අනාගත රාත්‍රිය බෙහෙවින්  අඳුරු විය හැකිය

1370

ඊයේ උදේ වනවිට පෙට්‍රල් බෝතලයක් රුපියල් 2500 ක් වූ බව වෙබ් සයිට්වල සඳහන් විය. සාමාන්‍යයෙන් මේ රටේ වෙබ් සයිට්වල තිබෙන ප්‍රවෘත්තිවලින් දෙකෙන් පංගුවක්ම බොරුය. එහෙත් පෙට්‍රල් මිල පිළිබඳ කියන කතාව ඇත්තය. සාමාන්‍යයෙන් රජය මසකට පෙට්‍රල් නැව් 22 ක් ගෙන්වයි. අද ජූලි 4 දා වන අතර මේ වනවිට මේ මාසය සඳහා එකද පෙට්‍රල් හෝ ඩීසල් නැවක් මෙරටට ගෙන්වා නැත. දැනට පෙට්‍රල් ස්වල්පයක් ලබාගත හැක්කේ අයි ඕ සී පෙට්‍රල් ෂෙඩ්වලින් පමණි. එහෙත් ජනතාවට අවශ්‍ය ඉන්ධන සැපයුමෙන් 0.00001 වත් අයි ඕ සී ෂෙඩ්වලින් ලබාගත හැකි බවක් අපට නොහැඟේ. සිපෙට්කෝ පෙට්‍රල් ෂෙඩ් සියල්ලම වසා දමා ඇති අතර මීට දෙසතියකට පෙර සංග්‍රාම භූමි බවට පත්ව තිබූ එකී පෙට්‍රල් ෂෙඩ් අද වැඩ කරන සේවකයන්ගෙන් පවා ශූන්‍ය වූ කාන්තාර බවට පත්ව ඇත. තෙල් ඇමැති කංචන විජේසේකර පුවත්පත් සාකච්ඡාවකදී සඳහන් කළ පරිදි සිපෙට්කෝ ඉන්ධන හල්වල පෙට්‍රල් පෝලිම් සඳහා ටෝකන් නිකුත් කිරීමක් දෙසතියකට පමණ පෙර සිදුවිය. මේ ටෝකන් මුලින්ම ජනතාවට බෙදන ලද්දේ පොලිසිය විසිනි. ඊළඟට පැමිණි යුද හමුදාව එම ටෝකන් වීසි කර අලුත් ටෝකන් නිකුත් කළේය. ටෝකන් ගසා වාහන දිව විය නොහැක. එබැවින් ටෝකන් දීම ඇරඹි මුල් දිනවලදී තෙල් එන තුරු දවස් ගණන් පෝලිම්වල සිරවී සිටීමට ජනතාවට සිදුවිය. මේ ටෝකන් වැඩේ තඹ තුට්ටුවකට වැඩක් ඇති දෙයක් නොවේ. ටෝකන් එකට තෙල් ගසා ගන්නා එකා ෂෙඩ් එකෙන් පිටත් වී රවුමෙන් පැමිණ ආපහු තෙල් පෝලිමට එකතු වේ. ටෝකන් කාරයන්ට තෙල් ගසා ඉවර වූ පසු නැවත වතාවක් තෙල් ගසා ගැනීමට වාහන අයිතිකරුට පුළුවන. එයට හේතුව ටෝකන්කාරයන් ඉවර වන තැනින් ටෝකන් නැති අයගේ තෙල් පෝලිම පටන්  ගැනීමය. වඩාත් සුදුසු ක්‍රමය වන්නේ වාහන හිමිකරුවන් සඳහා තෙල් සලාකයක් නිකුත් කිරීමයි. ග්‍රාමසේවක මගින් හෝ පළාතේ පොලිසි මගින් හෝ ලියාපදිංචියක් වාහන අයිතිකරුට ලබා දිය හැකි අතර එමගින් සතියකට වරක් හෝ දෙසතියකට වරක් සුදුසු පෙට්‍රල් සලාකයක් ලබාදිය හැකිය. ආණ්ඩුව ටෝකන් ක්‍රමය ගෙනාවේ තෙල් එනතුරු කල්ගනු පිණිසය. මුලින්ම පොලිසිය ටෝකන් නිකුත් කළ අතර ඊට සතියකට පසු හමුදාව ටෝකන් නිකුත් කළේය. ඊළඟ සතියේදී යුද හමුදාවේ ටෝකන් වීසිකර දමා අලුත් ටෝකන් නිකුත් කිරීමට නාවික හමුදාවට පුළුවන. තවත් සතියකට හෝ දෙකකට පසු එම කාර්යය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කිරීමට පුළුවන. ඒ වන විටත් තෙල් නැව් පැමිණ නැත්නම් ඊළඟ ටෝකන් සෙට් එක නිකුත් කිරීම සිවිල් ආරක්ෂක බළකායට කළ හැකිය. ලංකාවේ ආරක්ෂක හමුදා කතන්දරය එතැනින් අවසානය. ඒ වනවිටත් තෙල් නැව් පැමිණ නැත්නම් ටෝකන් නිකුත් කිරීමේ බලය ඉන්දියන් යුද හමුදාවට පැවරිය හැකිය.

 ශ්‍රී ලංකාව රටට දැරිය නොහැකි තරම් ඛනිජ තෙල් කන්දරාවක් පාවිච්චි කරන බව දැන් අපි සහසුද්දෙන්ම දනිමු. 1948 න් පසු මේ රට කළ දේවලින් වැඩි හරියක් රටට දැරිය හැකි නොවේ. 1977 දී බලයට පැමිණි ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව මුළු රටටම විදුලිය සැපයීමේ වැඩසටහනක් පටන් ගත්තේය. එය කරන විට වැස්ස නොවහින කාලයක ජල විදුලිය ඉවර වූ කල්හි ඊළඟ වැස්ස වහින තුරු කළුවරේ සිටින්නට ජනතාව සූදානම් නැති බව ආණ්ඩුවට තේරුණේ නැත. එහෙත් ඇත්ත එය බැවින් නියං කාලයේදී කැලණිතිස්ස බලාගාරය හරහා ඉන්ධන යොදා විදුලිය නිපදවා රට පුරා බෙදීමට ආණ්ඩුවට සිදුවිය. මෙවැනි දේවල් කළ විට හරකා පසුපස ගැල ඇදී එන්නාක් මෙන් සෑම ආණ්ඩුවක් පසුපසම කලින් ආණ්ඩු කළ දේවල් පැමිණීම සිදුවෙයි. ඒ නිසා ජේ. ආර්. ගෙන් පසු පැමිණි ආණ්ඩුවලට සිදුවූයේ වැඩිවන විදුලි ඉල්ලුම සම්පූර්ණ කිරීම සඳහා තව තවත් තාප බලාගාර සෑදීමටය. තාප බලාගාර යනු ගෑස්, ඩීසල්, දැවි තෙල්, නැප්තා හෝ ගල් අඟුරුවලින් ක්‍රියාකරන යෝධ ජෙනරේටර් සහිත ඒකක වෙති. මේවා සෑදීමේදී කොමිස් කෑම ඉතා පහසුය. උදාහරණයක් ලෙස රුපියල් බිලියන 10 ක් වැයවන බලාගාරයකින් 10% ක කොමිසක් ගැහුවත් එහි අගය රුපියල් මිලියන 1000 කි. මෙය පරම්පරා 7 ට නිකම් ඉඳ බත් ගිලීමට සහ පිස්සු කෙළීමට සෑහෙන මුදලකි. විදුලි බලය යනු තනිකරම දේශපාලන ගේමකි. ජේ. ආර්. විදුලි බලය යොදා ගත්තේ ඡන්ද පදනම වැඩි කිරීම සඳහා ය. සෙසු ආණ්ඩු (ප්‍රේමදාස ආණ්ඩුව හැර) විදුලි බලය යොදා ගත්තේ ගසා කෑම පිණිසය. මේ තාප බලාගාර හුටපටය නිසා දැනටත් තෙල් නැතිව නන්නත්තාරව සිටින අපේ රටේ අනාගත රාත්‍රී කාලය ලයිට් නැතිව බෙහෙවින් අන්ධකාර වීමට ඉඩ තිබේ. ඒ කියන්නේ අප නැවතත් ශිෂ්ටාචාරයේ මුලට ගමන් කරන බවය. එක්දහස් අටසිය  ගණන්වල පවා මේ රටේ ගැමි ජනයා රෑට ගෙවල්වල පහන් පත්තු කළේ නැත. ඉක්මනින් වැඩපල නිමවා තම අතු පැලවල් බලා එන ගැමියෝ ඉක්මනින් කා බී අඳුරේම නිදා ගත්හ. එකල පහන් පත්තු වුණේ ජන ප්‍රධානීන්ගේ ගෙවල්වල පමණි. අප නැවතත් මේ යන්නේ එතැනටය.

advertistmentadvertistment
advertistmentadvertistment