජේරාම මංන්සන්දිය අතර ඇති සුනේත්‍රාදේවි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ඉදිරිපිට පොලිසියේ නිලධාරීහු 200 කට අධික පිරිසක් ජල ප්‍රහාරක රථ 2 ක් සමග රැඳී සිටියහ.

අන්තරේ විරෝධතාව ජ'පුරේදීම විසුරුවයි

මෙම විරෝධතා පා ගමන ඊයේ (07දා) සවස 3.45ට පමණ විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ආරම්භ විය. විශ්වවිද්‍යාල සිසු සිසුවියෝ 2000 කට අධික පිරිසක් මේ සඳහා සහභාගි වූහ.

ජීවන බරට අනුව මහපොළ ශිෂ්‍යාධාර වහා ඉහළ දමනු, ප්‍රමාද කළ මහපොළ ශිෂ්‍යාධාර වාරික වහා ලබාදෙනු, සිරගත කර මාස 5 ඉක්මවයි කැලුම් මුදන්නායක, දිල්ෂාන් හර්ෂණ වහා නිදහස් කරනු, ඉගෙන ගන්න ඉඩ දියව්, කෑම මිල අධ්‍යාපන වියදම් දරන්න බෑ, මිල ගණන් වහා පහත හෙළනු යන සටන් පාඨ පෙරටුකරගෙන ඔවුහු විරෝධතා පා ගමනේ නිරත වූහ.

විශ්වවිද්‍යාල සිසුහු විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිට විජේරාම දෙසට පා ගමනින් එන්නට වූහ. ඒ එන අතරතුර පොලිසිය එක පෙළට වැටක් මෙන් එකට රැඳී සිටියහ.

සිසුන් පොලිසිය ආසන්නයට පැමිණ විරෝධය පාන්නට වීමත් සමග පොලිසිය ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන්නට වූහ. විශ්වවිද්‍යාල සිසුන් අතුරු මාර්ගවලින් විශ්වවිද්‍යාලය දෙසට දිවයන්නට වූහ. අනතුරුව පොලිසිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලට ගොස් මඟ අහුරාගෙන සිටියහ.

විශ්වවිද්‍යාල සිසුන් පොලිසියට හූ කියමින් සිය විරෝධය පාන්නට වූහ. ඒ සමගම නැවත වතාවක් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන්නට විය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නිසල දමිත් මෙසේ පැවැසීය.

අපි සාමකාමී විරෝධතාවයක නිරත වෙද්දී පොලිසිය ජල ප්‍රහාර කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. ඒ විතරක් නෙවෙයි කඳුළු ගෑස් ප්‍රහාර කැම්පස් එක ඇතුළටත් එල්ල කළා. ඒ තත්ත්වය නින්දිතයි. කැම්පස් එක ඇතුළේ අද විභාගයකුත් පැවැත්වුණා. ඒ විභාගයට ආපු ළමයි වගේම කැම්පස් එක ඇතුළේ පාඩම් කරමින් සිටි ළමයිද කඳුළු ගෑස් ප්‍රහාරයන් නිසා අපහසුතාවයට පත්වුණා. මුළු කැම්පස් එකම කඳුළු ගෑස් දුමෙන් වැහුනා. අන්තරේ විරෝධතාවය කළාට මේකට හැම ළමයම සම්බන්ධ වෙන්නේ නැහැනේ. රටට වෙන්න යන විනාශයටයි විශ්වවිද්‍යාල සිසුන්ට බලපා ඇති ප්‍රශ්න ගැනයි අපි හඬක් නගන්න ආවේ. පොලිසිය එල්ල කරපු කඳුළු ගෑස් ප්‍රහාර නිසා ගෙවල්වල ඉන්න ජනතාවත් අපහසුතාවයට පත්වුණා.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment