ආසියාවේ වීසා ගාස්තු වැඩිම රට ලංකාව

(ON ARRIVAL) ක්‍රමයට වීසා දුන්නේ GBS Technology Services, IVS Global-FZCO යන ඉන්දීය සමාගම්

VFS GLOBAL යනු තාක්‍ෂණික සැපයුම්කරු පමණයි

බිලියන ගණනින් සිදුවන වංචාව තවමත් නතර වී නෑ

වීසා ප්‍රශ්නය මුලින්ම කීවේ ආගමන විගමන නිලධාරීන්

පසුගිය මැයි මස 01 වැනිදා කටුනායක ගුවන්තොටුපළ තුළ වීසා නිකුත් කිරීමේදී ඇතිවූ ගැටලුව පිළිබඳව ප්‍රශ්නය රටේ කා අතරත් කතා බහට ලක්වන්නට විය. ඒ වීසා නිකුත් කිරීමේ කාර්යය ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ඉවත්කොට වෙනත් රටක පෞද්ගලික සමාගමක් වෙත පැවරීමත් සමඟ ඇතිවූ ප්‍රමාදය නිසාය. මෙම වීසා නිකුත් කිරීම ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් සිදුකරන විට විනාඩි පහක් වැනි කෙටි කාලයකදී පවා ගුවන් මගීන්ට වීසා නිකුත් කළද එම කාර්යය පෞද්ගලික සමාගමක් වෙතින් ලබාදීමේදී ගුවන් මගීන්ට සිදුවූයේ පැය ගණන් පෝලිම්වල රැඳෙන්නටය. එදින සවස් වරුවේ එහි ඇතුල්වීමේ පරිශ්‍රයෙහි ඇතිවූ දැඩි පෝලිම් තත්ත්වය හේතුවෙන් දෙස් විදෙස් ගුවන් මගීන් වීසා නිකුත් කරන අදාළ සමාගමට හා වගකිවයුතු නිලධාරීන්ටද බැනවදින දර්ශන කිහිපයක් සමාජ මාධ්‍යවල පළවන්නට වූයේ ලංකාවේ වීසා ප්‍රශ්නය ලොවටම කියාපාමිනි.

අපට ලාබ නැති උන්ට ලාබ ඇති අමුතු වීසා

පාඩු ලබන විකුණන ලැයිස්තුවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවාව තිබෙන බවද කවුරුත් දනිති. ශ්‍රී ලන්කන් ගුවන්සේවාව පාඩුවුවද දැනට අවුරුදු 12 ක් තිස්සේ ආගමන විගමන නිලධාරීන් විසින් සිදුකළ වීසා නිකුත් කිරීමෙන් රටට පාඩුවක් ඇතැයි මෙතෙක් කිසිවකුද කියා නැත. එහෙත් කාලයක් තිස්සේ මෙරට ආගමන විගමන දෙපාර්තුමේන්තුව මගින් කිසිදු ප්‍රමාදයකින් තොරව ගුවන් මගියෙකු වෙත නිකුත් කරනු ලැබූ වීසා බලපත්‍රය ගැනීමට මගීන්ට පැය ගණන් පෝලිමේ සිටීමට සිදුවීම ප්‍රශ්නයකි. එමෙන්ම වීසා නිකුත් කිරීම වෙනත් රටකට පැවරීමෙන් පසු සිදුකර ඇති ගාස්තු සංශෝධනයද අසාධාරණය. ප්‍රශ්න සහගතය. ලංකාව සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට රටක් වශයෙන් නොයෙකුත් ක්‍රියාමාර්ග ගත්තද අසාධාරණ මිල ගණන් යටතේ සංචාරකයකුට වීසා නිකුත් කිරීමෙන් සංචාරක ව්‍යාපාරයට සිදුවන හානියද සුළුපටුද නොවේ. මේ වීසා නිකුත්කිරීමේ පිටුපස සිටින්නේ කවරෙක්ද, අදාළ කොමිස් මුදල් යන්නේ කාගේ සාක්කුවටද යන්නද ප්‍රශ්නයකි.

පාඩු යැයි කියා රටේ මර්මස්ථාන ජාතික ආරක්‍ෂාව ගැනද නොතකා පිටරැටියන්ට විකුණා දැමීම කිසිසේත් සාධාරණය කළ නොහැක. අප මීට පෙරද විදෙස් ගුවන් බලපත්‍රය ලබාගැනීමේදී ජනතාවට මුහුණ දෙන ගැටලු හා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පැවැති අක්‍රමිකතා පිළිබඳවද සවිස්තරාත්මක දීර්ඝ ලිපියක් අප පසුගිය දිනක පළ කළෙමු. මෙවර අප කතාකරන්නේද මේ වනවිට රජය මගින් වෙනත් රාජ්‍යයන් සමඟ වෙළෙඳ ගිවිසුම්ගතව ඇති මේ කියන ගුවන් වීසා අවුල මේවනවිටත් හරිහැටි විසඳී නැති අවස්ථාවකය. එමෙන්ම පෞද්ගලීකරණයේ අයහපත් ප්‍රතිඵල මේ වීසා අවුලෙන් මනාව ඔප්පු වන්නේය. මේවන විටද ON ARRIVAL වීසා ක්‍රමය තාවකාලිකව නවතා ඇතත් අදාළ වෙළෙඳ සමාගම් සමඟ ගිවිස ඇති ගිවිසුම් ඉවත් කර නොමැත.

වීසා නිකුත් කිරීමේ අයිතිය දුන්නේ ඉන්දියාවද?

පසුගියදා උද්ගත වූ වීසා ප්‍රශ්නයෙන් අසීරුතාවට පත්වූ බහුතරයක්ම කියා සිටියේ වීසා නිකුත් කිරීමේ කාර්යය ඉන්දියාවට දී ඇති බවටය. එහෙත් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ලිපියක් මගින් දන්වා තිබුණේ ලංකාවේ වීසා ප්‍රශ්නයට ඔවුන් සම්බන්ධ නොමැති බවත් අදාළ සමාගම ඉන්දියාවේ නොවන බවත්ය. එහෙත් වැඩිදෙනකුගේ මතය වන්නේ රජය වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර VFS GLOBAL නම් පිටරට සමාගමකට ලබාදුන් බවටය. කෙසේවෙතත් එකී සමාගම මගින් සිදුකරනුයේ තාක්‍ෂණ සම්බන්ධතාව ලබාදීම පමණක් බව මේවන විට තහවුරුවී ඇත. එසේනම් අදාළ ගිවිසුම්ගත වීසා නිකුත් කළ ආයතන කවරෙක්ද? ප්‍රශ්නය එන්නේ එතැන් සිටය. කටුනායක ගුවන්තොටුපළේ ආගමන විගමන නිලධාරින්ගෙන් විමසීමේදී ඔවුන් අප වෙත කියා සිටියේ වීසා නිකුත් කිරීම සිදුකරනු ලබන්නේ GBS Technology Services, IVS Global-FZCO යන සමාගම් දෙක පමණක් බවය. බොහෝ අය වීසා නිකුත් කරනු ලබන ආයතනය VFS GLOBAL යැයි කියා වැරදි මතයක බැවින් VFS GLOBAL යනු තාක්‍ෂණික සම්බන්ධතාව ලබාදෙන ආයතනය පමණක් බවද ආගමන විගමන නිලධාරීන් කැටතියා ප්‍රකාශ කළහ. ලැබෙන ආරංචි මාර්ග අනුව ඉහත සමාගම් කිහිපයම ඉන්දියානු සමාගම්ය. එහි එක් සමාගමක් විවිධ වංචා ගනුදෙනු රැසක් සිදුකර ඇති ඉන්දියාවේ කවිරාජ් බණ්ඩාරි නමැති කෝටිපතියකුගේ බවට මේ වනවිටද තොරතුරු ලැබී ඇත. රජය මගින් මෙවැනි ආයතන සමඟ ගිවිසුම් ගතවීමට පෙර එම ආයතන පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදුකර නොතිබීමද මේ ක්‍රමයේ පවතින බලවත් ගැටලුවක්ද වන්නේය.

වීසා නිකුත් කිරීම එදා සහ අද

ලෝකයේ බහුතරයක්ම රාජ්‍යයන් එරටට ඇතුල්වීමේදී සංචාරකයන්ට වීසා නිකුත් කරනු ලබයි. එසේ නිකුත් කිරීමෙන් රටට ලැබෙන ආදායමද ඉතා ඉහළය. අපේ රටට පැමිණෙන සංචාරකයන්ට වීසා නිකුත් කිරීමෙන් විශාල ආදායමක් මෙරට ජාතික ධනයට එකතු වන බවද නොරහසකි. එහෙත් අනෙක් රටවල් සමඟ සංසන්දනාත්මකව බැලීමේදී හැටිහැටියේම අපේ රටේ වීසාවලට සිදුවූයේ කුමක්දැයි තවමත් පැහැදිලි නැත. ලංකාවේ ගුවන්ගමන් පිළිබඳව කතාකරන විට එනම්, 1949 වසරේදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මෙරට ස්ථාපිත කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට වීසා නිකුත් කරන්නේ සාමාන්‍ය පරිදි ලිපි ලේඛන පරීක්‍ෂා කිරීමක් මුල්කොටගෙනය. 1949 සිට 2012 වසර දක්වා රටවල් කිහිපයක් හැරුණු විට මෙරට රජය සංචාරකයන්ගෙන් වීසා ගාස්තු අයකළේද නැත. තාක්‍ෂණයේ දියුණුව මිනිසාගේ යහපත උදෙසා උපයෝගී කරගනිමින් මෙරට වීසා නිකුත් කිරීමට තාක්‍ෂණය යොදාගන්නේ මීට අවුරුදු 12 කට පමණ ඉහතදීය. එනම් 2012 වර්ෂයේදී ETA හෙවත් ඉලෙක්ට්‍රොනික් සංචරණ අනුමැතිය නමින් ක්‍රමවේදයක් තුළින් වීසා සඳහා ගාස්තු අයකිරීමද ආරම්භ කළේය. මෙම ක්‍රමවේදයේ විවිධ කාලසීමා තුළදී වීසා ගාස්තු ඉහළ ගියද 2024 වසර ආරම්භ වන විටද මෙරටට පැමිණෙන සංචාරකයකුගෙන් අයකළ වැඩිම මුදල වන්නේ ඩොලර් 60 කි. එමෙන්ම වීසා නිකුත් කිරීමේ ආරම්භය වන 2012 වසරේ සිට 2024 අප්‍රේල් මාසය වනතුරුම අපේ රටේ වීසා පිළිබඳ කිසිදු ගැටලුවක්ද නොවීය. මෙසේ කිසිදු ගැටලුවක් නොමැතිව පවත්වාගෙන යන වීසා ලබාදීමේ ක්‍රියාවලිය ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ඉවත්කර එම ක්‍රියාවලිය පිටරැටියකුට ලබා දෙන්නේ පවතින ආණ්ඩුවේ සංචාරක ඇමැතිවරයාද නොදැනුවත්ව බව ඔහු කියන කතාවලින් පැහැදිලිය.

එහෙත් මෙරට ආරක්‍ෂක ඇමැතිවරයා ප්‍රකාශ කරන්නේ අදාළ ගිවිසුම කැබිනට් අනුමැතිය සහිතව අදාළ සමාගම් වෙත වීසා නිකුත් කිරීමට අවසර දුන් බවය. කෙසේ වුවද මේ වන විට වීසා ප්‍රශ්නය ඔඩුදුවා අවසන්ය. දැන් වීසා නිකුත් කිරීමේ (ON ARRIVAL) ක්‍රමයද ඉන්දීය සමාගම නවතා දමා සුපුරුදු පරිදි වීසා නිකුත් කිරීම ආගමන විගමන නිලධාරීන් වෙත ලබාදී ඇත. එහෙත් මෙම වීසා ප්‍රශ්නයේ බොහෝ ගැටලුකාරී තැන් කිහිපයක්ම ඇත. ඇමැතිවරයා කියන පරිදි අදාළ සමාගම්වලට තාක්‍ෂණික දෝෂ බලපෑ බව ප්‍රශ්න සහගතය. මේ සම්බන්ධව ඔවුන් කියන කතාද පරස්පරය. එමෙන්ම ඉන්දීය කොමසාරිස් කාර්යාලයෙන් කියන කතාවද සැක සහිතය. වීසා නිකුත් කළ එම ඉන්දියානු සමාගම මෙම ප්‍රශ්නයට මුහුණ දෙන්නේ ආගමන විගමන නිලධාරීන් කියන විදියට වීසා නිකුත් කිරීම පිළිබඳ පෙර සූදානමක් නොමැතිකම නිසාය. ඔවුන් එසේ වීසා ලබාදීමට පටන් ගන්නේද වැඩිපුරම සංචාරකයන් පැමිණෙන වේලාවේය. සාක් රටවලට නොමිලයේ වීසා නිකුත් කළද අදාළ ඉන්දීය සමාගම් එම රටවලින් ද මුදල් කිරීමක් සිදුකර තිබුණි. සාමාන්‍ය වීසාවක් සඳහා ඔවුන් සංචාරකයෙකුගෙන් ඩොලර් 100 ක මුදලක් ගෙන තිබුණේ අමතර ගාස්තුද එක්කොටය.

පසුගියදා නැවතත් වීසා නිකුත් කිරීම සඳහා ඩොලර් 60 ක් පැවැති මුදල ඩොලර් 50 ක් දක්වා පහත හෙළන්නේද ජනපතිවරයාගේ දැනුම්දීමකට පසුවය.

වැඩිකළත් රටට නැති වීසා ගාස්තු

වීසා නිකුත් කිරීම පිටරට සමාගමකට දුන්පසු සිදුවන්නේ අත්තනෝමතිකව වීසා ගාස්තු වැඩිකිරීමය. එනම් මෙරටට පැමිණෙන සංචාරකයකුට දින 30 ක වීසා බලපත්‍රයක් සඳහා ඩොලර් 60 ක මුදලක් අය කිරීමය. එසේ වීසා ගාස්තු වැඩිකළද ප්‍රශ්නය වන්නේ එසේ වැඩිකළ මුදල් මෙරටට හිමි නොවීමය. එම සමාගම් සමඟ ගසා ඇති ගිවිසුම් අනුව ඩොලර් 100 කින් රජයට හිමිවන්නේ ඩොලර් 75 කි. එවිට ඉතිරි ඩොලර් 25 යන්නේ පෙරකී සමාගමටය. එහෙත් එම ඩොලර් 25 න් කොපමණ මුදලක් එම සමාගමට හරියටම හිමිවෙනවා දැයි කීමට අප හරිහැටි නොදනිමු. තවද වයස අවුරුදු 12 ට අඩු ළමයකු සඳහා මෙතෙක් නිදහස් කර තිබූ වීසා ගාස්තුව වෙනුවට ඒ සඳහාද ඩොලර් 100 ක් අයකර ගැනීමට හැකිවන ආකාරයට ගිවිසුම් ගසා තිබුණේ සංචාරකයාට වඩා අදාළ සමාගම්වල සුබසිද්ධිය සඳහාය. සංචාරකයා සූරාකන මේ ක්‍රමය මෙරටට විදේශිකයන්ගේ පැමිණීමටද බෙහෙවින් බලපානා කාරණයකි. එක් පවුලකින් සාමාජිකයන් හතර දෙනකු මෙරටට පැමිණියහොත් ඔවුන්ට සිදුවන්නේ ඩොලර් 400 ක් ගෙවීමටය. එසේ වීම සංචාරක කර්මාන්තයටම අනතුරකි. මෙම ක්‍රමය මෙරටට කිසිසේත්ම ප්‍රායෝගිකද නැත. වැදගත්ම ප්‍රශ්නය වන්නේ වීසා නිකුත් කිරීමට SLT ආයතනයෙන් ඩොලර් 1ක් වැනි අවමයකට එකඟවී තිබියදී ආණ්ඩුව ඉන්දීය සමාගමට සංචාරකයකු සඳහා එක් වීසා එකකට ඩොලර් 18.5 ක් අයකිරීමට ඉඩදීමය. පාලකයින් සිය පෞද්ගලික වාසි තකා ශ්‍රී ලංකාවේ වසර 12 කට ආසන්න කාලයක් තිස්සේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකරගෙන ගිය ක්‍රමවේදය වෙනත් රටක පෞද්ගලික සමාගමකට පවරන්නේ කැබිනට් අනුමැතියද ඇතිවය. තවද සංචාරක කර්මාන්තය දියුණු කිරීමට බලාපොරොත්තුවෙන් රටවල් රැසකට වීසා සහන ලබාදුන්නද අලුත් සමාගම හරහා ඔවුන්ටද වීසා ලබාදීමේදී පෙර කියූ ගාස්තු ඇතුළත් වන්නේය. 2024 වසරේ මෙරටට සංචාරකයන් පැමිණීමේ අපේක්‍ෂාව ලක්‍ෂ 23 කි. මේ ආකාරයට බැලූවිට ඩොලර් මිලියන 42 ක් පමණ මෙරටින් ගිලිහී යන්නේ ඉන්දියාවේ පෞද්ගලික සමාගමකටය. මතුවන අනිත් ප්‍රශ්නය වන්නේ මෙම වීසා නිකුත් කිරීම වෙනත් සමාගමකට ලබාදෙන්නේ නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේද යන්නය. පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ලිපියක් මගින් මාධ්‍ය වෙත ඉදිරිපත් කරන්නේ ධබ ්රරසඩ්ක ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය VFS GLOBAL සමාගම වෙත ලබාදෙනු ලබන්නේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිවද, අදාළ සමාගම ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන අතර රටවල් 151 ක වීසා නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 3388 ක සේවා සපයන ආයතනයක් ලෙස එම සමාගම ලෝක ප්‍රකට සමාගමක්ද බවය.

වීසා සඳහා වැඩිම මිලක් නියම කර ඇති ආසියාවේ එකම රටද ලංකාවය. සංචාරකයාගේ සේසතම හූරා කන ක්‍රමවේදය මෙරට සංචාරක ව්‍යාපාරයට ගෙන එන්නේද කලු පැල්ලමකි. කොරෝනා වසංගතයත් සමඟ බිංදුවට වැටී තිබූ සංචාරක ව්‍යාපාරය මේ වනවිට යම් පිබිදීමක් ඇතිව තිබුණද මේ කියන වීසා ප්‍රශ්න නිසා නැවතත් අඩියක් පිටුපසට යෑමට සිදුවී ඇත. සංචාරකයා හා බැඳුනු ව්‍යාපාර රාශියක් මෙරට පවතින්නේය. මෙරට ගමේ නගරයේ තේ කඩයේ සිට හෝටල් ක්‍ෂේත්‍රය ආදී ක්‍ෂේත්‍ර ගණනාවකද පැවැත්ම තීරණය වන්නේ විදේශීය සංචාරකයා මතය. ලෝකයේ සංචාරය කළ හැකි ඕනෑ තරම් රටවල් තිබියදී සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ මෙරටේ කුමන හෝ අගයක් ඇති නිසාය. වීසා මුදල් වැඩිකිරිල්ලෙන් සිදුවන්නේ එන සංචාරකයාත් වෙනත් රටක් බලා යෑමය. වීසා එකකට ඩොලර් සියයක් වියදම් කිරීමට සංචාරකයෝ කැමති නැත.

ගිවිසුම් වෙනස් වන්නේ නැහැලු

අපට ලාබ නැති උන්ට ලාබ ඇති අමුතු වීසා

මේ වනවිට වීසා ප්‍රශ්නය තරමක හොඳ අතකට පැවතියද රජය මගින් VFS GLOBAL සමාගම සමඟ ඇතිකරගෙන තිබූ ගිවිසුම වෙනස් නොවන බව මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා පසුගියදා මාධ්‍ය වෙත පවසා ඇත. මෙරටට ඇතුළු වීම සඳහා ඉලෙක්ට්‍රොනික සහ පැමිණීමේ වීසා සම්බන්ධව ලියකියවිලි හැසිරවීම සඳහා රජය GBS Technology Serrices, IVS Global-FZCO සහ VFS VF World wide Holdings Ltd සමඟ අත්සන් කළ ගිවිසුම මින් ඉදිරියටද අඛණ්ඩව පවත්වාගෙන යන බව ඔහු මාධ්‍ය වෙත පවසා ඇත. පසුගියදා බණ්ඩාරනායක ගුවන්තොටුපළෙහි ඇතිවූ තත්ත්වය ඇතිවූයේ තාක්‍ෂණික දෝෂයක් නිසා බැවින් නැවතත් සුපුරුදු පරිදි එම සමාගම් සිය කටයුතු ආරම්භ කරන බවද ඔහු සඳහන් කර ඇත. තවද මාධ්‍ය වෙත ආරක්‍ෂක ඇමැතිවරයා කියාසිටියේ ඩොන්ගල් භාවිත කොට වීසා නිකුත් කිරීමේදී ඇතිවූ යම් යම් තාක්‍ෂණික දෝෂයන් නිසා අදාළ සමාගම එම තත්ත්වයට මුහුණ දුන් බවයි. ඔහු කියන්නේ මෙම ක්‍රියාවලියට කිසියම් කඩාකප්පල්කාරී කණ්ඩායම්ද සිටින බවය.

ජාතික ආරක්‍ෂාවට මොකද වෙන්නේ?

රටක පැවැත්මට බෙහෙවින්ම බලපානු ලබන්නේ රටේ ආරක්‍ෂක තත්ත්වයය. ගුවන්තොටුපළ යනු රටකට ඇතුළුවිය හැකි නීත්‍යනුකූල පිවිසුම් වලින් එකකි. ගුවන්තොටුපළ මගින් යම් ත්‍රස්තවාදී කටයුත්තකට හෝ නීති විරෝධී කටයුත්තකටද රටකට පැමිණීමේදී එහි ආරක්‍ෂක ක්‍රමවේදයන් හා තාක්‍ෂණික මෙවලම් තුළින් හඳුනාගත හැක්කේය. වීසා නිකුත් කිරීම ඔන්ලයින් ක්‍රමවේදය යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට වාර්තා වුවද ON Arrial ක්‍රමය ඔස්සේ මෙරටට එන සංචාරයකුට ලබාදෙන වීසා පහසුකම පළමු අවස්ථාවේදීම ආගමන විගමනයට වාර්තා නොවීමද බලවත් ගැටලුවක් වන්නේය. මෙම තත්ත්වය 1949 අංක 18 දරන පනතටද පටහැනි බවට මේ සම්බන්ධව වාර්තා මගින්ද පෙන්වා දෙනු ලබයි. එසේ නම් වීසා ලබාදීමේ ක්‍රමවේදය වෙනත් රටකට ලබාදීමේදී සිදුවන්නේ මෙරට ජාතික ආරක්‍ෂාවේ අනාරක්‍ෂිතභාවය නොවේද? එසේම පුද්ගලයන්ගේ ජීව දත්ත තොරතුරු වෙනත් රටවල පාර්ශ්වයන් අතට පත්වීමය. ලද තොරතුරකට එසැණින් ක්‍රියාත්මක වීමට නොහැකි වීමද මෙම ක්‍රමවේදයේ අයහපත් ප්‍රතිඵලයක්ය.

වීසා ප්‍රශ්නය මුලින්ම හෙළිකළේ තරුණයා නොවේ

පසුගියදා වීසා ප්‍රශ්නය කලඑළිබහින්නේ වීසා ලබාදීම ප්‍රමාදවීම නිසා තරුණයකු කටුනායක ගුවන්තොටුපළ තුළ ආවේගශීලීව සිය අදහස් ප්‍රකාශ කළ වීඩියෝවක් අන්තර්ජාලයේ පළකිරීමෙනි.

එහෙත් ඇත්තටම මෙම වීසා ප්‍රශ්නය මුලින්ම එළියට එන්නේ එම තරුණායාගෙන් නොවන බව නම හෙළිකිරීමට අකමැති ආගමන විගමන නිලධාරියකු අප වෙත පැවැසීය. ඔහු කීවේ මෙම සිද්ධියට මාසයකට පෙර මෙම වීසා නිකුත් කිරීම වෙනත් රටකට ලබාදීම සම්බන්ධව ඔවුන් කලින්ම දැනුවත්ව සිටි බවය. එහිදී ඔවුන් කළුපටි පැළඳ සංකේතාත්මක විරෝධතාවක නියැලුන අතර මේ සම්බන්ධව මාධ්‍ය හමුවක්ද පවත්වා දැනුවත් කළ බවය. සැබැවින්ම දුරදක්නා ආගමන විගමන බලධාරීන් සිටීම ගැන අප සතුටු වන්නෙමු. එහෙත් පාලකයන්ගේ වැරදිවලට කිසිවකුද පලි නැත. ඔවුන් දුරතියා වෙන්න යන විපත්තිය කීවද ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වන්නේ නඩුත් ආණ්ඩුවේ සහ බඩුත් ආණ්ඩුවේම වීමය. දැන් කිසිවක් කරන්නට නැත. ආගමන විගමන නිලධාරීන් කියන්නේද තවමත් රුපියල් බිලියන ගණනින් සිදුවන වංචාව නතර වී නැති බවය. එමෙන්ම ආණ්ඩුවටද අදාළ සමාගම් සමඟ ලෙහෙසියෙන් මෙම ගිවිසුම් ලිහාගත නොහැකිය. ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් සම්බන්ධව නීති රීති පිළිබඳවද සලකා බලන විටද මෙම ගනුදෙනුව ලිහාගැනීමද අසීරු කටයුත්තක් බව ආගමන විගමන බලධාරීන්ද අප වෙත කියා සිටියේය.

ආණ්ඩුව පාඩුයි කියා විකුණන ලැයිස්තුවේ තිබෙන රාජ්‍ය දේපළ දැන් කෙමින් විකුණන්නට අවශ්‍ය පිඹුරුපත් සකසා අවසන්ය. මීට පෙර SLT ආයතනයෙන් ඩොලර් 1 කට සිදුකරත්දී පිටරට සමාගමකට ඩොලර් 18.5 ක දෙන්නේ තවමත් මුදල් මගඩියකටද? අපේ රටේ ව්‍යවසායකයන් සිටියදී පිටරට සමාගමකට ලබාදෙන්නේද නිකන් නොවන බවද දැන් කාටකාටත් පැහැදිලිය. බොහෝ අසමත් රාජ්‍ය පාලකයන්ගේ අන්තිම තුරුම්පුවද නොරටුන්ට රටද රටේ සම්පත්ද විකිණීමය. දැනටමත් ගුවන්තොටෙහි වංචාවක් දූෂණයක් සිදුවනවානම් බුද්ධි අංශ යොදවා හෝ මේ ගැන සොයා බැලියුතු බව අපි අවධාරණය කරමු.

රමින්ද මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment