අපට කෙළවුණේ ඇයි?

1568

ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාකච්ඡා සභාව හැටියට පාර්ලිමේන්තුව හඳුන්වනු ලැබේ. දේශපාලන කරුණු ද දේශපාලන නොවන කරුණු ද අධ්‍යාපන සහතික නැති මන්ත‍්‍රීවරුන් පිළිබඳ කරුණු ද තිත්ත කුණුහරුප ද මේ සභාව තුළ දී කතා බහට ලක්කෙරේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වඩාත් ඉහළට ගිය කල්හි පෞද්ගලිකත්වය නමැති සාධකය ශූන්‍ය වන්නේය. එවිට ගෙදර සයනය මත කරන කටයුතු ප‍්‍රසිද්ධියේ සාකච්ඡුා කළ හැකි වෙයි. ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී පසුගිය දිනක වැදගත් කාරණයක් හෙළි විය. ඒ සමගි ජන බලවේගයේ මන්ත‍්‍රී චමින්ද විජේසිරි විසින් අසන ලද ප‍්‍රශ්නයකට කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද  අලූත්ගමගේ සහ පරිසර ඇමැති මහින්ද අමරවීර පිළිතුරු දෙනු ලැබීමේදී ය. එක ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරුන් වුවද මහින්ද අමරවීර සහ මහින්දානන්ද අලූත්ගමගේ අතර සැලකිය යුතු ආරවුලක් තිබෙන බව පෙනේ. බොරුකීම සම්බන්ධයෙන් විශේෂ උපාධියක් මහින්දානන්ද අලූත්ගමගේට ඇති බව මහින්ද අමරවීර දැනටමත් කියා ඇත. කෙසේ වුවද චමින්ද විජේසිරිගේ ප‍්‍රශ්නයට ඉහත සඳහන් දෙදෙනා පිළිතුරු දීමට යෑමේ දී හෙළි වූ වැදගත් කාරණය වූයේ අක්කර සීයක ගව ගාලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහා පරිසර වාර්තාව ලබාදීම පිණිස එක් ආයතනයක් ආයෝජකයාගෙන් ලක්ෂ 300ක් ඉල්ලා ඇති බවය. සාමාන්‍යයෙන් පරිසර වාර්තා වැනි ලියවිලි සිල්ලර කඩ හෝ බයිසිකල් වින්කල්වලින් ලබාදෙන්නේ නැත. ඒවා ඉන්තේරුවෙන්ම ලබාදෙන්නේ පරිසර අමාත්‍යාංශය යටතේ ඇති මධ්‍යම පරිසර අධිකාරියෙනි. එබැවින් ගව ගාලේ පරිසර වාර්තාව ලබාදීම සඳහා ලක්ෂ 300ක මුදලක් ඉල්ලා ඇත්තේ පරිසර අමාත්‍යාංශය යටතේ ඇති මධ්‍යම පරිසර අධිකාරිය විය යුතුය. අක්කර සීයේ හරක් පට්ටිය පෞද්ගලික ආයෝජනයකි. පරිසර වාර්තාවට ඉල්ලූ ලක්ෂ 300කින් අඩුම ගණනේ අක්කර 25කවත් හරක් පට්ටියක් පටන් ගැනීමට පුළුවන. සමහරවිට ඒ සඳහා ඔස්ටේ‍්‍රලියාවෙන් හෝ නවසීලන්තයෙන් කිරි එළදෙනුන් ගෙන්වීමට බැරි වෙනවා වන්නට පුළුවන්. එහෙත් දේශීය වශයෙන් සපයාගත හැකි කේප්ප එළදෙනුන් සහ මී එළදෙනුන් යොදා ගෙන ඒ පට්ටිය ආරම්භ කිරීමට පුළුවන. ලංකාවට ආවේණික දේශීය හරක් වර්ගය වන්නේ බටු හරක්ය. හොඳට කෑම බීම දුන්නොත් බටු එළදෙනකගෙන් පවා දිනකට කිරි බෝතල් දහයකට වඩා ලබාගැනීමට හැකිය. කිරිවලට වතුර එකතු නො කළොත් එළදෙනට වස් වදිනවා නමැති න්‍යාය ප‍්‍රයෝජනයට ගනිමින් ඉහත සඳහන් කිරි බෝතල් දහයට වතුර බෝතල් පහක් එකතුකර කිරි බෝතල් 15ක් කර ගැනීමට අපේ කිරි ගොවියෝ දනිති. එම කිරි, කිරි එකතු කරන කිරි නිෂ්පාදන සමාගම්වලට විකිණීමට බැරි නමුත් ගම පුරා බෙදා හැරීමට පුළුවන. ලක්‍ෂ 300 යනු පොඩි මුදලක් නොවේ. එහෙත් අපේ කතාව පදනම් වන්නේ එම කෝටි තුන ගැන නොව, කලක සිට මේ රටේ රාජ්‍ය අංශයේ පවත්නා හිඟන හපුටු තත්ත්වයක් ගැනය.

ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන ආයෝජකයන් සූරා කන්නේ එම සීරුම් පහරවල් කිසිදාක සුවපත් කිරීමට බැරිවන ආකාරයෙනි. ලංකාවේ ආයෝජන අත්දැකීම් ගැන විදේශිකයකු ලියූ ලිපියක් දිවයිනේ සහෝදර පුවත්පතවන දී අයිලන්ඞ් පත‍්‍රයේ මෙයට අවුරුදු කීපයකට පෙර පළ විය. මේ ලිපිය මගින් හෙළි කළ පරිදි ලංකාවට පිට රටින් ආයෝජකයකු ආවිට ගුවන් තොටුපළේ ඇතැම් නිලධාරීන් ඔහු දෙස බලන්නේ කුඩු ගෙන එන ජාවාරම්කාරයකු දෙස බලන පරිදිය. ඉමිගේ‍්‍රෂන් එක හෙවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව එම සුද්දා දෙස බලන්නේ බෝම්බ ගසමින් කුඩු විකුණා සිය රටින් පැන එන දාමරිකයකු දෙස බලන විදිහටය. ඊළඟට හෝටලයට යෑමට ටැක්සියක් ගැනීමට ගියවිට ටැක්සිකාරයා සුද්දා සුද්ද කිරීමට තැත් කරයි. හෝටලයට යන ආයෝජකයා කෙටි හෝ දිගු නින්දකින් පසු ස්වකීය ආයෝජනය ගැන සාකච්ඡුා කිරීම සඳහා රජයේ ආයතනවලට යයි. ඔහු ඒවාට යනවිට ම මේ එන්නේ අලූත්ම ලෙඩෙක් යැයි සිතමින් එම ආයතනවල නිලධාරීහු අහක බලා ගනිති. ඊළඟට සෙට් වෙන එකා ඔහුගෙන් අල්ලස් ගැනීමට තැත් කරයි. පරිසර වාර්තාවක් ගැනීමට ගියවිට ලක්ෂ තුන්සීයක් ඉල්ලයි. තම ව්‍යාපෘතියට විදුලි බලය, ජල පහසුකම් ඉල්ලීමට ගියවිට ඒ ඒ ආයතනවල සිටින සේවකයෝ ඔහුගෙන් පගා ගසති. ඔහු ආයෝජනය පටන් ගන්නා ප‍්‍රදේශයෙහි ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීට, පළාත් සභා මන්ත‍්‍රීට සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීට යන තිදෙනාට ම පගා දීමට සිදුවෙයි. සමහරවිට මේ පගා කටින් නො ඉල්ලූවත් Body Language එක මගින් අයෝජකයා වෙත සම්පේ‍්‍රෂණය කිරීමට පෙර කී දේශපාලනඥයෝ දනිති. ලංකාවේ ඇති භයානකම තත්ත්වය වන්නේ කොතරම් පගා දුන්නත් වැඬේ සිද්ධ නො වීමය. අන්තිමට ඩොලර් ලක්ෂයකට දෙකකට කෙළවා ගන්නා ආයෝජකයා ලංකාවට හෙණ ඉල්ලමින් පෙරලා ගම් බිම් බලා යයි.

දී අයිලන්ඞ් පත‍්‍රයේ පළවූ ලිපියට අනුව ආයෝජකයන් සම්බන්ධයෙන් සිංගප්පූරුව දරන ප‍්‍රතිපත්තිය මෙසේය. තම රටට ඇතුළුවන ආයෝජකයා ගැන සිංගප්පූරුවේ චැන්ගි ගුවන් තොටුපළේ නිලධාරීහු කල්තියාම දැනුවත් වී සිටිති. ඔවුන් සිය රටට එන ආයෝජකයා පිළිගන්නේ ඕකිඞ් මල් මාලයක් දමා five star සැලකිලි දීමෙනි. ඊළඟට හෝටලයට යෑමට රථයක් ආයෝජකයාට නොමිලේ ලැබෙයි. ඔහු හෝටලට ගිය සැණින් සිංගප්පූරු විදේශ අමාත්‍යාංශය සහ ආයෝජන මණ්ඩලයෙන් ඔහුට දුරකතනයෙන් කතා කර හෝටලයේ සැප පහසුකම් ගැනත් තම ආයතන වෙතින් ඔහුට දිය හැකි සහාය ගැනත් විමසයි. පහුවදා උදේ ඔහුගේ ගමන් බිමන් යෑම සඳහා සිංගප්පූරු ආණ්ඩුවෙන් මෝටර් රථයක් ඔහු වෙත නොමිලේ ලැබෙයි. ඊළඟට මේ ආයෝජකයා කරන්නේ තමන් පැමිණි වැඬේ කරගන්නට බැරිනම් කළ හැකි කුමන හෝ දෙයක් සිංගප්පූරුව තුළ කිරීම සඳහා ආයෝජනයක් කිරීමය. ලංකාවට හැමදාම කෙළවෙන්නේත් පිට රටවලට හැමදාම හරියන්නේත් මේ කාරණය නිසා ය. අපිට කෙළවුණේ ඇයි දැයි අයෙක් ඇසුවොත් එයට උත්තරේ මේ කතු වැකිය ය.

advertistmentadvertistment
advertistmentadvertistment