අනියම් ප්‍රේමයට එරෙහි වූ කාන්තාවට වෙඩි තබූ සැකකරු අත්අඩංගුවට

89

සිය සහෝදරයාගේ බිරිඳ සමග පවත්වාගෙන ගිය අනියම් ප්‍රේම සම්බන්ධයකට එරෙහිවූ කාන්තාවකට වෙඩි තබා බරපතළ තුවාල සිදු කොට ප්‍රදේශයෙන් පලායමින් සිටි බව කියන පනස් එක් හැවිරිදි පුද්ගලයෙකු මේ මස 22 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මැදවච්චිය මහෙස්ත්‍රාත් ඉමේෂා ධර්මදාස මෙනවිය පෙරේදා (11දා) නියෝග කළාය.

මැදවච්චිය මහදිවුල්වැව ඇටවීරගොල්ලෑව පදිංචිව සිටි පනස් එක් හැවිරිදි හේරත් බණ්ඩාගේ උක්කුබංඩා නමැති පුද්ගලයෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සැකකරු ඉකුත් 10 වෙනිදා සවස කුලියාපිටියේ සිට මහදිවුල්වැව ඇටවීරගොල්ලෑව ප්‍රදේශයේ පිහිටි තම නිවසට පැමිණ එහි සඟවා තිබූ මෙරට නිෂ්පාදිත බෝර 12 ගිනි අවිය රැගෙන එදින රාත්‍රී 7.00 – 8.00 අතර කාලයේ ඔහුගේ පළමු අනියම් බිරිඳ බව කියන එම ප්‍රදේශයේම පදිංචි හතළිස් තුන් හැවිරිදි දෙදරු මවගේ නිවසට ගොස් ඇය සමග බහින්බස්වීමක් ඇති කර ගැනීමෙන් පසු ඇයට වෙඩි තබා පලාගොස් තිබේ.

එම අවස්ථාවේ සිය පාදයක කලවා ප්‍රදේශයට වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව ප්‍රතිකාර සඳහා මැදවච්චිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබිණි.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.අයි.බී. රත්නායක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ විමර්ශන වලදී අනාවරණය වූ තොරතුරු මත සිද්ධිය වී පැය පහක් තුළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරු සිය කලින් අනියම් බිරිඳට වෙඩි තැබීමට භාවිතා කළ අදාළ ගිනි අවිය සහ එස්. ජී. වර්ගයේ හිස් පතුරම් කොපුව මහදිවුල්වැවට විසි කර බස් රථයකින් පලායමින් සිටි සැකකරුට එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දී යන ලෙසට මැදවච්චිය පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කළ දැනුම් දීමකට අනුව ආපසු මැදවච්චිය නගරයට පැමිණෙමින් සිටියදී පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මීට පෙර මැදවච්චිය මහදිවුල්වැව ඇටවීරගොල්ලෑව ප්‍රදේශයේම ගොවිපළක් සහ සත්ව ගොවිපළක් පවත්වාගෙන ගොස් ඇති සැකකරු වෙඩි වැදී තුවාල ලැබූ කාන්තාව සමග ද අනියම් ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පසුව සැකකරු ඇගේ සහෝදරයාගේ බිරිඳ සමග ද අනියම් ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන පසුව සැකකරු සිය ගොවිපළ සහ සතුන් විකුණා දෙවන අනියම් බිරිඳ සමග හොර රහසේම කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචියට ගොස් ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මේ පිළිබඳව මැදවච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු – මැදව්ච්චිය – ගයාන්

advertistmentadvertistment
advertistmentadvertistment