අපට නොවැටහෙන කාරණය

1219

මේ වෙලාවේ මේ ආණ්ඩුව මේ රටේ ජනතාවගෙන් කරන ප්‍රමුඛ ඉල්ලීම වූ කලී ගෙවතු වගාවය. සියලු ආහාර අනුභව කොට අවසානයේදී කුස්සියේ තිබෙන එළවළු දමන හිස් වට්ටියත් කුස්සියේ තවත් මුල්ලක තිබෙන හාල් දමන හිස් භාජනය සහ හිස් හුණ්ඩුවත් දුටු සැණින් ආණ්ඩුවට ගෙවතු වගාව සිහිවිය. ගෙවතු වගාව වූ කලී ඉතා හොඳ සංකල්පයකි. මේ ඉල්ලීම ආණ්ඩුව විසින් කළ යුතුව තිබුණේ මෙයට මාස තුනකට පමණ පෙරය. සාමාන්‍යයෙන් මිරිස් ගහක කරල් එන්නේ මාස තුනකට පසුය. වම්බටු, තක්කාලි ඇතුළු එළවළු වර්ග වැඩි හරියක් මාස තුනෙන් ඵල දරයි. මේ රටේ සියලු ආහාර මිල හත්අට ගුණයකින් වැඩිවී ආහාර පිළිබඳ උද්ධමනය 50% ද ඉක්මවා ගොස් තිබෙන මේ වෙලාවේදී ගෙවතු වගාව කරන්නට ගියොත් ඉදිරි තුන් මාසය බඩගින්නේ සිටීමට සිදුවන අතර එයට හේතු වන්නේ පෙරකී මාස තුනේ ඵල දැරීමේ කාලසීමාවය. කෙසේ වුවද ගෙවතු වගාව යනු ඉතා වටිනා අදහසකි. සිංගප්පූරුව ඉතා කුඩා රටක් වන අතර ඒ රටේ හැම ෆ්ලැට් එකකම ජීවත්වන පවුල් ඔවුන්ගේ එදිනෙදා උදේ වේලට ගන්නා සැන්ඩ්විජ් එකට අදාළ පිපිඤ්ඤා, තක්කාලි, සලාද කොළ යනාදීය ගෙදර වවති. මේ වගා සියල්ලම සම්පූර්ණයෙන්ම පස්වලින් තොර ජලය මත පදනම් වූ වගාවන්ය. සිංගප්පූරුවේ ගෙවල්වල වීදුරුවලින් කළ කුඩා ටැංකි තිබේ. ඒවාට වතුර පුරවා රසායනික පොහොර අධි සාන්ද්‍රණයක් මිශ්‍ර කර ඇති අතර ටැංකිය මත ඇති කුඩා දැළක් මත තක්කාලි හෝ සලාද කොළ පැළ තබනු ලැබේ. ඊළඟ දවස් දෙකේදී මේ පැළවල මුල් දැල අස්සෙන් කෙලින්ම ටැංකියේ ඇති රසායනික පොහොර මිශ්‍රණයට කඩා වදී. එතැන් සිට තවත් සති දෙකක් ගිය තැන තක්කාලි ගහෙන් ගෙඩිත්, සලාද ගහෙන් කොළත් කඩා උදේ කෑම වේලට යොදාගත හැකිය. සිංගප්පූරුව යනු ලෝකයේ වැඩිම රසායනික පොහොර ප්‍රමාණයක් පාවිච්චි කරන රටය. ඉතා පුදුමයකට මෙන් ඒ රටේ මිනිස්සුන්ට වකුගඩු අමාරුව නැත. දැන් අප සලකා බැලිය යුත්තේ ලංකාවේ ජනතාවට මේ ආකාරයෙන් ගෙවතු වගාව කළ හැකිද යන්නයි. සාමාන්‍ය මිනිස්සුන්ට තබා අක්කර තිහ හතළිහ වගා කරන ගොවීන්ට පවා මේ මොහොතේ රසායනික පොහොර නැත. ආණ්ඩුව කියන්නේ ගොම සහ කොම්පෝස්ට් පොහොරවලින් ගෙවතු වගාව කළ හැකි බවයි. මේ රටේ දැනට ඇති සහ ඉදිරියේදී ඇතිවීමට යන ආහාර ප්‍රශ්නයට පොහොර වශයෙන් ගොම සැපයිය හැකි සුවිශාල පශ්චාත් භාගයන් සහිත ගව ප්‍රජාවක් අපට නැත. ඒ නිසා ආණ්ඩුව ගෙවතු වගාව සම්බන්ධයෙන් කිසියම් සාම්ප්‍රදායික නොවන ඉක්මන් ක්‍රමවේදයක් අපට හඳුන්වා දිය යුතුය. ඒ ඉක්මන් ක්‍රමවේදය එරෝෆ්ලොට් යානය නැවැත්වීම සඳහා වාරණ නියෝගය සහිතව කටුනායකට පිස්කල් දුව ගිය දිවිල්ල තරම් ඉක්මන් එකක් වුවහොත් ඉතා හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය.

මිනිසාට ඇති ප්‍රමුඛ ප්‍රශ්නය ඇඳුම් ප්‍රශ්නය හෝ වාසස්ථාන ප්‍රශ්නය හෝ සෙක්ස් ප්‍රශ්නය නොවේ. මිනිසාට ඇති ප්‍රමුඛ ප්‍රශ්නය වූ කලී ආහාර ප්‍රශ්නය වේ. ශිෂ්ටාචාරයේ මුල සිටම මිනිසා සෙව්වේ ආහාරය. ශිෂ්ටාචාරයට පෙරත් මිනිසා විසින් සොයන ලද්දේ ආහාරමය. මේ නිසා මිනිසාගේ ආහාර ප්‍රශ්නයට උත්තර නොබඳින හැම ආණ්ඩුවකටම කෙළ වේ. ඩඩ්ලි සේනානායකට ආණ්ඩු බලය නැති වුණේ හාල් මිල ඉහළ ගිය බැවිනි. සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ 1970-1977 ආණ්ඩුවට කෙළ වුණේ මිනිස්සුන්ට අවශ්‍ය ආහාර ලබාදීමට හැකි නොවූ බැවිනි. 70-77 කාලයේදී ශ්‍රී ලංකාව ආහාර වලින් ස්වයංපෝෂිත කිරීමට බණ්ඩාරනායක මැතිනියට අවශ්‍ය විය. මේ සඳහා වගා සංග්‍රාමය නමැති සමස්ත ලංකා මට්ටමේ වගා ව්‍යාපාරයක් ආරම්භ කළ ඇය කොස්, දෙල්, අල, බතල, මඤ්ඤොක්කා සඳහා ජනතාව පුරුදු කිරීමටත් සහල් පිටරටින් ගෙන්වීම සීමා කොට ඒ සඳහා වැයවන විදේශ විනිමය මෙරටම රඳවා ගැනීමටත් කටයුතු කළාය. ඇගේ කාලයේදී පාන් හිඟ විය. ශ්‍රී ලංකාව එකල ගැමි රාජ්‍යයක්ව තිබූ නමුදු මිනිස්සු පාන් කෑමට හෝල්සේල් පුරුදුවී සිටියහ. මේ නිසා තිරිඟු පිටි මිලදී ගැනීම සඳහා විශාල වශයෙන් විදේශ විනිමය පිටරට ඇදී ගියේය. බණ්ඩාරනායක මැතිනිය මේ රට ස්වයංපෝෂිත කිරීමට පටන් ගත්තේ ඉතා සද්භාවයෙනි. එහෙත් ජීවත් වීමට ආහාර ගන්නා නොව, ආහාර ගැනීමට ජීවත් වන මේ රටේ ජනතාව ඇගේ ක්‍රියා කලාපය ඉවසුවේ නැත. මේ නිසා ඊළඟ ඡන්දයේදී මැතිනියට කෙළවීමට ජනතාව වගබලා ගත්හ. වගා සංග්‍රාමය පැවති කාලයේදී මැතිනියගේ ආණ්ඩුවට මිනිසුන් ශාප කරන අයුරු ඉතා ප්‍රවේශමෙන් නිරීක්‍ෂණය කළ කෙනෙක් විය. ඒ වූ කලී ජේ. ආර්. ජයවර්ධනය. මැතිනියට සිදුවූ වැරදි මගහැරීමට කල්පනා කළ ඔහු ඕනෑම දෙයක් පිටරටින් ගෙන්වා කෑම පිණිස අවශ්‍ය විදේශ විනිමය නිකුත් කරන විවෘත ආර්ථිකයක් රටට හඳුන්වා දුන්නේය. ඒ අනුව මේ රටේ මිනිස්සු අන්තිමේදී එළවළුත්, බිත්තරත් පිටරටින් ගෙන්වන තැනකට පත්වූහ. සියලු වගා ඉඩම්වලින් වැඩි හරියක් බ්ලොකවුට් කර ගෙවල් සෑදීම සඳහා ඉඩම් වෙන්දේසිකාරයන්ට විකුණන ලදී. කැලෑ ඉඩම්වලින් සෑහෙන කොටසක් ලී කපා ගැනීමට බදුදෙන ලදි. අන්තිමේදී ප්‍රමාණවත් කැලෑ නොමැති නිසා මේ රටේ වර්ෂාපතනයට ලොකු හානියක් සිදුවිය. කැලෑ තිබෙන විට සංවහන වර්ෂා හට ගනී. ඒවා අවුරුද්දේ දවස් තුන්සිය හැටපහ තුළම තිබේ. මෝසම් වැසි හට ගන්නේ අවුරුද්දට දෙපාරකි. එබැවින් දැන් අපට සිදුවී තිබෙන්නේ මෝසං වැසි මත විශ්වාසය තබමින් කන්න දෙකක් සහ අතුරු කන්නයක් වගා කරමින් පනම් අටක් සොයා ගැනීමය.

ආණ්ඩුව නිසි ක්‍රමවේදයක් හඳුන්වා දී ගෙවතු වගාව සහ මුඩු ඉඩම් වගා කිරීම ප්‍රවර්ධනය කළොත් එය විශාල පිංකමක් බවට පත් වන්නේය. එහෙත් රසායනික පොහොර නැතිව එය කරන්නේ කොහොමදැයි අපට නම් කිසිසේත්ම වැටහෙන්නේ නැත.

advertistmentadvertistment
advertistmentadvertistment