අන්තිම නැව

896

නවවැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සැසිවාරය විවෘත කරමින් පවත්වන ලද රාජාසන කතාවේදී සර්වපාක්‍ෂික ආණ්ඩුවක අවශ්‍යතාව පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අවධාරණය කරන ලදී. ජනාධිපතිවරයාගේ කතාව සම්පූර්ණයෙන්ම කැපවී තිබුණේ රටේ ප්‍රගතියට ඉවහල් විය හැකි කාරණා වෙනුවෙනි. මේ කතාවෙන් පැය 24ක් ඇතුළත ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ ඉහළ ගියේය. අපගේ විශ්වාසය අනුව මේ කතාවේ අඩංගු වූ බොහෝ කරුණු අතුරින් වඩාත්ම සංවේදී සහ ඵලදායී යෝජනාව වූයේ සර්ව පාක්‍ෂික ආණ්ඩුව පිළිබඳ කරුණුය. සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් හටගැනීමට යන්නේ යැයි කියන ආරංචිය පමණක්ම ආයෝජකයන්ට ඉතාම වැදගත්ය. සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් මගින් සිදුවන්නේ රටේ දේශපාලනය ගිවිස ගත් කාලයකට ස්ථාවර වීමය. එවැනි පසුබිමක් තුළ ආයෝජකයන්ට මේ රට තුළ මුදල් ආයෝජනය කිරීමටත් ප්‍රතිලාභ අත්කර ගැනීමට හැකිය. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුළ දේශපාලන පක්‍ෂ 15කට වැඩි ප්‍රමාණයක නියෝජිතයෝ සිටිති. ඊට අමතරව එම පක්‍ෂවලින් වෙන්වී වෙනම ස්වාධීන කණ්ඩායම් හදාගෙන සිටින මන්ත්‍රීවරු ද වෙති. මේ සියලු පක්‍ෂ එකතුවී කටයුතු කළ හැකි එකඟත්වයක් ඇති වුණොත් මේ රට සංවර්ධනය කරගැනීම සඳහා අවුරුදු 10කට වැඩි කාලයක් ගතවන්නේ නැත. අපට ඇති ප්‍රමුඛතම ප්‍රශ්නය වන්නේ චීනය සහ ඉන්දියාවේ බලපෑමය. සමහරවිට චීනය අපේ එක කනකින් අදිද්දී ඉන්දියාව තව කනකින් අදී. එවිට රට නමැති දේහයේ ඔළුව විකාර වේ. සමහර විට චීනය අපේ එක කකුලකින් අදින අතර ඉන්දියාව අපේ අනෙක් කකුල අදී. එවිට බැලන්ස් නැතිවීම නිසා ලංකාව නමැති දේහය සම්පූර්ණයෙන්ම බිමට පහත් වේ. ළඟදීම හම්බන්තොට වරායට පැමිණීමට නියමිත චීන නැවද මෙවැනි කනෙන් ඇදීමකි. ලංකාව වැනි, දුක් කරදර මධ්‍යයේ එදා වේල ටුවර් එකක් ගසාගන්නා රටකට හිරිහැර කිරීමෙන් වැළකී සිටීමට බලවත් ජාතීන් වගබලාගත යුතුය. සමහර විට චීන නැව් පිළිබඳව ප්‍රශ්නය දුරදිග ගියොත් ඉන්දියාව සහ චීනය විසින් දෙපැත්තට ඇදීම නිසා අපේ කන් සම්පූර්ණයෙන්ම ගැලවී යෑමට ඉඩ තිබේ.

සාමාන්‍යයෙන් සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවනු ලබන්නේ රටක් ආර්ථික වශයෙන් හෝ යුදමය වශයෙන් නන්නත්තාර වූ විටය. සර්ව පාක්‍ෂික ආණ්ඩුව විවිධ නම්වලින් හඳුන්වනු ලැබේ. සමහරු එයට ජාතික එක්සත් ආණ්ඩුවක් (National Unity Government) යැයි කියති. තවත් සමහරු මෙය හඳුන්වන්නේ සභාග රජයක් (Coalition Government) ලෙසය. සර්ව පාක්‍ෂික ආණ්ඩුව සහ සභාග ආණ්ඩුවක පොඩි වෙනසක් තිබේ. සභාගයකදී ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකක් හෝ තුනක් එකතුවී ආණ්ඩුව පිහිටුවයි. සර්ව පාක්‍ෂික ආණ්ඩුවකදී ආණ්ඩුව පිහිටුවීම සඳහා සියලු දේශපාලන පක්‍ෂ එකතුවෙයි. යුරෝපයේ පිහිටි ආමේනියාව, බෙල්ජියම, බල්ගේරියාව, ක්‍රොඒෂියාව, චෙක් ජනරජය, සයිප්‍රසය, පින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, හංගේරියාව, අයිස්ලන්තය, ඉතාලිය, කොසෝවෝ, ලත්වියා, ලිතුවේනියා, ලක්සම්බර්ග්, මොනාකෝ, මොන්ටිනිග්‍රෝ, නෙදර්ලන්තය, මැසිඩෝනියාව, යන රටවල ඇත්තේ අර්ධ සර්ව පාක්‍ෂික ආණ්ඩුය. මීට අමතරව ඇමරිකා මහද්වීපයේ රටවල් අටක සර්ව පාක්‍ෂික ආණ්ඩු තිබේ. අප්‍රිකා මහද්වීපයේ රටවල් දහතුනක ද ආසියාවේ රටවල් දාහතක ද අර්ධ සර්ව පාක්‍ෂික ආණ්ඩු ඇත. මෙයින් හැඟී යන්නේ ලෝකයේ රටවල්වලින් වැඩි හරියක් පොදු දේශපාලන එකඟත්වයක් යටතේ පාලනය වන බවය. සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පවත්වාගෙන යෑම තාක්‍ෂණික වශයෙන් ඉතා දුෂ්කර වීමට ඉඩ තිබේ. මන්දයත් ඒ ආණ්ඩු තුළ දේශපාලන පක්‍ෂ බහුල වශයෙන් තිබීම සහ එම දේශපාලන පක්‍ෂ විවිධ මත දැරීමය. ඇතැම් සර්ව පාක්‍ෂික ආණ්ඩුවක ධනවාදී පිල මෙන්ම සමාජවාදී පිල ද නියෝජනය කරන දේශපාලන පක්‍ෂ එක කැබිනට් මණ්ඩලයේ ඉඳගෙන වැඩ කරති. ඇතැම් විට අදහස් ගැළපෙන්නේ නැති නිසා ඔවුහු එකිනෙකා ගුටි කෙළගැනීම ද කරති. එහෙත් දවස අවසානයේදී ඒ සියලු පක්‍ෂ බොහෝ දුරට එක තීරණයකට අනුගත වීමට ඉඩ තිබේ. ශ්‍රී ලංකාවේ සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් තැනීමේදී ජනතා විමුක්ති පෙරමුණ ඊට සම්බන්ධ නොවීමට බොහෝ දුරට ඉඩ තිබේ. එයට හේතුව විය හැක්කේ මේ රටේ දේශපාලන ක්‍රමය කෙරෙහි ඔවුන් තුළ ඇති කලකිරීමය. දේශපාලන පක්‍ෂ කෙරෙහි ජවිපෙ සතු එකී කලකිරීම හා සමාන කලකිරීමක් මේ රටේ ජනතාවට ද ඇත. එහෙත් අප හොද්ද හැදිය යුත්තේ තිබෙන තුනපහ වලිනි. බත ඉවිය යුත්තේ තිබෙන සහල්වලිනි. එසේම මේ මොහොතේදී මේ රටට ඉදිරියට යා හැකි වන්නේ තිබෙන දේශපාලන සම්පත් ප්‍රයෝජනයට ගැනීමෙනි. රට ඉදිරියට ගෙන යෑම සඳහා ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් දේශපාලන පක්‍ෂ ආනයනය කර සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් සෑදීමට නොහැක. එබැවින් අප මේ රටේ දේශපාලන පක්‍ෂවලින් මේ තීරණාත්මක අවස්ථාවේදී ඉල්ලා සිටින්නේ සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් සෑදීම සඳහා යම් ප්‍රමාණයකට හෝ නම්‍යශීලී වන ලෙසය.

ශ්‍රී ලංකාව ස්වකීය ආර්ථික ඉතිහාසයේ දරුණුම ඛේදවාචකයට මේ මොහොතේදී මුහුණ දී සිටී. මේ රට ගොඩගැනීම සඳහා මුලින්ම කළ යුත්තේ දේශපාලන ගුටි කෙළි මෙන්ම මහපාරේ තිබෙන ගුටි කෙළිද නිමාවට පත්කිරීමය. ඉන්පසු සුදුසු න්‍යායපත්‍රයක් මත සියලු දෙනා එකතු විය යුතුව තිබේ. මෙහිදී ‘මං ලොක්කා’ යන සංකල්පයෙන් බැහැර වී ‘සුදුසු ලොක්කා’ යටතේ කිසියම් කාලයකට හෝ වැඩ කිරීමට දේශපාලන පක්‍ෂ හිත හදාගත යුතුය. අපට හැඟෙන පරිදි සර්ව පාක්‍ෂික ආණ්ඩුව යනු අප වෙත එවන ලද අන්තිම නැවය. මේ නැවට නැග ගැනීමට බැරි වුවහොත් ආර්ථික මුහුදට ඇදවැටී සමාජ ඛේදවාචකය නමැති මුහුදු පත්ලට කිඳාබැසීමට අපට සිදුවේ. ඒ නිසා නැව කොතරම් කබල් වුණත්, නැව කොතරම් පරණ වුණත් එය රෙපයාර් කරගෙන මුහුදු ගමනේ ඉතිරි ටික සම්පූර්ණ කිරීම මේ රටේ සිටින සියලු දේශපාලන කපිතාන්වරුන්ට භාරය.

advertistmentadvertistment
advertistmentadvertistment