අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ

956

බි‍්‍රතාන්‍යයේ යටත් විජිතයක්ව පැවැති අප මාතෘ භූමියට 1948 වර්ෂයේදී නිදහස ලැබීමෙන් අනතුරුව මේ ගෙවී යන්නේ 73 වර්ෂයයි. එදා මෙදා අප රට සංවර්ධිත රාජ්‍යයක සිහින දැක්ක ද එම ඉලක්කය සපුරා ගැනීමට නොව ඒ අසලටවත් යා නොහැකිව රටේ බහුතර ජනතාවට දුක පමණක් උරුම කර දී තිබේ. මැතිවරණ වේදිකාවලදී එකිනෙකාට ඇඟිලි දිගුකර ගනිමින් විවිධ න්‍යාය පත‍්‍රයන් එළියට දමා බලය ගත්ත ද ඒ කිසිදු පක්‍ෂයකට අප රට ගොඩගැනීමට නොහැකිව ඇත. අප රට අසමත් රාජ්‍යයක් බවට පත්කිරීමේ වගකීමෙන් මේ රට පාලනය කළ කිසිදු පක්‍ෂයකට මිදිය නොහැක. කොවිඞ් වසංගතය එක අතකින් අපේ රටේ ජනතාවට බැට දෙද්දී අනෙක් අතින් දුප්පත්කම නමැති සතුරා අප සමාජ දේහයට දැඩි ලෙස හානිකර ඇති බව පසුගියදා බදුල්ල වේවැස්ස ප‍්‍රදේශයෙන් අපට ඇසුණු අනුවේදනීය පුවත සාක්‍ෂි දරනවා ඇත.

 අදාළ සිද්ධියට අනුව 35 හැවිරිදි මවක් සිය තුන් හැවිරිදි, පස් හැවිරිදි සහ හත් හැවිරිදි දියණියන්ට වස පොවා ඇය ද වස බොන්නීය. ඇය පොලිසියට දුන් කටඋත්තරයේ සඳහන් වන්නේ ජීවත්වීමට මඟක් නොමැතිකමින් දියණියන් තිදෙනාට වස පොවා තමනුත් වස බිවූ බවයි. දින කිහිපයක් තිස්සේම නිරාහාරව සිටි බවත් තවදුරටත් ඒ දුක උසුලා ගත නොහැකිව මෙම තීරණය ගත් බව ද ඇය සඳහන් කරන්නීය. ඇය ගත් මෙම තීරණය අප කිසිසේත් අනුමත කරන්නේ නැත. එහෙත් මෙම සිදුවීම හා සබැඳි සමාජ ඛේදවාචකය මේ රටේ බලධාරීන් දැඩිව අවධානයට ගත යුතුව ඇත. දුප්පත්කමින් හෙම්බත්වී ජීවත්වීමට මඟක් නොමැති තවත් පවුල් දහස් ගණනක් මේ රටේ සිටින බවට කිසිදු සැකයක් නැත. දුප්පතුන්ගේ ඡුන්දයෙන් පාර්ලිමේන්තුවට, පළාත් සභාවට සහ ගමේ නගර සභාවට පැමිණි මහජන නියෝජිතයන් මෙන්ම රජයේ වැටුප් ලබමින් රටේ අන්ත අසරණ පවුල් ගැන සෙවිය යුතු රජයේ නිලධාරීන් පවා මෙම අන්ත දුක්ඛිත ජීවිත ගතකරන අසරණයන් ඉන් මුදා ගැනීම සඳහා වහාම ක‍්‍රියාත්මක විය යුතුය.

 අපේ රටේ තිබෙන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයන් යටතේ ගමකට සේවය කිරීමට ක්‍ෂේත‍්‍ර නිලධාරීන් විශාල සංඛ්‍යාවක් සිටිති. ගමක් ගත් විට ඊට අදාළව ග‍්‍රාම සේවා නිලධාරියකු, සමෘද්ධි සංවර්ධන නිලධාරියකු, සමාජ සේවා නිලධාරියකු, කෘෂිකර්ම නිලධාරියකු, පවුල් සෞඛ්‍ය නිලධාරියකු යනාදී වශයෙන් ක්‍ෂේත‍්‍ර ගණනාවක රජයේ පත්වීම් ලැබූවෝ වෙති. මේ අයගේ ප‍්‍රධාන වගකීම විය යුත්තේ ගම්වල තිබෙන සමාජ, ආර්ථික ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදීමට නිසි මඟපෙන්වීමක් ලබාදීමයි. දරුවකුව ඉපදී වැඩිහිටියකු ලෙස සිය ජීවිතය අවසානයේදී කනත්තට යන දවස දක්වා ඒ ගැන සොයා බැලීමට නිලධාරීන් පිරිසක් සිටියද, එම නිලධාරීන් සිය වගකීම් නිසි ලෙස ඉටුකරනවාද යන ප‍්‍රශ්නය ඉතිරිව තිබේ. එසේ නිලධාරීන් ක‍්‍රියාත්මක වූයේ නම් හා ගමේ ප‍්‍රශ්න විසඳීමට නිලධාරීන් දැනුවත් කළ විට ඊට අවශ්‍ය විසඳුම් ලබාදෙන ඉහළ නිලධාරීන් නිසි ලෙස තම වගකීම ඉටුකළා නම් අප ඉහතින් සඳහන් කළ ඛේදවාචක අසන්නට නොලැබෙනු ඇත.

 මහා සංවර්ධිත පිමි පැනීමට දේශන පවත්වන විද්වතුන් පවා දුප්පත්කම නිසාම අසරණ වූ ජනතාවගේ සංවේදී ප‍්‍රශ්න කෙතෙක් දුරට හඳුනාගෙන සිටී දැයි අපි නොදනිමු. එහෙත් මෙහි කටුක යථාර්ථය සමාජයේ සියලූදෙනා තේරුම් ගත යුතුව ඇත. විවිධ සංවර්ධිත ව්‍යාපෘතිවලින් තම මඩිය තරකර ගන්නා, කොමිස් කුට්ටිවලින් සාක්කු පුරවා ගන්නා, අනෙකාගේ ජීවිතය ගැන තුට්ටුවකට නොසලකා තමන්ගේ පැවැත්ම ගැන පමණක් සිතන දේශපාලකයන් ඉන්නා රටක අන්ත අසරණ ජනතාවගේ දුක් වේදනා හඳුනාගන්නා දවසක් එළඹෙතැයි සැක සහිතය. ඒත් ඒ දවස අප උදාකර ගත යුතුව ඇත. මනුෂ්‍යත්වයේ ආලෝකය මේ රටේ වෙසෙන අසරණ ජනතාව වෙත ලැබෙන දවසක් ඉතා ඉක්මනින් උදා කර ගත යුතුව ඇත. එහෙත් අද අපට අසන්නට ඇත්තේ නන්දා මාලනියන්  ගයන්නා සේ ‘‘අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ’’ යනුවෙන් පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment