ඉන්දියාව හඳට යෑමේ පළමුවැනි උත්සාහය දරන්නේ 2008 දී ය. එම උත්සාහයේදී මිනිසුන්ගෙන් තොර ඉන්දියන් රොකට්ටුව වූ චන්‍ද්‍රයාන් 1 මගින් ඉතා වැදගත් තොරතුරක් සොයා ගන්නා ලදි. ඒ වූ කලී දිවා කාලයේදී සඳ වටා වායුගෝලයක් නිර්මාණය වන බවත්, චන්‍ද්‍රයාගේ පෘෂ්ඨය තුළ ජල අණු තිබෙන බවත් ය. මීළඟට ඉන්දියානු අභ්‍යවකාශ ඒජන්සිය විසින් චන්‍ද්‍රයාන් 2 නමැති යානාවක් යවන ලද අතර එය අදටත් චන්‍ද්‍රයා වටා පරිභ්‍රමණය වෙමින් පවතී. ඊයේ පෙරේදා දවසක ඉන්දියාවෙන් යැවූ චන්‍ද්‍රයාන් තුන නමැති මව් යානයට අයත් වික්‍රම් නමැති උප යානය චන්‍ද්‍රයා මතට ගොඩබැසීමේදී චන්‍ද්‍රයාන් 2 ට අයත් යානය විවිධාකාරයෙන් උදව් උපකාර කළේය. ඒ, චන්‍ද්‍රයාගේ පෘෂ්ඨයෙහි ඡායාරූප සහ චන්‍ද්‍රයාගේ වායුගෝලයේ ඡායාරූප නිතරම පොළොවට එවීමෙනි. චන්‍ද්‍රයාන් 3 සාර්ථකව ගොඩබෑවේ මේ පින්තූරවලින් දෙන ලද තොරතුරුවලට අනුවය. මේ කතන්දරයේ තවත් පැත්තක් තිබේ. එනම් චන්‍ද්‍රයාන් 3ට දවස් තුනකට කලින් සඳමතට ගොඩබෑම සඳහා රුසියාව විසින් යවන ලද රොකට්ටුව සඳමතට කඩාවැටී විනාශ වීම ය. ඊට දවස් 3 කට පසු රුසියාවේ ලොකුම කුලී හමුදාව වූ වැග්නර් හමුදාවේ ලොක්කා ගමන් කළ ගුවන් යානයක් කඩා වැටීම ය. වැග්නර් හමුදාවේ ලොක්කා පුටින්ට පසුගියදා අභියෝග කළේ ය. මේ නිසා පුටින් පසුවූයේ මහත් කෝපයෙනි. වැග්නර් ලොක්කාගේ ගුවන් යානය බිමට කඩාවැටී ලොක්කා මියයෑමට පුටින් සම්බන්ධ බවට සැකයක් පවතී. එහෙත් රුසියාවෙන් යැවූ රොකට්ටුව සඳමතට කඩාවැටීම ගැන කිසිවෙකු විසින් පුටින් සැකකරනු නො ලැබේ. සඳට යෑම ලංකාව වැනි රටකට මහලොකු වැඩක් නොවේ. අපේ මිනිස්සු කුඩ අරගෙන අනෙක් අයගේ කන්වලින් රිංගති. කටින් රිංගා ගුද මාර්ගයෙන් එළියට එති. එවැනි සූක්‍ෂම දැනුම් සම්භාරයක් ඇති ජාතියකට සඳට යෑමෙන් වැඩක් නැත. ඉන්දියාව සඳ ජයගත් මොහොතේදී ඒ රටේ ජනතාව ජාති ආගම් කුලභේද සියල්ල ඉවතලා සතුටු වූහ. එය ඉන්දියාවේ වෙසෙන හින්දු, දෙමළ, ඉස්ලාම්, බෙංගාලි ඇතුළු සියලු ජනවර්ගවල ජයග්‍රහණයක් විය. ඉන්දියාව සහ පාකිස්තානය මළ යකුන් සේ මරා ගනිති. එහෙත් ක්‍රිකට් මැච් එකකදී ඉන්දියානු පිලේ සිටින ඉස්ලාමීය ක්‍රීඩකයන් සියලු දෙනාටම ඉන්දියානුවෝ අත්පොළසන් දෙති. අපි සිතා සිටින්නේ ඉන්දියාව යනු ඉතා දරුණු වර්ගවාදී සහ ආගම්වාදී රටක් ලෙස ය. එසේ වුවද, ඉතා වැදගත් අවස්ථාවලදී ඉන්දියාවේ සිටින සියලු ජාතීන් ද සියලු ආගමිකයෝ ද එකතුව රට වෙනුවෙන් පෙරට යති.
ශ්‍රී ලංකාවට සඳට යා හැකි ද? අපේ අදහස වන්නේ කවදාවත් බැරි බව ය. එයට හේතු මෙසේ ය. පළමුවෙන් ම සඳට යෑම පිළිබඳව ශක්‍යතා වාර්තාවක් හදනු ලැබේ. ඊට යන මුදලින් භාගයක් ම අතරමැදියෝ ගසාකති. දෙවනුව රොකට් එකට යන මිලෙන් භාගයක් ම කොමිස්කාරයෝ කොල්ලකති. එවිට සල්ලි මදි නිසා රොකට්ටුව සෑදිය නොහැක. ඊළඟට රොකට්ටුවේ ජෙට්වලින් තවත් මුදලක් ගසා කති. එවිට සල්ලි මදි නිසා ජෙට් සෑදිය නොහැක. ඊළඟට රොකට්ටුව අහස්ගත කරන රොකට් ලෝන්චරයෙන් නැවතත් මුදල් ගසා කති. මෙවිට සල්ලි මදිවීම නිසා රොකට් ලෝන්චරය සෑදීමට නොහැක. අවසානයේදී රොකට්ටුව ගුවන්ගත කරන දිනය උදා වෙයි. එදාට රොකට්ටුව ගුවන්ගත කරන තැනට රැස්වන ජනයාට දකින්නට ලැබෙන්නේ රොකට් භාගයකුත් ජෙට් භාගයකුත්, ලෝන්චර් භාගයකුත් පමණි. මේ භාගවලින් සඳට තබා යාපනයටවත් යෑමට නොහැක. ඊළඟට පැමිණෙන්නේ කොමිෂන් සභා අවස්ථාවයි. රොකට්ටුව ගැන කොමිසමකුත්, ජෙට් ගැන තව කොමිසමකුත්, ලෝන්චරය ගැන තව කොමිසමකුත් පත්කරනු ලැබේ. කොමිෂන් සභාව අවුරුදු 2 ක් පමණ තිස්සේ නඩුව අසා කොමිෂන් සභා වාර්තාව ආණ්ඩුවට බාරදෙනවා ඇත. කොමිෂන් සභාවක් යනු වරදට දඬුවම් කිරීමට බලයක් නැති, එහෙත් වරදක් කර ඇති බැවින් දඬුවම් කළ හැකි බව පමණක් නිර්දේශ කළ හැකි ආයතනයකි. ගමේ ගොඩේ සමථ මණ්ඩලය මීට වඩා හොඳ ය. අන්තිමේදී රොකට් භාගයත්, ජෙට් භාගයත්, ලෝන්චර් භාගයත් සදාකාලිකව සිහිවටන මෙන් එක තැනක ඉතිරිවනවා ඇත. මේ නිසා සඳ ලංකාවට ආවොත් මිස ලංකාවෙන් සඳට යෑමට කවදාවත් හැකිවන්නේ නැත.
ඉන්දියාව යනු ලංකාව වැනිම දූෂණය බහුල රටකි. හැබැයි ඉන්දියාව කිසිවක් නාස්ති කරන්නේ නැත. මේ නිසා ඒ රටට වැදගත් අනාගතයක් තිබේ. ඉන්දියාව මෙවර සඳ ගමන සඳහා ඩොලර් මිලියන 35 ක් වැය කළේය. ලංකාව හම්බන්තොට ශ්‍රවණාගාරයක් සහ ක්‍රීඩාංගණයක් සඳහා ඩොලර් මිලියන 35 ක් වැය කර ඇත. අද ඒ ශ්‍රවණාගාරයට කවුරුවත් නො එති. ඒ ක්‍රීඩාංගණයේ ක්‍රිකට් ගහන්නේ ද යලට සහ මහට පමණි. අපි උමාඔය ව්‍යාපෘතියට ඩොලර් මිලියන 500 ක් වැය කළෙමු. අප දන්නා පරිදි මත්තල ගුවන් තොටුපළ සඳහා ඩොලර් මිලියන 359.5 ක් වියදම් කර ඇත. මේ ගුවන් තොටුපළට කිසිම ගුවන් යානයක් නො එන අතර, මේ වන විට වී වේලීමට වැඩි දෙයක් එහි ගුවන් පථ මගින් කර ගැනීමට නො හැක. මත්තල ගුවන් තොටුපළට අච්චර සෙනඟ මෙච්චර සෙනඟ සහ මෙච්චර යානා එන බව පසුගියදා වරාය හා ගුවන් සේවා ඇමැතිතුමා කීවේ ය. ඔහු කියන තරම් ගුවන් යානා සහ ජනයා මත්තල ගුවන් තොටුපළට එනවා නම් අපට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වසා දැම්මත් පාඩු නැත. ඒ සියල්ල කතන්දර පමණි. ඉන්දියාව සඳට යෑම නිසා අප තවමත් කොහේ සිටින්නේද යන්න ගැන මතක් වීමෙන් මේ කතුවැකිය ලිවීමට සිත්විය. අපට දුක මෙවැනි විකල්ප අදහස්, රුසියන් රොකට්ටුව මෙන් කඩාවැටී විනාශ වී යෑම ය. මතුවන්නේ ගොමරිටි පමණි. තිරුවාණාගල් හැම තිස්සේම යට යයි. ඒවා අතරතුර තිබෙන නිල් මැණික් ද ඒ ආකාරයෙන්ම යට ගොස් අතුරුදන් වන බව අප කියන්නේ හද පිරි ශෝකයෙනි.