අනුබුදු මිහිඳු හිමියන්ගේ ධර්මදූත මෙහෙවර

110

ධර්මාශෝක මහරජතුමාගේත්, වේදිසා දේවියගේත් ජ්‍යෙෂ්ඨ පුත්‍රයා මහින්ද කුමාරයා ය. නැඟෙණිය මිත්තා කුමරියයි. වේදිසාවේ දී උපත ලැබූ මේ දෙදෙනා පාටලීපුත්‍රයට පැමිණෙන්නේ ක්‍රි.පූ. 268 දී චණ්ඩාශෝකගේ අභිෂේකයත් සමඟ ය. ඒ වන විට මහින්ද කුමාරයාට අවුරුදු දාහතරක් බව වංශකතාවල සඳහන් වේ. මොග්ගලීපුත්ත තිස්ස මහරහතන්වහන්සේගේ ශිෂ්‍ය හිමිනමක වූ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ සංවර ගමනට හා පුංචි ධර්ම දේශනාවට පහදින චණ්ඩාශෝක රජතුමා ධර්මාශෝක බවටත් එයින් පසු දික්විජය වෙනුවට ධර්මවිජය ප්‍රතිපත්තිය අනුගමනය කිරීමටත් පටන් ගනියි. එහි ප්‍රතිඵලයක් වශයෙන් තම දරුවන් දෙදෙනාත් සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම වෙනුවෙන් පූජා කරයි.

තෙවැනි ධර්ම සංගායනාව පැවැත්වීමට ද අනුග්‍රහය දක්වා කාශ්මීර-ගන්ධාර, වනවාස දේශය, අපරන්ත දේශය, මහාරට්ඨය, යෝනක දේශය, සුවණ්ණභූමිය, හිමවන්ත ප්‍රදේශය, මහිස මණ්ඩලය සහ තම්බපණ්ණිදීප යන රටවල් නවයට ධර්ම දූත කණ්ඩායම් ද පිටත් කර හරියි. මෙහි විශේෂත්වය වන්නේ තම්බපණ්ණිදීප නම් වූ හෙළදිවට තමන්ගේ පුතණුවන් වූ මිහිඳු මහරහතන්වහන්සේ ප්‍රමුඛ රජ පවුලේ ඥාතීන් වූ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන උපසම්පදා තෙරුන්වහන්සේලා සිව් නමත්, ෂඩ් අභිඥාලාභි සුමන නම් සාමණේරයන් වහන්සේත්, අනාගාමි බවට පැමිණ සිටි භණ්ඩුක නම් තරුණ උපාසකතුමාත් ගමනට තෝරා ගැනීමයි. කණ්ඩායම් නායක වූ මිහිඳු තෙරුන්වහන්සේ හෙළදිව බුදුදහම ප්‍රතිෂ්ඨාපනය කිරීමට අවශ්‍ය දේශපාලනික තත්ත්වය සොයා බලා මුටසීව නම් මහලු රජ කෙනකු රට පාලනය කරන බැවින් කාර්යක්ෂමව තමන් අපේක්ෂා කරන කටයුතු කිරීමට නොහැකි බව හඳුනාගෙන මාස හයක කාලයක් වේදිසාවේ වැඩවාසය කිරීමට තීරණය කරයි. එහි දී තවදුරටත් ධර්මය ප්‍රගුණ කර ක්‍රි.පූ. 250 දී ලංකාවට වැඩම කරනු ලැබේ. මෙය බුද්ධ පරිනිර්වාණයෙන් ක්‍රි.පූ. 236 වැන්නේ පොසොන්පුර පසළොස්වක දිනක දී සිදු වේ. ඒ වන විට රාජ්‍ය පාලනය කර ඇත්තේ මුටසීව රජතුමාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වූ දේවානම්පියතිස්ස රජතුමා ය. සමන්තපාසාදිකාව හා වංශ කථා සඳහන් කරන ආකාරයට මෙදින දඬකෙළි පැවැත් වූ දිනයකි. මිහින්තලා ගල්තලාවේ දී රජතුමාත්, මිහිඳු මහරහතන්වහන්සේ ඇතුළු ධර්ම දූත පිරිසත් මුණගැසේ. එතැන්හි දී රජතුමාට තම පිරිස හඳුන්වා දී ඇත්තේ ‘සමණාමයං මහාරාජ-ධම්මරාජස්ස සාවකා, තමේව අනුකම්පාය-ජම්බුදීපා ඉදාගතා’ යන ගාථාව ප්‍රකාශ කරමිනි. තමන් ඇතුළු දූත පිරිස දඹදිව සිට ඔබට අනුකම්පා පිණිස ලංකාද්වීපයට පැමිණි බව මෙයින් ප්‍රකාශ වේ. රජතුමාගේ ප්‍රඥාව විමසා බැලීමට අඹ හා ඥාති ප්‍රශ්න විමසා සිටි බව ද සමන්තපාසාදිකාව හා වංශ කථා සඳහන් කරයි. එතැන්හි දී සිදු වූ පිළිසඳරෙන් පසු රජු ඇතුළු පිරිස තිසරණයෙහි පිහිටුවා ‘චුල්ලහත්ථිපදෝපම සූත්‍රය’ දේශනා කර ඇත. එයින් බුද්ධ, ධම්ම හා සංඝ යන තෙරුවන පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දීමට මිහිඳු මහරහතන් වහන්සේ සමත් වී තිබේ. රජතුමා පහදවා ගැනීම කෙතරම් සාර්ථක වුණාද කියතහොත් පසු දින රජමාලිගයේ දානයට වැඩම කිරීමට ද ආරාධනා කරයි. පසු දින රජමාලිගයට වැඩම කර රැස්ව සිටි පිරිසට විමානවත්ථු, පේතවත්ථු හා සච්ච සංයුක්තයෙන් ධර්ම දේශනා පවත්වයි. එහි දී අනුලා දේවිය ඇතුළු කාන්තාවෝ පන්සියයක් සෝවාන් ඵලයෙහි පිහිටියහ. දෙවැනි දිනයේ දී ඇත් හලේ දී ‘දේව දූත සූත්‍රයෙන්’ ධර්ම දේශනා පවත්වා දහසක් දෙනා සෝවාන් ඵලයෙහි පිහිටුවූහ. අනතුරුව රාජ උද්‍යානයේ දී ‘බාල පණ්ඩිත සූත්‍රය දේශනා කිරීමෙන් තවත් දහසක් සෝවාන් ඵලයෙහි පිහිටුවිය. දෙවැනි දවස අවසන් වන විට තෙරුවන් සරණ ගිය සෝවාන් මාර්ගඵල ලැබූ පිරිස දෙදහස් පන්සියයක් දක්වා වැඩි කර ගැනීමට සමත් විය. එය සම්බුද්ධ ශාසනය හෙළදිව පිහිටුවීමට තවත් පහසුක් වී ඇත. තෙවැනි දිනයේ දී රාජමාලිගයෙන් දන් වළඳා ‘නන්දන උද්‍යානයේ දී ‘ආසීවසෝපම’ සූත්‍රයෙන් ධර්ම දේශනා කළහ. සිවුවන දිනයේ දී ‘අනමතග්ගිය’ සංයුක්තයෙන් ද, පස්වන දිනයේ දී ධම්මචක්කපවත්තන සූත්‍රයෙන් ද ධර්ම දේශනා පැවැත්වූහ. දින හතක් රජමාලිගය ඇසුරු කරගනිමින් වැඩ සිටි ධර්ම දූත පිරිස එම දිනහතේ දී අටදහකට අධික ශ්‍රාවක පිරිසක් බිහිකර ගනිමින් සම්බුද්ධ ශාසනය පිහිටුවීමට අදාළ කටයුතු බොහෝ ප්‍රමාණයක් සාර්ථකව නිමා කර ගෙන තිබේ.

මෙසේ දේවානම්පියතිස්ස මහරජතුමාගේ නොමද රාජානුග්‍රහය අරගෙන හෙළදිව සම්බුද්ධ ශාසනය පිහිටුවීමට අදාළ මූලික පියවර සියල්ලම සම්පූර්ණ කිරීමට මිහිඳු මහරහතන් වහන්සේ කටයුතු සම්පාදනය කර ගත්හ. එහි දී මිහින්තලය වස්සාවාසික ස්ථානයක් ලෙස ගොඩනගා සසුනට පූජා කිරීම, පසුකල ලක්දිව බැබල වූ මහාවිහාරය ඉදිකිරීම සහ ඒ වෙනුවෙන් මහාමේඝවනය හෙවත් නන්දන උයන පූජා කිරීම, ශ්‍රී මහාබෝධියේ දක්‍ෂිණ ශාඛාව වැඩමවීමට කටයුතු යෙදීම, එය පිහිටුවා සුදුසු අයුරින් පූදපූජා පැවැත්වීම සහ ආරක්‍ෂාව සැලසීම, භික්‍ෂු ශාසනය පිහිටුවීමට කටයුතු කිරීම, මෙහෙණි සසුන පිහිටුවීමට අවැසි කටයුතු සැලසීම, පළමු විනය සංගායනාව පැවැත්වීමට කටයුතු සැලසීම, අෂ්ටඵල සහ දෙතිස්ඵල බෝධි ශාඛා පිහිටුවීමට කටයුතු යෙදීම ප්‍රමුඛ වේ. මෙසේ මහත් වූ ශාසනික මෙහෙයක් ඉටු කර දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු වූ උත්තීය කුමරුගේ රාජ්‍යත්වයෙන් වර්ෂ අටක් ඉක්ම ගිය පසු මිහිඳු මහරහතන්වහන්සේ සෑගිරියෙහි දී පිරිනිවන්පාති. උන්වහන්සේ පිරිනිවන විට උපසම්පදාවෙන් වස් හැටක් ඉක්ම වූ බව වංශ කථාවල සඳහන් වේ. විසිවයසින් උපසම්පදාව ලබා වයස තිස්දෙකේ දී හෙළදිව ධර්ම ප්‍රචාරය පිණිස වැඩම කර ඇත. මෙයින් පෙනෙන්නේ තෙරුන්වහන්සේ නැවතත් සිය මව්බිමට නොගොස් පුරා වර්ෂ හතළිස් අටක් මෙහි ම වැඩ සිටිමින් සම්බුදු සසුනෙහි උන්නතිය පිණිසත්, හෙළදිව වැසියන්ගේ ආගමික, සාමාජික, සාහිත්යික උන්නතිය සඳහාත් කැප වූ බවකි. සිය ජීවිතයෙන් වැඩි වර්ෂ ප්‍රමාණයක් හෙළදිව වැසියන්ගේ සුබ සිද්ධිය උදෙසා ම කැප කළ බව පැහැදිලිව ම මෙයින් පෙනේ. එයට කෘතගුණ සලකන ලක්වැසියෝ අදටත් මිහිඳු හිමි “අනුබුදු මිහිඳු හිමි” යන ගෞරවාන්විත නාමයෙන් ආමන්ත්‍රණය කරමින් වාර්ෂිකව ‘මිහිඳු පෙරහැර’ ආදී පුදපූජා පවත්වමින් ගෞරව දක්වති. මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ ආකාරයත්, ධාතු නිධන් කොට දාගැබ් පිහිට වූ ආකාරයත් මහාවංශය සවිස්තරව කරුණු දක්වයි. ඒ අනුව අනුරාධපුරයෙහි ද, සෑගිරියෙහි ද, රජගල ආදී හෙළදිව තවත් ස්ථාන කිහිපයක ද තෙරුන්වහන්සේගේ ධාතු තැන්පත් කොට දාගැබ් පිහිටුවා තිබේ.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පොසොන් පුර පසළොස්වක පොහෝ දින හෙළදිවට වැඩම කර පිරිනිවන්පාන තෙක්ම හෙළදිව වැසියන්ට සේවය සැපයූහ. අධ්‍යාපනය, සාහිත්‍යය, කලාව, කෘෂිකර්මාන්තය, තාක්ෂණය අතින් දිළිඳු ජාතියක් වූ ශ්‍රී ලාංකිකයින්ට ඒවා ලබා දෙමින් නව ලෝකයකට මඟ විවර කර දුන්නහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් පංචසීල ප්‍රතිපදාව අනුගමනය කරන, කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව වැනි මානව හිතවාදී ගුණ ධර්මවලින් යුක්ත මිනිස් සමාජයක් බිහි වුණහ. ගස්, ගල්, පර්වත හා විවිධ අමනුෂ්‍ය, යක්ෂ හා සත්ත්ව ඇදහිලි විශ්වාසවලින් ඈත් කර ගුණ ධර්ම මත පනම් වූ ආගමික ඇදහීම් පුරුදු පුහුණු කළහ. සමාජයක් වඩාත් සංවර්ධනය වන්නෙත් සුවපත් වන්නේත් මිනිස් ගුණ ධර්ම මත බව පෙන්වා දුන්හ. විනීත බව, සරල බව, අල්පේච්ඡ ජීවිතයක වැදගත්කම අගය කළහ. නගර නිර්මාණය, ගමයි පන්සලයි වැවයි දාගැබයි සංකල්ප ඇතිවීම, සඳකඩපහණ, මුරගල, දාගැබ්, පිළිම, ගෘහ නිර්මාණ ශිල්පය, සංගීතය, චිත්‍ර, කැටයම් ආදී තාක්ෂණික හා කලාත්මක ශිල්ප ශ්‍රේණි ලාංකේය ජනයාට දායාද කිරීමට පෙරමුණ ගන්නේ ද මිහිඳු මහරහතන් වහන්සේ ය. ලෝකයේ ථේරවාදී මූලස්ථානය බවට ලංකාව පත්ව ඇත්තේ ද, සැලැස්මක් ඇතිව වැඩක් කිරීමට හෙළදිව් වැසියන්ට මුලින්ම පුරුදු පුහුණු කරවන්නේ ද, බුද්ධදාස-සද්ධාතිස්ස-කාශ්‍යප-මුගලන්-ධාතුසේන-සිරිසඟබෝ-අග්ගබෝධි-දාඨානාග ආදී බෞද්ධ නම් රජවරුන්ටත් රටේ සාමාන්‍ය ජනතාවටත් එකතු වන්නේ ද, බෞද්ධ ධර්ම කාරණා මත පදනම් වෙමින් අනුරාධපුර යුගයේ සිට අද දක්වා සිංහල සාහිත්‍ය නිර්මාණ බිහිවෙමින් විකාශනය වන්නේ ද, හෙළදිව රාජ්‍ය තෙවතාවක් ම සම්බුද්ධ ශාසනයට පූජා කර ඇත්තේ ද, දළදාව හිමි කර ගන්නේ නැතිව හා බෞද්ධයකු නොවී රටේ රජු බවට පත්වීමට නොහැකි තත්ත්වයක් ඇති වන්නේ ද, අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ අපරිමිත සේවයේ ප්‍රතිඵල නිසා ය. පොසොන්පුර පසළොස්වක පොහෝ දිනය යනු වෙසක් පොහොයට පමණක් දෙවැනි වන හෙළිදිව විශේෂ පුණ්‍යෝත්සව දිනයකි. මෙදින වෙසක් පොහොය දිනයේ මෙන් ම දාන, සීල, භාවනා සිදු වේ. මෙයට අමතරව මිහිඳු පෙරහැර උත්සව, තොරණ, දන්සල්, වන්දනා ගමන්, වැඩිහිටි උපස්ථාන, බෝධි පූජා, පිරිත් සජ්ඣායනා, භක්ති ගීත, බුද්ධ පූජා ආදී පින්කම් විශාල ප්‍රමාණයක් සිදු වේ. මේ බෞද්ධ සංස්කෘතික උරුමය ලොව අන් කිසිදු රටක දැක ගත නො හැකි ය. එබැවින් දහමෙහි හැසිරෙමින් මතු පරපුරටත් බෞද්ධ සංස්කෘතිය හා ථේරවාදී බුදුදහම උරුම කරදීම නූතනයේ ජීවත්වන බෞද්ධ සැමගේ යුතුකම වන අතර එය මිහිඳු මහරහතන් වහන්සේට කරන උතුම් ම ගෞරවය ද වේ.

අනුබුදු මිහිඳු හිමියන්ගේ ධර්මදූත මෙහෙවර

කථිකාචාර්ය,
ආචාර්ය පූජ්‍ය පදියතලාවේ අමරවංශ හිමි
සිංහල අධ්‍යයන අංශය
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
හෝමාගම.

advertistmentadvertistment
advertistmentadvertistment