(කුඩු ගැසූ මිනිසා සහ කුඩු නොගසන කුහුඹුවා)
ශ්‍රී ලංකාවේ රට වැසියන්ගෙන් 45,000ක් දිනපතාම හෙරොයින් ගසති. තවත් හය ලක්ෂයක් ගංජා ගසති. වසර 2005 දී මේ රටේ ඒකපුද්ගල මත්පැන් භාවිතය අවුරුද්දකට ලීටර් 2.6 කි. 2018 දී මේ ගණන ලීටර් 4.1 කි. ලංකාවේ ජනගහනයෙන් 21%ක්ම කසිප්පු හෝ අරක්කු ගහන බව සමීක්ෂණයකින් හෙළිවී තිබේ. අපගේ මත්පැන් පිළිබඳ තෝම්බුව මෙසේය.
සුරා වැද්දා පිළිබඳ කතන්දරය ඔබ විශ්වාස කරන්නේ නම් මත්පැන්වල ඉතිහාසය මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ ඉතිහාසය තරමටම දිගය. සුරා වැද්දා නමැති සංකල්පය කවදා ජීවත් වූයේ දැයි හරියටම තොරතුරු නැතත් හෙතෙම කැලයේ ජීවත් වූ බැවින් ද සතුන් මරාගෙන කෑ පුද්ගලයකු බැවින් ද ආදි කල්පික මානවයකු බව පෙනී යයි. ඒ මහතා පිළිබඳ කතාව මෙසේය. දිනක් හෙතෙම වනය මැදින් යන විට පිපාසයක් ඇති වී ගස් බෙනයක තිබූ වතුර ස්වල්පයක් පානය කළේය. මේ වතුර මගින් ඔහුට අමුතු චූන් එකක් ලැබුණු අතර ස්වල්ප වේලාවක් තුළදී මත් වූ සුරා වැදි මානවකයා බිමට ඇද වැටිණ. වෙරිය පහවූ පසු ආපසු අවදි වී ගස් බෙනයට අත දමා පරීක්ෂා කළ ඔහුට පෙනී ගියේ කුරුල්ලන් විසින් එකතු කරන ලද ධාන්‍ය ස්වල්පයක් එම ගස් බෙනය තුළ තිබූ බවත්, බෙනයට වැසි වතුර පිරී ධාන්‍ය පල් වීම නිසා එම වතුර ඇල්කොහොල් බවට පත්ව තිබූ බවත්ය. සුරා වැද්දාගේ කාලයේදී ඇල්කොහොල් යන වචනය තිබූ බවක් අපි විශ්වාස නොකරමු. එසේ වුවද මේ කතාව ඇත්ත නම් සුරා යනු ඉතා දිග ඉතිහාසයක් ඇති ද්‍රාවණයක් ලෙස අපට හඳුනා ගත හැකිය. සමහර ආත්ම වංචනිකයන් සුරා පානය කරන්නේ එය වෙජිටේරියන් පානයක් බව කියමිනි. මෙය සම්පූර්ණ සත්‍යයකි. හරක් මස්වලින් හෝ බල මාළුවලින් සුරා පෙරන්නේ නැත. සුරා පෙරීම තනිකරම කරනු ලබන්නේ ධාන්‍ය හෝ පලතුරු යොදා ගෙනය. මද්‍යසාරය යනු ජාතියට විනාශයකි. මද්‍යසාර බදු යනු ජාතික ආදායමෙන් විශාල කොටසකි. ඒ නිසා සෑම ජනාධිපතිවරණයකදීමත්, සෑම මහ මැතිවරණයකදීමත් මද්‍යසාර පාලනය කිරීම පිළිබඳ දේශපාලන ප්‍රතිපත්ති සංවාදයට ලක් කරනු ලැබේ.
මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ තිස් නවයක් ඉදිරිපත් වූහ. පසුව ඉන් එකෙක් මළ බැවින් අපේක්ෂකයන් ගණන තිස් අටක් විය. මේ අපේක්ෂකයන් අතරින් ප්‍රමුඛතම අපේක්ෂකයන් පස් දෙනා ලෙස රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක, නාමල් රාජපක්ෂ සහ දිලිත් ජයවීර පෙළගැසී සිටිති. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මේ රටේ තිබෙන ප්‍රමුඛතම ක්‍රියාකාරී සංවිධානය වන ඇඩික් ආයතනය විසින් තක්සේරු කරන ලද පරිදි මේ අපේක්ෂකයන් පස් දෙනා අතරින් මත්ද්‍රව්‍යවලට එරෙහිව වැඩිම යෝජනා සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇත්තේ සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස විසිනි. ඊළඟ වැඩිම යෝජනා සංඛ්‍යාව ජාතික ජන බලවේගයේ අනුර දිසානායක ඉදිරිපත් කර ඇති අතර රනිල් වික්‍රමසිංහ සහ නාමල් රාජපක්ෂ යන දෙදෙනා මත්ද්‍රව්‍යවලට එරෙහිව යෝජනා තුන බැගින් ඉදිරිපත් කර ඇත. සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර යෝජනා දෙකක් ඉදිරිපත් කර තිබේ.
මත්ද්‍රව්‍ය යන කාරණයෙහි දෙපැත්තක් ඇත. මිනිස්සු දිගු කලක් තිස්සේ මත්පැන්, ගංජා, සිගරට්, සුරුට්ටු සහ බීඩි යනාදියට මේ රටේ ජනතාව දිගු කලක සිට හුරුවී සිටිති. ලංකාවේ ආරම්භක මද්‍යසාර වර්ගය වූ කලී කිතුල් රා ය. රජතුමා ද කිතුල් රා කට්ටක් ගසා පුච්චපු කරෝල කෑල්ලක් කෑවේය. ඒ අතර සාමාන්‍ය වැසියා පොල් රා පානය කළහ. ගංජා සුරුට්ටුව යනු යටත්විජිත යුගයේදී ඉතාම ප්‍රසිද්ධ භාණ්ඩයකි. මෙරට ජනතාවට සීල් අරක්කු පුරුදුකළෝ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීහුය. ඔවුහු කරත්තයක අරක්කු බෝතල් තබාගෙන වතුකරයට ගෙන ගොස් තේ වත්තේ සිටි කම්කරුවන්ට දෛනික වැටුපෙන් මුදල් කපා ගැනීමට හැකි වන පරිදි අලෙවි කළහ. අරක්කු මිල වැඩි බැවින් වතුකරයේ ජනයා වයින්ස්ප්රීතු සහ දෙහි ඇඹුල් යොදා ගෙන මද්‍යසාරයක් සකස් කළහ. මද්‍යසාරය ඉතා විෂ සහිත එකකි. අල හොදි නමින් හැඳින්වුණු මේ බීම ජාතිය පානය කොට වැරදුණොත් පාරිභෝගිකයා ලේ වමනය දමා මිය ගියේය. මත්ද්‍රව්‍ය යනු සෞඛ්‍යයට හානිකර දෙයකි. මේ රටේ ආණ්ඩුව අරක්කුවලින් උපයන බදු මුදලට වැඩි මුදලක්, අරක්කු බී සිරෝසිස් හදා ගත් රෝගීන් වෙනුවෙන් වැය කරන බව අපගේ විශ්වාසය වේ. අරක්කු මිල ඉහළ නැග්ග තරමට කසිප්පු ප්‍රචලිත වීම වැඩිවේ. අරක්කු හා කසිප්පු ශරීරයට නරක බව කියන බීර වෙළෙන්දෝ ජනතාවට බීර පොවන්නට උත්සාහ කරති. එහෙත් අපේ රටේ තිබෙන මත්ද්‍රව්‍ය අතරින් වැඩිම හානියක් දෙන මත්ද්‍රව්‍ය ලෙස හඳුනාගෙන ඇත්තේ කුඩු ය. ඉදිරියේදී බලයට පත් වන ජනාධිපති කවරෙක් වේවා කුඩු ව්‍යාපාරය කුඩේ කුඩු කළ යුතුය. කුඩු ව්‍යාපාරය කුඩු කිරීමට පැමිණි බොහෝ දෙනා කුඩු විය. ඊළඟ ජනාධිපතිතුමා ඒ බවද මතක තබා ගත යුතුය.
1970 ගණන්වල මුලදී ලංකාවේ මත්ද්‍රව්‍ය වෙළෙඳපොළට කුඩු ගෙන එනු ලැබේ. ලෝක ජනතාව ගුවන් මගින් රටවල් අතර බහුල වශයෙන් එහා මෙහා යෑමට මුලින්ම පටන් ගන්නේ 70 දශකයේ දීය. ඉන් පසු අපේ රටේ ජනතාව යුරෝපයටත්, මැද පෙරදිගටත් සංක්‍රමණය වීමට පටන් ගත්හ. ඔවුන් ආපසු මෙරටට ආවේ විස්කි හෝ බ්‍රැන්ඩි වෙනුවට කුඩු පාර්සලයක් රැගෙන ය. මෙකල මේ රටේ පොලිසිය පවා කුඩු ගැන දැන සිටියේ නැත. ඒ නිසා කුඩු බිස්නස් එක ඉතා නිදහසේ කරගෙන යා හැකි කාර්යයක් බවට පත් විය. බේබද්දාට වඩා ඉක්මනින් කුඩ්ඩා මියයයි. හැබැයි මරණයට විනාඩියක් තිබියදීත් සොරාගත් යකඩ හොණ්ඩරයක් පමණ කරේ තබාගෙන බෝතල් කඩයට දිව යෑමට කුඩ්ඩාට පුළුවන. ඇතැම් කුඩුකාරයෝ තමන් විසින් සොරාගනු ලැබ කරේ තබාගෙන යන ගෑස් සිලින්ඩරයට වඩා සිහින් සිරුරක් ඇති අය වෙති. ජීව විද්‍යාත්මකව මේ හපන්කම කළ හැක්කේ කුහුඹුවන්ට පමණි. කුහුඹුවාට උගේ බර මෙන් තුන් ගුණයක් බර දෙයක් හිස මත තබාගෙන ගමන් කළ හැකිය.