හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඉරානයේදී පසුගිය බදාදා අලුයම 2.00ට පමණ ජීවිතක්ෂයට පත්විය. හමාස් නායකයා නැවතී සිටි උතුරු ටෙහෙරාන්හි ඉරාන හමුදා නිවස්නයේ සිදුවූ පිපිරීමකින් මේ මරණය සිදුවීම ටෙහෙරාන් ආණ්ඩුවට බලවත් නිග්‍රහයක් මෙන්ම ලැජ්ජාවක්ද විය. ගාසා තීරයේ ඉරානය නියෝජනය කරන දේශපාලන නායකයා ඉස්මයිල් හනියේ විය. ඔහු කටාර්හි ජීවත් වූ අතර ඉරානයේ නව ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන්ගේ පදවිප්‍රාප්ත උත්සවයට සහභාගී වීම සඳහා ඉරානයේ අගනුවර වන ටෙහෙරානයට පැමිණීමෙන් පසු ඝාතනයට ලක්විය. හනියේ නවාතැන් ගත් ආගන්තුක නිවස නෙෂාට් නම් ගොඩනැගිල්ලේ කොටසක් බවත් එම ගොඩනැගිල්ල ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ආරක්ෂාව යටතේ තිබුණ ද මේ ඝාතනය සිදුවීම ඉරාන පාලනය දෙදරීමකට ලක් කිරීමක් විය. ඊශ්‍රායල් මොසාඩ් සංවිධානය ඉරාන හමුදාව විනිවිද ගොස් ඇති බව පසුගිය බදාදා සිදුවූ ඝාතනය නිසා වඩා ප්‍රත්‍යක්ෂ විය. මොසාඩ් සංවිධානයට වසරක ඩොලර් බිලියන තුනක් වැය කරන අතර ඔවුන්ගේ සේවක පිරිස හත්දහස ඉක්මවයි.
ඉරාන හමුදාවේ අන්සාර් අල් මහදි විශේෂ ඒකකය ප්‍රභූ ආරක්ෂාව පිළිබඳව වගකියයි. එසේනම් මේ නිවස්නයේ ආරක්ෂාව භාරව තිබුණේ මොවුනටය. ඒ අතර සිටි මොසාඩ් ඔත්තුකරුවෙකු මීට මාස දෙකකට පෙර නෙෂාට් නිවස්නයේ කාමර තුනක බෝම්බ සවිකර තිබේ. පසුගිය මැයි මාසයේ හිටපු ජනපති ඉබ්‍රාහිම් රයිසිගේ අවමඟුලට පැමිණි ඉස්මයිල් හනියේ මේ නිවස්නයේම නැවතුනු නමුත් ඒ අවස්ථාවේ බෝම්බ ක්‍රියාත්මක කර නැත්තේ එදා මෙහි විශාල පිරිසක් නවාතැන් ගෙන සිටි නිසාය. නමුත් බදාදා අලුයම දුරස්ථ පාලකයක් මගින් බෝම්බය පුපුරවා හැරිණි. පිපිරීමෙන් ගොඩනැගිල්ල සෙලවී ඇති බවත් එහි බිත්තියක කොටසක් කඩා වැටී නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබිණි. නෙෂාට් ගොඩනැගිල්ල ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ රහසිගත හමුවීම් පැවැත්වීමට සහ ඉරානයට වැදගත් අමුත්තන්ට නවාතැන් දීමට කලක සිට භාවිතා විය. ඉස්මයිල් හනියේ ඝාතනය වුයේ නෙෂාට් ගොඩනැගිල්ලට එල්ල වූ කෙටිදුර මිසයිලකින් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය නිල නිවේදනයක් නිකුත් කරමින් සෙනසුරාදා පවසා තිබිණි. නමුත් මේ සියල්ල පරස්පර කතාය. මේ ඝාතනය ඇමෙරිකාවේ සහාය ඇතිව ඊශ්‍රායලය විසින් සිදුකර ඇති බවත් එයට පිළිතුරු නිසි වේලාවට නිසි ආකාරයට ලබාදෙන බවත් එම ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය වැඩිදුරටත් සඳහන් කර තිබිණි. නමුත් ඇමරිකාව පවසන්නේ මේ ගැන තමන් කිසිවක් නොදන්නා බවයි. ඊශ්‍රායලය නම් මේ ගැන මුනිවත රකී. එරට හමුදා ප්‍රකාශකයා සඳහන් කර තිබුණේ හමාස් නායකයා ඝාතනය වූ රාත්‍රියේ තම ගුවන් හමුදාව ලෙබනනයේ ඉලක්කයකට පමණක් ප්‍රහාර එල්ල කළ බවත් අන් කිසිම තැනකට ප්‍රහාර එල්ල නොකළ බවයි. මේ අතර නෙෂාට් ආගන්තුක නිවසේ බෝම්බ ඇටවීමේ සිදුවීමට සැකපිට 24 දෙනකුට වැඩි පිරිසක් ඉරාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි එරට මාධ්‍ය කියයි. මේ පිරිසට නෙෂාට් ආගන්තුක නිවසේ කාර්ය මණ්ඩල සාමාජිකයන්, ඉහළ පෙළේ ඉරාන බුද්ධි නිලධාරීන් සහ හමුදා නිලධාරීන් සිටින බව පැවසේ.
ඝාතනය වූ 62 හැවිරිදි හනියේ 1980 අග භාගයේ හමාස් ව්‍යාපාරයේ ප්‍රමුඛ පෙළ සාමාජිකයෙකු විය. ඔහු 2017 මැයි 6 වන දින ඔහු හමාස් දේශපාලන කාර්යාංශයේ ප්‍රධානියා ලෙස තේරී පත් කර තිබිණි. පලස්තීන කැරැල්ල මැඩලීමත් සමඟ 1989 දී ඊශ්‍රායලය විසින් හනියේ වසර තුනක් සිරගත කරනු ලැබීය. ඉන්පසුව 1992 දී ඔහුව හමාස් නායකයින් ගණනාවක් සමඟ ඊශ්‍රායලය සහ ලෙබනනය අතර මිනිසුන් රහිත ප්‍රදේශයකට පිටුවහල් කරන ලදී. අබු අල්-අබ්ද් යන අන්වර්ථ නාමය ඇති ඉස්මයිල් අබ්දෙල් සලාම් හනියේ උපත ලැබුවේ පලස්තීන සරණාගත කඳවුරක ය. ඔහු හමාස් ව්‍යාපාරයේ දේශපාලන කාර්යාංශයේ ප්‍රධානියා වන අතර දසවන පලස්තීන අධිකාරි ආණ්ඩුවේ අගමැති විය. 2018 වසරේදී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව හනියේ ත්‍රස්තවාදියෙකු ලෙස නම් කළේ ය.
පසුගිය වසරේ ඔක්තෝබර් 7 සෙනසුරාදා අලුයම හමාස් සටන්කාමීන් ඊශ්‍රායලය පුදුමයට පත් කළ “ඔපරේෂන් අල්-අක්සා ෆ්ලඩ්” ප්‍රහාරය සංවිධානය කළ සියලු දෙනා ඝාතනය කරන බවට ඊශ්‍රායල ආණ්ඩුව සපත කර තිබූ අතර පසුගිය බදාදා ඒ ඉලක්කයත් සාර්ථක විය. ‘ඉරානයේ බෝම්බ පියා’ යන ගෞරව නාමයෙන් හැඳින්වෙන්නේ මොෂේන් ෆක්රිසාදේය. ඉරාන න්‍යෂ්ටික වැඩසටහනේ පුරෝගාමියා වන්නේ මොහුය. ඉරාන මිසයිල වැඩසටහනට ද ෆක්රිසාදේ සම්බන්ධය. ඇමෙරිකන් සම්බාධක හමුවේ, ඉරානය කොවිඩ් වසංගතයට මුහුණ දෙද්දී, ‘කොවිඩ් 19’ ආසාදිතයන්, පහසුවෙන් සහ ඉක්මණින් හඳුනා ගැනීමට, මිල අඩු කොවිඩ් පරීක්ෂණ කට්ටලයක් නිර්මාණය කර දුන්නේ ද මොහුය.
62 හැවිරිදි මොෂේන් ෆක්රිසාදේ අතිදක්ෂ ඉරාන විද්‍යාඥයෙකි. ඉරානයට සම්පතකි. 2020 නොවැම්බර් මාසයේදී මහමඟදී කුරිරු ලෙස මොෂේන් ෆක්රිසාදේ ඝාතනය කෙරුණි. එය ඉතා හොඳින් සැලසුම් අයුරින් කළ ඝාතනයකි. ෆක්රිසාදේ ඝාතනය කළේ ඊශ්‍රායල මොසාඩ් ඒජන්තවරුන් යැයි ඉරාන රජය චෝදනා කර තිබිණි. මෙම ප්‍රහාරය සඳහා කෘත්‍රිම බුද්ධිය උපයෝගී කරගෙන තිබූ අතර එසේම හමාස් නායකයා ඝාතන බෝම්බයටත් එම බුද්ධිය යොදා ගෙන තිබිණි. ‘ඉරානයේ බෝම්බ පියා’ගේ ඝාතනයෙන් පසුව මොසාඩ් සංවිධානය ඉරානය තුළ සිදුකළ සුවිශේෂම මෙහෙයුම මෙයයි. ඉරානයට නැවත ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ප්‍රථම තම හමුදාව විනිවිද ගොස් සිටින මොසාඩ් ඔත්තුකරුවන් අත්අඩංගුවට ගැනීම අත්‍යවශ්‍ය වී තිබේ. බදාදා ඝාතනයෙන් පැය කිහිපයකට පසු ඊශ්‍රායලයට සෘජු ප්‍රහාරයක් එල්ල කිරීමට ඉරාන උත්තරීතර නායක අලි කමේනිට නියෝග කළත් පළිගැනීමට වඩා තමන් වටා සිටිනද්‍රෝහීන් සොයා ගැනීම ඉස්ලාමික ජනරජයට වඩාත් උවමනාවී තිබේ. නව ජනපති හිටපු හෘද ශල්‍ය වෛද්‍ය මසූද් පෙසෙෂ්කියාන් දැඩි මතධාරියෙකු නොවුවත් මේ අර්බුදයේදී උත්තරීතර නායකගේ මතය ඉක්මවිය නොහැකිය.
ඊශ්‍රායලයේ අභ්‍යන්තර ඔත්තු සේවය වන ෂින් බෙට්, එරට බාහිර ඔත්තු ඒජන්සිය වන මොසාඩ් සහ ඊශ්‍රායල් ආරක්ෂක අංශ සතු සියලු සම්පත් ඒකාබද්ධ කර ගනිමින් දැරූ ප්‍රයත්නයන් තිබියදීත් පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ මාරාන්තික ප්‍රහාරය එල්ලවන තුරු කිසිවකු දැන සිටියේ නැත. එනිසා මොසාඩ් වෙත බොහෝ චෝදනා එල්ල විය. නමුත් දැන් සියලු චෝදනා වලට සාර්ථකව ප්‍රතිචාර ලබා දෙමින් මොසාඩ් මෙහෙයුම් සිදුවෙමින් පවතී.
ඩේවිඩ් ‘ඩැඩී‘ බාර්නියා 2021 ජූනි මාසයේදී නව මොසාඩ් ප්‍රධානියා ලෙස වැඩ භාරගත්තේය. නව මොසාඩ් ප්‍රධානියා තෝරා ගැනීම ඊශ්‍රායල අගමැති කාර්යාලයේ කාර්යයකි. එයට කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව පවා සම්බන්ධ නොවේ. සාම්ප්‍රදායිකව, මොසාඩ් ප්‍රධානියාගේ අනන්‍යතාවය ප්‍රසිද්ධියට පත් නොකළ නමුත් 1996 දී ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ හිටපු නියෝජ්‍ය අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් ඩැනී යාටම් පත් කිරීමත් සමඟ එය වෙනස් විය. මොසාඩ් දැන් නව ප්‍රධානියාගේ නම පත්වූ පසුව නිවේදනය කරනු ලබයි. මෙට්සාඩා ලෙසද හඳුන්වන විශේෂ මෙහෙයුම් අංශය ඉතා සංවේදී ඝාතන, කඩාකප්පල්කාරී ක්‍රියා සහ මනෝවිද්‍යාත්මක යුද මෙහෙයුම් සිදු කරයි. මොසාඩ් සතුව තවත් විශේෂ ඒකක කිහිපයක් ඇත, නමුත් එහි අභ්‍යන්තර ව්‍යුහය පිළිබඳ තොරතුරු බොහෝ දුරට සැඟවී ඇත. එය පලස්තීන සටන්කාමී කණ්ඩායම් තුළ පමණක් නොව, ලෙබනනය, සිරියාව සහ ඉරානය වැනි සතුරු රටවල තොරතුරු සපයන්නන් සහ නියෝජිතයින්ගේ ජාලයක් ඇත. මෙම බුද්ධි ඒජන්සියේ දැවැන්ත ඔත්තු ජාලය ඔවුන්ට සටන්කාමී නායකයින්ගේ ව්‍යාපාර පිළිබඳ සමීප තොරතුරු ලබාදෙන අතර, අවශ්‍ය වූ විට සහ නිශ්චිත ඝාතන ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට හැකියාව ලැබෙයි. එහෙත් ඊශ්‍රායලය සාමාන්‍යයෙන් විදේශයන්හි සිය මෙහෙයුම් පිළිබඳව අදහස් නොදක්වයි.
ඉස්මයිල් හනියේ ඉරානයේදී ඝාතනය වීම පිළිබඳව නොයෙක් පුවත් මැවෙන විට අපට මතක් වන්නේ 2005 දී නිකුත්වූ මියුනිච් චිත්‍රපටයයි. ස්ටීවන් ස්පිල්බර්ග් විසින් නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කරන ලද එය ඔස්කාර් සම්මාන පහක් ජයග්‍රහණය කළ අනගි නිර්මාණයකි. 1972 මියුනිච් හි පැවති ගිම්හාන ඔලිම්පික් උළෙලේදී කළු සැප්තැම්බර් නම් පලස්තීන සටන්කාමී කණ්ඩායමක් විසින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර ඊශ්‍රායල ඔලිම්පික් කණ්ඩායමේ සාමාජිකයින් 11ක් ඝාතනය කෙරිණි. මෙයට එකට එක කිරීම සඳහා මොසාඩ් ඔත්තු සේවය විසින් ඔලිම්පික් කණ්ඩායමේ සමූල ඝාතනයට සම්බන්ධ යැයි කියන පලස්තීනුවන් 11 දෙනකු ඝාතනය කිරීමේ මෙහෙයුමක් සිදු කරන ආකාරය මේ චිත්‍රපටයේ කතාව වෙයි. Operation Wrath of God යනුවෙන් මොසාඩ් සංවිධානය මේ මෙහෙයුම නම් කර තිබූ බවද සඳහන්ව ඇත.
චතුර පමුණුව