අපි ඊළඟට ගේන්නේ සුබ සාධන ජනාධිපතිවරයෙක් – පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරින් ප‍්‍රනාන්දු

202

රටේ ප‍්‍රශ්න පාර්ලිමේන්තුවට ගෙනාවේ අපි…

බස් ටිකක සෙනඟ ගෙනාවට ඒවා රැස්වීම් නොවෙයි

මගෙයි එජාප නායකයාගෙයි ඞීල් එකක් නෑ

මෙරට දේශපාලන පොරපිටිය කවදත් උණුසුම්ය. මේ දිනවල නම් ඒ උණුසුමට ඕනෑ තරම් උත්තේජනයන් තිබේ. අනුරාධපුර සල්ගාදු පිටියේ පැවැති පොදුජන පෙරමුණේ රැස්වීමද ගෙවුණු සතියේ උණුසුම් මාතෘකාවක් වී තිබිණි. ඒ ගැන මේ වනවිට පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ විවිධ දේ කියති. මේ, ඒ පිළිබඳව සහ සමගි ජන බලවේගය ඊළඟ මැතිවරණයක් සඳහා වන සූදානම පිළිබඳ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරින් ප‍්‍රනාන්දු මහතා සමඟ ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය” කළ සම්මුඛ සාකච්ඡාවයි.

ප්‍රශ්නය සල්ගාදු පිට්ටනියේ පොහොට්ටුවෙ රැස්වීමෙ සෙනඟ දැකල විපක්ෂයට උණ අරන් කියල ආණ්ඩු පක්ෂයෙ පිරිස කියනවා. මන්ත‍්‍රීතුමා මොකද හිතෙන්නෙ… ආණ්ඩුව මැතිවරණයකට කරන පූර්ව සූදානමක්ද මේ…?

පිළිතුර – ආණ්ඩුව මැතිවරණයකට යෑම කොහොම වුණත් තමන්ගේ කණ්ඩායමට මැතිවරණ බලාපොරොත්තුවක් ලබාදීම තමයි සල්ගාදු ක‍්‍රීඩාංගණයේ ජනරැළිය හඳුනගන්න පුළුවන් වෙන්නෙ. ඒකට හේතුව තමයි ආණ්ඩුවට විරුද්ධව පාරට බැහැල තියෙන ජනතාව, වෘත්තීය සමිති විරෝධතා, විපක්ෂයේ දේශපාලන කණ්ඩායම්වල ක‍්‍රියාකාරීත්වය මේ මොහොතේ විශාල වශයෙන් දකින්න පුළුවන්. ආණ්ඩුව දන්නව ප‍්‍රායෝගිකව ඔවුන්ට මැතිවරණයකදී ඉදිරියට එන්න අමාරුයි කියල. ඒ හින්ද ඡුන්දයකදී තමන්ට බය වෙන්න ඕන නෑ කියල තමන්ගෙම පාක්ෂිකයන්ට පෙන්වීමක් තමයි මේ වගේ රැස්වීම්වලින් කරන්නෙ. රැස්වීම්වලින් පක්ෂයට ඡුන්දය දෙන ප‍්‍රමාණය තීරණය කරන්න බෑ. ආණ්ඩුව මේ කරන්නෙ ‘‘මයින්ඞ් ගේම්” එකක් ගහන එක. අපි කියනව ආණ්ඩුවට ඔය රැළි ටික ඔක්කොම තියල මැතිවරණයකට එන්න කියල.

ප‍්‍රශ්නය – ආණ්ඩුවෙ ජනප‍්‍රියතාව කොච්චර අඩුවෙලා තිබුණත්, ඔවුන් සංවිධානය වෙමින් තියෙනවා. ඒත් කෝ විපක්ෂය… මොනවද ඒ වෙනුවෙන් කරන්නේ…?

පිළිතුර – සමගි ජනබලවේගයේ මන්ත‍්‍රීවරු 52ක් පාර්ලිමේන්තුවට ආපු දවසෙ ඉඳල අපි අපේ ගම් මට්ටමින් දේශපාලන කටයුතු කරගෙන යනව. අපේ ක්ෂණික බළකායක් තියෙනවා. ඒ වගේ අපේ වෘත්තීය සමිති පැත්තෙන් ලොකු සංවිධාන ශක්තියකින් ඉදිරියට එමින් තියෙනවා. කොරෝනා නිසා අපි ඒක මැඩපවත්වන්න ඕන නිසා ටිකක් පස්සට ගියා. හැබැයි දැන් වෙද්දි අපි හොඳ සූදානමක ඉන්නවා. විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහත්තය පක්ෂයෙ හැමෝටම යම් යම් වගකීම් පවරල තියෙනවා.

ප‍්‍රශ්නය – හැබැයි එහෙම දැනෙන දෙයක් පේන්න නෑනෙ…

පිළිතුර – මම හිතන්නෙ ලොකු රැස්වීමක් කරන එක හැමෝටම ලේසියි. බස් ටිකක් දාල සෙනඟ ටිකක් ගෙන්වන එක මහ ලොකු දෙයක් නෙමෙයි. අපි ගම්මට්ටමින් හොඳ සංවිධාන ජාලයකින් ශක්තිමත් වෙමින් ඉන්නව.

ප‍්‍රශ්නය – හරි සෙනඟ ගෙන්නුවම කිවමුකො. හැබැයි ඒ ආපු සෙනඟ ආවේ අනුරාධපුරයට. අනුරාධපුරයෙ වැඩිපුරම ඉන්නේ පොහොර ප‍්‍රශ්නය නිසා පාරට බැහැපු ගොවියො. ඉතින් ඒ ගොවිජනතාව මේ වගේ රැස්වීමකට ගෙන්වා ගැනීම ආණ්ඩුවේ ජයක් විදිහට සලකන්න බැරිද?

පිළිතුර – 2009 තිබ්බ සල්ගාදු ක‍්‍රීඩාංගණයෙ රැස්වීමයි, මේ පාර තිබ්බ රැස්වීමයි ගත්තම හාත්පසින්ම වෙනස්. මේ පාර තිබ්බ රැස්වීමට රාජපක්ෂ පවුලෙ හැමෝම සහභාගිවෙලා හිටිය. ඒත් චියර් එක මදි. සද්දෙ නෑ. එන්නම් වාලෙ ආපු පිරිසක් තමයි හිටියෙ. ඔවුන් ඔහේ බලාගෙන හිටිය. බස් 300ක් විතර සෙනඟ ආව කියල ආරංචියි. ඒ 300ම අනුරාධපුරේ අය නෙමෙයිනෙ. ඔතන අනුරාධපුර ප‍්‍රදෙශයෙන් ආපු බස් 150ක් තියෙන්න ඇති. මට අනුව ඒක අසාර්ථක රැළියක්. ඒකට හේතුව මම ඉස්සරවෙලා කිව්ව වගේ කිසිම චියර් එකක්, ඒ රැස්වීමෙ තිබුණෙ නෑ.

මම හිතනව මේ ලොකු රැළිවලට වඩා වැදගත් ගම් ඇතුළෙ කරන රැස්වීම්. අපේ පක්ෂයෙ වෙන්නෙ ඒ දේ. ගමේ පොඩි රැස්වීමක් තිබ්බම කොච්චර එනවද? ඔවුන් එන්නෙ හැඟීමෙන්.

ප‍්‍රශ්නය – ඔබතුමා ජනාධිපතිතුමාගෙයි, අගමැතිතුමාගෙයි කතා ඇහුවද?

පිළිතුර – ඔව් මම ඇහුවා. මොකක්ද එතනදී කියවුණු අලූත් දේ. පොහොර ඇතුව හෝ නැතුව වී මිල වැඩිකරනවා කිව්ව. ඒක ප‍්‍රායෝගිකද? කොහොමද පොහොර නැතිව වී වැඩි කරන්නෙ. ජනාධිපතිතුමාගෙ කතාව සමාජ මාධ්‍යයේ ප‍්‍රචාරය වෙද්දි ඒකට රියැක්ට් කරල තිබුණෙ හිනා මුහුණු. තුනෙන් දෙකක් ඉන්නෙ එතුමාගෙ කතාව පිළිගන්නෙ නැති තැනක.

ප‍්‍රශ්නය – ඔය මොන කතාව කිව්වත් මේ වෙද්දි ප‍්‍රබල විපක්ෂයක් නැහැ කියන මතය තමයි රටේ තියෙන්නෙ. ඔබතුමන්ලගේ යහපාලන ආණ්ඩුව කාලයෙ පොදුජන පෙරමුණ ප‍්‍රබල විපක්ෂයක් ලෙසින් ඉදිරියට ආව. එහෙම ඇවිත් අවසානයේ රටේ බලය ලබාගත්ත. ඒත් අද රටේ විපක්ෂය තියන්නෙ කෑලි කීපයකට. සජබලය විදිහට ඔබතුමන්ලා වෙනම ඉන්නව, ජවිපෙ වෙනම පෙරමුණකින් එනව, එජාපය තනියෙම ඉන්නවා. ඉතින් කොහොමද ආණ්ඩුවකට අභියෝග කරන්නෙ…?

පිළිතුර – එජාපය, සජබය, ජනතා විමුක්ති පෙරමුණ මේ හැමෝම එක තැනකට ආවෙ නැත්නම් එතන ප‍්‍රශ්නයක් තියෙනව තමයි.

ප‍්‍රශ්නය – ඔබ කියන කණ්ඩායම් එකට එකතු කරන්න විපක්ෂ නායකතුමා පණ මදි කියනව නේද?

පිළිතුර – විපක්ෂ නායකයා ගැන විවේචනය කරන්නෙ ඔහු තවම සමගිජන බලවේගයට විතරක් නායකත්වය දෙන නිසා. මම හිතන්නෙ එතුමා ඊට වඩා පුළුල් තැනකට යන්න ඕන. විපක්ෂයෙ අනෙක් පක්ෂත් එක්කත් කතා කරන්න ඕන. මම හිතන්නෙ ඒක නිර්මාණය වෙමින් තියෙනව. එන අවුරුද්දෙ පෙබරවාරිවලින් පස්සෙ ඕනම මොහොතක ඡුන්දයකට යන්න පුළුවන්. මට පෙනෙන දේ අනුව තව මාස 5ක්, 6ක් යද්දි රට ආර්ථික වශයෙන් විශාල අගාධයකට වැටෙනව. හැබැයි එහෙම වැටිල තියෙන රටක් වෙන අයෙක්ට අරගෙන කරන්නත් අමාරුයි. මගේ විශ්වාසය නම් විපක්ෂයේ හැමෝම එකතු වුණොත් හොඳයි.

ප‍්‍රශ්නය – සජිත් පේ‍්‍රමදාස මහත්තය විපක්ෂ නායකය වුණත්, පාර්ලිමේන්තුව ඇතුළෙ විපක්ෂ නායක ධුරයට පණපොවන්නෙ රනිල් වික‍්‍රමසිංහ කියලත් ඇතැමුන් කියද්දි, විපක්ෂයෙ කාර්යභාරය පාර්ලිමේන්තුවෙන් පිටතදි කරන්නෙ ජවිපෙ බවයි ඇතැමුන්ගේ මතය….

පිළිතුර – පසුගිය කාලයෙ වෙච්ච ඇන්ටිජන් හොරකම ගැන පාර්ලිමේන්තුවෙ කතා කළේ සජබය. ජේවීපී එක ගෙනාවෙ එකයි. ඒක තමයි සීනි හොරකම. ඒකත් පාර්ලිමේන්තුවෙ මුලින්ම කිව්වෙ අපි. ඒ වගේම වැක්සීන්වල අක‍්‍රමිකතා ගැන පාර්ලිමේන්තුවෙ කතා කළේ අපි. එහෙම බැලූවම රනිල් වික‍්‍රමසිංහ මහත්තය මොනවද කතා කළේ. එහෙම කතා කරල නෑ. එතුමා ආර්ථිකය ගැන වචනයක් දෙකක් කතා කළත්, මේ රටේ මේ මොහොතෙ තියෙන ප‍්‍රශ්න ගැන පාර්ලිමේන්තුවෙ කතා කළේ අපි. ඒත් මිනිස්සු කැමැති නෑ ඒකෙ හොඳ නම සමගි ජනබලවේගයට දෙන්න.

ප‍්‍රශ්නය – ඔබ කියනව එකතුවුණොත් හොඳයි කියල, ඒත් එහෙම එකතු වෙන්නෙ නැති බවක් නේද පෙන්නේ…?

පිළිතුර – ඒක තමයි මම අර කාලයක් ගැන කිව්වෙ. එන ඔක්තෝබර් මාසය වෙද්දි ආණ්ඩුවෙත් විශාල පිරිසක් එළියට එයි. මම එහෙම කියන්නෙ ලොකු විශ්වාසයකින්.

ප‍්‍රශ්නය – හැබැයි ඉතින් ඔහොම ආණ්ඩුවෙන් කට්ටිය කඩාගෙන එනව කියල කාලෙක ඉඳන් කියනව. ඒ නිසා ඔය වගේ පූරෝකථනයන් විශ්වාස කරන්න පුළුවන්ද?

පිළිතුර – මේ වෙලාවෙ තුනෙන් දෙකේ බලයක් ආණ්ඩුවට තිබුණට ඒ අය දන්නව ඊළඟ මැතිවරණයෙදි ඔවුන්ට කොහොමටවත් දිනන්න බෑ කියල. විශේෂයෙන් පසුපෙළ මන්ත‍්‍රීවරු දන්නව ඔවුන් ඊළඟ ඡුන්දයකදි එළියට විසි වෙනව කියල. ඒ නිසා ඔවුන් බලනව ඔවුන්ගෙ දේශපාලන ගමන් මග ඉදිරියට ගෙන යන උපක‍්‍රම ගැන. එතනදි ඒ පිරිස ආණ්ඩුවෙන් එළියට බහිනව. ඒ කණ්ඩාම ගැන මට මේ වෙලාවෙ කියන්න බෑ. ඒ කොහොම වුණත් මගේ තර්කය මේකයි, අපේ රටේ හැම ක්ෂේත‍්‍රයකම මේ මොහොතෙ තියෙන්නෙ අභියෝගයක්. ඒ අභියෝගයන් ජයගන්න නම් අපිට එකට ඉන්න ඕන. ඒකයි මම අපේ පළමුවැනි සංවත්සරයෙදීත් කිව්වෙ ඔබේ මතය ඔබ දරන්න අභියෝග ජයගන්න පෙරට එන්න කියල. ඒ සංවාදය මේ වෙද්දි සිදුවෙමින් තියෙනවා.

ප‍්‍රශ්නය – ඔබ විපක්ෂයේ සියලූ කණ්ඩායම් එකතුවෙන්න ඕන කියල කිව්වනෙ. ඒත් මන්ත‍්‍රීතුමා අපට ආරංචිවෙන විදිහට ඔබතුමන්ලගෙ සමගි ජනබලවේගයෙ ඇතුළෙත් කෑලි කීපයක් තියෙනව. පාඨලී චම්පික මන්ත‍්‍රීතුමා 43 සේනාංකය හදාගෙන යනව. දොස්තර රාජිත සේනාරත්න මහත්තයත් වෙනම කණ්ඩායමක් එක්ක බව කියද්දි, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාත් වෙනම ගමනක් යන බව කියනවා. මේ කතාවල ඇත්තක් තියෙනවද?

පිළිතුර – මේ තියෙන අභියෝගය ජයගන්න නම් හැමෝටම එක්වෙන්නම වෙනව. පාඨලී මන්ත‍්‍රීතුමාගේ 43 සේනාංකයටත් තනියම එන්න බෑ. එතුමාට ඡුන්දෙකට යන්න ඕන නම් අපේ තල්ලූවක් නැතිව බෑ. නමුත් අපිට ඉන්නෙ එක නායකයෙක් කියන එක තමයි අපේ විශ්වාසය. සජිත් පේ‍්‍රමදාස මහත්තය ඡුන්දය පැරදිච්ච දවසෙ ඉඳල අද වෙනකම් දේශපාලනය ගැන ලොකු අත්දැකීමක් ලබාගෙන තියෙනව. ඔහු ඒ පරාජයත් එක්ක ලොකු දේශපාලන පන්නරයක් මේ වෙද්දි ලබාගෙන තියෙනව. විපක්ෂය ඇතුළෙ නායකයෙක් වෙන්න වටේ ඉන්න යම් පිරිසක් ගේමක් ගහනව තමයි.

ප‍්‍රශ්නය – එහෙම කියද්දි මට මතක් වෙන දෙයක් තමයි ‘කල්ලි දේශපාලනය’ කියන වචනය. කල්ලි දේශපාලනය කියන වචනය අපේ රටේ දේශපාලනය තුළ නිතර කියවෙන වචනයක්නෙ. රාජපක්ෂ කල්ලිය, රනිල් වික‍්‍රසිංහගෙ රෝයල් කල්ලිය ජනප‍්‍රිය උදාහරණ. ඒ අතරෙ සජිත්ගෙ කල්ලියක් ගැනත් කියනව. ඔබත් ඒ කල්ලියෙ සාමාජිකයෙක් නිසා සජිත් පේ‍්‍රමදාස වෙනුවෙන් පෙනී ඉන්නව කියනව. හැබැයි ඒ වුණත් හරින්ට පක්ෂයෙ නියම තැනක් ලැබිල තියෙනවද?

පිළිතුර – එහෙම හිතෙන්න පුළුවන්. අපට ලැබෙන්න ඕන තැන ගැන ගැටලූවක් එනව තමයි. නමුත් දේශපාලනයෙ දීර්ඝකාලීනව නියැළී ඉන්නකොට ඒක සාමාන්‍යයි කියල වැටහෙනව. නායකයො කැමැතියි තමන්ගෙ පදයටම නටන කීප දෙනෙක් හදාගන්න. ඒක රනිල් වික‍්‍රමසිංහ මහත්තයත් කළා. ඔබ කිව්ව රාජපක්ෂ කල්ලිය කියල මම නම් ඒක හඳුන්වන්නෙ ‘රාජපක්ෂ වහල්ලූ’ කියල. පොහොට්ටුව කියන පක්ෂයෙ රාජපක්ෂ කෙනෙක් නොවී කිසිම තනතුරක් ගන්න බෑ.

ප‍්‍රශ්නය – රාජපක්ෂ කල්ලිය හෝ වහල්ලූ හෝ වේවා එක නායකත්වයක් යටතෙ තමයි ගොනුවෙලා ඉන්නෙ. ඒත් විපක්ෂයේ එහෙම නෑ නේද?

පිළිතුර – පොහොට්ුව නිර්මාණය කරපු වෙලාවෙ ජී.එල්. පීරිස් නෙ නායකත්වය දුන්නෙ. සජිත් මහත්තයවත් අපි විපක්ෂ නායකයා කළා. සජිත් මහත්තය මේ වෙද්දි වෙනත් විපක්ෂ නායකවරු කරපු නැති දේවල් කරනව. යාපනයෙ ගිහිල්ල, උතුරු නැගෙනහිර දවස් ගණන් ඉඳල, ඒ මිනිස්සුත් එක්ක කතාබහ කරල ඒ අය හඳුනගෙන තියෙනවා. මිනිස්සුන්ට එතුම ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනව. එතුමා ඉදිරියේදි දකින්නෙ වෙන්නෙ සුබසාධන ජනාධිපතිවරයෙක් විදිහට.

ප‍්‍රශ්නය – ඔය කියන සුබසාධනයකින් රටක ආර්ථියක් නංවන්න පුළුවන්ද?

පිළිතුර – එතුමා සුබසාධක ජනාධිපතිවරයෙක් වුණාට එතුමට උපදෙස් දෙන්න ආර්ථික විශේෂඥයො ඉන්නව. හැම දේම බෙදන්න කියන තැනට යන්න අපි ඉඩ දෙන්නෙ නෑ. අපි දන්නව මේ රටේ සමාගම් බොහොමයක් තියෙනව. ඒ ඕනම සමාගමක තියෙනව සමාජ සුබසාධන වැඩසටහන්. අපිට ඒව පාවිච්චි කරල පොඩි පොඩි පහසුකම් නැතිව ගම්වල අපා දුක් විඳින ජනතාවට උදව් කරන්න පුළුවන්. ඒවගේ දේවල් කරන එක ආර්ථිකය කඩා වැටෙන්න හේතුවෙන දේවල් නෙමෙයි. මොකද ඒවාට ප‍්‍රතිපාදන අයවැයෙන් ලබාදෙන දේවල් නෙමෙයි. හැබැයි ඒකත් හරි අමාරු ජොබ් එකක් වුණත් සජිත් පේ‍්‍රමදාස මහත්තය ඒක හරියට කරනව. එතුමට චීනයෙන් ඇවිල්ල සල්ලි දෙනව. ව්‍යාපාරියො සල්ලි දෙනව. එතුමා ඒ මුදල් නියම තැනට යොදවනව.

ප‍්‍රශ්නය – තමන්ගෙ තාත්තගෙන් ලැබුණු ජාන නිසා එහෙම වෙනව කියමුකො. ඒත් ඒක අදට ගැළපෙනවද?

පිළිතුර – ඒ සුබසාධන වැඩපිළිවෙළ එක්ක අපේ රටේ වැදගත් අංශවල ප‍්‍රතිපත්තිමය වෙනස්කම් සිදුවෙන්න ඕන. එතනදි අපේ රටේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය වැදගත්. අද කොළඹ සිදුවන ඉදිකිරීම්වල වැඩකරන්නෙ බංග්ලාදේශයෙ, ඉන්දියාවෙ කම්කරුවො. අධ්‍යාපන ක‍්‍රමය අනුව ගණන් හෝ සිංහල අසමත් වුණොත් සාමාන්‍ය පෙළින් ඒ ළමයට ඉස්සරහට යන්න බෑ. ලංකාවෙ ලක්ෂ හයක් සාමාන්‍ය පෙළ කරද්දි ලක්ෂ 2යි උසස් පෙළට තේරෙන්නෙ. මේ ශ‍්‍රමය හසුරුවන්න ක‍්‍රමයක් ඕන. නමුත් හිටපු ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මහත්තය කොච්චර ලොකු ව්‍යාපෘතියක් කළාද? රනිල් වික‍්‍රමසිංහ මහත්තයගෙ අදහසක් තිබුණ සාමාන්‍ය පෙළ සමත්වුණත් නැතත් අවුරුදු 13ම පාසල් යන්න. එතනදි යම් වෘත්තීය අධ්‍යාපනක් ලබාදෙන්න. මොකද හැමෝටම බැංකු මැනේජර්ල, දොස්තරල වෙන්න බෑනෙ. අපි සෑම වෘත්තියකටම ලැබිය යුතු වෘත්තීය ගරුත්වය ලබාදෙන්න ඕන. ඊට පස්සෙ සෞඛ්‍යය. ඒවා ප‍්‍රතිසංස්කරණය වෙන්න ඕන. තියෙන ඒව 1948 ආව ඒව. අපි නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය කිව්වට ඒවායෙ ගුණාත්මකභාවය ගැන ලොකු ගැටලූ තියෙනව.

ප‍්‍රශ්නය – ඔබතුමා රනිල් වික‍්‍රමසිංහ මහත්තය ගැන කතා කරපු නිසා මේ අහන්නෙ. අසනීප වෙලා ඉන්න වෙලාවෙ රනිල් වික‍්‍රමසිංහ මහත්තය ඔබව බලන්න ආවනෙ. කට්ටිය කියනව රනිල් – හරින් ඞීල් එකක් යනව කියල. ඇත්තද ඒක…?

පිළිතුර – කවුරු හරි කියනව නම් ඒක රනිල් – හරින් ඞීල් එකක් කියල ඒක වැරදියි. මගේ ඞීල් එකක් තියෙනව. ඒක තමයි සියලූ දෙනාම එක තැනකට ගේන එක. මම බලන්නෙ රටට වැරදිච්ච තැන නිවැරදි කරන්න. එතනදි අපේ ප‍්‍රතිපත්තිවල වැරදි තියෙනව. ඒ ප‍්‍රතිපත්ති හදන එක තමයි මගේ අරමුණ.

ප‍්‍රශ්නය – සජිත් – රනිල් ගත්තම නායකයෙක් විදිහට ඉදිරියෙන් ඉන්නෙ කවුද?

පිළිතුර – රනිල් වික‍්‍රමසිංහ තුන් පාරක් අගමැති වුණ කෙනෙක්. එතුමා 1994 ඉඳන් එජාපයෙ නායකය. එතුමගෙ දේශපාලන බර වැඩියි. නමුත් එතුමත් එක්ක තරහවෙල නෙමෙයි එළියට ආවෙ. අපි කිව්වෙ මේ ක‍්‍රමවේදය වැරැදියි කියල. පක්ෂයෙ ජ්‍යෙෂ්ඨ නායකයෙක් වෙන්න කියල.

ප‍්‍රශ්නය – අද වෙද්දි මේ කණ්ඩායම් දෙකට එකතුවෙන්න බැරි බාධාවන් මොනවද?

පිළිතුර – එකම දේ ඡන්දයක් වෙලාවට සන්ධානයක් හදන එක. නැත්නම් එජාපය කියන්න ඕන පක්ෂය භාරගන්න කියල.

ප‍්‍රශ්නය – මේ වෙලාවෙ රට වැටිල තියෙන අර්බුදයෙන් ගොඩ එන්න විපක්ෂය විදිහට සජබයට කරන්න පුළුවන් දේවල් මොනවද?

පිළිතුර – මම හිතන්නෙ ඒකට හොඳම දේ තමයි අපි ඔක්කොම එකට එකතුවෙලා ජාතික ප‍්‍රතිපත්තියක් හදන එක. අපේ විදෙස් ණය ගෙවන ක‍්‍රමය, අපේ විදේශ ප‍්‍රතිපත්තිය, අපේ ශ‍්‍රම බළකාය හසුරුවන ආකාරය එවැනි දේවලට මොනම ආණ්ඩුවක් ආවත් වෙනස් නොවන ජාතික ප‍්‍රතිපත්තියක් ඕන. ඒක කරන්න ආණ්ඩුව සූදානම් නැතිව ඇති. ඒත් අපි ඒකට සූදානම්. සජිත් පේ‍්‍රමදාස මහත්තය පාර්ලිමේන්තුවෙදි කියල තියෙනව රටට වැඩදායක ඕන දේකට කිසිම භේදයකින් තොරව සහය දෙන්න කැමැතියි කියල. රනිල් වික‍්‍රමසිංහ මහත්තය ගත්තත්, අනුර කුමාර දිසානායක මහත්තය ගත්තත් හැමෝම කියන්නෙ ජාතික ප‍්‍රතිපත්තියක් ගැන. හැබැයි අනුර කුමාර මහත්තයගෙ පාර්ශ්වයේ අයගෙ ඇතැම් කතා ආර්ථිකයක් ගොඩදාන්න පුළුවන් තරම් ප‍්‍රායෝගික ද කියන ගැටලූව තියෙනව. කොහොම වුණත් අපේ රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ආර්ථිකය සම්බන්ධයෙන් ජාතික ප‍්‍රතිපත්තියක් ඕන. එහෙම වුණොත් තමයි අපට රටක් විදිහට නැ`ගී ඉන්න පුළුවන් වෙන්නෙ.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment