අනුෂා සොනලි ජීවිතයෙන් සමුගන්නට පෙර කී කතාව

2640

හය හතර නොදැන සමාජයට අඩිය තියන සුන්දර තරුණියකට අවසානයේ වෙන්නේ දරුවෙක් එක්ක ලෝකය ඉදිරියේ තනි වෙන්න. එවැනි දරුවෙක් එක්ක තනි වුණ ගැහැනියකට මේ සමාජයේ මොන තරම් නම් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවද? ඇගේ ජීවිතයේ වැරදුණ තැන් ගැන තව කෙනෙකුට කියලා දෙන “මමයි ඔබේ යෙහෙළිය” සංවිධානයේ සභාපතිනිය ද ඇයයි.

මමත් ගැහැනියක්, දරු උපතක්, විසිදැල වැනි ආන්දෝලනාත්මක චිත්‍රපට රැසක රඟපෑ ඇය ආබාධිත තත්ත්වයකට පත්ව රෝද පුටුවකට වී දිවි ගෙවනවා.

අනුෂා සොනාලි ජීවිතය දුටු ආකාරය අද තමයි මම ජීවිතය හරියටම තේරුම් අරගෙන තියෙන්නේ.

අනුෂා සොනලි ජීවිතයෙන් සමුගන්නට පෙර කී කතාව

එතකොට එදා ජීවිතය දුටුවේ

එදා මම ජීවිතය දුටුවේ හරි සැහැල්ලුවෙන්. ඒ වගේම හරි සුන්දරයි. හරි විනෝදජනකයි. මේ සියල්ලම එකට ගලාගෙන ගියා. කිසිම බරක් පතලක් තිබුණේ නෑ.

ඔබේ ජීවිතයේ මුල් අවධිය ගෙවී ගියේ

ඒ කාලේ වෙනකොටත් වගකීමක් තිබුණා. මගේ මුළු පවුලම හිටියේ මගෙත් එක්ක. ඔවුන්ව බලාකියා ගැනීමේ වගකීමත් තිබුණේ මට. ඒ වගකීම නොපිරිහෙලා ඉටු කළා. නමුත් ජීවිතය පිළිබඳව ලොකු දැනුමක් තිබුණෙත් නැහැ. දැනුයි තේරුම් එන්න පටන් ගත්තේ හරියටම ගත්තොත් දැන් තමයි.

ආපසු හැරී බැලුවොත්

දුකක් ඇති වෙන්නෙත් නැහැ. කලකිරීමකුත් නැහැ. මොකද මම දැන් අසනීප තත්ත්වයෙන්නේ ඉන්නේ. එතකොට එහෙම තියාගෙන ඒවා හිත හිත ඉන්නේ නැහැ. අනික පසුගිය කාලෙයි දැනුයි කියලා සසඳලා මම අර දේ කළේ නෑ. මම අරහෙ ගියේ නෑ. මම අරක කෑවේ නැහැ කියලා කිසිම දුකක් නෑ. මට දෙයක් ලබාගන්න බැරි වුණානේ කියලා දෙයක් නැහැ. ඒ ගැන බලද්දී සතුටුයි. මොකද මට දුක් වෙන්න දෙයක් නැහැනේ.

අනුෂා සොනාලි සමාජගත වීම

යම් යම් කාලවලදී මම එක එක විදිහට මැව්වා. මම මුල් අවධියේ ආපු ගමන එක දිගටම නඩත්තු කරගෙන ගියා නම් මම හිතන්නේ එක එක වකවානුවල එක එක කතා නිර්මාණය වෙන්නේ නැහැ. මට ගුරුහරුකම් දෙන්න මගේ ළඟින් හොඳ යාළුවෙක් හිටියේ නැහැ. ඒක නිසාම මම හැමදෙයක්ම හරි සැහැල්ලුවෙන් ගත්තු කෙනෙක්.

කලාව ජීවිතයට කළ බලපෑම

කලාව මගේ ඇගෙන්ම ආපු දෙයක්. මම අවුරුදු දෙකහමාරෙදී හිතත් හොඳයි. වැඩත් හොඳයි. චිත්‍රපටයේ පොඩි කොටසක් රඟපෑවා. ඒකත් එක්කම ඉස්කෝලේදී පුංචි කාලේ ඉඳලාම හැදෑරුවේ නැටුම් විෂය. ඒක මගේ ඇගෙන්ම තිබුණ දෙයක්. මම ලොකු වුණහම මොනවද කරන්නේ කියලා කවුරු හරි ඇහැව්වමත් මම කියන්නේ මම නිළියක් වෙනවා කියලා. ඕක තමයි මගෙන් ආපු උත්තරය.

සිනමාව සහ ජීවිතය

සිනමාව සමග ගෙවුණු ජීවිතය හරිම සුන්දරයි. මම ක්‍ෂේත්‍රයට ආවේ 90 දශකයේ. ඒ කාලේ දැන් වගේ නෙමෙයි. අපි එක පවුලක් වගේ තමයි හිටියේ. අද මට අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක ගත්තොත් ඒ කාලේ වගේ නෙමෙයි අපි තවම ප්‍රවීණයන්ට ගරු කරනවා. මම අද ඒ දේවල් දකින්නේ නැහැ.

ජීවිතය සහ යථාර්ථය

දෙවියන් වහන්සේට මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා මාව මවලා මට ජීවන හුස්ම ලබාදීලා මේ ලෝකේ මාව තිබ්බාට. අපි මනුස්ස ශරීරයක් අරගෙන ඇවිත් ඉන්නේ බොහොම ටික කාලයකට. ඒ ටික කාලයේ මට ලබාදුන් මහා විශාල අත්දැකීම් ගෝනනක් මා තුළ තියෙනවා. හැමෝටම ආදරය කරනවා. කා එක්කවත් කිසි වෛරයක් නැහැ. හැමෝටම ප්‍රේම කරනවා.

ආදරය දුටුව ආකාරය

මම ගොඩක් ආදරය කරලා තියෙන කෙනෙක්. නමුත් පෙරළා මට ඒ දේ ලැබිලා නැහැ. දැන් මට ආදරය ලැබිලා තියෙනවා. ඒ මම හොයපු ආදරය. දෙවියන් වහන්සේ තුළින් මට ඒ දේ ලැබුණා. ඒ ලැබෙන ආදරය, රැකවරණය මට එදා ලැබුණා නම් බොහෝ දුරට මගේ ජීවිතයම වෙනස් වෙන්න ඉඩ තිබුණා.

මගේ ජීවිතයට මම ආදරය කළේ

මගේ ජීවිතයට මම ආදරය කරන්න පටන් ගත්තේ මේ මෑතකදී. ඒ මට ජේසු හමුවුණාට පසුවයි.

තව කෙනෙකුගේ ආදරය දැනුණ ආකාරය

පොඩි කාලේ ඉඳලම මට ඒක දැනුණා. මම ඒක හෙව්වා. මම ආදරය කළාට කවුරුවත් මට ආදරය කළේ නෑ.

පිරිමියෙකුගේ ආදරය ජීවිතයට බලපෑ හැටි

ගොඩක් සම්බන්ධකම් තිබුණා. කාලෙන් කාලෙට විවිධ සම්බන්ධතා තිබුණා. අපි හැමෝටම ආදරය කියන දේ අවශ්‍යයි. කාටත් ආදරය නැතිව ජිවත් වෙන්න බෑ. පෙරළා ඒ ආදරය අපිට ලැබෙන්න ඕනෑ. මම ලබාදුන්නු තරම් ආදරයක් මට ලැබුණේ නැහැ.

ආදරයෙන් අයුතු ප්‍රයෝජන ගත් අවස්ථා

ආදරයෙන් බැට කෑ වාර අනන්තයි. අප්‍රමාණයි. ඒ වගේම මගේ ආදරයෙන් අයුතු ප්‍රයෝජන ගත් අවස්ථාත් එමටයි. ඇත්තටම ලොකු කලකිරීමක් තිබුණා. සමාජය කෙරෙහි වගේම ජීවිතය කෙරෙහි ලොකු කලකිරීමක් තිබුණා. වෛරයක් කියලා දෙයක් තිබුණෙ නැහැ. ඉතින් මම හැම තිස්සේම හිතුවේ මේක මගේ දෛවයේ ලියලා තිබුණ දෙයක් වෙන්නැති කියලා. ලැබෙන්නේ නැති දෙයක් කොහොමත් ලැබෙන්නේ නැහැනේ.

ජනප්‍රියත්වය ජීවිතයට දැනුණ ආකාරය

මම ක්‍ෂේත්‍රයට ආපු දවසේ ඉඳලා අද වෙනකම් ඒ ජනප්‍රියත්වය එක ලෙසම පවතිනවා. දැන් මම අවුරුදු ගණනාවක් ගිහිල්ලා රඟපෑවේ නැති වුණත් අනුෂා සොනාලි කියලා කිව්වහම අදටත් මාව මිනිස්සු හඳුනනවා. ඒ ජනප්‍රියත්වය තියෙනවා.

ජීවිතයේ වැරදුණ තැන්

මට මගේ ජීවිතයේ වැරදුණ තැන් ගොඩක් තියෙනවා. ජීවිතයේ අපිට ගොඩක් තැන්වල වැරදුණේ හරි දේ කියලා දෙන්න, ගුරුහරුකම් ලබාදෙන්න කෙනෙක් හිටපු නැති හින්දා. ඒ දේවල් තිබ්බේ නැති නිසයි මෙහෙම වුණේ.

ජය ගැනීම්

ඇත්තටම මගේ ජීවිතය ජයගන්න ඕනෑ කියලා හිතුණේ මගේ පුතා සමග මම තනි වුණ වෙලාවේ. ඒක තමයි මට තිබුණ ලෝකය. ඒ මගේ දරුවා. එයාව හදාගන්න මම ගොඩක් දුක් වින්දා.

දරුවා සමග තනිවුණ වෙලාවේ

ඒ කාලේ මම රඟපාලා හම්බ වෙන මුදලෙන් තමයි දරුවා ජීවත් කළේ. ඒ කාලේ මට සම්බන්ධකම් තිබුණා. ලොකුවටම කියලා ප්‍රශ්න තිබුණෙත් නැහැ.

කාන්තාවකට සමාජයේ තිබෙන තැන

කාන්තාවකට තිබෙන තැන අපිම තමයි නැති කරගෙන තියෙන්නේ. අපි හිතනවා අපිට පිරිමියෙක් නැතිව දෙයක් කරන්න බැහැ කියලා. නමුත් බැරි නැහැනේ. කාන්තාවක් නැති නම් ලෝකයත් අද නැහැනේ. අම්මා කෙනෙකුගෙන් නේ අපි හැමෝම ඉපදිලා තියෙන්නේ. ගැහැනිය සමාජයට අත්‍යවශ්‍යයි.

ජීවිතය හැර යන්න හිතුණ අවස්ථා

ප්‍රශ්නවලින් මිරිකුණ හැම අවස්ථාවකදීම ජීවිතය දාලා යන්න හිතුවා. සියදිවි හානිකර ගන්න හිතුණ වාර අනන්තයි. අප්‍රමාණයි. දෙවියන් වහන්සේට අපි කෙරෙහි සැලැස්මක් තියෙනවා. මගේ ජීවිතයේ මම ගොඩක් අත්දැකීම් ලබලා තියෙනවා. මට තව කෙනෙකුව නඟා සිටුවන්න පුළුවන් ඒ අත්දැකීම් තුළින්. ඒ අත්දැකීම් මට ලබාදීලා තියෙන්නේ මිනිසුන්ව ගලවාගැනීම සඳහා කියලයි. ඒ හින්දම මම යෙහෙළිය නමින් කාන්තා සංවිධානයක් පවත්වාගෙන යනවා. ඒකෙන් මම දන්න ගොඩක් දේවල් සමාජයට බෙදලා දෙනවා.

මොන ප්‍රශ්නය ආවත් සැලෙන්න බැහැ. අපි ශක්තිමත් විය යුතුයි. ඕනෑම ප්‍රශ්නයකට විසඳුම් තියෙනවා. අනික ඕනෑම ප්‍රශ්නයක දෙපැත්තක් තියෙනවා. මිනිස්සු මොන විදිහට හිතුවත් අපිට කමක් නැහැ. ඔය කතාන්දර කියන අය අපිට කන්න අඳින්න දෙන්නේ නැහැ. තමන්ගේ ජීවිතයේ හොඳ නරක මොකද්ද කියලා තමන්ම තේරුම් අරගන්න ඕනෑ. සතුරව මුලින්ම හඳුනගන්නත් ඕනෑ. සොබාදහම සමග ඕනෑම ප්‍රශ්නයක් කතා කරන්න. එවිට අපිට පිළිතුරු ලැබෙනවා.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment