අනාගතය ජයගන්න විදුලි දැනුමෙන් සන්නද්ධ වෙමු

65

හෙට දිනනා දූ දරුවන් විදුලිය දැනුමෙන් සවිබල ගන්වමු…
උපාලි පදනමේ සමාජ සත්කාර්යයකි

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ලෙස විදුලිය ජනනය කරනුයේ ජල විදුලි බලය මගිනි. ඒ හැරුණු විට ද්විතීයික වශයෙන් රටෙහි ඉල්ලුම වැඩිවීමේදී විදුලි සැපයුම ලබාදෙනුයේ තාප එන්ජින් මගින් වන අතර එම තාප එන්ජින් වලට ප්‍රධාන වශයෙන් තාපය සපයන්නේ ෆොසිල ඉන්ධන දහනය මගින්ය. එමෙන්ම ඛනිජ තෙල්, හිරු එළිය, ස්වභාවික වායු සහ සුළං ආදී ප්‍රභවයන් මගින් විදුලිබලාගාර තුළදී විදුලි බලය නිපදවනු ලබයි.

විදුලිය නිපදවීමේ සුවිශේෂී ක්‍රියාවලිය තුළ එම නිපදවීම සිදුවන්නේ කම්බි දඟර තුළ භ්‍රමණය වන විශාල චුම්භකයක් මගිනි. මෙසේ නිපදවෙන විදුලි බලය රටේ සිව්කොනටම ව්‍යාප්ත කරනුයේ එකිනෙකට සම්බන්ධ වූ අධි වෝල්ටීයතා සම්ප්‍රේෂණ මාර්ග ඔස්සේය. මෙරට බලශක්ති ප්‍රභවයන්ගෙන් ප්‍රධාන තැනක් ගන්නා විදුලිය නිෂ්පාදන ක්‍රියාවලියේ සිට ව්‍යාප්ත කිරීම හා අරපිරිමැස්ම, ආරක්‍ෂාකාරී වීම යන කරුණු බොහෝ සෙයින්ම විදුලි පාරිභෝගිකයන්ට වන අපට වැදගත් කාරණා ය. එසේ නම් විදුලියෙන් අප උගත යුතු පාඩම් බොහෝ දෑ ඇත.

විදුලිය පිළිබඳ දැනුම ලබාදීමේදී කුඩා කල සිට මෙරට ළමා පරපුරට එම දැනුම ලබාදීමෙන් ඔවුන් සමාජයේ උගත් බුද්ධිමත් පිරිසක් ලෙස රටට දායාද කිරීම ඉතා වටිනා මෙහෙවරකි. එම උදාර කර්තව්‍යයේ නියැලෙමින් දැනුමෙන් පිරිපුන් පරපුරක් අනාගතයට දායාද කිරීමේ උතුම් පරමාර්ථය පෙරදැරිව කටයුතු කරන උපාලි පුවත්පත් සමාගමේ අධ්‍යාපනික පුවත්පතක් වන සුජය පුවත්පත මගින් සංවිධානය කරනු ලැබූ තවත් එක් සම්මන්ත්‍රණයක් රත්තොට ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්වීය. එම සම්මන්ත්‍රණය මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා ටී. නයෝමි හෙට්ටිආරච්චි මහත්මියගේ අනුමැතියෙන් පැවැත්වුණු අතර කම්බිඅඩිය පුස්තකාලයේ පුස්තකාලයාධිපතිනි එන්. ඩබ්. ඉන්ද්‍රාණි තෙන්නකෝන් මහත්මිය ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් ඊට සහභාගි වූහ. මෙම සම්මන්ත්‍රණය සඳහා රත්තොට ප්‍රාදේශීය සභාවේද මූලිකත්වය ලැබිණි.

මෙම සම්මන්ත්‍රණ මාලාවට මාතලේ අධ්‍යාපන කලාපයේ පාසල් රැසක දරු දැරියන් සහභාගීවූ අතර විදුලිබල සංරක්‍ෂණය, පුනර්ජනනීය බලශක්තිය, විදුලි ආරක්‍ෂණ ක්‍රමවේද හා විදුලිය බෙදාහැරීමේ ක්‍රියාවලිය පිළිබඳ මෙහිදී දරු දැරියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සිදු කෙරිණි. විදුලිය පිළිබඳ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කිරීමෙන් අමතරව ඔවුන්ගේ දැනුම පරීක්‍ෂා කිරීමේදී ඔවුන්ගෙන් ප්‍රශ්න කිහිපයක් හා අදහස් දැක්වීමක් ද සිදුකරන්නට දේශක මණ්ඩලය එහිදී ක්‍රියා කළේය.

“මේ සම්මන්ත්‍රණයට සහභාගී වීමෙන් අද අපට විදුලිය ගැන ගොඩක් දේවල් අපේ දැනුමට එකතු කරගන්න පුළුවන් වුණා. ඇත්තටම විදුලිය අපට ලැබෙන විදිහට හරියටම දැන ගත්තේ අද. ඒ විතරක් නෙවෙයි විදුලියෙන් අපි කොතරම් ආරක්‍ෂා විය යුතුද කියලත් අද අපි දැන ගත්තා. විදුලිය අපි අරපරිස්සමෙන් පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපිව දැනුවත් කරාට ගොඩක් ස්තුතියි. අද ඉඳන් මමත් විදුලිය පාවිච්චි කරන්නේ අරපරිස්සමෙන්..” සම්මන්ත්‍රණයේදී තම අදහස් දැක්වීමේ අවස්ථාවක් හිමිවූ කයිකාවල ප්‍රාථමික විද්‍යාලයේ තෙනුලි හෙන්ස්‍යා ශිෂ්‍යාව කියා සිටියේ එවැන්නකි.

කයිකාවල ප්‍රා. විදුහලේ කවීෂා තත්සරණී ශිෂ්‍යාව විදුලියේ වැදගත්කම හා අරපිරිමැස්ම ගැන දක්වන්නේ මෙවන් අදහසකි. ඇය කියන්නේ ද පාසල් දැනුමට අමතර විදුලිය පිළිබඳ ලැබුණු දැනුම ඔවුන්ගේ දැනුමට ඉතා වැදගත් බවකි.

“අපේ රටේ විදුලිබලය නිෂ්පාදනය වීම හා රට තුළ බෙදීයන ආකාරය ගැන ලොකු අවබෝධයක් අද අපිට ලැබුණා. විදුලිය බලය කියන්නේ අපේ රටේ සම්පතක් අප එය රැකගත යුතුයි වගේම ප්‍රවේශමත් ඉතා වැදගත්.”

“අපට පුනර්ජනනීය බලශක්තිය පිළිබඳවත්, අපේ රටේ විදුලිය නිපදවෙන ක්‍රම මොනවාද කියල අද අපිට හොඳ අවබෝධයක් ලැබුණා. ඇත්තටම විදුලි බලය පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් අපට ගොඩක් වටිනවා.” එසේ කියන්නේ අලකොලමඩ කනිෂ්ඨ විද්‍යාලයේ ලිමන්ති ධනංජනී ශිෂ්‍යාවය.

විදුලිය හා බලශක්ති සංරක්‍ෂණය පිළිබඳ කෙරුණු දේශනයට සවන්දී එයින් ලබාගත් දැනුම තවත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද මහත් පිටුවහලක් වූ බව කීමට මාතලේ පරාක්‍රම ජාතික පාසලේ ඕෂධ කළණ හා රත්තොට බැප්ටිස් ප්‍රාථමිකයේ නෙත්සරණි දිල්හාරා යන දරු දැරියෝ එහිදී ඉදිරිපත් වූහ.

මෙදින සම්මන්ත්‍රණයේ දේශන මෙහෙයවීම කොළඹ ආනන්ද, විශාකා, ඉසිපතන යන විද්‍යාලයන්හි හිටපු ආචාරිනී ගංගා සුභාෂිණී බ්‍රාහ්මණ ගුරුතුමිය විසින් සිදුක කළ අතර සෙසු දේශනයන් ගුරු උපදේශිකා ප්‍රවීණ නාට්‍යවේදිනී ප්‍රියංවදා ගොඩගේ මහත්මිය විසින් සිදුකරන ලදී.

රමින්ද මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment