අඳුරට ශාප නොකරමින් එළිය සොයාගත් අපූරු මිනිසෙක්

519

වර්තමානයේ උදේ සිට රාත‍්‍රිය වනතුරුම ජනමාධ්‍ය තුළින් අපට ඇසෙන්නේ, පෙනෙන්නේ, පොහොර අර්බුදය පිළිබඳ විවිධ වූ කතාන්දරය.

නමුත් අන්ධකාරයට ශාප නොකර පවතින තත්ත්වයන් තේරුම්ගෙන ඉන් ප‍්‍රයෝජන ලබන පිරිසක්ද මේ සමාජයේ නැතුවා නොවේ.

මේ එවන් දිරිය තරුණයෙකි. ඔහු සමාජයට ලබාදෙන්නේ කදිම ආදර්ශයකි. නමින් අමිල රදගනය (40). දෙදරු පියකු වන අමිල ගම්පහ ප‍්‍රදේශයේ අයකු වුවත් දැනට වැල්ලවාය, කුඩාඔය ප‍්‍රදේශයේ සංචාරක නිකේතනයක් භාරව කටයුතු කරන අතර ගොවිතැන් කටයුතු ද කරගෙන යනු ලබයි. මෙම රජය ගොවීන්ට රසායනික පොහොර භාවිතය අවම කර, කාබනික පොහොර උපයෝගි කරගෙන ගොවිතැන් කටයුතු කිරීම සඳහා උපදෙස් දීම නිසාත්, රසායනික පොහොර ලබා ගැනීමට නොහැකි නිසාත්, අමිල ද තම වගා කටයුතු කිරීම සඳහා කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය ආරම්භ කළ බව ඔහු පවසයි.

මගේ ගම ගම්පහ යක්කල. මම දැනට වසර 16 කට විතර ඉස්සෙල්ලා මෙහාට ආවේ. මුලින්ම මම මේ සංචාරක නිකේතනයේ භාරකරු විදියට කටයුතු ආරම්භ කළා. මෙහෙට එන සංචාරකයන්ට නවාතැන් පහසුකම් සහ ආහාර පාන සැපයීම තමයි අපේ මූලික කටයුත්ත වුණේ.

අඳුරට ශාප නොකරමින් එළිය සොයාගත් අපූරු මිනිසෙක්

ඊට පස්සේ ඒ සංචාරකයන්ට ප‍්‍රදේශයේ ජනතාවගේ ජීවන රටාව, පිළිබඳ සහ ගොවිතැන් කටයුතු කරන අන්දම සහ ස්වභාව සෞන්දර්ය ගැන දැනුවත් කිරීම් ආරම්භ කළා. එහිදී අපට දැනගැනීමට පුළුවන් වුණා විදේශිකයන් අපගේ ආහාර රටාව ගැන වැඩි ඇල්මක් වගේම උනන්දුවක් තියෙනවා කියලා. අපි වගාවන් ආරම්භ කර ඒවාට ඔවුන් ද සහභාගි කරවා ගත්තා. එවිට ඔවුන් එමඟින් විනෝදයක් මෙන්ම, දැනුමක්ද ලබාගත්තා. මේ අතරවාරයේ තමයි පොහොර ප‍්‍රශ්නය ආවේ. මම මගේ ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය පොහොර මමම හදා ගන්නවා කියලා හිතාගෙන අවශ්‍ය දැනුම කෘෂිකර්ම නිලධාරීන්ගෙන් ලබාගෙන වැඬේ ආරම්භ කළා. මෙවර වී වගාවට සම්පූර්ණයෙන්ම භාවිත කළේ මම හදාගත් කොම්පෝස්ට් පොහොර. ඉදිරියේ දී එළවළු වගාකිරීමටත් දැනට තක්කාලි තවාන් දමලා තියෙනවා.

කොම්පෝස්ට් පොහොර නිපදවා ගැනීමට මම භාවිත කරන්නේ වත්තේ එකතුවන කොළ රොඩු සහ ගොම, ගිනිසීරියා අතු, කුකුළු පොහොර යනාදියයි. මම ඊට පස්සේ පොහොර නිෂ්පාදනය සඳහා එළු බෙටි ලබාගැනීමට එළුවන් කීප දෙනෙක් ගෙනාවා. දැන් එළු බෙටිත් මිශ‍්‍ර කරන නිසා ගුණාත්මක බවින් වැඩි, කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරගන්න පුළුවන් යැයි අමිල මහතා පැවසීය.

බැහැර කරන එළවළු, පලතුරු, අපද්‍රව්‍ය, බිත්තර කටු වගේ දේවල් ගෙවත්තේ තනා තියෙන ලී වලින් නිපදවූ පෙට්ටිය කට දමනවා. එහි පතුලේ ඇති සිදුරක් මඟින් දිරාපත් වූ පොහොර ලබාගෙන මල් පාත්තිවලට සහ එළවළු වගාවන්වලට යොදනවා. ඒක හරිම විනෝදයක් වගේම අපතේ යන දේවල්වලින් ප‍්‍රයෝජන ගන්න අවස්ථාවක් ලැබෙනවා යැයි ඔහු තවදුරටත් පැවසුවේය.

හතරලියද්ද – කිත්සිරි බණ්ඩාර සමරතුංග

advertistmentadvertistment
advertistmentadvertistment