අනුරපුරය බොදු බැතියෙන් නැහැවී….

105

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සැදැහැ සිතින් සැමරෙන උතුම් පොසොන් පුර පසළොස්වක පෝය දිනය යෙදී තිබූ ඊයේ (21 දා) මිහින්තලේ ඓතිහාසික රජමහා විහාරස්ථානය, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානය සහ තන්තිරිමලේ රජමහා විහාරස්ථානය ඇතුළු සිද්ධස්ථාන වැඳ පුදාගැනීමට සුදුවතින් සැරසුණු ලක්ෂ සංඛ්‍යාත සැදැහැවත්හු පිරිසක් සහභාගි වූහ.

ඊයේ (21) අලුයම් කාලයේ සිට දිවයිනේ නන් දෙසින් වැල නොකැඩී පැමිණි සැදැහැවතුන්ගෙන් එම සිද්ධස්ථාන අතුරු සිදුරු නොමැතිව පිරී පැවතිණි.

මිහින්තලේ රජමහා විහාරස්ථානය, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානය සහ තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ දී උපාසක උපාසිකාවෝ ලක්ෂයකට අධික පිරිසක් අෂ්ඨාංග උපෝසථ ශීලයෙහි සමාදන් වූහ.

අනුරාධපුර අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන, මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන, රුවන්මැලි චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක සහ තන්තිරිමලේ රජමහා විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන යන නාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පරිදි සියලු සිද්ධස්ථානවලදී ඊයේ (21) දවස පුරා ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන ලබා දෙමින් දාන, ශීල, භාවනා, ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා ආදී පිංකම් රාශියක් සංවිධානය කොට තිබිණි.

මේ අතර පැමිණි සැදැහැවතුන්ට ආහාර පානාදියෙන් සංග්‍රහ කිරීමට අනුරාධපුර, මිහින්තලේ සහ තන්තිරිමලේ යන සිද්ධස්ථාන ආශ්‍රිතව දන්සල් විශාල සංඛ්‍යාවක් සංවිධානය කොට තිබූ අයුරු දක්නට ලැබිණි.

එම සිද්ධස්ථාන ආශ්‍රිත ප්‍රදේශවල පොලිසිය මගින් ආරක්ෂාව තර කොට තිබුණි. අනුරාධපුර මහ නගර සභාව, මිහින්තලේ ප්‍රාදේශීය සභාව සහ මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය සභාව මගින් සැදැහැවතුන්ට අවශ්‍ය අනෙකුත් සියලු පහසුකම් සලසා තිබිණි.

තන්තිරිමලේ පූජා භූමියේදී වාර්ෂිකව පැවැත්වෙන පොසොන් විදුලි ආලෝක පූජාව විවෘත කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) රාත්‍රී සිදු කෙරුණි. මිහින්තලේ රජමහා විහාරස්ථානයේ විදුලි ආලෝක පූජාව රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

තවද ශ්‍රී ලංකා යුද හමුදාව මගින් අනුරාධපුර සඳහිරු සෑයේ සංවිධානය කළ පොසොන් කලාපය විවෘත කිරීමේ අවස්ථාවට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු පිරිසක් සහභාගි වූහ.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු සහ ශ්‍රාවස්තිපුර – ඩිලාන් ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment