අප්‍රේල් විරු සමරුව

194

71 බක්මහ නැඟිටීමට වසර 53 ක් පිරීම නිමිත්තෙනි.

විද්‍යාත්මක සමාජවාදයේ පියවරුන් වූ මාක්ස්, එංගල්ස් හා ලෙනින් අනුව යමින් විද්‍යාත්මක සමාජවාදය බිහිකර දුප්පත්කමින් වෙලී මිරිකී සිටියාවූ දස දහස් සංඛ්‍යාත ජනතාවගේ විමුක්තිය උදෙසා අපිරිමිතව ඇප කැපවෙමින් ශ්‍රී ලංකා ඉතිහාසයේ විප්ලවීය පෙරළියක් කළ ජනතා විමුක්ති පෙරමුණේ පළමු ශ්‍රේෂ්ඨ ජනතා සන්නද්ධ නැඟිටීමට 2024 අප්‍රේල් 5 දිනට වසර 53 ක් සපිරේ. පළමු කොටම ඒ වෙනුවෙන් දිවිපිදූ සිය දහස් ගණනක් විරුවන් සිහිපත් කරනුයේ හදපිරි ගෞරව භක්ති පූර්වක ප්‍රණාමයෙනි.

සමාජය වූ කලී පුද්ගල සමවායකි. ඒ අනුව පුද්ගලයන්ගේ නිරන්තර එකතුවීමෙන් සමාජයේ විවිධ සංවිධාන බිහිවේ. එසේ බිහිවන්නාවූ සියලු සංවිධානයන්ට නිතැතින්ම යම් අරමුණක් වේ. එවැනි සමාජ සංවිධාන අතරට ගැනෙන දේශපාලන පක්ෂයක අරමුණ වන්නේ තම පක්ෂය වෙත රාජ්‍ය බලය ලබා ගැනීම හෝ රාජ්‍ය බලයට කුමන ආකාරයකින් හෝ හවුල්වීම වේ. කෙසේ නමුත් පවතින පංති සමාජයේ දී සෑම දේශපාලන පක්ෂයක්ම කිසියම් පංතියක් නියෝජනය කරන පංති සංවිධානයක් වන්නේය. මේ තත්ත්වය තුළ ජනතා විමුක්ති පෙරමුණ නිර්ධන පංතියට රාජ්‍ය බලය ලබා ගැනීම උදෙසා නිර්ධන පංතියේ පංති සංවිධානයක් වශයෙන් 1965 වනවිට ශ්‍රී ලාංකේය දේශපාලනය තුළ බිහිවූවක් වශයෙන් හඳුන්වාදීම වඩාත් නිවැරැදිය.

මෙකල එංගලන්තයේ හා ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට ගිය ධනපති පවුල් නියෝජනය කළ ඇස්. ඒ. වික්‍රමසිංහ, ඇන්. ඇම්. පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා හා පිලිප් ගුණවර්ධන ඇතුළු තරුණ පිරිස් ලිබරල්වාදී අදහස්වලින් හදවත පුරවාගෙන මාක්ස්වාදී පොත් පත් කරපින්නා ගෙන මෙරටට පැමිණ බලය සඳහා විකල්ප ක්‍රියාමාර්ගයක් වශයෙන් සමාජවාදී යැයි කියා ගන්නා පක්ෂ පිහිටුවා ගන්නා ලදි. මොවුන් ජනතාවගේ මිතුරන් වශයෙන් පෙනී සිටිමින් මුට්ටිකාසි ගරා ගැනීමට මාර්ග පාදා ගන්නා ලද අතර ජනතාවගේ සිතට කිසිදිනෙක මල් ඵල හට නොගන්නා සුන්දර සිතුවිලි කාවද්දා ධනපතියන් සමග එකගෙයි දීග කමින්, බාල් නටමින් සැපසේ තුරුලේ නැලවෙන්නට විය. ඒ තුළ අහිංසක දූගී දුප්පත් ජනතාව හසරක් නොදුට වල්මත් වූවන්සේ පසුවෙද්දී සමාජවාදී දර්ශනය නායකයන්ගේ වචන හරඹවලට පමණක් සීමා වන්නට විය.

මේ බැව් වඩාත් හොඳින් පැහැදිලි වනුයේ 1953 අගෝස්තු මහා හර්තාලයක් මගින් ධනපති ආණ්ඩුව පෙරළා දැමීමට සූදානම් වෙද්දී එයට මඟපෙන්වූ සුපිරි සමාජවාදී පක්ෂ නායකයන් එම අදිටන මල්ඵල දැරීමට ඉඩ නොදී සටනින් පලා ගොස් ජනතාව අතරමං කරන ලදි. හර්තාලය තුළ ජනතාව ජීවිත පූජා කරද්දි ඔවුන් ආණ්ඩුවේ නායකයන් සමග බාල් කන්නට විය. මෙවැනි පාවාදීමේ ඉතිහාසයක් සමග ජනතාව මොවුන් දේශපාලන භූමියෙන් පසෙකට කර තිබූ අතර සමාජවාදය යන වචනය පවා ජනතාවට එපා වන තත්ත්වයක් නිර්මාණය වී තිබුණි. මෙම වාතාවරණය බොහෝ දුරට අසහාය මානව හිතවාදී නියමුවාණන් වූ රෝහණ විජේවීරයන්ගේ නායකත්වයෙන් බිහිවූ ජවිපෙ වටා ජනතාව පෙර නොවූ විරූ අයුරින් පෙළගැසෙන්නට හේතුවූ බව පෙනේ.

ඉනික්බිතිව 1963 දී වෘත්තීය සමිති එකතුකර “වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයක්” හා වමේ දේශපාලන පක්ෂ එකතුවී “වාමාංශික එක්සත් පෙරමුණක්” ගොඩනඟා එවකට පැවති ශ්‍රීලනිප සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවෙන් වෘත්තීය ඉල්ලීම් 21 ක් ඉල්ලා අරගලයක් දියත් කර තිබුණි. එහෙත් ශ්‍රී ලාංකේය ධනපති පංතිය මුහුණ දුන් අර්බුදයත් සමග නිර්ධන පංතියට නායකත්වය සැපයීමට ඉදිරිපත් වී සිටි වමේ ව්‍යාපාරය විසින් මීට පෙර අවස්ථාවලදී මෙන්ම නිර්ධන පංතිය පාවා දෙනු ලැබීය. මේ අන්දමින් 1964 දී වර්ධනය වෙමින් පැවති කම්කරු අරගලයේ වූ වෘත්තීය ඉල්ලීම් 21 පාවා දී බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවේ ඇමැතිකම් 3 ක් හා උප ඇමැතිකම් 2 ක් ලබා ගැනීමට පැරණි වමේ පක්ෂ දෙකේ නායකත්වය කටයුතු කරනු ලැබුවේය.

මේ සමගම ශ්‍රී ලංකාව පුරා අස්සක් මුල්ලක් නෑරව කම්කරුවන්, ගොවියන්, සිසුන්, පූජ්‍ය පක්ෂය හා උගතුන් බුද්ධිමතුන් අතර සමාජවාදයේ පණිවුඩය ගෙන යෑමට ජවිපෙට හැකිවිය. තම රැකියාව, අධ්‍යාපනය හා මිල මුදල් සමාජවාදය වෙනුවෙන් කැප කළ දහස් ගණනක් සොයුරියන් හා සොයුරන් ජනතාව පෙළගැස්වීම සඳහා පෙරමුණ ගන්නා ලදි.

ලංකාව පුරා වේගයෙන් වර්ධනය වී ගෙන යන මෙම නව රැල්ල දුටු එවකට බලයේ සිටි ශ්‍රීලනිප – සමසමාජ – කොමියුනිස්ට් සභාග රජය බලය අත්හැරීමට ඇති කෑදරකම නිසා ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන ලදි.

ජනතාව පෙළගැස්වීමට ජවිපෙට තිබූ හැකියාව දුටු ඔවුන් එම ව්‍යාපාරය ජාතිවාදී ව්‍යාපාරයක් වශයෙන්ද, විටෙක සී.අයි.ඒ. ව්‍යාපාරයක් වශයෙන් ද, කජු කිරි කොල්ලන්ගේ උමතු ව්‍යාපාරයක් වශයෙන් ද, ජනතාවට ද්‍රෝහීකම් කරන්නාවූ ව්‍යාපාරයක් වශයෙන් ද විවිධාකාරයෙන් සමච්චලයට භාජනය කරන ලදි. එයින් නොනැවතුණු මොවුන් රාජ්‍ය මර්දනය දියත් කිරීම සඳහා පෙරහුරු පැවැත්වීමට ද ක්‍රියා කළේය. මහජන ඡන්දයෙන් පත්වූ රජයකින් ජනතාවට සෙතක් ශාන්තියක් නොවන විටදී එය ප්‍රජාතන්ත්‍රවාදීව පෙරළා දැමීමේ අයිතිය උල්ලංඝනය කිරීමට ද රජය පියවර ගන්නා ලදි.

ජවිපෙ කාඩර්වරුන් නැතිනම් වෘත්තීය විප්ලවවාදීන් නිකරුණේ අත්අඩංගුවට ගෙන සිරගත කරමින් විවිධාකාර වූ වධ බන්ධනයන්ට ලක්කරන ලද්දේය. ජනතාව සමග එළිපිට අත්වැල් බැඳගෙන සිටියා වූ ජවිපෙ තහනම් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන බිමින් ඉවත් කිරීමට පියවර ගනු ලැබීය. ඉන් නොනැවතී පංති රහිත නිදහස් නිවහල් සාධාරණ සමාජයක් බිහිකිරීම සඳහා වූ සමාජවාදී ආණ්ඩු ක්‍රමයක් ප්‍රජාතන්ත්‍රවාදීව ලබා ගැනීමට ජනතාවට ඇති අයිතිය නැතිකිරීම සඳහා විවිධ මර්දන නීති පාර්ලිමේන්තුව මගින් සම්මත කර ගැනීමට ද යුහුසුළුව ක්‍රියා කරන ලදි.

මෙම දැඩි රාජ්‍ය මර්දනයෙන් බේරීම සඳහා ජනතාවට ඇති පරම හා ශුද්ධ වූ අයිතිය සිහියට නඟමින් දහස් ගණන් තරුණ තරුණියන් එයට විරුද්ධව නිතැතින්ම සන්නද්ධ වීමට පටන් ගන්නා ලදි. එවකට ආරක්ෂක ලේකම් වූ ආතර් රාජ්කුමාර් රත්නවේල් වහසිබස් දොඩමින් මර්දනය උත්සන්න කරනු වස් ප්‍රකාශ කර සිටියේ “චේ ගුවේරා ව්‍යාපාරය ආණ්ඩුවේ අංක එකේ සතුරා බවත්, එය මුලිනුපුටා දැමිය යුතු බවත්ය.” මෙම දෘඩතර රාජ්‍ය මර්දනයේ ප්‍රතිඵලයක් වශයෙන් 1971 අප්‍රේල් 5 දින අලුයම වැල්ලවාය පොලිසියට පහර දීමෙන් ආරම්භ වූ අරගලය රාජ්‍ය බලය ලබා ගැනීමේ නැඟිටීමකට වඩා මර්දනයට එරෙහිව ක්‍රියාත්මක අවිගත් නැගිටීමක් බවට පත්වී තිබුණේය. ආණ්ඩුව මෙය සාර්ථකව මර්දනය කරනු සඳහා ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ඉන්දියාව, සෝවියට් දේශය හා චීනය ඇතුළු රටවල් 14 කින් හා ලංකාවේ සියලු දක්ෂිණාංශික සහ වාමාංශික යැයි කියා ගන්නා පක්ෂ හවුල් කරගෙන විප්ලවීය නැගිටීම කෘර අන්දමින් මර්දනයට ලක් කිරීමේ දී වධ හිංසා කොට තරුණ පිරිස් දස දහසක් පමණ ඝාතනයට ලක් වූ අතර 20,000 ක් පමණ සිරගත කරන ලදි.

ජවිපෙ 1971 අප්‍රේල් ජනතා සන්නද්ධ නැගිටීම වූ කලී ජවිපෙ නමැති නිර්ධන පංති ව්‍යාපාරය විසින් පවතින ධනේශ්වර ක්‍රමය පෙරළා දමා සමාජවාදී සමාජ ආර්ථික ක්‍රමයක් නැතිනම් සමාජ විප්ලවයක් සිදු කිරීමට රහසිගතව සාමාජිකයන් බඳවා ගනිමින් පංති සාකච්ඡා සහ දේශපාලන කඳවුරු පවත්වාගෙන යමින් නිර්ධන පංති දේශපාලන මතවාදයෙන් ජනතාව සන්නද්ධ කළ දේශපාලන ව්‍යාපාරයකි. ඒ අරුතින් බලන විට 1971 අරගලය ස්ව්‍යංසිද්ධ හෝ අසංවිධාත්මක කැරලි ඝනයට මුළුමනින්ම නොවැටෙන්නකි.

● ආචාර්ය දේව මයිකල් ද සිල්වා
ඉතිහාසය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රුහුණ විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment