අපරාධ වාර්තාකරණයේ පුරෝගාමී මෙහෙවර දිවයින ඉටු කළ හැටි

93

මා ‘දිවයින’ කර්තෘ මණ්ඩලයේ සේවය කළ කාලයේදී මාහට පැවරී තිබුණේ පොලිසියේ සහ ආරක්‍ෂක අංශවලට සම්බන්ධ තොරතුරු වාර්තාකරණයයි.

ඒ 1992 වසරේ මැද භාගයයි. එය කොළඹට මඳක් එපිටින් පිහිටි පොලිස් ස්ථානයකි. එහි ස්ථානාධිපතිවරයා පොලිස් පරීක්‍ෂකවරයෙකි. මා ඔහු හොඳින් දැන හඳුනන්නෙකි. සාමාන්‍යයෙන් පොලිස් ස්ථානවලට දිනපතා මෙන් මිනීමැරුම්, කොල්ලකෑම්, සොරකම්, පහරදීම්, දේපළ අලාභහානිකිරීම්, වංචාවන් ආදී අපරාධ මෙන්ම රිය අනතුරු ද වාර්තා වෙයි. මේ කියාගෙන යන 1992 වසරේ මැද භාගයේදී මෙකී පොලිස් ස්ථානයට සැක සහිත මරණයක් ගැන වාර්තා වී තිබිණි. ඒ එකී පොලිස් බල ප‍්‍රදේශයේ ඉතාමත් ධනවත් ව්‍යාපාරිකයකුගේ තරුණ බිරිය නිවසේ

ගරාජයේ මෝටර් රියක් ඇතුළේ පිලිස්සී මියගොස් ඇති බවය.

අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා ප‍්‍රකාශ කර සිටියේ ධනවත් ව්‍යාපාරිකයාගේ බිරිය මෝටර් රිය පණගන්වන්නට ගොස් සිදුවූ අත්වැරදීමකින් මෝටර් රිය ඇතුළේ පිලිිස්සී මියගොස් ඇති බවට තමන් කළ පරීක්‍ෂණවලදි තහවුරු වු බවය.

එහෙත් මරණකාරියගේ සමීපතම ඥාතීහු තරයේම එය ප‍්‍රතික්‍ෂේප කරන්නට වූහ.

‘‘නැහැ…. නැහැ… මේක සැලසුම් කරලා කරපු මිනීමැරුමක්. මෙයා මේ පැත්තෙ ලොකු සල්ලිකාරයෙක්. මෙයාට ෆැක්ටරි තියෙනවා. යාන වාහන, සේවක සේවිකාවෝ, දැසි දස්සෝ ඉන්නවා. මෙයාට වෙන අනියම් සම්බන්ධයකුත් තියෙනවා කියලා අපි දන්නවා. ඒ හින්දම ගෙදර ප‍්‍රශ්න තිබුණා.

උසාවි නියෝගයක් නැතුවම පොලිසිය කාර්එක එයාගෙ මහත්තයගෙ නෑයන්ට භාර දුන්නා. ඕ.අයි.සී. මේ අපරාදෙ යට ගැහැව්වා.’’මියගිය කාන්තාවගේ

ඥාතීන්ගෙන් එවැනි තදබල චෝදනා එල්ල වන්නට විය.

එපමණක් නොව අදාළ ඥාතීහු මෙම සැක සහිත කරුණු කාරණා තමන්ගේ නීතිවේදීන් මාර්ගයෙන් එම බල ප‍්‍රදේශයේ අධිකරණය හමුවේ ඉදිරිපත් කරවන්නට ද පියවර ගනු ලැබූහ.

අවසන මේ අබිරහස් සිද්ධියේ පරීක්‍ෂණවලින් අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා වහා ඉවත් කරන්නට අධිකරණයෙන් නියෝග කෙරිණි.

මේ කියන 1992 කාල වකවානුවේ කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසට සේවය කරනු ලැබුවේ ඒ. එස්. සෙනෙවිරත්න මහතාය. එකල කොළඹ අපරාධ විමර්ශන මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ධුරය දැරුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගොඞ්ප‍්‍රි ගුණසේකර මහතාය. සහකාර පොලිස් අධිකාරිවරුන් වන එස්. ඒ. ඥානරත්න, නන්දන විජේරත්න සහ අශෝක ගල්ගමුව එකල කොළඹ අපරාධ විමර්ශන මූලස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටියහ. අප කියාගෙන ආ අබිරහස් ඝාතන සිද්ධියේ පරීක්‍ෂණය ඉදිරියට කරගෙන යෑම භාර වී තිබුණේ සහකාර පොලිස් අධිකාරි එම්. ඒ. ඥානරත්න වෙතටය. සහකාර පොලිස් අධිකාරි එම්. ඒ. ඥානරත්න ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් අදාළ ප‍්‍රදේශයට ගොස් පරීක්‍ෂණ දියත් කර තිබුණේය. පරීක්‍ෂණවල ප‍්‍රගතිය දැනගෙන පුවත්පතට වාර්තා කරනු පිණිස සහකාර පොලිස් අධිකාරිවරයා සම්බන්ධ කරගන්නට මෙම ලියුම්කරු උත්සාහ ගත්තේය.

එකල අද මෙන් හිතුණු හිතුණු වේලාවට එකිනෙකාට ඇමතුම් ගන්නට ජංගම දුරකථන තිබුණේ නැත. දුරකථන පහසුකම් පවා තිබුණේ එක්කෝ අදාළ පොලිස් නිලධාරියාගේ කාර්යාලයටය. නැතහොත් නවාතැන් ගෙන සිටි පොලිස් නිවස්නයටය.

‘‘ඒ.එස්.පී. ඥානරත්නව තවම අපටවත් සම්බන්ධ කරගන්න බැරිවුණා. දන්නවනේ ඉතින් මේ වගේ වැඩකට ගියහම සීරුමාරුවට වැඬේ කරන්නත් එපැයි. එයා වැඬේ ඉවරවෙලාම අපිව කන්ටෑක් කරාවි. එතකොට විස්තර කියන්නම්.’’

මේ පරීක්‍ෂණයේ ප‍්‍රගතිය ගැන අසද්දී කොළඹ භාර නියෝජ්‍ය පොලිස්පති ඒ. එස්. සෙනෙවිරත්න ද, කොළඹ අපරාධ විමර්ශන මූලස්ථානයේ අධ්‍යක්‍ෂකවරයා වු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගොඞ්ප‍්‍රි ගුණසේකර ද කියා සිටියේ එවැන්නකි.

මෙකී දින පස්වරුවේ දිවයින ප‍්‍රවෘත්ති කර්තෘවරයා වශයෙන් සේවය කරමින් සිටියේ ධර්මරත්න විජේසුන්දර මහතා ය. ඔහුගේ සමකාලීනයන්ට ඔහු ‘ධර්මේ’ විය. අපට ඔහු ‘ධර්මරත්න අයියා’ විය.

කොළඹ අපරාධ විමර්ශන මූලස්ථානයේ කණ්ඩායමක් අධිකරණ නියෝගයක් මත අර අබිරහස් ඝාතනය ගැන සොයන්නට ගොස් ඇතැයි කියන කතාව මා ධර්මරත්න අයියාගේ කනේ තැබුවේය.

‘‘මල්ලි ඕක හෙට පත්තරේ ලීඞ් එක. කොහොම හරි ඔක්කොම විස්තර හොයල ලියපන්. ඕක ලියල දීල මිසක් උඹ පැනල එහෙම යන්නෙ නැහැ.’’

ඔහුගේ නියෝගය එය විය.

‘‘ධර්මරත්න අයියේ මේ ගැන හරි විස්තරයක් හොයාගන්න කිසිම කෙනෙක්ව ටෙලිෆෝන් එකෙන් අල්ලගන්න විදිහක් නැහැ. මේ වැඬේට

ගිහිල්ල ඉන්න ඒ. එස්. පී. ඥානරත්න මගේ හොඳ යාළුවෙක්. ඒත් එයාව අල්ලගන්න විදිහක් නැහැ. එයා සීන් එකේ ඉන්නේ. අදාළ පොලිසියේ එවුන් දන්නෙත් නැහැ මොකක්ද වෙන්නේ කියලා. දැන් රෑ හතයි. වෙන මේ ගැන අහල දැනගන්න කෙනකුත් නැහැ. කොළඹ ඞී. අයි. ජී. මුකුත් දන්නෙත් නැහැ.’’

මම, ධර්මරත්න අයියාට තත්ත්වය පැහැදිලි කළෙමි. මැසිවිලි නැඟුවෙමි.

‘‘අනේ කොල්ලෝ…. .මොන විදිහෙන් හරි මේක ගැන හොයලා ගනින්. මං දන්නවා උඹට පුළුවන්. හෙට පත්තරේ ලීඞ් එක වෙනස් වෙනවැයි කියලා මම රණසිංහ මහත්තයාටත් (ප‍්‍රධාන කර්තෘතුමා) උපාලිටත් (ප‍්‍රධාන ප‍්‍රවෘත්ති කර්තෘවරයා) කිව්වා.’’

ධර්මරත්න අයියාගෙන් ගැලවීම ලෙහෙසි නැත. එකල අපට රැුයක් දවාලක් නැත. මුළු ජීවිතයම පත්තර කන්තෝරුවය. අනික එකල මම දිනපතා දිවයින පුවත්පත සඳහා ‘අබුද්දස්ස කාලේ’ විශේෂාංගයත්, ‘පොලිසියෙන්’, ‘මාරක රිය අනතුරු’, ‘මිනීමැරුම්’ යන ශීර්ෂපාඨ යටතේ දිනපතා විශේෂ වාර්තාකරණයක් ද සිදු කරමින් සිටියේය. ඊට අමතරව දිවයින ඉරිදා සංග‍්‍රහය සඳහා ‘කළු මකරුන්ගේ ලෝකය’ ‘පොලිස් හෑලි’ යන විශේෂාංග ද, දිවයින ඉරිදා සංග‍්‍රහයේ ‘මීවිත’ අතිරේකය සඳහා ‘ලියක කඳුළු’ නමැති විශේෂාංගයක් ද සතිපතා ලියමින් සිටියෙමි.

මේ සියල්ල සඳහා පාදක වන්නේ පොලිස් තොරතුරු ය. සමහර තොරතුරු ලබාගැනීම සඳහා දන්නා කියන පොලිස් නිලධාරීන්

මුණගැසෙන්නට යා යුතුය. එය සිදුවන්නේ බොහෝ විට රෑ ජාමේය. දහවල් කාලයේ එහෙ මෙහෙ දුවන කාර්යබහුල බොහෝ පොලිස් නිලධාරීන්ට යම් තරමකින් හෝ විවේකයක්, සහනයක් ලැබෙන්නේ රාත‍්‍රි කාලයේදී ය. ඒ ඩියුටි නිම වී ගෙවල්වලට හෝ බැරැක්කවලට ගිය පසුවය. එහෙත් රාත‍්‍රියේ පවා කොයි මොහොතේ හෝ ඔවුනට හදිසි කැඳවීම් ලැබෙන්නේය. ඒ පොලිසියේ රාජකාරියේ හැටිය. පත්තරකාරයන්ට නොදෙවැනිය. මා බොහෝ විට පොලිස් තොරතුරු ලබා ගන්නට පොලිස් නිලධාරීන් මුණගැසුණේ රාත‍්‍රි කාලයේදී ය. හීනි අඩියකින් සැරසී කතාබහේ යෙදෙන විට නැති තොරතුරු ද අපූරු තොරතුරු ද දිගහැරෙනා බවට ඕනෑ තරමටත් වඩා මා හට පසක් වී තිබේ. ඒ සමහර තොරතුරු පත්තරයට හොඳ නිවුස් ය. හොඳ විශේෂාංග ය. යළි අප මුලින් කියාගෙන ආ අර අදාළ අබිරහස් ඝාතනය දෙසට හැරෙමු. යම් හෙයකින් ඕ.අයි.සී හෝ අදාළ මියගොස් ඇති කාන්තාවගේ ධනවත් ව්‍යාපාරික සැමියා අත්අඩංගුවට ගතහොත් ඔවුන් නොවරදවාම අධිකරණය හමුවට පැමිණවිය යුතු නොවේදැයි මා හට පසක් විය. ඉන් පසු මා උත්සුක වන්නට වූයේ අදාළ පොලිස් බල ප‍්‍රදේශය අයත් වන අධිකරණයේ මහෙස්ත‍්‍රාත්වරයා හෝ මහෙස්ත‍්‍රාත්වරියගෙන් හෝ ඒ ගැන තොරතුරු දැනගන්නටය.

දන්නා කියන නීතිඥ මහත්වරුන් දෙතුන්දෙනකුට ද කාරණය කීවෙමි.

‘‘ඇයි බං.. උඹ දන්නෙම නැත්ද? ඔය කියන දිහා ඉන්න මහෙස්ත‍්‍රාත්තුමිය බැඳල ඉන්නේ අරයවනේ. ඌට කතා කරල බලපන්.’’

අවසන හෝඩුවාවක් ලැබුණේය.

ඒ අදාළ ප‍්‍රදේශයේ මහෙස්ත‍්‍රාත්තුමිය විවාහ වී සිටින්නේ පොලිස් නිලධාරියකු සමඟ බවටය. මේ ආරංචිය මා හට දුන්නේ එවකට මීගමුව සහකාර පොලිස් අධිකාරිවරයා වශයෙන් සේවය කරමින් සිටි නොයෙල් චන්දන කුඩාහෙට්ටි ය. ඔහු එවක විවාහ වී සිටියේ කථානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතාගේ බාල නැ`ගණිය වූ කුමාරි ලොකුබණ්ඩාර සමගය. කුමාරි අක්කා ද මාගේ සමීප හිතවතියකි.

අදාළ මහෙස්ත‍්‍රාත්වරිය විවාහ වී සිටි පොලිස් නිලධාරියා ද මාගේ සමීපතම මිත‍්‍රයෙකි. එකල ඔහු ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයෙකි. සේවය කරමින් සිටියේ කොළඹට එපිටින් පිහිටි මූලස්ථාන පොලිසියක පොලිස් මූලස්ථානාධිපතිවරයා වශයෙනි. මම වහාම අදාළ මහෙස්ත‍්‍රාත්වරියගේ පොලිස් සැමියාට ඇමතුමක් ගතිමි.

මා, ඔහු අමතන්නේ ‘ලොකු අයියා’ කියාය. ඔහු මට ‘මල්ලී’ කියා අමතයි.

‘‘ලොකු අයියා මම අද දවස තිස්සෙම ලොකු අමාරුවක වැටිල ඉන්නේ. ඔයාගේ නෝනගෙන් නිවුස් එහෙකට අදාළ විස්තර ටිකක් දැනගන්න ඕන වෙලා තියෙනවා. ඔයාට පුළුවන්ද මට ඒ උදව්ව කරන්න. හෙට පත්තරේ ප‍්‍රින්ට් එකට යන්න තව පැය දෙක තුනයි තියෙන්නෙත්.’’

මම කෙලින්ම ඔහුට කාරණය කීවෙමි.

ඔහු තම මහෙස්ත‍්‍රාත් බිරියගේ නඩුකාර බංගලාවේ දුරකථන අංකය දුන්නේය.

‘‘අයියා…. මම මොකක් කියලද ඔයාගේ නෝනට කතා කරන්න ඕනැ. මැඩම් කියන්නද? ස්වාමීනි කියන්නද?’’

මෙහෙස්ත‍්‍රාත්වරියකට ගරු සරු ඇතුව කතාකළ යුතු හෙයින් මම විමසුවෙමි.

‘‘එයා බෙන්ච් එකේ ඉන්න වෙලාවට මම වුණත් මගේ පොලිස් තොප්පිය ගලෝල, දෙකට තුනට නැමිල ගරු මැතිනියනි හරි, මැඩම් හරි කියලා වැඳවැටිලා ආචාර කරනවා. ‘‘ඔහු කොක්හඬලා සිනහවෙමින් කීවේය.

මම අදාළ මහෙස්ත‍්‍රාත්තුමියට ඇමතුවෙමි.

‘‘මට පුළුවන්ද ගරු මහෙස්ත‍්‍රාත්තුමියට කතා කරන්න.’’ මම අහවලා කතා කරන්නේ, දිවයින පත්තරෙන්. මම කීවෙමි.

‘‘ආ… ඔයාද? ඔයා හරි මාර දේවල්නෙ කියන්නෙ මල්ලි. මොකද මේ හදිස්සියෙන්ම මට කතා කරන්න හිතුණේ.’’

මහෙස්ත‍්‍රාත්තුමියගේ එවදන්වලින් මට පණ ආවේය. එහෙත් අර කාරණය ගැන කෙලින්ම නොඅසන්නට මම වගබලා ගතිමි. කොටින්ම කෙළින්ම නොඅසා වටින් ගොඩින් මෙන් ඒ කාරණය ගැන අසා සිටියෙමි. ඒ පත්තරයේ පළ වූ අනෙකුත් ලිපි ගැන ද රටේ පවතින අනෙකුත් කාරණා ගැන ද කතාබහ කරන අතරතුරේදී ය. කොළඹින් ගිය ඒ.එස්.පී. ඥානරත්න ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම විසින් අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන එදින සන්ධ්‍යාවේ මහෙස්ත‍්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කර තිබිණි. ඒ දණ්ඩනීති සංග‍්‍රහයේ 198 වන වගන්තිය යටතේ මෙම ඝාතන සිද්ධිය පිළිබඳ ස්ථානාධිපතිවරයා දත්ත සැඟවීමක යෙදුණු බවට චෝදනා නඟමිනි.

පසුව මහෙස්ත‍්‍රාත්වරිය නියෝග කර තිබුණේ අදාළ ස්ථානාධිපතිවරයා කොළඹ අපරාධ විමර්ශන මූලස්ථානයේ අධ්‍යක්‍ෂවරයා භාරයේ දින හතක් රඳවා තබාගෙන පරීක්‍ෂණ මෙහෙයවා වැඩිදුරටත් කරුණු අධිකරණය හමුවට වාර්තා කරන ලෙසටය.

පසුදා දිවයින පුවත්පතේ ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය එය විය. එහි ඇති විශේෂත්වය වූයේ එකල දිනපතා පළ වූ වෙන කිසිදු පුවත්පතකට එම ප‍්‍රවෘත්තිය ලැබී නොතිබීමය. කොටින්ම දිවයින කියනාතෙක් වෙන කිසිවකු ඒ ගැන දැන නොසිටියේය. ඒ දිවයිනේ හැටිය. ඒ දිවයිනට දැන් වයස අවුරුදු හතළිහකි. කාර්යය ඉටුකොට අප දිවයිනෙන් නික්මී සිටියත් ‘දිවයින’ විරාජමානව වැජඹේවා.

බන්ධුල දිනපූර්ණ
ස්වීඩනයේ ස්ටොක්හොම් නුවර සිට

advertistmentadvertistment