අපට දිරවන්නේ ‘ජරාව’ පමණක්මද?

991

පකිස්ථානයේ සංචාරය කරන විදේශිකයකුට සංචාරක ඒජන්සිය මගින් නිත්‍ය උපදේශයක් දෙනු ලැබේ. ඒ වූකලී සංචාරකයා තම බෙල්ල පරිස්සම් කරගත යුතු බවය. ඕනෑම වෙලාවක විදේශික සංචාරකයා වෙත කඩාපනින ආගමික අන්තවාදීන් එම සංචාරකයාගේ බෙල්ල කපා හිස රැගෙන පලා යෑමට ඉඩ තිබේ. ලතින් ඇමරිකාවේ ඇතැම් රටවල සංචාරයේ යෙදෙන විදේශික තරුණියන්ට දෙන අවවාදය වන්නේ ස්ත්‍රී දූෂකයන් වෙතින් කන්‍යාභාවය පරිස්සම් කරගන්නා ලෙසය. එසේම තවත් රටවල් කිහිපයකට යන සංචාරකයන් පොකට්කාරයන්ගෙන් පසුම්බිය පරිස්සම් කරගත යුතුය. ඇතැම් අප්‍රිකානු රටවල සංචාරය කරන අය සතු ගමන් මල්ල, මංකොල්ලකරුවන් විසින් සැණෙකින් උදුරාගෙන දුවනු ලැබේ. මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවට එන සංචාරකයන්ට ට්‍රැවල් ඒජන්සිවලින් දෙන විශේෂ අවවාදයක් තිබේ. එනම් පගාකාරයින්ගෙන් හා වංචනිකයින්ගෙන් ප්‍රවේශම් වන ලෙසය. ඉහත සඳහන් වංචනික අය ගමන් මලු ඔසවාගෙන පැන දුවන්නේ නැත. පොකට් ගසන්නේද නැත. අවිවාහක විදේශික යුවතියන්ගේ පාරිශුද්ධත්වයට හෝ විවාහක යුවතියන්ගේ පතිවෘතයට ද ඔවුන්ගෙන් හිරිහැරයක් නැත. ඔවුන් කෙනකුගෙන් සොරකම් කරන්නේ අදාළ පාර්ශ්වයේ කැමැත්ත ඇතිවය. ශ්‍රී ලංකාවට එන විදේශික ආයෝජකයින් බොහෝ දෙනා තම ආයෝජනය සම්පූර්ණයෙන්ම අල්ලස් වශයෙන් ලබාදී වැඩෙත් නොකෙරී මව් රටවල් බලා ගිය අවස්ථා තිබෙන්නට පුළුවන. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙහි පැමිණි නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ක ණය මුදලක් ප්‍රදානය කිරීමට එකඟ වී, පසුව පැවති පුවත්පත් සාකච්ඡාවකදී අවධාරණය කර සිටියේ වංචාව හා දූෂණය තුරන් කිරීමට මේ රට තිරසාර වැඩපිළිවෙළකට යා යුතු බවය. ශ්‍රී ලංකාවේ වංචා දූෂණ යුගය නිල වශයෙන් පටන් ගන්නේ 1970 දී බලයට පත්වූ සමගි පෙරමුණු ආණ්ඩුවෙනි. ලංකා ඉතිහාසයේ කිසියම් ආණ්ඩුවක ඇමැතිවරුන් සමූහ වශයෙන් රජයේ දේපළ ගසාකෑමත් අවභාවිත කිරීමත් මුල් වරට පටන් ගන්නේ සමගි පෙරමුණ ආණ්ඩුව හරහා ය. 1977 දී බලයට පැමිණි ආණ්ඩුව එම ප්‍රවණතාව ඩබල් කර ජනාධිපති චන්ද්‍රිකාට රට භාර දුන්නේය. ඒ ආණ්ඩුව ද ඉතා දරුණු ලෙස මහජන මුදල් ගසා කෑවේය. ඉන්පසු බලයට එන්නේ රාජපක්ෂවරු ය. ඒ ආණ්ඩුවේ දූෂණ, වංචා ගැන මෙහිදී කතා කරනු නොලැබේ. මන්ද යත් ඒ පිළිබඳව කතු වැකි පහක පමණ ප්‍රමාණයක් ලිවීමට සිදුවන හෙයිනි. ඉන්පසු බලයට පත්වන යහපාලන ආණ්ඩුව රට කළේ අවුරුදු පහක් පමණය. ඒ ආණ්ඩුවට අනෙක් ආණ්ඩු කළ සෙල්ලම් කිරීමට තරම් කාලයක් ලැබුණේ නැත. ගෝඨාභයගේ ආණ්ඩුව බලයට පත්වූ පසු සෙස්සන් විසින් ගසාකන ලද ආකාරය විටින් විට ප්‍රසිද්ධ ස්ථානවල සාකච්ඡාවට ලක්විය.

දුප්පතුන් ලෙස දහ දුක් විඳිමින් සිට දියුණුව කරා ගමන් ගැනීම සඳහා මහ මගට බසින තුන්වන ලෝකයේ රටවල ඇමැතිවරුන්ට සහ නිලධාරිවරුන්ට 10% කොමිස් සංකල්පය යනු සාමාන්‍ය දෙයකි. රට දියුණු කිරීම සඳහා වෙනත් රටවලින් ප්‍රදානය කරන ආධාර, අරමුදල්, ණය යනාදියෙන් 10% ක කොමිස් එකක් ඉල්ලීම නිල නොවන මට්ටමෙන් ඒ හැම රටකම සිදුවේ. ඒ 10% ත් අරගෙන අදාළ ආයෝජකයාගේ වැඩේ හැකි ඉක්මනට කරදීම ඒ රටවල සිරිතය. එහෙත් 1977 සිට වසර 2000 පමණ දක්වා වූ කාලයේදී ආයෝජකයන්ගෙන් කඩාගත් 10% වැඩිවන ජීවන වියදම සලකා බලා 15% හෝ 25% තෙක් වැඩි කිරීමට මේ රටේ සිටින ඇතැම් දේශපාලන පල්හොරු තීරණය කළේය. මේ නිසා ඩොලර් කෝටියක් ගෙන පිටරටින් ශ්‍රී ලංකාවට එන ආයෝජකයා එම මුදලට අමතරව තවත් ඩොලර් විසිපන් ලක්ෂයක් රට තුළට ගෙන ඒම අත්‍යවශ්‍ය විය. යෝජිත ව්‍යාපෘතියට අදාළ ඇමැතිට කොමිස් දීමට, නියෝජ්‍ය ඇමැතිට සපෝට් එකක් දීමට, අදාළ අමාත්‍යාංශයේ නිලධාරීන්ට උදව් කිරීමට, එම නිලධාරීන්ගේ දූ දරුවන්ගේ විදේශ අධ්‍යාපනයට ස්පොන්සර් කිරීමට, එම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කරන බ්‍රෝකර්ලාට ගෙවීමට සහ විදේශීය ආයෝජකයා හමුවීමට අමාත්‍යාංශයෙන් නිතරම එන නිලධාරීන්ට ආහාර පාන දීමට මේ ඩොලර් විසිපන් ලක්ෂය වැයවේ. තුන්වේලම පෙට්ටි කඩෙන් පරිප්පුයි, පානුයි කන ඇතැම් රජයේ නිලධාරීහු අතේ සල්ලි තියෙන සුද්දකු හසුවූ විට තරු පහේ හෝටලයකින්ම කෑම කන්නට උත්සුක වෙති. පෙට්ටි කඩේ රුපියල් 250 ට දෙන බත් එක තරු පහේ හෝටලයේදී රුපියල් 7000 කි. ලංකාවේ ඇති ලොකුම අවුල නම් ඇතැම් ව්‍යාපෘති සඳහා කොතරම් ජරාව වීසි කළ ද වැඩේ සිද්ධ නොවීමය. මීට ඇති එක් උදාහරණයක් මෙසේය. 1994 දී පොදු පෙරමුණු ආණ්ඩුව බලයට පත්වූ පසු ගාලු වරාය සංවර්ධනය කිරීම සඳහා ටෙන්ඩරයක් කැඳවනු ලැබීය. මේ ටෙන්ඩරය ලබාගත්තේ විශ්‍රාමික රහස් පොලිස් නිලධාරියකු වූ දෙමළ මහතෙකි. දේශීය සහ විදේශීය ආයෝජකයන් සමූහයක් පිරිවරාගත් මේ දෙමළ මහතා ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය විවිධ බල කඩදාසි ලබා ගැනීමට ආණ්ඩුවේ දේශපාලනඥයන්ටත් නිලධාරීන්ටත් වියදම් කරන්නට පටන් ගත්තේය. ඒ කාලයේ හැටියට පගා දීම සඳහාත්, බලවතුන් සතුටු කිරීම සඳහාත් ඔහු ඩොලර් මිලියනයක් පමණ වැය කළේය. මේ සියල්ලම ඔහුගේ සල්ලි පමණක් නොව අනුන්ගේ ද සල්ලි විය. එහෙත් ජරාව කෑ අය කවදාවත් ඔහුට වැඩේ කරදුන්නේ නැත. ගාලු වරාය තවමත් ඒ විදිහටම තිබෙන අතර ආයෝජක දෙමළ මහතා මීට අවුරුදු දෙකකට පෙර එනම් ගාලු වරාය සංවර්ධනය කිරීමේ ටෙන්ඩරය ලබාගෙන අවුරුදු 25 ට පමණ පසු අන්ත හිඟන්නකු ලෙස කුලී ගෙදරකදී මළේය. මේ මිනිහා තනිකරම විනාශ වුණේ ලංකාවේ තිබෙන දූෂිත ක්‍රමය නිසාය.

මැලේසියානු ජාතිකයකු විසින්, “ආයෝජන සඳහා අප ලංකාවට නොඑන්නේ ඇයි?” යන මාතෘකාව යටතේ ‘දි අයිලන්ඩ්’ පුවත්පතට ලියන ලද වැදගත් ලිපියක් ගැන අපගේ අවධානය යොමු කරමු. ඒ ලිපියේ සඳහන් අන්දමට විදේශික ආයෝජකයා කටුනායක ගුවන් තොටුපළෙන් ලංකාවට ඇතුළු වන විටම ඉමිග්‍රේෂන් එක සහ රේගුව ඔහු දෙස බලන්නේ පට්ට හොරකු දෙස බලන ලෙසය. ඉන්පසු ස්වකීය ආයෝජනය සඳහා අදාළ අමාත්‍යාංශයට සහ රජයේ ආයතනවලට යන එකී විදේශිකයාව සත පහකට ගණන් ගනු නොලැබේ. හැමෝම කරන්නේ මේසෙන් මේසයට ඔහු යවා වැඩේ නොකෙරෙන තැනට වැඩ කිරීමය. එම ලිපියේ තවදුරටත් සඳහන් වන පරිදි සිංගප්පූරුවට ආයෝජකයකු පැමිණි විට එරට රජය මුලින්ම කරන්නේ ගුවන් තොටුපළේදීම ආණ්ඩුවේ කාර් එකක් ඔහුට ලබාදී ඔහුව හෝටලයට යැවීමය. පසුදින උදෑසන ඔහු අවදි වන්නේ සිංගප්පූරු සංචාරක මණ්ඩලයෙන් සහ ආයෝජන මණ්ඩලයෙන් ලැබෙන ඇමතුම්වලිනි. ආයෝජකයාට අදාළ ස්ථානවලට යෑම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුව දැනටමත් ඔහු සිටින හෝටලයේ කාර් පාක් එකේ සූදානමින් ඇති බව පෙරකී රජයේ ආයතන දෙක ඔහුට දන්වයි. මෙයින් පසු ඉතා ස්වල්ප කලකින් සිංගප්පූරුව තුළ ස්වකීය ආයෝජනය සිදුකර ක්‍රියාත්මක කිරීමට ඔහුට හැකි වෙයි. මේ රට දියුණු කිරීමට නම් මෙවැනි දවසක් පැමිණිය යුතුය. කොච්චර දවස් ගියත් මේ විශේෂ දවස නාවොත් අප හැමදාමත් එතනමය.

advertistmentadvertistment
advertistmentadvertistment