අනාගැනීම සහ පොදු අපේක්ෂක සිහිනය

171

මහාචාර්ය ආනන්ද ජයවික‍්‍රම
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

හැටනව ලක්ෂය ඉක්ම වූ මෙරට ජනතාවක් හරියටම මෙයින් වසර දෙකකට පෙර රාජ්‍ය පාලනය සඳහා ගෝඨාභය රාජපක්ෂ නම් වූ පුද්ගලයා සහ ඔහුගේ ආණ්ඩුව තෝරා පත්කර ගත්තේය. කප්පරක් බලාපොරොත්තු තබාගෙන පාරවල් දිගට කැවුම් කිරිබත් උයමින් තාප්ප දිගට සිතුවම් අඳිමින් සමාජ මාධ්‍යය වීරත්වයක් නිර්මාණය කරමින් නූතන දියසෙන් කුමාරයා සොයාගත් අය බවට පත්වෙමින් 69 ලක්ෂය එදා අතිශයින්ම ආඩම්කාර විය. විපක්ෂය හා විපක්ෂයට ඡන්දය දුන් පිරිස ඔවුන්ට දෘශ්‍යමාන වූයේ සුළු ජනයාට හා විදේශිකයන්ට රට පාවා දෙන්නට උත්සාහ කරන නරුමයන් ලෙසය. ඒ 2019 නොවැම්බරයයි. නව ජනාධිපතිවරයා රුවන්වැලි සෑය අභියස නූතන ගැමුණු කුමරු ලෙස දිවුරුම් දෙන විට රතිඤ්ඤ හඬින් මුළු රටම ගිගුම් දුන්නේය. ජනතාවගේ කාහළනාදය ගම් නියම්ගම් නගර සිසාරා ගියේය.

මේ 2021 දෙසැම්බර්ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අනුරාධපුරයේදී තම දෙවන පදවි ප‍්‍රාප්තිය සමරන ලද්දේ පසුගිය දාය. නමුත් එදා මෙන් මෙදා රට පුරා රතිඤ්ඤ පත්තු නොවිණි. ඒ වෙනුවට ගමක් නගරයක් පාසා ගෙයක් දොරක් ගාණේ ගෑස් ටැංකි හා ගෑස් උදුන් පුපුරා යමින් තිබේ. ජනතා කාහළ නාදය වෙනුවට රට පුරා උද්ඝෝෂණ රැල්ලක් පැන නැගිණි. ගැහැනු හා පිරිමි දහස් ගණනින් පාරට බැස පාලකයාට දෙස්දෙවොල් තබති. පොල් ගසති. පඹයන් පුළුස්සා දමති. එදා කැවුම් කිරිබත් උයා පාරේ යන අයට කෑමට දුන් ජනතාවට අද එදාවේල සොයාගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇත. එදා තාප්ප දිගට සිතුවම් ඇඳි තරුණ තරුණියන් අද දහස් ගණනින් පාස්පොර්ට් නැතිනම් වීසා පෝලිම්වලය. ඉන්න හිතෙන රටක් හදන්න ආපු පාලකයන් යන්න හිතෙන රටක් ඉතාම කෙටි කාලයකින් නිර්මාණය කළේ එසේය. එය නම් හොඳටම කර ඇත.

එදා ගෝඨාභය රාජපක්ෂගේ ප‍්‍රධාන ප‍්‍රතිවාදියා වූයේ සජිත් පේ‍්‍රමදාසය. ජනතාවාදි දේශපාලනයක නිරත වන සජිත් පේ‍්‍රමදාසට නාමයෝජනා නොදී සිටීමට එදා රනිල් වික‍්‍රමසිංහ ඇතුළු ගජමිතුරු යූඑන්පී නඩයට නොහැකි විය. නමුත් කකුලෙන් ඇදීමේ ක‍්‍රියාවලිය නතර වූයේ නැත. ඒ හැම උප්පරවැට්ටියක්ම යූඑන්පී කළේ රාජපක්ෂවරුන් සමඟ අත්වැල් බැඳගෙනය. එදා හැටනව ලක්ෂයක් ජනතාව මෛත‍්‍රීපාලලාගේ රනිල්ලාගේ පව් සජිත්ගේ කරපිටින් යවා සතුටට පත් වූහ. අවංක ප‍්‍රතිපත්ති ගරුක දේශපාලනයට වඩා ජාතිවාදයට, දේශපේ‍්‍රමිත්වයට හා ඇස්බැන්දුමට තැබෙන ලංසුව ඉහළ බව එදා පෙන්නුම් කළේය. සජිත්ට විරුද්ධව එදා ගෝඨාභයට ඡන්දය දුන් පිරිස තම පාපනාශනය ආරම්භ කරමින් මේ රට භාර ගැනීමට අද සජිත්ට ආරාධනා කරති. මගේ මතයට අනුව මේ රටේ ජනතාව මේ වන විට පරක්කුය. හැබැයි මේ රටේ ජනතාව ගොඩක් ප‍්‍රමාද නැති බවත් කිව යුතුය. අවස්ථාව තිබෙන, අවස්ථාව ලද සැණින් නිසි තීරණය ගැනීමේ හැකියාවක් තවමත් ඉතිරිව තිබේ.

අද වන විට පොදු අපේක්ෂකයකු පිළිබඳව ඇතැම් පුද්ගලයන් යළිත් කතා කරනු ඇසේ. මට දැනෙන හැටියට රනිල් වික‍්‍රමසිංහ, කරු ජයසූරිය, චම්පික රණවක, අර්ජුන රණතුංග, කුමාර වෙල්ගම ඇතුළු බොහෝ පිරිසක් පොදු අපේක්ෂකයාට ඇඳීමට සූදානමින් සිටිති. මගේ මතය අනුව 2015 ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයා වශයෙන් මෛත‍්‍රීපාල සිරිසේන ඉදිරිපත් කිරිම මෙරට දේශපාලනයේ සිදු වූ විශාලම අත්වැරුද්දකි. එම තේරිම සිදුකරන ලද්දේ රනිල් වික‍්‍රමසිංහ හා චන්ද්‍රිකා කුමාරතුංග විදේශීය රටකදී කරන ලද රහස් සාකච්ඡාවකින් පසුවයි. මෛත‍්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා බවට පත් වුණේ ජන පදනමක් නොමැතිවයි. ඒ වන විට රටේ ප‍්‍රධාන විපක්ෂය වූයේ එක්සත් ජාතික පක්ෂයයි. එහි නායකයා වූ රනිල් වික‍්‍රමසිංහ තමන්ට ජනාධිපතිවරණයක් ජයග‍්‍රහණය කළ නොහැකි බව අවබෝධ කරගෙන තිබීම ඊට හේතුවයි. එම අවස්ථාව කරු ජයසූරිය හෝ සජිත් පේ‍්‍රමදාස වැනි පක්ෂයේ වෙනත් නායකයෙකුට ලබාදුනහොත් තම නායකත්වය අභියෝගයට ලක් වන බැවින් කාටත් හොරා පිටස්තරයෙක් ඒ සඳහා තෝරා ගැනීම උපායකි. එම තීරණයත් සමඟ බහුතර ඡන්දදායකයින්ට ඉතිහාසයේ ප‍්‍රථම වතාවට තමන්ගේ පළමු තේරිම නොවු පුද්ගලයකු ජනාධිපති ලෙස තෝරාපත් කරගැනීමට සිදුවුණි. මෙය මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පටහැනි වූ තත්ත්වයකි. මෙම තේරිම කොයිතරම් වැරදි ද යන්න තහවුරු වූයේ මෛත‍්‍රීපාල සිරිසේන තමන්ගේ ප‍්‍රතිවාදීන්ගේ න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කරමින් තමන් තෝරාගත් පක්ෂයට හා ජනතාවට පහරදීීමට පටන් ගත් පසුය. මගේ මතය වන්නේ මෛත‍්‍රීපාල සිරිසේන ලබාදුන් එම නරක අත්දැකීම පොදු අපේක්ෂකයන් පිළිබඳ සාකච්ඡාවේ දී ප‍්‍රධාන පක්ෂවලට කිසි දා අමතක කළ නොහැක්කක් බවයි. 2015 දී කරගත් එම වැරුද්ද නැවත නැවතත් සිදු නොකළ යුතුමය.

පොදු අපේක්ෂකයන් පිළිබඳ කථාබහ දැන් යළිත් කරළියට පැමිණ ඇත. දේශපාලන ජීවිතයේ ජව සම්පන්න සමයේදී තම භූමිකාව නිසි අවස්ථාවේදී රඟ නොදැක්වූ කරු ජයසුරිය හා 40 වසරක අසාර්ථක ගමනකින් පසු පස්ස බිම ඇණගත් රනිල් වික‍්‍රමසිංහ වැන්නන් තම වියපත් ජීවිතයේ අවසාන භාගයේ පොදු අපේක්ෂකයෙකු වීමට සිහින දකිමින් ජාත්‍යන්තර වශයෙන් හෝ දේශීය වශයෙන් එකතු කරගත් මුදල් පොම්ප කරමින් සමාජ මාධ්‍යය යුද්ධයක් ආරම්භ කර ඇති බවට කතා බහ පවතී. යහපාලනයක් හැදීමට භාරගත් රටක් ළිං මැඩි චින්තනය හරහා විනාශයේ දොරකඩට රැගෙන ගිය මෛත‍්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාටත් පොදු අපේක්ෂක සිහිනයක් නැවත ඇති වීමට ඉඩකඩ ඇත. සමගි ජන බලවේගය ඇතුලේ සිටිමින් ඊළඟ පොදු අපේක්ෂකයා වීමට චම්පික රණවක, කුමාර වෙල්ගම වැන්නන් ඉව අල්ලමින් සිටිනවා විය හැකිය. එක්සත් ජාතික පක්ෂය නමැති ගිලෙන බෝට්ටුවෙන් මෑතදී පැනගත් මහා මැතිවරණයකදී මෙරට ප‍්‍රධාන දේශපාලන පක්ෂයකින් තරග කොට ඡන්ද දසදහසක් ලබාගැනීමට නොහැකි වූ අර්ජුන රණතුංග වැන්නන් තමන් පොදු අපේක්ෂකයා වීමට කැමති බව පසුගිය දිනෙක ප‍්‍රකාශ කර තිබුණි. මේ ආකාරයේ විහිළුකාරයන් දහස් ගණනින් ඉදිරියේදී පොදු අපේක්ෂකයන් ලෙස මතු විය හැකිය. ජාතික ජන බලවේගය නමින් ජවිපෙ ලේබලය සඟවා පොදු අපේක්ෂකයා වීමට අනුර කුමාර දිසානායක උත්සාහ කරනවා විය හැකිය. රටෙහි ප‍්‍රධානතම විපක්ෂය වශයෙන් තම නායක හා දැනට විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව සමගි ජන බලවේගය මේ වන විටත් නිවේදනය කර හමාරය.

ඊළඟ ජනාධිපතිවරණයේදී වමේ පොදු අපේක්ෂකයකු ලෙස හෝ ජවිපෙ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක තරග කිරිම පිළිබඳ කිසිදු ගැටලූවක් නැත. එයට හේතුව වන්නේ ජවිපෙ ආමන්ත‍්‍රණය කරන වාමවාදි බලවේගයක් හා එයට ආකර්ෂණය වූ පිරිසක් රට තුළ සිටින නිසාය. දීර්ගකාලීන වාමවාදි පාලන තන්ත‍්‍රයකින් තම රටවල් ගොඩනැඟීමට නොහැකි වු බවට චීනය, රුසියාව, වියට්නාමය වැනි රටවලින් ප‍්‍රබල සාක්ෂි ඇස්පනා පිට තිබිය දී වාමවාදි පාලනයකින් මේ රට ගොඩ ගත හැකිය යන මිථ්‍යාවේ නිමග්න පිරිස් වෙත ජවිපෙ ආකර්ෂණයක් විය හැකිය. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ වීරත්වය පසුපස ගොස් පරාධීන වූ ඇතැම් වාමාංශිකයන්ට අනුර කුමාර දිසානායක ආකර්ෂණයක් විය හැකිය. නමුත් ජවිපෙ තේරුම් ගත යුතු සත්‍යයක් ද ඇත. ඒ තම කොඳු නාරටිය බඳු ශිෂ්‍ය ව්‍යාපාරය මේ වන විට ජවිපෙන් ගිළිහී ඇති බවත් මේ රටේ ජනතාවට ජවිපෙ සමඟ තිබෙන අත්දැකීම් එතරම් රසවත් නොවන බවත්ය. එමෙන්ම ජවිපෙ රාජ්‍ය පාලනයේ ප‍්‍රබල හවුල්කාරි පක්ෂයක් වශයෙන් අසමත් වී ඇති බවත් තමන් දැරූ අමාත්‍යාංශවලින් ජනතාවට සේවය සැලසීමට නොහැකි වූ බවත්ය. කෙසේ වුවත් ජවිපෙ හා ජාතික ජනබලවේගය සඳහා යම් ජන පදනමක් තිබෙන බව සත්‍යයකි. නමුත් රනිල් වික‍්‍රමසිංහ, කරු ජයසූරිය, චම්පික රණවක, කුමාර වෙල්ගම, අර්ජුන රණතුංග වැන්නන්ට ජන පදනමක් තිබේද යන්න ගැටලූවකි.

අද වන විට රටේ ප‍්‍රමුඛ විපක්ෂය වන්නේ සමගි ජන බලවේගයයි. සිංහල ජනතාවට වින කරන, රට බෙදන ජාතිය හා ජාතික සම්පත් විදේශිකයන්ට පාවා දෙන ලේබලය සජබ නායකයාට හා එම පක්ෂයට ඇළවිය නොහැක. සජබය එයටම ආවේනික වූ සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික මුහුණුවරකින් හා ප‍්‍රතිපත්ති සමුදායකින් මෙහෙය වනු ඇත. ඒ සඳහා අවශ්‍ය බුද්ධිමය දායකත්වය ලබාදීමට බුද්ධිමතුන් හා වෘත්තිකයන් විශාල වශයෙන් නායකත්වය හා පක්ෂය වටා ඒකරාශි කරමින් සිටී. අපගේ දැක්ම අනුව සජිත් පේ‍්‍රමදාසගේ අපේක්ෂකත්වය අවසාන වශයෙන් තීරණය වන්නේ මෙරට හෝ විදේශීය රටක සීත කාමරයක නොව මෙරට ජනතාවගේ පැල්පත් හා නිවාස තුළය.

දේශපාලනයේ අනාගතය මැයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පැවැති විද්වත් අදහස් දැක්වීමකදී මහාචාර්ය ආනන්ද ජයවික‍්‍රම මහතා දැක්වූ අදහස් කැටිකොට සකස් කළ ලිපියකි.

සකස් කළේ – සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment