අනුකම්පා රහිත විවේචන සාහිත්‍යයට හිතකර තත්ත්වයක් නෙවෙයි… – ලේඛික රූපා ශ‍්‍රියානි ඒකනායක

180

2012 වසරේදී ‘සිටුවර පුවත’ නවකතාව පිණිස ස්වර්ණ පුස්තක සම්මානය හිමිකරගත් ප‍්‍රවීණ ලේඛිකා රූපා ශ‍්‍රියාණි ඒකනායක ඉන් වසර 12 කට පසුව මෙවර ද (2020) ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබීය. ඇය විසින් රචිත භේරුණ්ඩ කැඳැල්ල’ නවකතාව පිණිස මෙවර ස්වර්ණ පුස්තක සම්මානය හිමිවිය.මෙවර අකුරු දිගේ සාහිත්‍ය සංවාදය වෙන් වන්නේ සම්මානනීය ලේඛිකා රූපා ශ‍්‍රියානි ඒකනායක වෙනුවෙනි.

මෙරට පවත්වනු ලබන සාහිත්‍ය සම්මාන ප‍්‍රදානයන් අතර ස්වර්ණ පුස්තක සම්මානය යනු සාහිත්‍ය සමාජය තුළ ඉහළ අවධානයක් දිනාගත් කටයුත්තක්. එවැනි සම්මානයකින් විශිෂ්ටත්වයට පත් වීම සම්බන්ධයෙන් ඔබ තෘප්තිමත් ද?

තම නිර්මාණය කිසියම් ආකාරයකින් අගැයීමකට පත් වීම පිළිබඳව අදාළ නිර්මාණකරුවා සතුටු වීම ස්වාභාවිකයි. එය නවකතාව පිළිබඳවත් එසේමයි. මේ වන විට නවකතාව සඳහා පිරිනැමෙන සම්මාන අතර ස්වර්ණපුස්තක සම්මානය සඳහා මෙතරම් අවධානයක් යොමු වන්නේ කරුණු කිහිපයක් ම හේතුකොට ගෙන වෙන්න පුළුවන්. ඒවා විශ්ලේෂණය කිරීම

මාගේ භූමිකාව නොවේ. කෙසේ වෙතත් මාගේ කෘති කිහිපයක් ම වරින් වර නිර්දේශ වීම හා ඒවාට සම්මාන ලැබීම පිළිබඳව නිහතමානීව සතුටු වෙනවා. එවැනි සම්මානයක් ලැබීම නිසා ම මා නවකතාකරණයේ විශිෂ්ටත්වයට පත් වූ බවක් නම් මා හිතන්නේ නෑ. එක් එක් වසරේ දෙන සම්මාන ඒ ඒ අවස්ථාවට අනුව සාපේක්ෂ වෙනවා. ඒ නිසා අප නැවත නිර්මාණයක් කිරීමේ දී ලැබුණු සම්මානයේ බර කර ගසා ගත යුතු නෑ. 2012 වසරේ දී මාගේ සිටුවර පුවත නවකතාවට ස්වර්ණපුස්තක සම්මානය පිරිනැමුණු පසු මේ වසර වන කෙත් ම මාගේ නවකතාවක් ස්වර්ණපුස්තක අවසාන වටයවත් නියෝජනය කළේ නෑ. ඒ නිසා මාගේ අදහස නම් කිසිම කතුවරයෙක් සම්මානයක් ලැබුණු පමණින් විශිෂ්ඨත්වයට පත් නොවන බවයි. අදාළ වර්ෂයේ කෘති විනිශ්චය මණ්ඩල කිහිපයකින් ම විනිශ්චය වීමෙන් පසුවයි මේ සම්මානය ලැබෙන්නේ. සමහර විට ඒ කෘතිය ප‍්‍රශස්ත මට්ටමට ළං වන සාධනීය ලක්ෂණ පෙන්නුම් කරන්නක් වන්න පුළුවන්. ස්වර්ණපුස්තක සම්මානය පමණක් නොවෙයි වෙන ඕනෑම සම්මානයක් ලැබීමේ තත්ත්වය එයයි.

අනුකම්පා රහිත විවේචන සාහිත්‍යයට හිතකර තත්ත්වයක් නෙවෙයි... - ලේඛික රූපා ශ‍්‍රියානි ඒකනායක

ඔබ මෙතෙක් පැමිණි සාහිත්‍ය ගමන් මග පිළිබඳව කෙටි හැඳින්වීමක් කරනවා නම්…

ඕනෑම කෙනෙක් ලිවීමට පෙළඹෙන්නේ කියවීමෙන් ලැබෙන පරිචයෙන් පසුවයි. කියවීම විනෝදාංශය වූ ළමා කාලයක් අපට තිබුණා. ඒ කාලය සම්පූර්ණයෙන් ම තාක්ෂණික මෙවලම් වලින් තොරයි. ඒ නිසා අප පොත් හොය හොයා කියෙව්වා. නමුත් ලිවීමට පෙළඹුණේ මා රැකියාවට ගියාටත් බොහෝ කලකට පසුවයි. මා පළමුවෙන් ම ලිවූ පොත තමයි සව්සිරි සපිරි සව්දිය කියන සංචාරක සටහන් පොත. සව්සිරි සපිරි සවුදියට පසුව දේශානුරාගය නමින් කෙටි කතා පොතක් ලිව්වා. නවකතාකරණයට පිවිසුණේ මින් පසුව. මුලින් ම මා ලිවීමට කැමති වුණේ ඓතිහාසික චරිත ගැන. මාගේ මුල් ම නවකතා පොත විජයයි කුවේණියයි. දරු දෙදෙනෙක් සමඟ සැමියා විසින් අතහැර දැමූ අනුකම්පා කටයුතු සාමාන්‍ය ගැහැනියක් ලෙසයි මාගේ නවකතාවේ කුවේණිව මා හඳුන්වා දුන්නේ.

මා තවත් ඓතිහාසික නවකතා තුනක් ලියා තිබෙනවා. සෙංකඩගල මහ බිසෝ නම් නවකතාවට පාදක වුණේ කන්ද උඩරට රජ කිරුළට හිමි කම් කිවූ දෝන කතිරිනා චරිතය. දෝන කතිරිනා චරිතය යට සැඟ වී තිබූ දුක් සුසුම්, අඳෝනා ඉස්මතු කොට එය සාහිත්‍යමය ලෙස විවරණය කිරීමෙන් මේ නවකතාව නිර්මාණය කළා. ලක් ඔටුන්න හිමි වූ ගැහැනුන් මෙන්ම අපේ ඉතිහාසකරුවන් අතින් අසාධාරණයට ලක් වූ පිරිමි රජවරුත් බොහොමයි. එයින් එක්කෙනෙක් තමයි කාශ්‍යප රජු. මාගේ දුට්මි නෙතින් කසුප් නිරින්ද් නමැති නවකතාව කාශ්‍යප චරිතය අළලා ලියැවුණක්.

ඉතිහාසයේ පමණක් නොව වත්මනෙහි පවා සමහර කොටස් විසින් විවිධ ලේබල් අලවා අසාධාරණයට ලක් කළ අනගාරික ධර්මපාල චරිතය පාදක කොට ගෙන මා ලිවූ නවකතාව සෝබන මාලිගා. ධර්මපාල චරිතය තේමා කොට ගෙන ලියා ඇති තවත් නවකතා තිබේදැයි මා දන්නේ නැහැ. මේක ටිකක් දුෂ්කර කාර්යයක් වුණා. විවිධ ලේඛන කියවීමට හා හැදෑරීමට දිගු කාලයක් ගත වුණා. නමුත් මෙවැනි නවකතාවක් ලිවීමට හැකියාව ලැබීම ගැන මා සතුටු වෙනවා.

මේ හැරුණු විට තරු බඹසර, සිටුවර පුවත, බැද්දේ කුලවමිය, බලන් පුරසිරි නෙත් වසා හා භේරුණ්ඩ කැදැල්ල යන නවකතා වලට පාදක වූයේ සමාජයේ විවිධ පැතිකඩයන්. නුවරට යනකං රීලෝඞ් නමින් තවත් කෙටිකතා සංග‍්‍රහයක් ද, ගං තෙර ගැටයා නමින් යොවුන් නවකතාවක් ද, උම්මග්ග ජාතකයේ එන යම් යම් සිද්ධි පාදක කොට ගෙන මියුලූ නුවර පඬිවරු, පිංගුත්තර, කලණ මිතුරු, කටුසු කරේ රත්තරං හා අග්ගලා ලියමන නමින් ළමා පොත් කිහිපයක් ද මා අතින් රචනා වුණා.

දේශීය ප‍්‍රබන්ධ කලාව තුළ මේ වනවිට නවකතාව විසින් අත්පත් කරගෙන තිබෙන ඉඩකඩ පිළිබඳව ඔබේ මතය කුමක් ද?

මෙවැනි මාතෘකාවක් දීර්ඝ වශයෙන් සාකච්ඡුා කළ යුතු පුළුල් විෂයයක්. මේ විෂයය පිළිබඳ පුළුල්ව හදාරා ඇති ප‍්‍රාමාණික විද්වතුන් විසින් මේ සම්බන්ධව විවිධ ශාස්තී‍්‍රය පොත පත හා ලිපි පළ කොට තිබෙනවා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ආරිය රාජකරුණා, කේ ජයතිලක, මහාචාර්ය ඒ වී සුරවීර, ගුණදාස අමරසේකර, සේන තෝරදෙණිය වැනි විද්වතුන් මේ විෂයය පිළිබඳ පුළුල් ලෙස කතාකොට තිබෙනවා.

කතා ඇසීමට දක්වන පි‍්‍රයතාවය අපේ පැරණි ජන විඥනයේ නිබඳව තැන්පත් ව තිබූ දෙයක්. පන්සලේ බණ මඩුවේ කිසිවෙකු විසින් ජාතක කතා හඬ ගා කියන විට එය අසා සිටීමට පරිචයක් අපේ ගැමියා තුළ තිබුණා. අපේ ප‍්‍රබන්ධ කලාව බිහිවන්නේත් මෙවැනි පසුබිමක් උඩ. සද්ධර්මරතනාවලිය, බුත්සරණ. අමාවතුර වැනි කෘතීන් වැනි රචනයන් හි බොහෝ විට බුද්ධ චරිතය හෝ බුදු ගුණ කැටි වී තිබුණත් තථ්‍ය ලෝකයෙන් එහා ගිය සිද්ධි වර්ණනා හා අලංකාර ඇසීමට, කියවීමට පි‍්‍රයතාවයක් එකල ගැමි මිනිසුන් අතර තිබුණා. මාර්ටින් වික‍්‍රමසිංහ වරෙක සඳහන් කර තිබෙනවා එළු අත්තනගලූ වංශය ශ්‍රේෂ්ඨ ඓතිහාසික නවකතාවක් ලෙස ද සැලකිය හැකි බව. සිංහලයේ

ප‍්‍රථම නවකතාව ලෙස බොහෝ අය අර්ථ ගන්වන (මෙය විවාදාත්මකයි) මීනා නවකතාවෙන් පසුව නවකතා කලාව අපේ සාහිත්‍යයේ අතු පතර විහිදී වැඩෙන්නට පටන් ගත්තා. මාර්ටින් වික‍්‍රමසිංහ විසින් රචිත ගම් පෙරළිය සිංහල නවකතාව වෙනස් මඟකට යොමු කිරීමේ සන්ධිස්ථානයක් වුණා. ඉන්පසුව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර, කේ ජයතිලක, ජී. බී. සේනානායක හා තවත් බොහෝ ලේඛකයින් නවකතා රාශියක් සිංහල සාහිත්‍යයට දායාද කළා. නවකතාව නොයෙක් හැළ හැප්පීම්, විවේචන, ගුරු කුල බෙදීම් වැනි නොයෙක් පටලැවිලි වලට භාජනය වෙමින් තමයි මේ දක්වා ඉදිරියට පැමිණ තිබෙන්නේ. දැන් මුද්‍රණයෙන් පිටවන සාහිත්‍ය ග‍්‍රන්ථ දෙස බලන විට නවකතා තමයි වැඩි සංඛ්‍යාවක් බිහි වන්නේ. බොහෝ අය සාහිත්‍යය ලෙස දකින්නේත් නවකතා පමණයි. නවකතා කියවන විශාල පාඨක සංඛ්‍යාවක් ද බිහි වී තිබෙනවා. දැන් නවකතා වල ගුණාත්මක භාවය විවාදාපන්න වුවත් වත්මන් සාහිත්‍යයේ නවකතාවට වෙන් වී තිබෙන ඉඩකඩ ගැන සතුටු විය හැකියි.

භේරුණ්ඩ කැදැල්ල කෘතිය කියන්නේ යම් වියවුලක් පිළිබඳව කියා පෑමක්. එතන දී ඔබ විසින් වැඩි ඉඩක් වෙන් කළේ පරිකල්පනය පිණිස ද? එහෙමත් නැත්නම් යම් අත්දැකීමක් ප‍්‍රතිනිර්මාණය කිරීම පිණිස ද?

මවිසින් භේරුණ්ඩ කැදැල්ල නවකතාවට යොදා ගත් කතා තේමාව සැබැවින් ම බුද්ධිමය දේපළ අවභාවිතයක් පිළිබඳ කථා වස්තුවක් සේ සැලකිය හැකියි. එහි ප‍්‍රධාන චරිතය වන වරුණ නම් ලේඛකයා විසින් තව කෙනෙකු ගේ නවකතාවක් අමු අමුවේ සොරකම් කොට එය කිසි ම සංශෝධනයක් හෝ නොකොට ප‍්‍රකාශයට පත් කරනවා. එයින් පසු ඔහු තමා විසින් කළ කි‍්‍රයාව ගැන පීඩා විඳිනවා. පසුතැවිලි වෙනවා. කතාවට අනුව මෙහි බර යොමු වී ඇත්තේ පිටත සාහිත්‍ය ලෝකයට නොවේ. වරුණ ගේ අභ්‍යන්තර මනස වෙත. හෘද සාක්ෂිය වෙත. මෑතක දී සිදු වූ මෙවැනි සිද්ධි ගැන කතිකාවක් බිහි වී තිබුණත් ඒ සිද්ධි කිසිසේත් ම මාගේ කතාවට අදාළ නෑ. මෙවැනි දේ ජාත්‍යන්තරවත් බොහෝ විට සිදු වෙනවා. ඔබ සඳහන් කළා සේ මෙය යම් වියවුලක් ලෙස අර්ථ ගන්වන්නත් පුළුවන්.

මා කළේ මෙවැනි සිද්ධියක් පාදක කොටගෙන මාගේ පරිකල්පනය මෙහෙයවීම. නිර්මාණයක් යනු ද්‍රව්‍යමය දෙයක් නොවේ. එය යමෙකු ගේ මනසේ ඇති වන සංකල්පයක්. සංකල්පයේ බීජය අතු, ඉති, ලා වැඞී මහා වනස්පතියෙකු වන්නේත් මනස තුළමයි. මෙය තමයි නවකතාවක්, කෙටිකතාවක්, ගීතයක්, චිත‍්‍රපටියක් වැනි කුමන හෝ මාධ්‍යයකින් ජනගත වන්නේ. මේ සඳහා නිර්මාණ ශක්තියක් අවශ්‍යයි. බොෙහෝ විට නිර්මාණ ශක්තිය යනු පරිකල්පනයයි. පෙරදිග පඬිවරුන් විසින් එය යමෙකු තුළ ඇති වාසනා ගුණයක් ලෙසටත් හඳුන්වනවා. මෙහි දී මුළුමනින් ම ප‍්‍රතිනිර්මාණයක් සිදු නොවුණත් මේ කතාවට වස්තු වී ඇත්තේ එදිනෙදා සාහිත්‍ය ලෝකයේ දක්නට ලැබෙන සුලබ සිද්ධියක්. එය මන:කල්පිත චරිත හා සිද්ධි ඔස්සේ කතා කිරීමයි, මේ නවකතාවෙන් සිදු වුණේ.

සාහිත්‍ය සම්මාන සහතික ආදිය ප‍්‍රදානය කිරීමේ දී ඒ සඳහා මුල්‍යමය ප‍්‍රදානයන් සිදු කිරීම මේ වන විට සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ මොන ආකාරයෙන් ද?

නිර්මාණාත්මක කෘතියක් සඳහා සම්මානයක් ප‍්‍රදානය කිරීමේ දී ඒ සමඟ යම් තෑගි මුදලක් පිරි නැමීම සාමාන්‍ය සිරිතක්. එයින් කරන්නේත් ලේඛකයාට යම් උත්තේජනයක් සැපයීම විය හැකියි. මෙය අපේ රටට පමණක් සීමා වූ දෙයක් නෙමෙයි. නොබෙල් ත්‍යාගය, සහ බුකර් සම්මානය ඇතුළු සියලූ ජාත්‍යන්තර සාහිත්‍ය සම්මාන සමග යම් මුදලක් පිරිනැමීම කරනවා. සමහර විට ඒ මුල්‍යමය වටිනාකම ඉතා ඉහළ අගයක් ගන්නවා. ඒ නිසා මෙය අතිශය සාමාන්‍ය දෙයක්. ලොව කොතැනකවත් මේ කාරණය විවාදයට තුඩු දෙන්නේ නෑ. මෙය විවාද සම්පන්න වන්නේ මේ හා සම්බන්ධ නොයෙක් ප‍්‍රලාප සමාජ ගත වන විටයි. අද තිබෙන තත්ත්වය තමයි සම්මානය සමඟ වැඩි ම මුදලක් පිරිනමන තැනට තමයි සියලූ දෙනා ගේ අවධානය යොමු වන්නේ. මෙය මෙසේ නොවිය යුතු බවට කෙතරම් තර්ක විතර්ක ගොඩ නැඟුවත් වර්තමාන වෙළඳ ලෝකයේ සාහිත්‍ය නිර්මාණත් ආර්ථික භාණ්ඩයක් බවට නිතැතින් ම පත්වෙලා. මෙය හැම රටේ ම එක් එක් ආකාරයෙන් සිදුවන දෙයක්. ඕනෑම තාලයේ සාහිත්‍ය කෘතියක් පාඨකයන් අතට පත් කරන්නේ පොත් ප‍්‍රකාශකයන් හා ඒවා අලෙවි කරන අය විසින්. ලෝකයේ ඉතා ප‍්‍රසිද්ධ ප‍්‍රකාශන ආයතන වල සිට දේශීයව ඇති ඉතා කුඩා ආයතනය දක්වා ම මේ තත්ත්වය එක සේ සිදු වෙනවා. මේ නිසා රජයකින් පිරිනමන තෑගි මුදලට වඩා වැඩි මුල්‍යමය වටිනාකමක් පෞද්ගලික ආයතන විසින් පිරිනැමීමට නැමියාවක් හා හැකියාවක් තිබෙනවා. එහෙත් බොහෝ විට තවමත් රාජ්‍ය මැදිහත් වීමෙන් පිදෙන සම්මාන උසස් ගණයේ ලා සලකන ප‍්‍රවණතාවක් තිබෙනවා, ඒ හා සම්බන්ධ තෑගි මුදල අඩු වුවත්. ලේඛකයෙකු හෝ වෙනත් නිර්මාණකරුවකු රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබීම ඔහු ගේ හෝ ඇයගේ නිර්මාණ ජීවිතයේ නොමැකෙන මතක සටහනක් වන්නට පුළුවන්.

මේ හේතුවෙන් අනවශ්‍ය තරඟකාරී බවක් ක්ෂේත‍්‍රය තුළ දකින්නට ලැබෙනවා. එය සාහිත්‍යයේ හෙට දවස පිණිස හිතකර තත්ත්වයක් ද?

සාහිත්‍ය කෘතියක් නිර්මාණය කිරීම මලල කී‍්‍රඩාවක් වගේ තරඟයක් නෙවෙයි. ඒක බොහොම නිවී හැනහිල්ලේ තමන් ගේ පරිකල්පන ශක්තිය මෙහෙයවමින් කළ යුතු දෙයක්. වර්තමානයේ දී මෙරට කුමන හෝ හේතුවක් නිසා නවකතා ලිවීම වැඩි වී තිබෙනවා. පිටින් ඉඳගෙන මේ දෙස බලන අය සිතන්නේ මේ කරන්නේ මුල්‍යමය ත්‍යාගයන් ලබා ගැනීමට කෙරෙන ලිස්සන ගහේ නැඟීමක් ලෙස. එවැනි විවේචකයන් දකින්නේ නවකතා ලිවීම වැඩිවීමත්, ඒ සඳහා කරන ප‍්‍රචාරයත් තරඟයක් ලෙසින්. මේක තරඟයක් කියා උපහාසයෙන් මතවාද දක්වනවා මිසක නවකතාවක් ශාස්තී‍්‍රය විචාරයකට ලක් කිරීමට කවුරුත් උත්සාහ කරන්නේ නෑ. එසේ විචාරයට ලක් වුණත් ඒ කරන්නේ බොහෝ විට දැනහැඳුනුම් කම් උඩ. මේ ක්ෂේත‍්‍රයේ තරඟකාරී බවක් ඇති වී ඇතැයි මත පළ වීමට තවත් හේතුවක් තමයි සෑම වසරක් පාසාම නවකතා ලියනවායි නැෙඟන චෝදනාව. නවකතාවක් හෝ වෙනත් ඕනෑම ග‍්‍රන්ථයක් ලිවීමට මනා හැදෑරීමක් අවශ්‍ය බව ඇත්ත. එහෙත් නිතර නිතර නවකතා, කෙටිකතා හා තවත් විවිධ ශානරයන් ඔස්සේ ලියන සමහර ලේඛකයින් වසරක් පාසා ම සම්මානයටත් පාත‍්‍ර වෙනවා. එය ලේඛකයාගේ දක්ෂකම. එසේම කෙතරම් තරඟකාරී බවක් තිබුණත් සම්මාන ලැබෙන්නේ විනිශ්චය මණ්ඩල කිහිපයකින් දෙන විනිශ්චයක් මත. විවේචන එල්ල කිරීමට ඕනෑම කෙනෙකුට අයිතියක් තිබුණත් මෙවැනි විවේචන ඉදිරිපත් විය යුත්තේ හොඳින් කරුණු විශ්ලේෂණය කිරීමෙන් පසුවයි. ඔබ කීවා සේ අනවශ්‍ය තරඟයක් තිබෙනවා නම් එය සාහිත්‍යයේ හෙට දවස පිළිබඳ හිතකර තත්ත්වයක් නොවන්න පුළුවන්. එසේ ම සාහිත්‍ය පොත පත ලියන ලේඛකයාට අනුකම්පා රහිත විවේචන වලින් දමා ගැසීමත් සාහිත්‍යයට හිතකර තත්ත්වයක් නෙවෙයි.

සංවාදය – රුවන් ජයවර්ධන

අනුකම්පා රහිත විවේචන සාහිත්‍යයට හිතකර තත්ත්වයක් නෙවෙයි... - ලේඛික රූපා ශ‍්‍රියානි ඒකනායක
advertistmentadvertistment
advertistmentadvertistment