අපරාධකරුවන් අකාලයේ මිය යා යුතු නැත

1083

එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල කතරගම පොලිසියේ OIC ලෙස කටයුතු කළේ ජයසිරි උඩවත්ත ය. ඒ අතර 1970 දී ප්‍රේමවතී මනම්පේරි කතරගම සිංහල අවුරුදු රූ රැජින බවට පත්විය. උඩවත්ත ඇයට try එකක් දුන් නමුදු ස්වභාවයෙන්ම කාකි ඇඳුම අප්‍රිය කළ ප්‍රේමවතී මනම්පේරි එම ප්‍රේමය ප්‍රතික්ෂේප කළාය. ජයසිරි උඩවත්ත බෙහෙවින් කෝප විය. මේ අතර 1971 කැරැල්ල පටන්ගත් අතර ප්‍රේමවතී මනම්පේරිගෙන් පළිගැනීමට සිතූ ජයසිරි උඩවත්ත ඇය අත්අඩංගුවට ගෙන යුද හමුදාවට භාර දුන්නේය. ලෙෆ්ටිනන් ඇල්ෆ්‍රඩ් විජේසූරිය සහ සාමාන්‍ය සෙබළ අමරදාස රත්නායක විසින් ප්‍රේමවතී මනම්පේරි භාරගන්නා ලදි. පසුව රැයක් පුරා ඇය දූෂණය කළ ඔවුහු 1971 අප්‍රේල් 17 දා උදේ ඇයට වෙඩි තබා මරා දැමූහ. ඇය මරන්නට පෙර ඔවුහු ඇය නිරුවත් කර කතරගම නගරය පුරා ඇවිද්ද වූහ. මේ සිද්ධිය ගැන පසුව පරීක්ෂණයක් පවත්වන ලදි. එහි ප්‍රතිපලයක් වශයෙන් ලෙෆ්ටිනන් විජේසූරිය සහ අමරදාස රත්නායක යන දෙදෙනාට දාසය අවුරුද්ද බැගින් වූ හිර දඬුවමක් නියම විය. මිනීමරු විජේසූරිය 1988 දී හිරගෙදරදීම මළේය. නිදහස් වී පැමිණි රත්නායකට කිසියම් පිරිසක් විසින් වෙඩි තබා මරණ ලදි.

1959 සැප්තැම්බර් 25 දා එවකට අගමැති වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකට වෙඩි තබා මරා දමන ලදි. එම ඝාතනය සිදු කළේ තල්දූවේ සෝමාරාම නමැති චීවරධාරියා ය. මාපිටිගම බුද්ධරක්ඛිත නමැති බලවත් දේශපාලන භික්ෂුව විසින් මේ ඝාතනය සංවිධානය කරන ලදි. අන්තිමට සෝමාරාම එල්ලුම් ගස් ගිය අතර බුද්ධරක්ඛිත ජීවිතාන්තය දක්වා හිරේ ගියේය. හිරේ ගිය බුද්ධරක්ඛිත ජම්පරය ඇඳීමට පෙර සිවුර ගලවා පසෙක තබා පන්සිල් සමාදන් වීමෙන් උපැවිදි විය. බුද්ධරක්ඛිතට වැඩි කලක් ජීවතුන් අතර ඉන්නට ඉඩ නොලැබිණ. ඔහු හිරගෙදර තුළදීම හෘදයාබාධයක් වැළඳී මිය ගියේය.

සිවලෝගනාදන් විද්‍යා යනු යාපනේ ජීවත්වූ ඉතා සුරූපී නව යොවුන් ශිෂ්‍යාවකි. 2015 මැයි 13 දා පාසල නිමවී ඇය නිවසට එන විට මග රැක සිටි මහලිංගම් ශෂීකුමාර් හෙවත් ස්විස් කුමාර් නමැති ස්ත්‍රී දූෂකයා තවත් පිරිසක් සමග එක්ව මග රැක සිට ඇය කැලයට ඇදගෙන ගොස් සමූහ දූෂණයට ලක් කළහ. මේ ක්‍රියාවලියෙන් බ්ලූෆිල්ම් එකක් සාදන ලදි. ස්විස් කුමාර් ජීවත් වූයේ බ්ලූෆිල්ම් සාදා ඒවා යූටියුබ් එකට විකිණීමෙනි. විද්‍යා පිළිබඳ බ්ලූෆිල්ම් එක රූපගත කිරීමෙන් පසු ස්විස් කුමාර් ඇය ඝාතනය කළේය. අන්තිමේදී සිවලෝගනාදන් විද්‍යාගේ මළ සිරුර කටු අකුලක තිබී හමු වූ අතර ඇය මැරූ ආකාරය ද හෙළි විය. එවිට ස්විස් කුමාර් අල්ලාගත් ගම්වැසියෝ ඔහුට පහරදී පොලිසියට භාර කළේය. පොලිසිය විසින් මේ තුවාලකාරයා යාපනේ රෝහලට ඇතුළත් කරන ලදී. එහෙත් රෝහලෙන් පැනගත් ස්විස් කුමාර් ස්විට්සර්ලන්තයට පැන ගැනීම සඳහා කොළඹට පැමිණියේ ය. වැල්ලවත්තේදී ඔහු පොලිස් අත්අඩංගුවට පත් විය. මෙහිදී ස්විස් කුමාර් බේරාගැනීම සඳහා එවකට පැවැති රජයේ අමාත්‍යවරියක වූ විජයකලා මහේෂ්වරන් සහ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ හිටපු ප්‍රධානියා බලවත් උත්සාහයක් ගත් බව කියනු ලැබේ. පව් පලදීමක් වශයෙන් දෝ 2020 දී පැවැති මහ මැතිවරණයෙන් විජයකලා පැරදින. අත්අඩංගුවට පත්වූ ස්විස් කුමාර් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන යන ලදුව දරුණු ප්‍රශ්න කිරීමකට මුහුණ දුන්නේය. ඔහුගෙන් ඇත්ත දැනගන්නා ලද්දේ රහස් පොලිසියේ පළපුරුදු නිලධාරියකු වූ නිශාන්ත ද සිල්වා විසිනි. ස්විස් කුමාර් වර්ගයේ ඇට්ටකුනා වූ කාම අපරාධකාරයන්ගෙන් ප්‍රශ්න කිරීමේදී විශේෂ උපක්‍රම භාවිතා කරනු ලැබේ. එම සියලු සැලකිලි ස්විස් කුමාර්ට කරන ලද අතර ඒ සම්බන්ධයෙන් නිශාන්ත සිල්වාට සහ රහස් පොලිසියට අපි හිස නමා ආචාර කරමු. නිශාන්ත සිල්වා අද ලංකාවේ නැත. ගෝඨාභය බලයට පැමිණීමත් සමගම ජීවිත ආරක්ෂාව පතා ඔහුද ස්විට්සර්ලන්තයට පලා ගියේය. ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සියලු පරීක්ෂණ කරන ලද්දේ නිශාන්ත සිල්වා ය. ස්විස් කුමාර් ඇතුළු පිරිස සම්බන්ධයෙන් නඩු ඇසීමෙන් පසු ඔවුන්ගෙන් හත්දෙනකුට මරණ දඬුවම නියම විය. ලංකාව තුළ මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන නිසා බන්ධනාගාරය තුළ නිදහසේ සිටිමින් ආතල් එකක් ගැනීමට ස්විස් කුමාර්ට හැකි වූ නමුදු මීට තෙදිනකට පෙර විද්‍යා ඝාතන සිද්ධියේ එක විත්තිකරුවකු වූ පූබාලසිංහම් තවකුමාර් නමැත්තා පෙරේදා රාත්‍රි හිරේදීම මළේය. සමහරවිට මීළඟ චාන්ස් එක ස්විස් කුමාර්ට ලැබෙනවා ඇත. ඉන්පසු තවත් පස්දෙනෙක් ඉතුරු වේ. ඉතා සාධාරණ කෙනකු වූ මාරයා හැකි උපරිමයෙන් ඔවුන් ගැනද බලා ගන්නවා ඇත. සිවලෝගනාදන් විද්‍යා ඝාතනය කිරීම ඉතාම කෲර වූද ශෝකජනක වූද කතාවකි. ප්‍රේමවතී මනම්පේරි ඝාතනය ද එවැනිම පිළිකුල් සහගත කතාවකි. මේවායේ විත්තිකරුවන් සහ බණ්ඩාරනායක ඝාතනය සංවිධානය කළ චීවරධාරියා අකාලයේ මිය යෑම හොඳ නැත. ඔවුන් මිය යා යුත්තේ හිර ගෙවල්වල දුක් විඳීමෙන් පසුවය. ඔවුන්ට හිමිවිය යුත්තේ මනම්පේරි සිද්ධියේ සාමාන්‍ය සෙබළ අමරදාස මුහුණ දුන් මරණය හා සමාන මරණයක් ය. මේ අපගේ අවංක හැඟීමයි.

advertistmentadvertistment
advertistmentadvertistment