අපිම කාබනික පොහොර හදමු

276

පුළුවන් වුණත් බැරි වුණත්, ප‍්‍රමාණවත් වුණත් නැති වුණත් අප රටෙහිම අපට වුවමනා කාබනික සත්කාරක සාදා ගැනීමම තමයි ඉතාමත් සුදුසු.

 කාබනික පොහොර අති පාරිශුද්ධ අග‍්‍රගණයේ ද්‍රව්‍යක් ලෙස අද සමාජගත වෙමින් පවතී. මෙසේ සමාජගත කරන්නේ නොදන්නා කමටද, එහෙමත් නැත්නම් වෙනත් අභිප‍්‍රායන් නිසාද කියා හරියටම හඳුනා ගත නොහැකිය. තමන්ම තම ගොවිපළෙහිදීම වටපිටාවෙන් සොයා ගන්නා ශාක කොටස් සහ සත්ව මළ පාදක කොට ගෙන කරන නිපැයුම් නම් අති පාරිශුද්ධත්වයට ආසන්න විය හැකිය. තමන් හරියට ප‍්‍රභවය නොදන්නා ද්‍රව්‍ය යොදා හදන කාබනික පොහොරවල පාරිශුද්ධ බව ඇත්තටම ගැටලූ සහගතමය. මේ අනුව වෙළෙඳ පොළ කාබනික පොහොරවල පාරිශුද්ධ බව පදනම් වන්නේ විශ්වාසය මතමය. වරක් මහනුවර දිස්ත‍්‍රික්කයේ වෙළෙඳ පොළ කොම්පෝස්ට් සාම්පල 24 කින් අග‍්‍ර  ගණයේ ලෙස හඳුනාගත හැකි වූයේ එකක් පමණි. එසේනම් රටක් තුළට වෙනත් රටකින් ගෙනෙන ඒවා ගැන කුමන කතාද?

 ගොවිපළ හෝ වෙනත් අපද්‍රව්‍ය වලින් හදන කාබනික පොහොර යනු ඇත්තටම කොම්පෝස්ට්ය. ‘‘කාබනික පොහොර” කොම්පෝස්ට් පොහොරක් නොවේ. පොහොරක් සැම විටම වගාවට අවශ්‍ය ප‍්‍රමාණ වලින් එකක් හෝ වැඩි ප‍්‍රමාණයක් පැළෑටි පෝෂක (Plant Nutrients)  සැපයීමට මනා විභවයක් පෙන්විය යුතුමය. එම නිසා කොම්පෝස්ට් වැනි දේවල් ‘‘පාංශු සත්කාරක” (Soil Amendments)  ලෙස  පිළිගනුයේ. ඒවාට ප‍්‍රධානම ලෙස කළ හැකි වනුයේ පාංශු භෞතික, ජීව සහ රසායනික තත්ත්ව වෙනස් කිරීමය. වෙනස් කිරීමවල් හොඳට හෝ නරකට යන්නත් පුළුවන. පාංශු තත්ත්ව වෙනස් කිරීම් අංශයෙන් මේවා රසායනික පොහොරවලට වඩා ඉදිරියෙන් සිටී. දෙවර්ගයේම සංකලයකිනි ප‍්‍රශස්ත පාංශු සරු බවක් ගොඩ නැගිය හැකි වනුයේ. පසට මොන හේතුවකට හෝ එකතු කරන ඕනෑම දෙයක් නිසි පමණකට නිසි ප‍්‍රමාණයකට පමණක් යෙදිය යුතුය. නොඑසේනම් පාංශු පරිසරයට විෂ වන්නට හෝ ඌන වන්නට පුළුවන. එම නිසා අවභාවිතයෙන් සහ අධි භාවිතයෙන් මිදිය යුතුමය. යොදන ප‍්‍රමාණයන් නිසි විද්‍යානුකූල අවබෝධකින් තීරණය කර, පසට දැමිය යුතුය.

kabanika pohora4පිට රට වලින් ගෙනෙන කාබනික සත්කාරකවල රසායනික පොහොර වලට වඩා විෂ බොහෝමය. ඔය කියන කාබනික සත්කාරක තුළ පහත ඇති දේවල් හොඳටම තියෙන්නට පුළුවන්ය. ඒවා නම් අහිතකර සහ රෝග කාරක ක්ෂුද්‍ර ජීවීන්, අපේ පසට අහිතකර තරගකාරී ක්ෂුද්‍ර ජීවීන්, වල් පැළෑටි, කෘමි සහ අනෙකුත් බිත්තර, ක්ෂුද්‍ර ප්ලාස්ටික්, ප‍්‍රතිජීවක, හෝමෝන වර්ග, අනෙකුත් නොදන්නා දහස් ගණන් විෂ රසායන, විෂ කාබනික අම්ල, පමණ ඉක්මවා වැලි සහ මැටි වර්ග, අපට හිරිකිත මළ මුත‍්‍රා වර්ග, සියලූ බැර ලෝහ වර්ග සහ තවත් හඳුනාගත නොහැකි විශේෂිත රසායන ආදියයි.

 අප රට තුළ හදන විට අප කළ/ කරන යෙදුම් අපි හොඳින් දනිමු. එහෙයින්ම පිට රටකින් ගෙනැවිත් අපගේ පසට එකතු කිරීම අපරාධයක් මය. උපදෙස් දෙන්නෝ මේවා ගැන ඇත්තටම දැනුවත්ද? නැතහොත් දැනුවත්වම නිහඬව සිටිනවාද? සැලසුම් හදන්නෝ මේවා ගැන උඩින් පල්ලෙන් නොබලා දහස් වාරයක් සිතිය යුතු නොවේද? කෙනෙකුට කියන්නට හැකිද, කාබනික සත්කාරක වල නොමැති, නමුත් රසායනික පොහොර වල තිබෙන විශේෂ විෂ ද්‍රව්‍ය, මොනවාද කියා? වඩාත්ම නොහඳුන විෂ සහ විෂ නොවන සංඝටක වැඩියෙන්ම තිබෙන්නේ කාබනික සත්කාරවලමය. කෙනෙකුට මෙසේ නොවන්නේ යැයි කැට තබා කියන්නට හැකිද? නොදැන කරන වරදෙහිත්, දැන දැනම කරන වරදෙහිත් විපාක එකම වේවි නේද? අපගේ පස් සම්පත විෂ ගුලාවක් වේවි නේද, ජාතියක් ජන්මයක් නොදන්නා ආනයනික කාබනික සත්කාරක යෙදීමෙන්ම?

 පුළුවන් වුණත් බැරි වුණත්, ප‍්‍රමාණවත් වුණත් නැති වුණත් අප රටෙහිම අපට වුවමනා කාබනික සත්කාරක සාදා ගැනීමම තමයි ඉතාමත් උචිත/ සුදුසු. අප විසින්ම හදාගන්නා මිශ‍්‍ර නගර කැළි කසළ වලින් සාදන කාබනික සත්කාරක වලින්ද අසරණ ගොවියාගේ ගොවි බිම විෂ ගැස්විය යුතු නැත. මේවාට සුදුසුම මූලික ද්‍රව්‍ය යොදා ගත යුතුමය, නැතිනම් ඇතිවන හානිය රසායනික පොහොර වලට වැඩි වන්නටත් ඉඩ අවකාශ ඇත. අපේ කාබනික සත්කාර අප විසින්ම සාදා ගත යුතුය යන්නය මගේ නම් හැඟීම. ඉතින් රට රට වලින් ගෙනෙන එක අපරාධයක් නොවන්නේ කෙසේද?

 ලෝකයේ දැනට ප‍්‍රචලිත සහ සම්මත ගතවී ඇති කාබනික ගොවිතැන පාදක කර ගෙන ඇත්තේ ජාත්‍යන්තර කාබනික බලවේග සමූහයේ (IFOAM – International Federation of Organic Movements) නිර්දේශිතයන්ය. මෙය සාම්ප‍්‍රදායික කෘෂිකර්මය නොවේ. තම කාබනික

 ගොවි පළ තුළට බාහිරින් සපයා ගන්න දේවල් තද බල තහංචි වලට යටත්කොට ඇත. කෙසේ හෝ කාබනික ද්‍රව්‍ය පිටින් නොගත යුතුමය. නිර්දේශ ඉදිරිපත් අර ඇති පොතම පිටු ගණනාවකින් යුතුය, සමස්ත නිෂ්පාදන ක‍්‍රියාවලියම අන්තර්ගත කර ඇති නිසා. නූතන නිර්වචනයට අනුව අපි කරන්නට යන්නේ කාබනික  ගොවිතැන නොවේ. නූතන කාබනික  ගොවිතැන සහතික කිරීමකට යටත්වද ඇත. හරියට ඇත්තටම අපට මැද අපරදිග තියන රටවලට මැද අපරදිග යැයි කින්න පුරුදුව ඇතිවා සේ . මැද පෙරදිග ‘‘සුද්දාටය”. අපටත් ‘‘සුද්දා” ගේ කෝණයෙන් බලන්න සිදුව ඇත.

 අප කරන්නට යන්නේ රසායනික පොහොර කාබනික සත්කාරක වලින් ආදේශ කරන්නට පමණය. රසායනික පලිබෝධ නාශක පාවිච්චි නොකිරීමය.

 දිසානතිය ඉතා හොඳය. නමුත් අනුන්ගේ විෂ සහිත, නන්නාඳුනන කුණු ගොඩවල් පසට එකතු කිරීමෙන් සහතික ලබාගත හැකි කාබනික දිසාවට අපට යන්නට බැරිවේවි. දැනට අපි කරගෙන යන්නේ සමෝදානික ගොවිතැනකි (Integrated Farming) . කාබනික ද්‍රව්‍යන් පසට එකතු කිරීම එහිදී නොසලකා හැර නැත. එය සමොදානික ගොවිතැනට අත්‍යවශ්‍ය අංගයකි. කාබනික සත්කාරක පාවිච්චිය දැනටමත් සිදු කරනු ලැබේ.

 IFOAM  මූලගත කාබනික ගොවිතැනට ලංකාවේ මුල් බීජ වැටුනේ 1987 දී පමණය. ඒ එළවළු, පලතුරු සහ වී වගාවටය. පසු කාලීනව කාබනික තේ වගාවද කෙරුණි. දසක ගණනක් තිස්සේ කාබනික නිෂ්පාදන අප විසින් අපනයනය කරනු ලැබේ. මේ සියල්ලෝම ඉතා අවශ්‍ය වුණොත් පමණක් කාබනික ද්‍රව්‍ය පිටින් ලබා ගන්නේ තම දැඩි අධීක්ෂණය යටතේ පමණි. මේ සියල්ලෙන්ම ගම්‍ය වන්නේ නන්නාඳුනන තැන් වලින් තම ගොවි බිමට කාබනික ද්‍රව්‍ය නොගෙනිය යුතු බවය. එයට හේතුව ඒවායේ නන්නාඳුනන විෂ ද්‍රව්‍ය තිබෙන්නට ඇති බවට වන භීතියයි.

 එසේනම් පිටරට වලින් මේවා ගෙනත් දමා  ගන්නට අපිට ලජ්ජා, බිය, සැක ඇති විය යුතු නොවේද? ඇත්තටම කියනවානම් ඒවා ‘‘දහ ජරාවය”. අප රටෙහි වුණත් මිශ‍්‍ර නගර කැළි කසළ වලින් සාදන කාබනික සත්කාරක වලින් අසරණ ගොවියාගේ ගොවි බිම විෂ ගැස්විය යුතු නැත. හානිය රසායනික පොහොර වලට වැඩ වැඩි වන්නටත් ඉඩ අවකාශ ඇත. දෙවියන්ගේ නාමයෙන් වත් මෙම විය හැකි අනතුර දැක දැක පිටරටින් කාබනික සත්කාරක  ගෙනෙනවා කියන්නේ මහාම මහා අපරාධයකි.

 සියලූ ශ‍්‍රී ලාංකිකයන්ට ඉහත කරුණු ගැන යහ සිත් පහල වේවා ! අපි පරිස්සමින් සහ අවබෝධයෙන් යුතුව අපේම කාබනික සත්කාරක සකස් කර ගත යුතු බවට නුවණැස පහල වේවා ! ඉදිරිය ගැන විමසිලිමත්ව කාබනික ගොවිතැන දෙසට හැරෙමු. ආහාර සුරක්ෂිත භාවයට කුමක් වේවිද, නිවැරදි පාරේ නොගියොත්? මෙය කියවන ඔබ ඔබම අනුමාන කර ගන්න, ඉහත සඳහන් කරුණු කාරණාද සැලකිල්ලට ගනිමින්.

 සම්මානිත මහාචාර්ය  ආනන්ද එන්. ජයකොඩි
 විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
 (පාංශු විද්‍යා/පැළෑටි පෝෂණය)
 පේරාදෙණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment