අනාගතයට ආයෝජනයක් වූ ආරාධිත තරගාවලිය

253

ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත පන්දුවාර 20-20 තරගාවලියේ අවසාන භාගයද සාර්ථක විණි. හොඳ ආරම්භයක් ලබාගෙන සාර්ථක ගමනක යෙදුණු ආරාධිත තරගාවලියේ අවසානය ද විශිෂ්ට වීම සතුටට කරුණකි.

මුල, මැද, අග හොඳ වූ විට ඉන් එළියට එන්නේ යහපත් ඵලයකි. ආරාධිත 20-20 තරගාවලිය ද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නම් මහ වෘක්‍ෂයෙන් බිහි වූ යහපත් ඵලයක් ලෙස අර්ථ දැක්වුවහොත් එය වැරදි වන්නේ නැත.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නැමැති දැවැන්ත වෘක්‍ෂය පරාජයන් නැමැති පිළිලයන්ගෙන් පීඩා විඳින අවස්ථාවක මෙසේ යහපත් ඵල එළියට ඒම වඩාත් අගය කළ යුතුය. අසීරු ගමනකදී යම්තමින් හෝ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නාමයට හොඳ තරගාවලියක් වූයේ පසුගිය ඉන්දීය ක‍්‍රිකට් තරගාවලිය යි. එය අකලට වැටුණු වැස්සක් මෙන් විණ. පරාජයන්ගෙන් පීඩා විඳිමින් එයින්ම හෙම්බත් වෙමින් සිටි ශ‍්‍රී ලංකාවට සැනසුම් සුසුමක් ඉන් ලැබිණි.

අනාගතයට ආයෝජනයක් වූ ආරාධිත තරගාවලිය

මේ ගත වෙන්නේ එම සැනසුම් සුසුමින් ජීවය ලද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සිය සුපුරුදු තරග රටාව යළි සොයා යන කාලයකි. ඊට නියම අඩිතාලම ආරාධිත 20-20 තරගාවලියෙන් ලැබිණි. දුරදක්නා නුවණින්, කාලයේ තාලයට ගැළපෙන්නට ආරාධිත 20-20 තරගාවලිය සකස් විණි. මුඛ්‍ය අරමුණ එළැඹෙන දකුණු අප‍්‍රිකා තරගාවලිය සහ ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ක‍්‍රීඩකයින් සූදානම් කිරීම වුවත් එහි අතුරු ඵල බොහෝ විය. දේශීය තරගාවලිය ඇනහිට තිබූ, ජාත්‍යන්තර තරගාවලිය දිනෙන් දින කල් යමින් තිබූ අවධියක ඇතැම් ක‍්‍රීඩකයින්ගෙන් ක‍්‍රීඩාව ද ඉවතට යමින් තිබුණු යුගයක ආරාධිත 20-20 තරගාවලිය ඒ සියලූ ප‍්‍රශ්නවලට ලබා දුන් සෑහීමකට පත් විය හැකි පිළිතුරක් ලෙස ගත හැක.

ශ‍්‍රී ලංකා කණ්ඩායම දැනට නියෝජනය කරන ක‍්‍රීඩකයින් මෙන්ම තවමත් ජාතික පිල නියෝජනය කිරීමට වරම් නොලැබූ එහෙත් ඊට අත වනමින් සිටින ක‍්‍රීඩිකයින් මෙන්ම දක්‍ෂතා මද බව හේතුවෙන් කණ්ඩායමට යළි එක් වීමට අවස්ථාව නොලැබුණු ජාතික කණ්ඩායම නියෝජනය කළ ක‍්‍රීඩකයෝද ඊට ආරාධනා ලැබූහ.

මේ සංකල්පය මගින් ගොඩනැ`ගුණු ආරාධිත තරගාවලියේ අවසන් මහ තරගය පසුගිය (24) වැනිදාට යෙදී තිබුණි. අවසන් මහ තරගය සඳහා කලින්ම සිය ස්ථානය වෙන්කර ගැනීමට ගේ‍්‍රස් කණ්ඩායම සමත් විය. ඒ ශ‍්‍රී ලංකා පන්දුවාර 20-20 සහ එක්දින තරගවල වත්මන් නායක දසුන් ශානක විසින් නායකත්වය ලබා දෙන කණ්ඩායමටයි. දසුන්ගේ කණ්ඩායම තරගාවලිය තුළදී එක් තරගයක්වත් පරාජය නොවී ශූරයන් බවට පත්විය. එහිදී දසුන්ගේ නායකත්වය මෙන්ම පිතිකරුවන්ද සුවිශේෂී විය. කණ්ඩායමේ ඉනිම මැද භාගයේ සිට අවසානය දක්වා පිතිහරඹයේ යෙදෙමින් කණ්ඩායමට ජයග‍්‍රහණය කරා රැගෙන යෑමට දසුන් දක්වන දක්‍ෂතා අගය කළ යුතු මට්ටමේ පවතී. පිතිකරුවන් අතරත් තරග 6 ක් අවසානයේ වැඩිම ලකුණු ලාභියා වූයේ දසුන්ය. ඒ ලකුණු 285 කි. ඔහුගේ ලකුණු රැස් කිරීමේ ප‍්‍රහාරාත්මක වේගය සියයට 180 ක් ඉක්මවා තිබුණේය. අනතුරුව කමිඳු මෙන්ඩිස් තරග 4 තුළදී ලකුණු
193 ක් රැස් කර තිබුණි. ඉනිමක සාමාන්‍ය අගය 96.50 ක් ලෙස සටහන් වී තිබුණි.

කිහිපවතාවක් ජාතික කණ්ඩායම නියෝජනය කළද කමිඳුගේ දක්‍ෂතා වඩාත් ඔප් නැංවුණේ මේ තරගාවලියේදීය. තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලාභීන් අතරට පත්ව සිටි ක‍්‍රීඩිකයින් අතරින් හොඳම ප‍්‍රහාරත්මක වේගයක් රඳවා ගැනීමට අශේන් බණ්ඩාර සමත් විය. අශේන් තමන්ට වේගයෙන් ලකුණු රැස් කළ හැකි බව සිය පිතිහරඹයෙන් පෙන්වා දුන්නා පමණක් නොව තමා හොඳින් තරග දිනවන්නකු බව ද පෙන්වා දුන්නේය.

තිසර පෙරේරා සමු ගැන්මෙන් පසු එවැන්නෙකුගේ අඩුව ශ‍්‍රී ලංකා පිලට කලක සිට දැනෙමින් පවතී. ඊට හොඳම පිළිතුරක් ලෙස තමන්වද යොදා ගත හැකි බව ධනංජය ලක්‍ෂාන් සහ ලහිරු මධුසංඛ යන ක‍්‍රීඩකයන්් තේරුම් කමිටුවට හඬ හා කීමට මේ තරගාවලියේදී සමත් වූහ. හතරේ සීමාවෙන් ඉහළට පන්දුව පහසුවෙන් යොමු කිරීමට සමත් ලහිරු මධුසංඛ සහ අශේන් බණ්ඩාර වැනි ක‍්‍රීඩකයින් සීමිත පන්දුවාර ක‍්‍රිකට් තරගවලට අවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නැත. පැතුම් නිශ්ශංක, අවිශ්ක ප‍්‍රනාන්දු සහ ඔෂධ ප‍්‍රනාන්දු යන ක‍්‍රීඩකයන් ද තරගාවලිය තුළ මෙතෙක් ප‍්‍රමාණවත් දක්‍ෂතා ප‍්‍රදර්ශනයකර ඇති අතර කමිල් මිෂාරද අනාගත බලාපොරොත්තුවක් ලෙස තබා ගත හැකි ක‍්‍රීඩකයෙකි. ශ‍්‍රී ලංකා පන්දුවාර 20-20 ක‍්‍රිකට් නායකයෙකු ලෙස ද කටයුතු කළ එහෙත් වත්මන් සීමිත පන්දුවාර කණ්ඩායමට එක් කර ගෙන නොමැති දිනේෂ් චන්දිමාල්ද සිය විශ්වාසය තහවුරුකර ගැනීමට මේ තරගාවලියේදී සමත් වූයේය. පළමු තරග දෙකේ දී අසාර්ථක වුවත් ඉතිරි තරග දෙකේදී අර්ධ ශතක ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග‍්‍රහණය කර ගෙන යෑමට චන්දිමාල් සමත් වූවේය. රෙඞ්ස් කණ්ඩායම අවසන් තරගයට පිවිසියේ චන්දිමාල්ගේ විශිෂ්ට දක්‍ෂතා නිසාවෙනි. සධීර සමරවික‍්‍රම ද යම්තාක් දුරට සිය දක්‍ෂතා යළිත් පෙන් වූ අතර තේරුම් කමිටුව කලක් අමතක කර සිටි අසේල ගුණරත්න පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද දස්කම් දැක්වීමට සමත් වූයේය.

තරගාවලියේ වැඩිම කඩුලූ ලාභීන් අතර ඇත්තේද මනා සංකලනයකි. එහි ඉහළින්ම සිටියේ කලක් ජාතික කණ්ඩායම නියෝජනය කළ එහෙත් මෑත භාගයේ දී ඊට යළි සුදුසුකම් කීමට වරම් නොලත් සීක්කුගේ ප‍්‍රසන්නය. දෙවැනියට නුවන් ප‍්‍රදීප්ය. අනතුරුව සිටීයේ මෙතෙක් ජාතික කණ්ඩායමට වරම් නොලත් හිමේෂ් රාමනායක සහ පුලින තරංගයි. සීක්කුගේ තරග 6 ක් තුළ දී කඩුලූ 7 ක් දවා ගන්නා අතර හිමේෂ් තරග 4 කදී කඩුලූ 7 ක් දවා ගනී. එක් තරගයක් ජයග‍්‍රහණය කරා ගෙන ගිය හිමේෂ් රාමනායක එහිදී කඩුලූ 4 ක් දවා ගත්තේය. සීක්කුගේ ප‍්‍රසන්නගේ පන්දු යැවීමේ තවත් ප‍්‍රබල කරුණක් වන්නේ එක් පන්දුවාරයකට ලකුණු ලබා දීමේ සාමාන්‍ය අගය 6.41 ක රඳවා ගැනීමයි. එය පන්දුවාර 20-20 තරගවල වඩාත් අවධානය යොමු කළ යුතු කරුණකි.

නුවන් ප‍්‍රදීප් කඩුලූ 7 ක් සහ චාමික කරුණාරත්න ද කඩුලූ 5ක් දවා ගත් අතර අශේන් ඩැනියෙල්, මෙහිදී විශේෂයෙන් සිහි කළ යුතු ක‍්‍රීඩකයෙකි. ඔහු තරග දෙකකදී කඩුලූ 4 ක් දවා ගන්නේ කඩුලූ දවා ගැනීමේ හොඳම සාමාර්ථයක් ප‍්‍රදර්ශනය කරමිනි. එසේම මතීෂ තීක්‍ෂණ අනාගතයේ බලාපොරොත්තුවකි. මේ ආකාරයට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට වඩාත් හොඳ ප‍්‍රතිඵල මේ තරගාවලියේදී ලැබිණි. එළැඹෙන ලෝක කුසලතා පන්දුවාර 20-20 තරගාවලියේ බොහෝ තරග රාත‍්‍රී තරග ලෙස පැවැත්වෙන අතර ශ‍්‍රී ලංකාවේ ඇතැම් ක‍්‍රීඩකයින් රාත‍්‍රී තරග රටාවට හුරු වීම ද මේ තරගාවලියේදී සිදු විය. විශේෂයෙන් ඇතැම් නවීන ක‍්‍රීඩිකයින්ට එම අත්දැකීම් මීට පෙර නොලැබී තිබිණි. තරගකාරී ක‍්‍රීඩා රටාවට ඔවුන් අනුගත වීම මේ තරගාවලියේදී සිදු විය. එමෙන්ම මේ ක‍්‍රීඩකයින් සියලූදෙනා එකතුකර 30 දෙනෙකුගෙන් පමණ සමන්විත ක‍්‍රීඩක ලැයිස්තුවක් ගොඩනැගිණි. එය මේ තරගාවලියේ දක්‍ෂතා දැක්වූවන්ට කරන සාධාරණයකි. එසේම තේරීම් කමිටුවේ කාර්යය වඩාත් පහසු කිරීමටත්, හොඳ ක‍්‍රීඩකයන් සොයා ගැනීමටත් ආරාධිත තරගාවලිය රුකුලක් විය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment