අපරාධයක්ද? අනතුරක්ද? නීතියෙන් පිටුපෑ අසරණියකගේ කතාව…

282

අපර්ණා පාසලේ සිට එක පිම්මට ගෙදරට දිවගෙන ආවාය. උළුවස්ස බදාගත් ඕ වේගයෙන් හති දමන්නට වූවාය. කුස්සියේ උයමින් සිටි අම්මාට ඒ හඬ ඇසුණෙන් ඕ එළියට ආවාය.

‘උඹ පාස්ද මගේ රත්තරනේ?’ ඕ ළයාන්විත ස්වරයෙන් ඇය ඇමතුවාය.

තවමත් හති දමනවා මිස අපර්ණා කථා කළේ නැත. එහෙත් ඇය සිනාසෙමින් හිස වනද්දී ඒ ආදරණීය මාතාව තම චීත්ත පොට ඇද දෙඇස් පිස දැමුවාය.

‘මම ඉහළින්ම පාස් අම්මේ…’ ඊළඟ මොහොතේ ඕ හති දමමින්ම කීවාය.

‘උඹ පාස්වෙන වග මම දැනගෙන හිටියා කෙල්ලේ… උඹට රත්නත‍්‍රයේ පිහිටයි මගේ රත්තරනේ…’ තම ආදරණීය දියණියගේ හිස පිරමදිමින් ඕ උතුරා දොර ගලන මව් සෙනෙහසින් යුතුව ඇයට ආශීර්වාද කළේ හදවතින්මය.

‘තාත්තේ මට රස්සාවක් හොයාගන්න ඕන. නංගිටයි මල්ලිටයි හොඳට උගන්වන්න ඕන.’ අඳුරත් සමග ගෙදර ආ සිය ආදරණීය පියාණන්ට තම අ.පො.ස. (සා.පෙළ) විභාගයේ ප‍්‍රතිඵල දැන්වූ අපර්ණා අවසන එසේ කීවාය.

‘එපා එපා මගේ රත්තරනේ… මම ටවුමේ ලේන්සුවක් එළාගෙන හිඟා කාලාහරි උඹට වියදම් කරනවා. උඹ ඉහළට ගෙන ගනිං මගේ පුතේ’ ඒ අසරණ අහිංසක පියා උතුරා යන දාරක පේ‍්‍රමයෙන් කීවේය.

‘අවුරුදු දෙකක් ටවුමේ ලොකු ඉස්කෝලෙට ඉගෙන ගන්න මොන තරම් සල්ලි කන්දරාවක් ඕනද තාත්තේ? මට පුළුවන් රස්සාවක් කරන ගමන් ඉහළට ඉගෙන ගන්න. විශ්වවිද්‍යාල නොගියාට කාරි නෑ තාත්තේ. අපි දෙන්නම එකතුවෙලා නංගිටයි මල්ලිටයි ඉහළට උගන්වමු තාත්තේ’ ඇය උතුරා ගලන සැබෑ සහෝදර පේ‍්‍රමයෙන් යුතුව කීවාය.

‘නෑ… නෑ… මගේ රත්තරෙන්… මම කොහොමහරි උඹලා තුන් දෙනාටම ඉහළටම උගන්වනවා. සල්ලි ගැන හිතන්න එපා. උඹ ටවුමේ ලොකු ඉස්කෝලෙකට පලයං’ ඒ පියාගේ අවසන් තීරණයයි.

නගරයේ උසස් බාලිකා විද්‍යාලයක උසස් පෙළ පන්තියට ඇතුළත්වීම සඳහා අයදුම් කරන ලදින් අපර්ණාට එම භාග්‍යය පහසුවෙන්ම උදාවිය. ඒ ඕ සාමාන්‍ය පෙළ විභාගය මහ ඉහළින්ම ජයගෙන තිබූ බැවිනි.

පාසලේ හැම සිසුවියක්ම ඉවරයක් නැතිව පෞද්ගලික පන්තිවලට ගියද කිසිදු පෞද්ගලික පන්තියක සරණ නොගිය අපර්ණා ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට එම කඩ ඉමද මහා ඉහළින් තරණය කළේ යටකී සිසුනට කදිම අතුල් පහරක්ද දෙමිනි.

‘තාත්තේ… අපට මුල් අවුරුද්දේ කැම්පස් එකේ හොස්ටල් ලැබෙන්නෙ නෑ. පිට තැනක බෝඩිමක් හොයාගන්න වෙයි. ළඟ තැනක් නම් වඩා හොඳයි. බස් එකට සල්ලි යන්නෙත් නෑ. ඊටත් වඩා කාලයත්් ඉතිිරියිනේ. හැබැයි ඉතිං ළඟ බෝඩිංවල ගණන් සැරයි’ සරසවි පිවිසුම සඳහා වන ලිපිය ලද දින රැයේ අපර්ණා සිය පියාට එසේ කීවාය. ‘ආව්…. ආව්.. අපේ අක්කා තව අවුරුදු පහකින් දොස්තර නෝනා කෙනෙක් එහෙනම්’ නැඟණිය ලක්‍ෂිකා සිනාසෙමින් කීවාය.

‘අනේ උඹේ ඔන්න ඔය නැටිල්ල නවත්තලා උඹත් දොස්තර කෙනෙක් වෙන්න උත්සාහ කරපං පොඞ්ඩියේ…’ අම්මා කීවාය.

‘මම ආසා ඩාන්සිං ටීචර් කෙනෙක් වෙන්න. මට බෑ ඔය ලෙඞ්ඩුන්ගේ ලේ සෙම සොටු අතගාන්න’ ලක්‍ෂිකා පිළිකුලෙන් යුතුව කීවාය.

පියා සිය මිතුරෙකුගේ මාර්ගයෙන් අපර්ණාට සුදුසු බෝඩිමක් සෙව්වේය. සරසවියට පයින් යා හැකි දුරක පිිහිටි එය එක්තරා නිවසක් පිටුපස නිවසකිින් වෙන්කොට ඉදිකරන ලද කාමර දෙකකි. එක සිසුවියකටවත් හරිහමන් ඉඩක් නොවූ එම කාමර දෙක සිසුවියන් හතර දෙනෙකුට කුලියට දී තිබිණි. අය කළ කුලිය ඉතා ඉහළ වූ අතර එක් කාමරයක තිබුණේ එක් කුඩා ඇඳක්, කුඩා මේසයක් හා කබල් පුටුවක් බැගිනි. එක් සිසුවියක් ඇඳෙත් අනෙකා බිමත් නිදාගත යුතුවිය. අද ඇඳේ නිදාගත් සිසුවිය හෙට බිමත්, අද බිම නිදාගත් සිසුවිය හෙට ඇඳේත් නිදා ගැනීමට සිසුවියන් හතරදෙනා ගිවිසුම් ගත වූයේ මුල් දිනයේමය.

‘පහසුකම් අඩු වුණත් කුලිය ඉහළ වුණත් මේ අවුරුද්ද ඔහොම ඉවසාගෙන ඉඳිමු. ළඟ නිසා බස් ගාස්තුව ඉතිරියිනේ. ඊටත් වඩා කාලය වටිනවානේ…’ ඔවුහු එසේ කතා කළහ.

අපර්ණාගේ කාමරයේ නේවාසිකවූ අනෙක් සිසුවිය මේනකා නම් වූවාය. යාබද කාමරයේ සිසුවියෝ දිල්රුක්‍ෂි හා ස්වර්ණා නම් වූහ. සිව් දෙනාම දුප්පත් දෙමාපියන්ගේ දරුවන්වීම නිසාම ඔවුනොවුන් අතර කදිම සමීප සම්බන්ධතාවක් හා ලෙන්ගතුකමක් ආරම්භයේම ඇතිවිය.

කාලය වේගයෙන් පියාඹා යද්දී මිතුරියන් සිව්දෙනා එකාවන්ව වෙහෙසමින් අප‍්‍රතිහත ධෛර්යයෙන් යුතුව සිය අධ්‍යයන කටයුතු කරගෙන ගියහ.

පළමු වසර අවසානයේ විභාගය ළංවෙත්ම හතර දෙනාම නිදිවරාගෙන පාඩම් කරන්නට වූහ. එක කාමරයක එක මේසයක වරකට පාඩම් කළ හැකි වූයේ එක් සිසුවියකට පමණි. එහෙයින් ඔව්හු කාලය බෙදා වෙන්කර ගත්හ. එක් සිසුවියක් පැය තුනක් පාඩම් කරද්දී අනෙක් සිසුවිය නිදයි. ඒ තුන් පැය පුරා පාඩම් කරන සිසුවිය නින්දට යන්නේ නිදා සිටි සිය මිතුරියට අවස්ථාව දෙමිනි.

‘මේ විධියෙන් අපේ වැඩ දෙකම කෙරෙනවා’ ඔව්හු කතා කළහ.

‘තේ කහට ටිකක් තිබුණා නම් කියලා වැඩක් නෑ’ අපර්ණා සිනාසෙමින් කීවාය.

‘තිබුණා නම් හොඳ තව කොච්චර දේවල් තියෙනවද ඔය තේ කහටවලට වඩා’ අපර්ණාට මේනකා එසේ ප‍්‍රතිචාර දැක්වූවාය.

එය ඝනඳුර රජ කළ එක් අමාවක පෝදාක රැයයි. ඒ මදිවාට මහා වැස්සක්ද ඇද හැළෙමින් තිබිණි. අපර්ණා පාඩම් කරමින් සිටි අතර මේනකා නිදමින් සිටියාය. බියකරු සිහිනයක් දුටු මේනකා එක්වරම කෑ ගසමින් නැඟී සිටියාය.

කාමරයේ විදුලි පහන දැල්වෙමින් තිබිණි. එහෙත් අපර්ණා කාමරයේ නැත. ඇය පාඩම් කරමින් සිටි පොත එහි බිම වැටී තිබූ අතර පුටුවද පෙරළා දමා තිබිණි.

‘හ්ම්… හත් දෙයියනේ කෝ මේ කෙල්ල? දොරත් ඇරලා’ විශ්මයෙන් විශ්මයටත් අධික බියට පත් මේනකා මහ හඬින් කෑගැසුවාය.

‘අපර්ණා… අපර්ණා… ඔයා කොහේද?’ අගේ කෑගැසීම අසා යාබද කාමරයේ මිතුරියන් දෙදෙනාද බියට පත්වූහ.

‘ඇයි මේනකා ඇයි?’ ඔව්හු දොර නොඇරම ඇසූහ.

‘අනේ ස්වර්ණා… අපර්ණා කාමරේ නෑ. දොරත් ඇරලා දලා’ මේනකා කෑගසා කීවාය.

‘ඇන්ටිට කතා කරන්න’ ස්වර්ණාත් දිල්රුක්‍ෂිත් කෑගසා කීහ.

තිදෙනාගේ කෑගැසීම අසා ගෙහිමි කාන්තාව තම නිවසෙන් පෑලදොර විවෘත කළාය. මහ වැස්ස නිසා එළියට බැසීමට නොහැකි වූයෙන් ඕ එළිපත්ත මත සිට කතා කළාය.

‘ඇන්ටි… අනේ ඇන්ටී… අපර්ණා කාමරේ නෑ. දොරත් ඇරදාලා’ මේනකා කෑගසා කීවාය.

ගෙහිමි කාන්තාව වැස්සේ තෙමීගෙනම එතැනට දිව ආවාය.

‘අපර්ණා පාඩම් කළා මම නිදාගෙන හිටියා. මහා නපුරු හීනයක් දැකලා මම බයවෙලා නැගිට්ටා. බලනකොට අපර්ණා කාමරේ නෑ. මේ එයා පාඩම් කරපු පොතත් බිම වැටිලා පුටුවත් පෙරළිලා…’ මේනකා හඬමින් කීවාය.

නිවෙස පිටුපස සිසුවියන්ගේ කාමර දෙක අසල තිබූ වැසිකිළියේ දොරද විවෘත කළ ගමන්ම තිබිණි.

‘ලැට් එකට යන්නවත් දොර ඇරියද දන්නෙ නෑ…’ ගෙහිමි කත සැක පළ කළාය.

‘නෑ… නෑ… ඇන්ටි අපි හැමදාම කරන්නෙ ඇන්ටිට කතා කරලා හතර දෙනාම එකවර යන එකනේ…’ මේනකා තරයේම කීවාය.

‘අංකල් කෝ ඇන්ටි?’ ස්වර්ණා ඇසුවාය.

‘එයා හවස ගමනක් ගියා’ ඕ කීවාය.

ඇය කුඩයක් ඉහළාගෙන ගෙවත්තේ හැමතැනම සෝදිසි කළාය. අනතුරුව පාරට බැස ඒ පැත්තටත් මේ පැත්තටත් මද දුරක් ගොස් ආපසු ආවාය.

‘හරිම පුදුම වැඩක්නේ… මේ ළමයා කොයිබ ගියාද මේ මහ රෑ’ ඕ විශ්මය පළ කළාය.

‘ඔයාලා දොරවල් ඇතුළෙන් අගුලූ දාගන්නේ නැද්ද? ඕ ඇසුවාය.

‘ඇතුළෙන් ලොක් කරන්න අගුලක් නෑනේ ඇන්ටි’ තිදෙනාම එකවර කීහ.

‘ඇයි ළමයිනේ මේ ස්විච් ලොක්වල තියෙන මෙන්න මේ ඇණේ ඉහළට දැම්මම ලොක්වෙනවානේ ’ ඕ මද කෝපයෙන් කීවාය.

‘අපි ඒක දැනගෙන හිටියේ නෑ ඇන්ටි’ ඔව්හු කීහ.

‘එහෙම ලොක් කළාම පිටින් යතුරක් දාලා දොර අරින්න බෑ’ කාන්තාව ඔවුනට පළමු දිනයේම කිවයුතු දේ එදා කීවා නම් මෙවන් සිද්ධියක් ඇති නොවන්නට ඉඩ තිබිණි.

පසුදිනට පහන් විය. මුළු විශ්වවිද්‍යාලයම කඩි ගුලක් සේ ඇවිස්සුණි. සියලූම සිසුහු එකාවන්ව එක්ව මුළු පළාතම පීරමින් අපර්ණා සොයන්නට වූහ. එහෙත් අපර්ණා තබා ඇගේ සලකුණක්වත් දක්නට නොවීය.

ගෙහිමි කාන්තාවගේ පැමිණිල්ල මත පොලිසිය පැමිණියාය. මේනකාගෙන් සේම ගෙහිමි කතගෙන්ද දිගින් දිගටම ප‍්‍රශ්න කෙරිණි.

‘දොර ඇතුළෙන් ලොක් කරලා තිබුණේ නෑ. කෝ මේ දොරේ අනික් යතුර’ පොලිස් ප‍්‍රධානියා ඇසීය.

‘අපේ අල්මාරියේ ලාච්චුවේ තියෙනවා. මේ කාමර දෙකේ අනික් යතුරු දෙකම’ ඕ කීවාය.

‘අරගෙන එන්න බලන්න’ නිලධාරියා කීවේය.

ඇය ගෙට දිව්වාය. අල්මාරි ලාච්චුව අවුස්සා බැලූවාය. එකට අමුණා තිබූ යතුරු දෙකම එහි නැත. ඕ කලබල වෙමින් අල්මාරිය අවුස්සද්දී පොලිස් ප‍්‍රධානියා එතැනට ගියේය.

‘යතුරු දෙකම එකට අමුණලා මේ ලාච්චුවේ තිබුණේ දැන් නෑ සර්….’ ඕ විශ්මයෙන් බියෙන් කීවාය.

‘කලබල නැතුව හොයන්න. වෙන තැනක ඇති’ හේ කීවේය.

දෙපැයක් පමණ වේලා මුළු ගෙයම සෝදිසි කළත් යතුරුදෙක නැත.

‘කෝ තමුන්ගේ පුරුෂයා?’ පොලිස් ප‍්‍රධානියා ඇසීය.

‘ඊයේ හවස ගමනක් ගියා’ ඕ කීවාය.

‘මොකක්ද එයාගේ රස්සාව?’ නිලධාරියා ඇසීය.

‘මූදු යන එක තමයි සර්‘ ඕ කීවාය.

‘කවුද තව ගෙදර ඉන්නේ?’ ඒ නිලධාරියාගේ ඊළඟ පැනයයි.

‘අපි දෙන්නයි මේ පොඩි දරුවෝ දෙන්නයි’ ඒ ඇගේ පිළිතුරයි.

‘හොඳයි එයා ආපු ගමන් පොලිසියට එවන්න. ඔය ළමයි තුන්දෙනා ලෑස්තිවෙලා එන්න පොලිසියට යන්න. කටඋත්තර ගන්න ඕන. බය වෙන්න එපා’ නිලධාරියා කීවේය.

අපර්ණාගේ නිවෙසට පුවත දන්වා යවන ලදින් ඇගේ මවත් පියාත් මහ හඬින් හඬාගෙන එහි දිව ආහ. ඒ අසරණ මව බිම ඇදවැටී ගෙන මහ හඬින් නැඟූ විලාපය රැස්ව සිටි සැමගේ දෙනෙත්වලට කඳුළු නැංවීමට සමත් වූහ.

පසුදිනට පහන් වූයේ ශෝකජනක බියකරු පුවතක් සමගිනි. තරුණියකගේ නිරුවත් සිරුරක් මුහුදු වෙරළට ගොඩ ගසා ඇති බව ඉන් කියැවිණි. පුවත ඇසූ හැම කෙනෙක්ම වෙරළට දිව ගියේ නිරායාසයෙනි.

මළ සිරුර අපර්ණාගේ බවට සැක කළ ද ඇගේ මවටවත් පියටවත් සැකහැර හඳුනාගත නොහැකි විය. ඒ ඇගේ මුහුණ දැඩි සේ විරූපී සෙයක් පළ කළ බැවිනි. එය පුළුස්සා ඇති සෙයක් දක්නට විය.

අදාළ පරීක්‍ෂණවලින් පසුව සිරුර රෝහල වෙත රැගෙන යන ලදී.

ගෙහිමියා දින ගණනාවක් යනතුරු ගෙදර ආවේ නැත. ඔහු සොයා ගිය පොලිසිය ඥාති නිවෙසක සැඟවී සිටියදී ඔහුව අත්අඩංගුවට ගැනීමට සමත් විය.

දිගින් දිගටම ප‍්‍රශ්න කරද්දී ඔහු ගැන බරපතළ සැකයක් පොලිසියට ඇති විය. ප‍්‍රදේශයේ රජකළ අංක එකේ මැර දේශපාලනඥයකුගේ හෙංචයියකු වූ ඔහු ඉහළ පෙළේ බලපෑම් මත නිදහස් කිරීමට පොලිසියට සිදු විය. ඒ අදාළ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තා නිකුත්වීමටත් පෙරය.

මළ සිරුර අපර්ණාගේ බවට ඇගේ මව හා සොයුරිය විසින් පසුව හඳුනාගන්නා ලදී.

පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකරන ලද්දේ මෙරට විසූ අංක එකේ වෝහාරික වෛද්‍ය විශේඥයකු විසිනි. මරණයට හේතුව දියේ ගිලීම බවත් ඇය මියයෑමට පෙර දූෂණයට ලක්ව නොමැති බවත් ඉන් කියැවිණි. තතු දත් හැමගේ බරපතළ සැකයට හේතුවූ එම වාර්තාවේ අපර්ණාගේ මුහුණෙහි තිබූ බරපතළ පිළිස්සුම් තුවාල ගැන කිසිදු සඳහනක් නොවීය.

අපර්ණා මුහුදට පැන සියදිවි නසාගෙන ඇති බවට අවසන් ලෙස නිගමනය කිරීමෙන් අනතුරුව ඇගේ සිරුර දෙමාපියන්ට භාරදෙන ලදී.

හෙට දින වෛද්‍යවරියක වී දැය සුවපත් කරන්නටත් තම නැඟණියට හා මලනුවන්ට යහපත් වූ හෙටක් උදාකර දෙන්නටත් තම ආදරණීය දෙමාපියන්ට තමාගෙන් ඉටුවිය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු කරන්නටත් සෑදී පැහැදී කටයුතු කළ දැඩි අධිෂ්ඨාන ශක්තියක් සේම අප‍්‍රතිහත ධෛර්යයක්ද සතු වූ අපර්ණාට සියදිවි නසා ගැනුමට කිසිදු හේතුක් නොවූ බව ඇගේ දෙමාපියන්, නැඟණිය, මලනුවන් සේම කාමරයේ මිතුරියන් තිදෙනාද ඇය සමීපව ඇසුරු කළ සැවොමද තරයේම පැවසූහ.

‘මැරෙන්න හිතානෙ ඉන්න කෙල්ලක් නිරුවත් වෙලා මූදට පනින්නෙ ඇයි? එතකොට කෝ එයාගේ ඇඳුම්? මුහුණ එයාම පුළුස්සා ගත්තද?’ තතුදත් අයගේ අදහස් එසේ විය.

අපර්ණාගේ නේවාසිකාගාරයට නුදුරු පාළු කොහු මෝලක සඟවා තිබූ ඉරීගිය ගවුමක් බ්‍රෙසියරයක් හා කාන්තා යට ඇඳුමක් ගම්මු විසින් සොයා ගැනිණි. ඒවා අපර්ණාගේ බවටත් එම ගවොම එදින රැයේ ඇය හැඳ සිටි එක බවටත් ඇගේ කාමරයේ මිතුරිය මේනකා විසින් හඳුනා ගන්නා ලදී. පොලිසිය පසුව විත් ඒවා රැගෙන ගිය බවත් මේනකාට ඒවා පෙන්වා ප‍්‍රශ්න නොකළ බවත් අසන්නට ලැබිණි.

1990 වසරේදී අසන්නට දකින්නට ලැබූ මේ රුදුරු ඛේදවාචකය කාලය නමැති වැලිතලාවෙන් වැසී ගියද අදද කරුණු කාරණා දන්නා අය පවසන්නේ එය තුච්ඡ අපරාධයක් බවය. අදාළ අයට දෙවියන් විසින් පසු කාලීනව සුදුසු දඬුවම් පමුණුවන ලද බවද ඔවුන්ගේ මතයයි.

පුවතට පසුබිම් වූයේ වලස්මුල්ල තලපාගම්වාඩුව ග‍්‍රාමය හා මාතර නගරාසන්නයයි. සියලූම පෞද්ගලික නාම පමණක් මන: කල්පිතය.

කේ. ඩබ්ලිව්. ගුණවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment