අපි අලුත් දොරටු විවෘත කරමින් සිටිනවා… ජාත්‍යන්තරයට අප ගැන ඇති විශ්වාසය පළුදු වී නැහැ… රටේ නියම තත්වය ඇවිල්ලා බලන්න!

133

ම.එ.පෙ. නායක, සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

අමාත්‍ය මණ්ඩලය සංශෝධනය සම්බන්ධයෙන් පැතිර යන රාවයත් සමග අපි ඔහු හමු වූයෙමු යුද අපරාධ චෝදනා මූලික කර ගනිමින් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ සිදු කරන ලද සාකච්ඡාවයි මේ.

ප‍්‍රශ්නය – ආරංචියක් ලැබෙනවා, කැබිනට් මණ්ඩල සංශෝධනයක් ගැන. වෙනස කොහොම වෙයිද?

පිළිතුර – මම හිතන්නේ ඔය ප‍්‍රචාරයක් පමණයි. ප‍්‍රචාරයන් කිරීමෙන් බලපොරොත්තු වෙන්නේ රජයේ වැඩකටයුතු තවදුරටත් අඩපන කිරීමේ තත්ත්වයක් ඇතිකරන්න විතරයි. එහෙම නැතුව, ජනාධිපතිතුමාට, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ඕනම වෙලාවල ඇමැතිවරයෙක් පත්කරන්න, ඉවත් කරන්න, විෂය වෙනස් කරන්න හැකියාව තියෙනවා. දැන් අවුරුද්දක් පිරෙනවා, පාර්ලිමේන්තුව පත්වෙලා. පාර්ලිමේන්තුවේ ඉදිරි ගමනට ඒ වගේම කොවිඞ් තර්ජනය ජයගැනීමේ වැඩසටහනට, ජනාධිපතිතුමා ප‍්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය, මන්ත‍්‍රීවරු කැපවී සිටිනවා.

ප‍්‍රශ්නය – ඡන්ද ක‍්‍රමය වෙනස් කිරීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපතිවරයාත් ඔබ. තියෙන ඡන්ද ක‍්‍රමය වෙනස් වෙයිද ?

පිළිතුර – ඔව්, කමිටුව හමුවේ සාක්ෂි දුන්, යෝජනා ඉදිරිපත් කළ සියලූ දෙනාගේ පොදු අදහසක් වී තිබෙන්නේ දැනට පවතින ඡන්ද ක‍්‍රමය වෙනස් කළ යුතු බවටයි. දැනටමත් පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂත් ඇතුළු පක්ෂ රාශියක් කමිටුව හමුවේ යෝජනා ඉදිරිපත් කළා. විශේෂයෙන් කියන්න ඕන උතුරේ පක්ෂ පවා පැමිණ යෝජනා දුන්නා. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන, කාන්තා සංවිධාන ඇතුළු බොහෝ පිරිසක් සාක්ෂි දී තිබෙනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ, මගේ සභාපතිත්වයෙන් මේ කමිටුව නියෝජනය කරනවා. ඉතා ඵලදායි සාකච්ඡාවක් සිදුවෙමින් පවතිනවා.

ප‍්‍රශ්නය – ඔබ විදේශ අමත්‍යවරයා ලෙස ලෝක තත්ත්වය ගැන විශේෂයෙන් දන්නවා. මේ කොවිඞ් වසංගත තත්ත්වය පාලනය කිරීමේදී අපේ රට, බිමටම වැටිලා තියෙනවා කියලා කියවෙනවා. ජනාධිපතිතුමා, යුද හමුදාව ප‍්‍රමුඛ ත‍්‍රිවිධ හමුදාව අමාත්‍ය මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යංශය, මේ තත්ත්වය පාලනය කරන්න විශේෂ උත්සහයක් ගත්තත් එය ඵලක් නැතිවෙලා තියෙනවා කියල තමයි කියවෙන්නේ. ලෝක තත්ත්වයක් එක්ක බලනකොට අපි කොතනද ඉන්නේ?

පිළිතුර – නෑ.. අපි අමතක කරන්න හොඳ නෑ. මේ භයානක වසංගතය පටන් අරගෙන අවුරුදු එකහමාරක් වෙනවා. ගිය අවුරුද්දේ ජනාධිපතිතුමා ප‍්‍රධානව ගත්ත තීරණයන් අනුව, ජන ජීවිතයට දැවැන්ත ආරක්ෂාවක් ලබාදෙන්න පුළුවන් වුණා. අපේ වෛද්‍යවරු, වෛද්‍ය- සෞඛ්‍ය විෂය ක්ෂේත‍්‍රයට සම්බන්ධ අය ආරක්ෂක හමුදාවන් විශාල කැපවීමක් කළා. දැනුත් කරමින් ඉන්නවා.

දැන් මේ වසංගතය, ඔබ අහන විදියටම ශ‍්‍රී ලංකාවට සීමා වෙලා නෑ. වෙනත් රටවල්, විශේෂයෙන් ලෝකයේ මහා පොහොසත්ම රටවල, ලක්ෂ ගණනින් මියයනවා. ඒ වගේම, කොවිඞ් වසංගතයේම විවිධ අලූත් වසංගත තත්ත්වයන් බිහිවෙමින් පවතිනවා. ඒ අයටත් තවම තේරෙන්නේ නෑ, මොකක්ද ඊළඟට එන ප‍්‍රභේදය කියලා. ඒ තත්ත්වයන් තුළ ශ‍්‍රී ලංකාව කෙරෙහි දැවැන්ත විශ්වාසයක් ජාත්‍යන්තරයට තියෙනවා. ජනාධිපතිතුමා සහ රජය ගන්න ක‍්‍රියාමාර්ග උඩ එන්නත් ලබාගෙන, ඒ එන්නත් දීමේ වැඩපිළිවෙළ දියත් වෙනවා දිගටම. ලෝකයේ හැම රටක්ම, තමන්ගේ සමාජයන් හැකි ඉක්මණින් එන්නත් කිරීමට ලක් කරන නිසා, වෙන්න පුළුවන් හානිදායකම තත්ත්වයන් අඩුකර ගන්න පුළුවන් වෙලා තියෙනවා.

මේක ලොව පුරා හමායන භයානක වසංගතයක්. කිසිවෙකුට කිසි රටකට, තාම සහතිකයක් දෙන්න පුළුවන්කමක් නෑ මේ ගැන. අද අරිනවා, හෙට වහනවා. ආපහු සුමානයක් දෙකක් යනවා. ඉතිං මේ එන්නත් කිරීම තුළින් යම්කිසි ප‍්‍රමාණයකට මෙය පාලනය කරගන්න පුළුවන්කම ගැන ශ‍්‍රී ලංකාව කෙරෙහි ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනෙකුත් රටවල් විශාල විශ්වාසයක් තබා තියෙනවා. මොකද අපි දියත් කර තියෙන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය නිසා.

ප‍්‍රශ්නය – දැන් මතුවෙලා තියෙනවා ලෝක තත්ත්වයක් තමයි, මේ සයිනොෆාම් එන්නත ගත් අයට විදේශගත වෙන්න බෑ කියන එක. විදේශ අමාත්‍යවරයා විදියට ඔබ, මේ ගැන සාකච්ඡාවක් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ විදේශ දූත මණ්ඩල සමග කරගෙන ගියා කියල ආරංචි ලැබිලා තියෙනවා. ජනතාව අහනවා, විශේෂයෙන් බටහිර රටවල සංචාරය කිරීම සඳහා අපිට අවශ්‍ය එන්නත අපිට ගන්න බැරිද කියලා. මේකේ තත්ත්වය මොකද? සයිනොෆාම් ගැහුවොත් රට යන්න බැරිද ?

පිළිතුර – නෑ ඇස්ට‍්‍රසෙනිකා එන්නත දෙවන වටය සඳහා ලබාගන්න රජයට පුළුවන්කම ලැබුණා. ඒ අතරම ඇමෙරිකා එක්සත් ජනපදය නිෂ්පාදනය කරන එන්නත් ලබාගැනීමට පුළුවන්කම ලැබුණා. නමුත් අපිට දැවැන්ත ලෙස චීනයයි, ඉන්දියාවයි මේ වෙලාවේ ලබාදුන් එන්නත් ප‍්‍රයෝජනවත් වුණා., අපිට විතරක් නෙමේ ආසියාවේ – අප‍්‍රිකාවේ – ලතින් ඇමෙරිකානු රටවල් පවා මේ එන්නත ලබාගෙන තියෙනවා. පළමුව ජීවිත ආරක්ෂාව. දෙවනුව විදේශවලට ගමන් කිරීම. හැම රටක්ම බලන්නේ පළමුව තමන්ගේ පුරවැසියන් ආරක්ෂා කිරීම. ඒ නිසා විශාල අර්බුදයක් මතුවෙලා නෑ. යම් යම් රටවල විවිධ තත්ත්වයන් තිබෙනවා. අපි ඒ ගැන සාකච්ඡා කර තිබෙනවා, අපි තවදුරටත් සාකච්ඡා කරගෙන යනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් මේ සම්බන්ධයෙන් විශාල මැදිහත්වීමක් කරමින් සිටිනවා.

ප‍්‍රශ්නය – දැන් අලූත් තත්ත්වයත් එක්ක, විදේශගත ප‍්‍රජාව නැවත ශ‍්‍රී ලංකාවට එන එක සීමා කරන්න, බලාපොරොත්තු වෙනවා කියලා ආරංචියක් පැතිර ගියා. එහෙම අදහසක් තියෙනවද?

පිළිතුර – දැනට නම් එහෙම විශේෂ අදහසක් නෑ. කලිනුත් ඔය ප‍්‍රශ්නේ තිබුණා. බොහෝ රටවල ගුවන් තොටුපළවල් වැහුවා. ඒ අනුව අපිටත් සිද්ධ වුණා ජාත්‍යන්තර තත්ත්වය අනුව ගුවන් තොටුපළවල් සීමා කරන්න. මොකද ඒ මගීන් මගින් වසංගත තත්ත්වය ව්‍යාප්ත වෙයි කියලා. එත් අපේ අමාත්‍යාංශයත් සාකච්ඡා කරලා, පළමුව භාණ්ඩ ප‍්‍රවාහනයට විවෘත කරගන්න පුළුවන් වුණා. දෙවනුව ක‍්‍රමානුකූලව ගමනාගමනය විවෘත කරගන්න පුළුවන් වුණා. මේක වෙන්නේ ඒ ඒ රටවල ඇතිවන තත්ත්වය නිසා. නැතිව අපි උත්සහ කරන්නේ මේ සීමා කිරීම්, ක‍්‍රම ක‍්‍රමයෙන් අඩුකර ගන්නයි.

ප‍්‍රශ්නය – සංචාරකයන් ගෙන්වා ගැනීම අපේ රටට අත්‍යවශ්‍යයි. මොකද විදේශ විනිමය අවශ්‍යයි ආර්ථිකය පවත්වාගෙන යන්න. ඒත් බොහෝ රටවල් සංචාරකයන්ට ශ‍්‍රී ලංකාව ඇතුළු රටවලට එන්න එපා කියලා තහනමක් දාල තියෙනවා. මේ තහනම ඉවත් කරගන්න, විදේශ අමාත්‍යාංශය විදියට වැඩපිළිවෙළක් තියෙනවද ?

පිළිතුර – ඔව්, දිගටම අපි ඒ රටවල් එක්ක සාකච්ඡා කරනවා. එක එක හේතු මත ඒ ඒ රටවල රජයන් තමන්ගේ පුරවැසියන්ට උපදෙස් දෙනවා. පළමුව වෙන රටකට ගමන් කිරීම පිළිබඳව. දෙවනුව තමන්ගේ පුරවැසියන් විවිධ රටවල ජීවත් වෙනවා නම් ඒ අයටත් ඒ පණිවුඩ එවනවා. විශේෂයෙන් බටහිර රටවල් මාසෙන් මාසෙට, ඇතැම් විට සති දෙකෙන් දෙකට වගේ මේ වගේ පිළිවෙතක් අනුගමනය කරනවා. ඒත් අපේ සාකච්ඡා නිසා යම් යම් අංශ ඒ තහනමෙන් නිදහස් කර ගැනීම සාර්ථක වී තිබෙනවා. අනෙක් පැත්තෙන් ගත්තාම ඒ රටවලටත් මේ තහනම බලපානවා. මොකද ශීත සෘතුව ආවහම ඒ ජනතාවට රටින් පිටවීමේ අවශ්‍යතාවක් මතුවෙනවා.

අනික වැදගත්ම දේ මේ එන්නත ලබාගත හැකි හැම කෙනාම ලබාගත යුතුයි. එහෙම නැතිව රජය එන්නත ලබාදිගෙන යද්දී එය ලබා නොගෙන සිටීම, තමන්ට විතරක් නෙමෙයි, තමන් ජීවත්වන සමාජ වටාපිටාවටත්, රටටත් තමන්ගෙන් කොහොම පැතිර යන්න පුළුවන්ද කියලා රටවැසියන්ට අවබෝධ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා රජය දිගටම ඉල්ලා සිටින්නේ, මේ එන්නත ලබාගන්න කියන එක. එන්නත තියෙනවා, කරුණාකර පැමිණ ලබාගන්න. එය මේ වෙලාවේ රටවැසියන්ගේ පැත්තෙන් කළ යුතු වැදගත්ම ක‍්‍රියාවක්.

ප‍්‍රශ්නය – රජය කොවිඞ් එන්නත ලබාදීමේ සාර්ථක වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා, ඒක ඇත්ත. එත් දැන් රටට අලූත් එන්නතක් අවශ්‍ය වී තිබෙනවා. ඒ ආර්ථිකය පණ ගන්වන්න. දීර්ඝ කාලයක් තිස්සේ 1982 සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතම ඇමැතිවරයකු විදියට ඔබතුමාගේ ඉතිහාසයේම දැකලා නෑ නේද මේ වගේ ආර්ථික අර්බුදයක්. අද කිරිපිටි ගෙන්න ගන්න බෑ, විදේශ විනිමය හිඟයක් තියෙනවා. පුළුවන්ද මේ රජයට මේ තත්ත්වය මත ජනතාවට වගකියන්න ?

පිළිතුර – ඔව්, පැහැදිලිවම රජයට ඒ විශ්වාසය හා පුළුවන්කම තිබෙනවා. බලන්න, බොහෝ රටවල් එන්නත නොමිලේ දුන්නා, ඊට අතිරේකව අපි මිලයටත් ගත්තා. එහෙම මිලට ගන්න අපිට හැකියාවකුත් තිබුණා. ඒකට පාර්ලිමේන්තුවේ දෙපාර්ශ්වයම සහයෝගය දුන්නා. අපේ රට විතරක් නෙමේ බලවත් රටවල්වල පවා යම් ආර්ථික අර්බුදයක් තියෙනවා. දැන් පසුගිය අඟහරුවාදා ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනෙට් මණ්ඩලය දැවැන්ත මුදලක් අනුමත කර දී තිබෙනවා, එරට ජනාධිපතිතුමාට, ආර්ථිකය පනගැන්වීම උදෙසා. අපිත් එක එක ආර්ථික අංශ රැකගැන්මට කටයුතු කරමින් සිටිනවා. තවත් අංශ ප‍්‍රමුඛතාව අනුව පනගන්වමින් සිටිනවා. දැන් අහන ප‍්‍රශ්නයක් තමා විදේශ විනිමය කෝ? ජාත්‍යන්තර ආයතන අපට සහයෝගය දක්වයිද? මට කියන්න තියෙන්නේ ජාත්‍යන්තර ආයතනයන්ගෙන් සහයෝගය ලබාගන්න හා ආයෝජනයන් ලබාගන්න පුළුවන් විදියට රටේ ආර්ථිකයේ අලූත් වැඩසටහන් විවෘත කරමින් සිටිනවා. ආර්ථිකයේ අලූත් දොරටු විවෘත කරමින් සිටිනවා. අපි පිළිගන්නවා අපි විතරක් නෙමේ අනෙක් රටවල් පවා බොහොම දුෂ්කර කාල පරිච්ෙඡ්දයක සිටින බව. ලෝක ආර්ථිකයත් විශාල පසුබෑමකට ලක්ව තිබෙනවා. ඉල්ලූම අඩුවී තිබෙන විට, බෙදාහැරීම අඩුවී තිබෙන විට මෙවැනි තත්ත්වයක් උදාවනවා. ණය ගෙවාගන්න බැරිවෙයි කියලත් කිව්වනේ. එත් ණය ගෙව්වනේ මුදල් ඇමැතිතුමා.

මම පැහැදිලිවම කියන්න ඕන අපේ රට ගැන විදේශ රටවල විශ්වාසය පළුදු වෙලා නෑ. දැනට අපේ ප‍්‍රධාන අංශයක් වන ඇඟලූම් අපනයනයේ අවස්ථාවන් දිගටම පවත්වාගෙන යනවා. ඒ වගේම විදේශ රැකියාවල නිරත වන ශ‍්‍රමිකයන්ගේ තත්ත්වය එලෙසම පවත්වාගෙන යෑමට සහයෝගය ලැබිලා තියෙනවා. එමෙන්ම අපේ අපනයන බෝගවලට සාර්ථක ඉල්ලූමක් තවමත් පවතිනවා. අනෙක් පැත්තෙන් අපි අලූත් දොරටු විවෘත කරමින් සිටිනවා. ආහාර වගාකර ජනතාව ස්වයංපෝෂිත කරන්න, ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ක‍්‍රියාකරමින් සිටිනවා වගේම අපේ බලශක්ති ප‍්‍රතිපත්තිය වෙනසකට භාජනය කරන්න පුළුවන් එඩිතර තීරණ කිහිපයක් අරන් තියෙනවා.

ප‍්‍රශ්නය – ජනාධිපතිතුමාගේ පාලනයේ වැදගත් අවස්ථා රාශියක් තියෙනවා. එත් ඔහු සම්ප‍්‍රදායික දේශපාලන නායකයන්, මැති ඇමැතිවරුන් පසෙකට කර, තමා වටා සිටින වෙනම පිරිසක්, විශේෂයෙන් හමුදා නිලධාරීන්, ළංකරගෙන වෙනම පාලනයක් ගෙන යන ආකාරයක් පෙනී යනවා. ඔබගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාත් හිටපු හමුදා නිලධාරියෙක්…. මේ ගැන මොකද හිතන්නේ ?

පිළිතුර – ජනාධිපතිතුමා, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු, මහජන නියෝජිතයෝ නිතර හමුවෙනවා. පළාත් සභා විසුරුවා හරියට ඒ හිටපු පළාත් සභා නියෝජිතයනුත් විටින් විට කැඳවා සාකච්ඡා කරනවා, පළාත්වල තත්ත්වය පිළිබඳ. ඒ හින්දා මම හිතන්නේ නෑ ජනාධිපතිතුමා මහජන නියෝජිතයෝ සමග තියෙන සම්බන්ධය හෝ අදහස් ලබාගැනීමේ ක‍්‍රියාවලියේ වෙනසක් ඇතිකරලා තියෙනවා කියලා. ඇතැම් විට එතුමා ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායමේ රැස්වීම්වලට පවා සහභාගි වෙනවා. ඇතැම් විට රාජ්‍ය අංශයේ නොවන අයත් කැඳවා කතා කරනවා. පසුගිය සතියේ එතුමා සිවිල් සංවිධාන නායකයන් කැඳවා කතා කළා. අනික පාලනයේ යම් යම් පදවිවලට පුද්ගලයෝ පත්කිරීමේ බලය ජනාධිපතිතුමාට තියෙනවා. අනික පත් කරලා තියෙනවා නම් තියෙන්නේ විශ‍්‍රාම ගිය හමුදා නිලධාරීන්, හිටපු ජනාධිපතිවරුත් මේ විදියට ක‍්‍රියාකරලා තියෙනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න තමයි බැරි. මේ වෙලාවෙත් හමුදා අංශ විශාල සේවයක් ඉටුකරනවා. රට ඉදිරියට ගෙනයෑම සඳහා විශ‍්‍රාමික හමුදා නායකයන්ගේත් සහාය අරගෙන තියෙනවා. සමහරු මේ ගැන එකඟතාවක් නැති බව ඇත්ත. එත් අමාත්‍යාංශවල සහ ජනතා අවශ්‍යතාව සැපයීමේ ක‍්‍රියාවලිය අඩපණවීමක් වෙලා නෑ.

ප‍්‍රශ්නය – යුද ජයග‍්‍රහණය සමග බෙදුම්වාදයේ එක අදියරක් අවසන් වූවාට ජාත්‍යන්තරයේ තර්ජනය අවසන් නෑ. ඔබට පෙර සිටි විදේශ ඇමැතිවරයා ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාවට සම දායකත්වය ලබා දුන්නා. මේ රජය 30-1 යෝජනාවෙන් ඉවත් වුණ බව සැබෑ නමුත්, ජාත්‍යන්තර බෙදුම්වාදී තර්ජනය අවසන් නෑ. එසේම මේ යුද අපරාධ චෝදනාවන්ගේ ගැළවීමේ ප‍්‍රගතියක් තාම පෙන්නන්නේ නෑ. අපි කවදද මේ චෝදනාවන්ගෙන් ගැළවෙන්නේ ?

පිළිතුර – මේ ප‍්‍රශ්නේ ගොඩන`ගලා තියෙන්නෙත් දීර්ඝ කාලයක ඉඳලා. අද ඊයේ ආපු යෝජනාවකුත් නෙමෙයි. සම දායකත්වය දුන්න නිසා ක‍්‍රියාත්මක කරන්න එකඟ වුණ සමහර දේවල් අපේ රටේ ස්වෛරීත්වයට, ස්වාධීනත්වයට, අපේ ව්‍යවස්ථාවට පටහැනියි. ජනාධිපතිතුමාගේ ජනවරම අනුව අපි ඒ බව පැහැදිලි කරලා, අපේ ස්වදේශික, රට තුළ, ක‍්‍රියාමාර්ග ආරම්භ කරලා තියෙනවා. දැන් බලන්න, ඔප්පු නොකළ කරුණු මත පදනම් වෙමින්, විදේශ නඩුකාරවරුන්ගෙන් සමන්විත අධිකරණයක් මගින් විභාග කරන්න ඕන කියන එක, එක කාරණයක්. එත් ඒක අපේ ව්‍යවස්ථාව අනුව බෑ. ඒ ස්ථාවරය අපි පැහැදිලි කරදී තිබෙනවා. ඒ වෙනුවට අපේ ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකුගෙන් සමන්විත කොමිසමක් ජනාධිපතිතුමා පත්කර තිබෙනවා. දැන් ඒ කොමිසමට විවිධ අය සාක්ෂි දෙනවා, එහි කටයුතු කෙරෙමින් පවතිනවා. ඉතිං අපි ගත්ත එක ප‍්‍රධාන පියවරක් ඒක. ඒ වගේම අපි, දැනට ඇතිකර තිබෙන ආයතන, අතුරුදන් වූවන් ගැන සොයන අයතනය වගේ ඒවා, අඩපන නොවී කරගෙන යනවා. අනික ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත. ඒක ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ ඇතිකරපු එකක්. ඒක යළි සමාලෝචනය කරන්න, පසුගිය ආණ්ඩුව උත්සහ කළත් කරගන්න බැරිව ගියා. හැබැයි අපි ඒ ගැන දුන්න ප‍්‍රතිඥාව අනුව කටයුතු කරමින් යනවා. සංශෝධන ගෙනෙන්න, වෙනත් එකක් සකසන්න, වෙනම කමිටු දෙකකුත් ස්ථාපිත කරලා තියෙනවා.

අනික කවුරුත් හිතුවේ නෑ, ජනාධිපතිතුමා ත‍්‍රස්තවාදී චෝදනා යටතේ සිරභාරයේ ඉන්න අය නිදහස් කරයි කියලා. එවැනි අය රාශියක් නිදහස් කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, කොටි බලහත්කාරයෙන් අල්ලාගෙන සිටි ප‍්‍රදේශවල සිටි ලක්ෂ තුනහමාරක ජනතාවට ආරක්ෂාව දුන්න. ඔවුන් දැන් තමන්ගේ ගම්වලට ගිහින් ඉන්නවා. 15000ක් පමණ වන කොටි සංවිධානයේම සාමාජිකයන්ට සමාව දීල, වෘත්තීය පුහුණුව දීල, ඔවුන් දැන් සමාජයේ කටයුතු කරගෙන යනවා. උතුරේ ඉඩම් නැවත ලබාදීමේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක වෙනවා. යම් පෞද්ගලික ඉඩමකින් හමුදාවට ඉවත් වීමට නොහැකි අත්‍යවශ්‍ය හේතුවක් තිබේ නම්, එම ඉඩම් සඳහා වන්දි ගෙවලා, වෙනත් තැන්වලින් ඉඩම් දෙන්න කියලා ජනාධිපතිතුමා උපදෙස් දීල තියෙනවා.

ප‍්‍රශ්නය – ඒත් රටට එරෙහි ජාත්‍යන්තර බලවේගවලට, මේ තත්ත්වය ඒත්තු ගන්වන්න, හරිහමන් වැඩ කොටසක් කරලා නෑ කියන චෝදනාව ආණ්ඩුවට එල්ල වෙනවා. ඒකෙන් ගැළවෙන්න ආණ්ඩුවට බෑ නේද?

පිළිතුර – මෙහෙ මහා පොළොවේ නියම තත්ත්වය බලන්න ඕන නම්, ඕන කෙනකුට ඇවිල්ලා බලන්න පුළුවන් කියලා ජනාධිපතිතුමා ආරාධනා කරලා තියෙනවා. පේදුරුතුඩුවේ ඉඳන් දෙවුන්දරතුඩුවට අද ඕනෑම කෙනකුට එන්න යන්න, වෙළෙ`දාම් කරන්න, ආයෝජනය කරන්න පුළුවන්. දැන් ජනාධිපතිතුමා මේ සතියේ වව්නියාවට විශ්වවිද්‍යාලයක් ප‍්‍රකාශයට පත් කළා. මමත් විපක්ෂයේ මන්ත‍්‍රීවරයෙක් විදියට වව්නියාවට විශ්වවිද්‍යාලයක් ඕනේ කියලා පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා. නීති රාශියක වෙනස්කම් වෙමින් තියෙනවා. අපි ප‍්‍රතිඥා දුන් වැඩ කොටස එලෙසම කෙරෙමින් පවතිනවා කියන විශ්වාසය ජාත්‍යන්තරයට ඇතිකර දෙන්න අපිට පුළුවන්කම තියෙනවා. අතුරුදන් කියලා කිව්වට පිටරට ගිහින් ඉන්න පිරිසගේ ලැයිස්තුවක් ඉල්ලූවිට ඒ රටවලින් රජයට එය ලැබෙන්නේ නෑ. ඉතිං අන්‍යෝන්‍ය විශ්වාසයෙන් කෙරෙන්න ඕන වැඩක් මේක. මොකද විශාල පිරිසක් විදේශගත වෙලා ඉන්නවා. ඒක එළිදරව් වෙමින් පවතිනවා. ජිනීවා හෝ අනෙක් ජාත්‍යන්තරය, සහනයන් ලෙස අපේක්ෂා කළ දේ සහ වැරදී තොරතුරු නිවැරදි කිරීම, පසුගිය අවුරුදු එකහමාර තුළ ශ‍්‍රී ලංකාව තුළ ආරම්භ වී තිබෙනවා. ඒ අතරතුර යම් යම් අන්තවාදී භයානක ත‍්‍රස්තවාදී වැඩකරන පිරිස් රටේ නීතිය අනුව අත්අඩංගුවට ගන්නවා. ඒවා නවත්තන්න බෑනේ.

සාකච්ඡා කළේ
මනෝජ් අබයදීර

advertistmentadvertistment
advertistmentadvertistment