අපරාධවලින් ඉපැයූ දේපළ රාජසන්තක කිරීමේ පනත කැබිනෙට්ටුවට

79

විවිධ අපරාධ මගින් උපයාගෙන ඇති නිශ්චල හා චංචල දේපළ රාජසන්තක කිරීමට අවශ්‍ය නීතිමය ඉඩ ප්‍රස්තාව සැලසෙන පරිදි නව නීති කෙටුම්පතක් රජය සකස් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා එක්ව සකස් කර ඇති නව පනත අමාත්‍ය මණ්ඩල අනුමැතිය උදෙසා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර ඉදිරි සති කීපය තුළදී ගැසට්කර මැති සබයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අපරාධවලින් හිමිකර ගන්නා දේපළ පිළිබඳ පනත නමින් හඳුන්වන නව පනත මගින් අපරාධ වැළැක්වීම, අහිමි කිරීම, ආරක්ෂා කිරීම, කළමනාකරණය, තහනම් කිරීම හා රාජසන්තක කිරීම ආදී ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැලසේ.

නව පනත අනුව සොරාගැනීමක්, පැහැරගැනීමක් සහ අල්ලස් ගැනීමක් ආදී අපරාධ තුළින් යම් පුද්ගලයෙකු අත්පත් කරගෙන ඇති දේපළ එම පුද්ගලයා වරදකරු කිරීමෙන් පසුව හෝ වරදකරු කිරීමකින් තොරව හෝ රාජසන්තක කිරීම උදෙසා ප්‍රතිපාදන සැපයේ. මෙසේ රාජසන්තක කරන දේපළ ආරක්ෂා කිරීමට, කළමනාකරණයට හා සුරක්ෂිතකරණයට අපරාධ දේපළ කළමනාකරණ අධිකාරියේ නමින් නව ආයතනයක් පිහිටුවීමටද යෝජනා ඉදිරිපත්ව තිබේ. එමෙන්ම අපරාධයන්ට ගොදුරුවූවන්ට සිදුවූ හානි ප්‍රතිපූර්ණය කිරීමේ ප්‍රතිපාදන නව පනත තුළින් යෝජනා කර තිබේ.

නව පනත සකස් කිරීම සඳහා පත්කළ 17 දෙනෙකුගෙන් සමන්විත කමිටුවේ ප්‍රධානත්වය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා දරනු ලැබූ අතර වසරකට පමණ පෙර අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා විසින් මෙම කමිටුව නම්කර පත් කර තිබිණි.

නව පනත ගෙන ඒම සම්බන්ධයෙන් අදහස් දැක්වූ විජයදාස රාජපක්ෂ මහතා නීතියේ විධිමත්භාවයක් නොමැතිකමින් මෙතෙක් අඩුපාඩුවක්ව පැවැති විවිධ අපරාධ ඔස්සේ උපයාගෙන ඇති දේපළ රාජසන්තක කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන නව පනත මගින් සපුරාගත හැකි යැයි කියා සිටියේය.


සමන්ත ඉලේපෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment