අනාගත වතු කම්කරු සටනට ජය වේවා !

464

වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700 තෙක් වැඩිකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වතු හිමියන්ට උපදෙස් දෙනු ලැබ ඇත. එහෙත් කිසිදු වතු හිමියෙක් මේ උපදෙස ක්‍රියාත්මක කර නැත. තමන්ගේ දෛනික වැටුප වැඩිකරන ලෙස රටේ නායකයා කියා තිබියදීත් වතු අයිතිකාරයන් අත්තනෝමතික ලෙස කටයුතු කිරීමට විරුද්ධව සමස්ත වතුකරයම වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සූදානමින් සිටිති. මේ වර්ජනය හරි ගියොත් අපට සිදුවන්නේ තේ පිට රට යැවීම කෙසේ වෙතත් පිට රටින් මෙරටට තේ ගෙන්වා පානය කිරීමටය. මේ පුවත්පත ප්‍රතිපත්තියක් වශයෙන් වෘත්තීය සටන් වලට පක්ෂය. වැඩි පඩි උදෙසා වතු කම්කරුවන් වැඩ වර්ජනයක යෙදෙනවා නම් මේ පුවත්පත එයට කොහොමත් පක්ෂය. වතු කම්කරුවා යනු ලංකාවේ වැඩිම දුකක් විඳින කම්කරු කොට්ඨාසය වේ. කොළඹ හෝ පිට පළාතක කුලීකාරයෙක් උදලු පාරක් ගහන්නටත් රුපියල් 3500 ක් අය කරන මෙකල වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස ඉක්මවන අවස්ථා බොහෝ විරලය. ක්‍රිස්තු පූර්ව පස්වැනි සියවසේදී ඉන්දු ආර්ය සංක්‍රමණය නමැති ජන ගලනයකට මුහුණ දීමට ලංකාවට සිදුවිය. ඉන්දියාවේ සිට පැමිණි මේ ජන ගංගාවේ විශාලතම කොටස සිංහලයන් බව විශ්වාස කරනු ලැබේ. දෙවැනි විශාල ජන කොටස දෙමළ ජනයා වෙති. මෙසේ පැමිණි දෙමළ ජනයා ඇතැම් විට රටේ පළාත් අල්ලාගෙන රාජධානි තැනීමට තැත් කළහ. පසුකාලයේදී සිංහල රජවරු ඔවුන්ට විරුද්ධව නිතර සටන් කළහ. කෝට්ටේ ජීවත්වූ ඇතැම් රජෙක් සිංහල පුතා සහ දෙමළ පුතා යනුවෙන් පුතුන් දෙදෙනෙක් හදා වඩා ගත්හ. සිංහල පුතා යනු රජුගේම දරුවාය. තමාගේ ඇවෑමෙන් රාජධානිය පාලනය කිරීම ඔහුට පැවරීම රජුගේ අරමුණ විය. දෙමළ පුතා යනු ඉන්දියාවේ උසස් පවුලකින් හෝ ලංකාවේ උසස් දෙමළ පවුලකින් උපන් හැටියේම වාගේ ලබාගත් බිලිඳෙකි. මේ බිලිඳා රජතුමා විසින් රජ මාළිගය තුළ තබාගෙන සිප් සතර දීගෙන සිය පුත් තනතුරෙහිමලා සලකන්නේ අනාගතයේදී යාපනය රාජධානියේ රජු ලෙස ඔහු පත්කර එහි වෙසෙන ජනයාගේ control එක සියතට ගැනීමටය. මෙය උපක්‍රමික නමුත් වඩාත් මානුෂීය වූ බල ප්‍රවේශයකි. මේවා ඉතා දිග කතන්දරය. වතුකරයේ දෙමළ ජනතාව ලංකාවට ගෙන එන ලද්දේ මේ රටේ තේ වතුවල කුලී වැඩ කිරීම සඳහාය. දකුණු ඉන්දියාවේ පහත් යැයි සම්මත කුල වලින් මේ පිරිස තෝරාගන්නා ලදී. එකල දකුණු ඉන්දියාවේ කුල ධුරාවලියේ පහතින්ම සිටි අය නූගත්හු වූහ. එනම්, ඉහළ කුලවල සිටි අය පහළ කුලවල අයට අධ්‍යාපනය ලබාගැනීමට අවස්ථාව දුන්නේ නැත. ඒ නිසා මේ මිනිස්සු තමන් පහත් අය ලෙස නිතර සිතන පසුගාමී චරිත බවට පත්වූහ.

මේ බව සනාථ කරන තොරතුරු රැසක් ඉතියෝපියානු විශ්වවිද්‍යාලයක ව්‍යාපාර සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ පර්යේෂකයකු විසින් කරනු ලැබ International Journal of Sociology and Anthropology නමැති සඟරාවේ පළ කරන ලදී. මෙම මාතෘකාව අන්තර්ජාලයෙහි ඉංග්‍රීසියෙන්
type lr Estate Tamils of Sri Lanka යනුවෙන්ද type කළ කල්හි ඉහත සඳහන් පර්යේෂණ පත්‍රිකාව ලබාගත හැකිය. එම පත්‍රිකාවේ සටහන් වන පරිදි වතු දෙමළ ජනයා මන්නාරමට හෝ කොළඹට නැව් මාර්ගයෙන් ගෙන්වන ලදී. කිසිදු ආගමන විගමන බලපත්‍රයකින් තොරව ඔවුහු මෙහි පැමිණියහ. ඔවුන් නැවේ පැමිණි ගමන මාරාන්තික විය. ඔවුන් පටවා එවූ නැව් එක්දහස් නවසිය අසූ ගණන්වලදී ලංකාවේ තිබූ ප්‍රයිවට් බස් වැනි කසිකබල් ඒවා විය. මේ නැව් දැවයෙන් තනන ලදී. ඒවා සෑම විටම විශාල තදබදයකින් යුක්ත වූ අතර මුළු ගමන පුරාම හිටගෙන සිටීමට හෝ නැව් තට්ටුව මත ඉඳගෙන සිටීමට මිස නිදාගැනීමට ඉඩක් දෙමළ ජනයාට නොලැබිණ. සමහරවිට නැවේ වැඩට පවා ඔවුන් යොදාගන්නා ලදී. ඒ සඳහා කිසිදු වැටුපක් ලැබුණේ නැත. සමහරවිට මුළු නැවටම කොළරාව බෝ විය. නොඑසේ නම් වසූරිය බෝ විය. ඉන්දියාව සහ ලංකාව අතර ගමන දවස් එකහමාරකට පමණ සීමාවූ බැවින් එම ලෙඩ රෝග පිට දැම්මේ ඔවුන් මේ පොළවට පා තැබූ පසුය. මේ බව හඳුනාගත් බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදියා ලංකාවට ගෙනා සැණින් ඔවුන් පොල් අතු නිරෝධායන කඳවුරුවල ගබඩා කළේය. මෙහිදී කොළරාව හැදෙන එකා එයින් මළේය. වසූරිය හැදෙන එකා එයින් මළේය. ඉතිරි අය පා ගමනින්ම මධ්‍යම කඳුකරයට ගෙන ගියහ. මේ ගමනේ සැතපුම් පනහක්ම යෙදී තිබුණේ කැලේ මැදිනි. සමහරවිට වල් අලි රෑන් පිටින් කඩා පැන මේ මිනිසුන්ට පහර දුන්හ. නොඑසේ නම් පාගමනේ යෙදෙන කම්කරුවන්ගේ අන්තිම එකාගේ බෙල්ලට පැන්න දිවියෙක් ඒ මිනිහාට වචනයක් කතා කිරීමට ඉඩ නොතබා කැලේට ඇදගෙන ගොස් කා දැමීය.

වතු අයිතිකාරයන් දෙමළ කම්කරුවන්ට සලකන ලද්දේ තිරිසන් සතුන්ට සලකනවාක් මෙනි. වත්තට පැමිණි පසු කිසියම් කම්කරුවකුට තරමක ලෙඩක් වැළඳුනොත් ඔහු වත්තෙන් පලවාහැරීම සිදුවිය. සේවකයන්ගේ විනය සම්බන්ධයෙන් ඉතා කෲර ලෙස කටයුතු කරන ලදී. කම්කරුවන්ට රැය ගත කිරීම සඳහා කාමර පේළි හෙවත්
Line of rooms (ලැයින් කාමර) සපයන ලදී. ඒවාට කිසිදු ආලෝකයක් නොවීය. සමහරවිට භූමිතෙල් ලාම්පුවක් පත්තු කළද වහලයේ පොල් අතුවලට ගිනි ඇවිළුණු බැවින් මුළු ලැයින් කාමර පේළියම අළුවී ගියේය. මෙහිදී ලැයින් කාමර ආරක්ෂා කර නොගත්තේය යන චෝදනාව කම්කරුවන් මත පටවා අලුත් ලැයින් කාමර ඉදිකිරීම සඳහා වූ මුදල් ඔවුන්ගේ දවස් පඩියෙන් කපාගන්නා ලදී. ලංකාවේ වතු කම්කරු ව්‍යාපාරය දියුණු වූ පසු දෙමළ දේශපාලනඥයන් වෘත්තීය සමිති පිහිටුවා තවදුරටත් ඔවුන් කොල්ලකෑමේ යෙදුනාහ. ඒ නිසා මේ අසරණ මිනිසුන්ගේ දෛනික වැටුප රුපියල් 1700 නොව රුපියල් 2700 ක් කළයුතු බව අපගේ යෝජනාව වේ.

advertistmentadvertistment
advertistmentadvertistment