උණ්ඩියල් ගනුදෙනු නිසා මැණික් සම්පත රටට සම්පතක් නොවේ…
කොළඹ බංකොලොත් ව්‍යාපාරිකයෝ පෝලිමට මැණික් කර්මාන්තයට…
මෙරට මැණික් නිධිවලින් ගොඩ අරගෙන තියෙන්නෙ 25%ත් අඩු ප්‍රමාණයක්…
ලංකාවේ ඕනෑම පුරවැසියකුට පතල් ලයිසන් ගන්න පුළුවන්…
මෙරට මිණි කැට ලොවට අගනේ ය. ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි තරමට අපේ මැණික් ලෝකයට වටින්නේ ය. එහෙත් මැණික් අපනයනය ‘උණ්ඩියල්’ ක්‍රමයට කෙරෙන තෙක් මෙරට ආර්ථිකයට ඇති සෙතක් නැත. එයින් ඩොලර් උපයන්නෙ උණ්ඩියල් ක්‍රමයට මැණික් වෙළෙඳාම කරගෙන යන සිංහල සහ මුස්ලිම් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක් පමණක් බව මැණික් කර්මාන්තයේ නියැළී සිටින බහුතරය කියන කතාවකි. එමෙන්ම පණ ගසා නැඟුණු මෙරට මැණික් කර්මාන්තය නැවතත් බරපතළ අර්බුදයකට තල්ලු වෙමින් තිබෙන බව ද ඔව්හු අපට කීහ. ඒ මෑතක සිට බැකෝ පතල් කර්මාන්තය කරගෙන යෑමට අතොරක් නොමැතිව අවසර ලබාදීම නිසා ය. ගැටලු වැල එසේ පෙළගැසෙන විට සීතාවක, තල්දූව රේස් පිට්ටනිය අසල අපි නතර වීමු.
ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය මගින් සීතාවක, තල්දූව රේස් පිට්ටනියට මායිම් වූ රජයේ ඉඩමක් පර්චස් පහ, දහයේ කොටස්වලට වෙන්දේසි කර ඇත. වෙන්දේසියෙන් එම බිම් කොටස් මිලදී ගත් බහුතරය මේ වනවිටත් මැණික් ගැරීම ආරම්භ කර ඇත. ඇතැම්හු සාම්ප්‍රදායික ක්‍රමයෙන් ඔබ්බට ගොස් පර්චස් පහේ, දහයේ ඉඩම් කට්ටි තුළ ද බැකෝ යන්ත්‍ර යොදාගෙන මහා පරිමාණයෙන් මැණික් ගැරීම කරගෙන යන්නාහ. එවැනි කුඩා බිම් කොටසක බැකෝ පතල් කරගෙන යෑමට අවසර තිබේ ද යන්න අපට ගැටලුව කි. එම ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා මෙරට පතල් කැණීම් භාර අධ්‍යක්‍ෂ අමරසිරි මහතාව දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගනිමින් අදාළ ගැටලුව ගැන අපි සාකච්ඡා කළෙමු.
“තල්දූවේ නාගරික සංවර්ධන අධිකාරියට අයිති ඉඩමක බිම් කොටස් පනහක් වෙන්දේසි කර, පතල් කැණීමට අවසර ලබාදීලා තියෙනවා…”
පර්චස් පහක, දහයක ඉඩමක බැකෝ පතල් කරගෙන යෑමට අවසර ලබාදෙන්න පුළුවන් ද? අපි කෙටි පැනයක් යොමු කළෙමු.
“යාන්ත්‍රික කැණීම්වලට අවසර ලබාදීලා නෑ. ඒත් උඩ පස් තට්ටුව ඉවත් කරන්න බැකෝ යන්ත්‍ර පාවිච්චි කිරීමක් වෙනවා…”
කොළඹ ව්‍යාපාරිකයන් පතල් හාරන්න පටන්ගෙන කියලා ආරංචියි…? නැවතත් කෙටි පැනයකි.
“ලංකාවේ ඕනෑම පුරවැසියකුට පතල් කැණීම් බලපත්‍රයක් ලබාගැනීමේ අයිතිය තියෙනවා. බලපත්‍ර ඉල්ලුම් කරන පුද්ගලයන්ගේ පදිංචිය ගැන අපි අවධානය යොමු කරන්නෙ නෑ. ලංකාවේ පුරවැසිභාවය සනාථ කරනවා නම් අපි බලපත්‍ර නිකුත් කරනවා…” පතල් කැණීම් භාර අධ්‍යක්‍ෂවරයාගේ පිළිතුරු ඍජුය. එහෙත් පතල් කැණීම් සම්බන්ධයෙන් අල්ප මාත්‍ර දැනුමක් නොමැති ව්‍යාපාරිකයන් මැණික් කර්මාන්තයට පැමිණීම තුළ යම් අර්බුදයක් මතුව ඇති බව ලංකා මැණික් ව්‍යාපාරිකයන්ගේ සහ පතල්කරුවන්ගේ මහ සංගමයේ සභාපති යූ. ජී. චන්ද්‍රසේන මහතා ද කරුණු ඉදිරිපත් කළේය.
“පවතින ආර්ථික අර්බුදය නිසා විවිධ ව්‍යාපාර බංකොලොත්වීමත් සමග කොළඹ සහ ඒ අවට නගරවල වෙනත් ව්‍යාපාරවල නිරතව සිටි බොහෝ ව්‍යාපාරිකයන් මේ වනවිට පතල් කර්මාන්තයට ඇවිත් තියෙන බව ඇත්ත. කැණීම් බලපත්‍ර ඉල්ලුම් කරන පුද්ගලයන් කොපමණ කාලයක් පතල් කර්මාන්තයේ නියැළී සිටිනවාද යන්න සොයාබැලීමකින් තොරව මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය බලපත්‍ර නිකුත් කරන බවත් පේන්න තියෙනවා. හිටි හැටියේ උඩින් පාත් වෙන මිනිස්සු මේ කර්මාන්තයේ පැවැත්ම ගැන බලන්නෙ නෑ. ක්‍ෂේත්‍රය ගැන කිසිදු අධ්‍යනයක් නෑ. මැණික් ඉල්ලම් ගැන අවබෝධයක් නෑ. මාලාව දන්නෙ නෑ. මැණික් ගැරීමේ අරමුණින් ඉවක් බවක් නැතිව බැකෝ යන්ත්‍ර යොදාගෙන කපාගෙන යනවා. වාසිය නැති වෙච්ච හැටියේ පතලත් අතහැර, පැදුරටත් නොකිය යනවා. සීතාවක, රත්නපුරේ විතරක් නෙමෙයි, ඇළහැර ප්‍රදේශයේ මේ ව්‍යසනය තදබල විදිහට තියෙන බව ආරංචියි. ඒත් සාම්ප්‍රදායික පතල් කර්මාන්තකරුවන් වාසි නැති වුණත් කැණීම් වළවල් ඉතුරු කරලා යන්නෙ නෑ. රත්නපුරේ මිනිස්සු මැණික්වලට නෙමෙයි ආදරය කරන්නෙ මේ පොළොවට. මේ පොළොවෙන් ලැබෙන මැණික්වලින් තමයි අපේ මිනිස්සු ගොඩ ගියේ. අදටත් රත්නපුරේ ආර්ථිකය රඳාපවතින්නෙ මැණික් කර්මාන්තය මත. ඒ නිසා අපේ මිනිස්සු පොළොව හූරගෙන මැණික් ගන්නෙ නෑ. අපි හෙටත් ජීවත් වෙන්නෙ මේ පොළොවෙමයි. හෙට උපදින අපේ දරුවනුත් ජීවත් වෙන්නෙ මේ පොළොවෙ. අපි පය ගහගෙන ඉන්න භූමිය තමයි ලංකාවේ තියෙන වාසනාවන්ත ම පොළොව. අපේ හිත්වලට ඒක තදින් කා වැදිලා තියෙන්නෙ. ඒ නිසා අපේ මිනිස්සු මේ පොළොවට අඹමල් රේණුවක තරම්වත් අවඩැක් වෙන විදිහට වැඩ කරන්නෙ නෑ. අපි පතලක් කපන්න මුල පුරන්නෙත් සමන් දෙවි හාමුදුරුවන්ගෙන් අවසර අරගෙනයි. අපි මේ පොළොවට නරකක් කරනවා නම් උන්වහන්සේ ඒකට ඉඩ දෙන්නෙ නෑ. අනිත් එක රත්නපුරේ කියලා හැම තැනම මැණික් නෑ. මේ පොළොවේ මැණික් තියෙන තැන් තියෙනවා. අපි ඒ තැන් දන්නවා. ඒ නිසා අපි පතලක් බහින්නෙ හරියට ම නියම තැන් බලලා…” සභාපතිවරයාගේ කතාව එසේ පෙළගැසෙන විට රත්නපුර නගරය පිටුපස, රත්නපුර ගොළුවාවිල කාපට් ඇතිරූ විසල් මාර්ගය ආසන්නයේ අවිධිමත් ආකාරයෙන් පතල් කැණීම් නිසා මහ මාර්ගය ද පුපුරා යෑම තුළ කැණීම් බලපත්‍ර පවා අවලංගු කර ඇති බව වාර්තා විය. බලපත්‍ර අවලංගු කරනවිට පරිසරයට නොවිය යුතු දේ සිදු වී අවසාන බව ප්‍රදේශවාසීන්ගේ අදහස ය. මැණික් කැණීම් නිසා රත්නපුරය අවට එවැනි පරිසර හානි එමට ය. එහෙත් එවැනි සිද්ධි මාධ්‍යයේ වාර්තා වෙනවා ඉතා ම අඩුය. පතල් කර්මාන්තයේ අගුණ කතා කරනවිට ඉනිදු යැපෙන පතල් කම්කරුවෙක් වන සරත් දුක හිතෙන කතාවක් කීවේය.
‘අපේ ගෙවල්වල බතක් ඉදෙන්නෙ පතලක් බැස්සොත් විතරයි. එහෙම නැතිව අපිට තේ, පොල්, රබර් වතු නෑ. අපේ ජීවිත රැඳිලා තියෙන්නෙ පතල් රස්සාව මත. පතල් අයිතිකරුවන් ඒ අයගේ ආර්ථිකය හදාගෙන ඉවරයි. දැන් ඒ අයට කර්මාන්තය තිබුණත් එකයි, නැතත් එකයි. කර්මාන්තය වැටෙනවා කියන්නෙ අපේ ජීවිත කඩා වැටීමක්. බැකෝ පතලක වැඩ කරනකොට එක පාර ලොකු මුදලක් අතට ගන්න පුළුවන්. අපි ගෙයක් දොරක් හදාගත්තෙ පතල් රස්සාවට බැකෝ ආවට පස්සෙ. තට්ටු පතල් රස්සාවේ දී මුදල් එන්න කාලයක් යනවා. බැකෝ පතල්වල වැඩ කරනකොට නිතර ම අතේ සල්ලි ගැවසෙනවා. අනිත් එක හැමදාම උදලුවලින් පතල් කපන්න බෑ. බැකෝ පතල්වල දී කරන්න තියෙන්නෙ ගරන එක විතරයි. මහන්සි වෙන්න තියෙන කාලයත් අඩුයි. ඒත් සාමාන්‍ය පතලකට වඩා අපිට ආදායමක් ලැබෙනවා. දැන් හැදෙන කොල්ලොත් බැකෝ පතල්වල වැඩ කරන්න කැමැතියි. තට්ටු පතලක් කිව්වොත් පැත්ත පළාතකට එන්නෙ නෑ. තට්ටු පතලක වැඩ කරන පස් දෙනාම, බැකෝ පතලකත් වැඩ කරනවා. බැකෝ යන්ත්‍ර දැම්මා කියලා සේවකයෝ අඩු කරන්න බෑ. ඒක සංස්ථාවේ නීතියක්. බැකෝ දලා වළ වහනවා නම් පොළොවට කිසිම හානියක් වෙන්නෙ නෑ. ඒත් පිටින් එන ව්‍යාපාරිකයෝ බලන්නෙ වාසිය ගැන විතරයි. පරිසරයට වන හානිය ගැන ඔවුන් බලන්නෙ නෑ. රැයක් දවාලක් නැතිව මිනිස්සු දාගෙන පොළොව හැරූවා ගල් ටික ගරා ගත්තා යන්න ගියා. කැණීම් කරපු වළවල් ගැන සැලකිලිමත් වෙන්නෙ නෑ. තව පිරිසක් ලක්‍ෂ ගණන් සල්ලි වියදම් කරලා ඉඩම් බද්දට අරගෙන, මැණික් සංස්ථාවෙන් බැකෝ බලපත්‍රයක් අරගෙන මහා විශාලෙට වළවල් කපලා මැණික් නැති තැන පතල අතහැර යන්න යනවා. එහෙම අතහැර දාපු කැණීම් වළවල් විශාල සංඛ්‍යාවක් රත්නපුරේට ඉතුරු වුණා. අදටත් එහෙම වළවල් මේ ප්‍රදේශවල තියෙනවා. ඒ වගේම ලබා දුන්නු බලපත්‍රයට අනුව පොළොව හාරගෙන කරන දේ සොයාබැලීම මැණික් සංස්ථාවේ වගකීමක්. ඒකට තමයි රජයෙන් පඩි ගෙවාගෙන නිලධාරීන් පත් කරලා තියෙන්නෙ. බලපත්‍රලාභීන් කැණීම් වළක් අතහැර ගියොත් වහලා පොළොව යථාවත් කරන්න මැණික් සංස්ථාව ඇප මුදලක් තබා ගන්නවා. දැන් ඇප මුදලත් ලක්‍ෂ ගාණකින් වැඩි කරලා තියෙනවා. එම ඇප මුදල් තීරණය කරන්නෙත් අධිකාරියම තමයි. ඔය අතහැර දමා යන කිසිම කැණීම් වළක ඇප මුදල් සංස්ථාව නිදහස් කරන්නෙ නෑ. ඒවා සංස්ථාව භාරයේ තියෙනවා…”හේ නිහඬ විය.
රත්නපුරේ මැණික් කර්මාන්තය සංවර්ධනය කිරීම අටියෙන් පතල් කර්මාන්තයට යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දී ඇත්තේ 1990 වර්ෂයේදී ය. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් ගෙන ඇති එම තීරණය අදට ද අපි අගය කරන්නෙමු. දීර්ඝ කාලයක් තිස්සේ සාම්ප්‍රදායික ක්‍රමයට පතල් කැණීම් කළ ඉඩම්වල ඉතිරි වන ඉල්ලම් නිධි ගොඩ ගැනීමට ඇති එකම ක්‍රමය බැකෝ යොදාගැනීම ය. එහෙයින් බැකෝ පතල් බලපත්‍ර ලබාදීමට අවසර ඇත්තේ ද සාම්ප්‍රදායික පතල් කැණීමෙන් පසු ඉල්ලම් සහිත ඉඩම්වලට පමණි. එහෙත් අලුත් ඉඩම්වලට ද බැකෝ බලපත්‍ර ලබාදෙන සිද්ධි කාලයක සිට රත්නපුරෙන් වාර්තා විය. එමෙන්ම අවධිමත් ආකාරයෙන් පවත්වාගෙන යන බැකෝ පතල් නිසා මෙරට මැණික් කර්මාන්තයට පමණක් නොව, අදාළ ප්‍රදේශවල විවිධකාර පරිසර ගැටලු නිර්මාණය වී තිබෙන බව ද කාලයක සිට අවස්ථා කිහිපක දී අපි හෙළිදරව් කළෙමු.
කැණීම් කොට අතහැර දමා ජලය පිරුණු වළවල්වලට කුඩා ළමයින් වැටී මියගිය අවස්ථා ගැන වාර්තා කර තිබේ. එවැනි අනතුරුදායක දිය අගල්වලට පුද්ගලයන් වැටී පූරුවේ පිනට දිවි ගැල වූ අවස්ථා එමට වාර්තා වන බව ද සැබෑය. එමෙන් ම සාම්ප්‍රදායික පතල් කර්මාන්තයේ දී යොදාගන්නා කැකිල්ල, ලී දඬු අවශ්‍ය නොවන නිසා බැකෝ පතල් කර්මාන්තයේ දී සිදු වන පරිසර හානිය අවම ය. සාම්ප්‍රදායික ක්‍රමයට දෝනා ගිහින් ඉල්ලම් ගරාගෙන පතල වසා දැමුව ද දෝනා නොවැසීම තුළ විෂ වායු හටගැනීමේ ප්‍රවණතාවය වැඩිය. එවැනි භූමියක නැවත පතල් කැණීමේ දී විෂ වායු පුපුරා ගොස් ජීවිත හානි සිදුවීමට ඇති ඉඩකඩ ද වැඩිය. එවැනි විෂ වායු පුපුරා ගොස් අසරණ ජීවිත අහිමි වූ අවස්ථා, දෑස් අන්ධ වූ අවස්ථා විටින්විට වාර්තා වී ඇති බව ද සැබෑය. එවැනි පසුබිමක මේ වනවිට මෙරට බැකෝ පතල් බලපත්‍ර තුන්සිය ගණනක් නිකුත් කර ඇති බව ද වාර්තා වේ. වියදම අධික වුවද කෙටි කාලයකින් ඉල්ලම්
ලබාගැනීමට හැකියාව තිබෙන නිසා බැකෝ පතල් මැණික් කර්මාන්තය තුළ ජනප්‍රිය වෙමින් තිබේ. එහෙත් මැණික් කර්මාන්තය යනු වාසනාව මත රැඳුණු කර්මාන්තයකි. කොපමණ මුදල් වියදම් කළ ද බලපත්‍රලාභීන්ගේ, පතල්වල වැඩ කරන කම්කරුවන්ගේ වාසනාව නොතිබෙන්න මැණික් නොලැබී යෑමට ඉඩ තිබේ. කරගෙන ගිය ව්‍යාපාර බංකොලොත් වී පෙර පව් පඩිසම් දීමට පටන්ගෙන ඇති කල දසාවක යන්ත්‍ර සූත්‍ර යොදාගෙන කෝටි ගණනින් මුදල් වියදම් කළ ද පිටගම්කාර ව්‍යාපාරිකයන්ට රත්නපුරේ, ඇළහැර මිණිකැට මතු නොවීමට තිබෙන ඉඩ වැඩිය. එවැනි පසුබිමක පොළොවත් සමග උරණව බංකොලොත් ව්‍යාපාරිකයන් කැණීම් කරගෙන ගිය මහ වළවල් අතහැර පිටමංවීමට තිබෙන ඉඩ බොහෝ වැඩිය. ඒ ගැන අවධානයෙන් සිටීම කැණීම් බලපත්‍ර නිකුත් කරන ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ වගකීමකි.
මැණික්වලට ප්‍රසිද්ධ බුරුමය වැනි රටවල උපරිම තාක්‍ෂණය භාවිත කරමින් මැණික් තිබෙන ගල් කඳු හඳුනාගෙන ඒ ගල් කඩා මැණික් මතු කරගන්නා මහා පරිමාණ කර්මාන්ත පවත්වාගෙන යන්නේය. එවැනි තාක්‍ෂණික ලෝකයක අප සිටිනුයේ වසර දස, දහස් ගාණක් ගෙවී ගොස් ගල් කඳු දිරාපත්ව පස් බවට පත් වී ඒ පස් සමග සේදී ගිය මැණික් අහුලා ගන්නා ගල් යුගයකය. සාම්ප්‍රදායික ක්‍රමවේදයන් ඔස්සේ කරගෙන යන මැණික් කර්මාන්තය තුළ මෙරට පවතින මැණික් නිධිවලින් තවම 25% ක් ගොඩගෙන නැති බව ද වාර්තා වේ. ඉතිහාසයේ සිට මැණික්වලට ප්‍රසිද්ධ රත්නපුරේ තවම 50%ක් මැණික් කැණීම් කර නැති බව ද වාර්තා වේ. එමෙන්ම ඇළහැර, හැටන්
බගවන්තලාව ප්‍රදේශවල ද මැණික් හැදෙන පාෂාණ බහුලය. කාලයත් සමග මහ ගල් දිරාපත් වී ඒ තුළ උපදින ‘නොදිරන මිණි කැට’ පස් කඳු සමග සේදී ඇළ දොළ ගංගා හරහා පාවී ගොස් රට පුරා විසිරි ඇති බව ද සැබෑය. එහෙයින් දූපත් මානසිකත්වයෙන් ඔබ්බට ගොස්, යල් පැන ගිය ක්‍රමවලින් නිදහස් වී යන්ත්‍ර සූත්‍ර යොදාගෙන පතල් කර්මාන්තය කරගෙන යෑමේ කිසිදු වරදක් අපි නොදකිමු. මෙරට මැණික් සම්පත රටේ ආර්ථිකයට ආදායමක් කරගැනීමට නම් කෙටි කාලයක් තුළ විශාල මැණික් ප්‍රමාණයක් කැණීම් කොට ඉහළ විදේශීය වටිනාකමකට අපනයනය කළ යුතු බව සැබෑය. තට්ටු පතල් වැනි සාම්ප්‍රදායික ක්‍රමයට පතල් කැණීම් කොට කෙටි කාලයකින් විශාල මැණික් ප්‍රමාණයක් ගොඩගැනීම සිහිනයක් වැනිය. බැකෝ පතල් ක්‍රමයෙන් ද ඔබ්බට ගිය ලොව පිළිගත් තාක්‍ෂණික ක්‍රමවේදයන් ඒ සඳහා භාවිත කළ යුතු බව අපගේ හැඟීම ය.
එහෙත් නිශ්චිත ප්‍රතිපත්තියකට අනුකූලව කර්මාන්තය ගැන දැන උගත් පිරිසකගේ උපදෙස්, නිර්දේශයන් මත එය සිදු විය යුතුය. අදාළ නීති රාමුවෙන් පරිබාහිරව කැණීම් කරන බලපත්‍රලාභීන්ව අසාදු ලේඛනගත කරමින් මැණික් කර්මාන්තය තුළ විශ්වාසය ගොඩනැඟිය යුතුය. අවම වශයෙන් වසර පහකට වැඩි සාම්ප්‍රදායික බලපත්‍ර සහිත සුදුසු ඉඩම්වලට බැකෝ බලපත්‍ර ලබාදීමේ ප්‍රතිපත්තිය දිගට ම ක්‍රියාත්මක කරවීම මෙරට මැණික් කර්මාන්තයේ උන්නතියට යහපතකි. එමෙන්ම මැණික් සම්පත හොර පාරෙන් පිටරට යෑම වළක්වා විනිවිදභාවයෙන් යුක්තව වැඩි වටිනාකමට ජාත්‍යන්තර වෙළෙඳ පොළට නිකුත් කිරීමට පවතින රජය දක්‍ෂ විය යුතුය. විශේෂයෙන් ම මැණික් සම්පත රටට සම්පතක් කිරීමට නම් අදාළ බලධාරීන් සහ නිලධාරීන් හොරු නොවිය යුතුය. එවැනි පසුබිමක මෙරට මැණික් කර්මාන්තයෙන් දැනට ලැබෙන විදේශීය විනිමය දස, දහස් ගුණයකින් වැඩි කරගත හැකි බව විද්වත් මතයකි.
පෙළගැසෙන කතාවට ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයාව සම්බන්ධ කරගැනීමට කිහිපවිටක් අපි උත්සාහ ගත්තෙමු. එහෙත් අපගේ වෑයම සාර්ථක නොවිණි.
තරංග රත්නවීර