අපි කොරෝනා පාලනය කරන්නේ ශත වර්ෂයක් පරණ පනතකින් – හිටපු අගමැති එජාප නායක රනිල් වික‍්‍රමසිංහ

252

කොවිඞ් වසංගතයේ අලූත්ම තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?

දැන් කොවිඞ් රැල්ල ආපහු දරුණුවටම තිබෙනවා. මෙසේ වෙන බව අපි කල් තියාම දැනගෙන හිටියා. ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර් යන මාසවලදී ශ‍්‍රී ලංකාව තුළ කොවිඞ් රෝගය බරපතල ලෙස පැතිර යන බවත් එයින් විශාල පිරිසක් මිය යන බවත් ඇමෙරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලය ලංකාවට කල් තියාම දැනුම් දී තිබුණා. ඔවුන්ගේ ඇස්තමේන්තුව වුණේ දවසකට මැරෙන රෝගීන් ගණන දෙසීයක් පමණ විය හැකි බවයි. දැනට නිල වශයෙන් වාර්තා වන පරිදි 177 ක් විතර මැරෙනවා. මේ ගණන 200 දක්වා වැඩි විය හැකියි. පර්යේෂකයන්ගේ නිගමනවලට අනුව ඔක්තෝබර් මාසය වනවිට මරණ සංඛ්‍යාව බෙහෙවින් වැඩිවීමට ඉඩ තිබෙනවා. දැන් කළ යුතුව ඇත්තේ මුලින්ම ඉහළ යන මරණ ගණන අඩුකර ගැනීමයි.

මෙහිදී ආණ්ඩුව කටයුතු කළ විධිය නිවැරදිද?

මේ විපත සිදු වුණේ කොවිඞ් වසංගතය සම්බන්ධයෙන් වෙලාවට වැඩ කිරීමට ආණ්ඩුව අපොහොසත්වීම නිසයි. වෛද්‍ය උපදෙස් අනුව වැඩ කළා නම් මෙවැනි දෙයක් වෙන්නේ නෑ. මේ අලූත් රැල්ල ඇතිවෙච්ච මුල් අවස්ථාවේම සති දෙකකට රට වැහුවා නම් ආසාදිතයන් ගණන සහ මරණ ගණන පාලනය කරගත හැකිව තිබුණා. හැබැයි දැන් ඒ ලොක්ඩවුන් එක කරනවා නම් සති හයක්වත් රට වහන්න වෙනවා. මෙතන තියෙන වැදගත්ම ප‍්‍රශ්නය තමයි අපට වෛද්‍ය උපදෙස් ගැන අවබෝධයක් තියෙනවද නැද්ද කියන එක. ඩබ්ලිව්.එච්. ඕ. සංවිධානය කියලා තිබෙනවා කොවිඞ් පාලනය කිරීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත ‘ස්පෙෂල් ඇඞ්වයිසරි බෝඞ්’ එකක් හෙවත් විශේෂ උපදේශක මණ්ඩලයක් පත්කරන්න කියලා. නමුත් අපි එහෙම කරලා නැහැ. දැන් සිද්ධවෙලා තියෙන්නේ බහුතරය වෛද්‍ය විශේෂඥයන් නොවන වෙනම කණ්ඩායමකට කොවිඞ් පාලනය භාරදීමයි. ඒක තමයි පළමුවැනි ප‍්‍රශ්නය. දෙවැනි ගැටලූව තමයි කොවිඞ් පාලනය කරන්න අපට නීති නොතිබීම.

මේ පිළිබඳ විස්තර කරන්න…

දැනට තිබෙන්නේ 1896 දී සම්මත කරගත් වසංගත රෝග පාලන නීතියක්. මුලදී කොවිඞ් ගැන නිසි අවධානය යොමු කරන්නට ආණ්ඩුවට බැරිවුණා. කොවිඞ් ලංකාවට මුලින්ම එන්නේ 2020 මාර්තු මාසයේදී. මේ රෝගයට ලබාදිය යුතු එන්නතක් ඒ වෙලාවේ ලෝකයේ කිසිදු තැනක තිබුණේ නෑ. නමුත් පළවෙනි මාස හය ඇතුළත රටවල් ගණනවක් ම එන්නත් නිෂ්පාදනය කළා. 2020 ඔක්තෝබර් විතර වෙනකොට එම එන්නත් වෙළෙඳපොළට යැවීමට සුදුසු තත්ත්වයේ තිබුණා. එවිට ලෝකයේ රටවල් ගණනවක් එම එන්නත් මිලට ගන්නට පටන් ගත්තා. හරි නම් 2020 අවසානය වනවිට ලංකාවත් එම එන්නත් ඇනවුම් කළ යුතුව තිබුණා. හැබැයි ඒ වෙලාවේ එන්නත් මිලදී ගන්නට අපට බැරිවුණා. අපට ඒ සඳහා ප‍්‍රමාණවත් විදේශ විනිමය තිබුණේ නෑ. ඒ සමගම දීර්ඝ කාලයක් රට වසා තැබූ බැවින් කොවිඞ් රෝගය මර්දනය වෙලා තිබුණා. ඒ නිසා එන්නත් මිලට ගැනීම සඳහා මුදල් සෙවීමට බලධාරීන් තුළ වූ උනන්දුවත් පහව යන්නට ඇති. ඒ අනුව අපට සිද්ධවුණා ලෝකයේ අනෙක් රටවල් එන්නත මිලදී ගැනීමෙන් පසුව අපේ ඇනවුම් භාරදෙන්න.

අපි මුදල් දෙනවා නම් පිටරටවල් අපට එන්නත් දිය යුතුයි නේද?

එන්නත් නිෂ්පාදන සමාගම් ඒවා නිකුත් කරන්නේ ප‍්‍රමුඛතා ලැයිස්තුවක් අනුවයි. මුලින් ඉල්ලපු රටවලට මුලින් දෙනවා. පස්සේ ඉල්ලපු රටවලට පස්සේ දෙනවා. අපි දැනට එන්නත දෙන්නේ අවුරුදු තිහට වැඩි අයටයි. නිවැරදි ක‍්‍රමය තමයි අවුරුදු දොළහට වැඩි සැමටම එන්නත ලබාදීම. දැන් තිබෙන ලොකුම ප‍්‍රශ්නයක් තමයි ලොක්ඩවුන් එකක් කළොත් ආර්ථිකයට සිදුවන හානිය. මම මුලින් කිව්වා වගේ මුලදීම සති දෙකක ලොක්ඩවුන් එකක් කළා නම් ආර්ථිකයට වෙන හානිය අඩුයි. ඒත් අද තිබෙන තත්ත්වය අනුව සති හයකට ලොක්ඩවුන් එකක් කළොත් ආර්ථිකයට සිදුවන හානිය ඉතාම වැඩියි.

රෝහල් පද්ධතියේ අඩුපාඩු තිබෙනවාද?

මේ වගේ වසංගතයකට අප මුහුණ දීලා නැහැ. ඒ නිසා අපේ රෝහල් පද්ධතිය පුළුල් වෙලා නැහැ. කොවිඞ් රෝගීන් සඳහා තිබෙන රෝහල්වල තිබෙන ඇඳන් සංඛ්‍යාව ඉතාම වේගයෙන් පිරී ගියා. දැන් ලෙඞ්ඩු ඇඳවල් උඩත් ඉන්නවා. ඇඳවල් යටත් ඉන්නවා. රෝහල් කොරිඩෝවලත් ඉන්නවා. මෙහිදී අප කළ යුත්තේ රෝහල් භූමිය තුළම තාවකාලික ගොඩනැගිලි පිහිටුවීමයි. ඊට පස්සේ ඒවා රෝහල් වාට්ටු බවට පරිවර්තනය කරන්නට පුළුවන්.

කොවිඞ් මර්දනය සඳහා මේ රටේ දේශපාලන පක්ෂ කරන්න ඕන මොනවාද?

සමහරවිට ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයට පත් නොකළට හැම පක්ෂයටම වැඩ පිළිවෙළක් ඇති. හැබැයි ඒ කව්රුවත් එවැනි වැඩසටහනක් ප‍්‍රසිද්ධියේ ඉදිරිපත් කර නැහැ. හැබැයි අපේ පක්ෂය පසුගියදා කොවිඞ් මර්දනය සඳහා විශේෂ වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. කොවිඞ් මර්දනය සඳහා වූ මේ වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම සඳහා මුදල් සොයාගන්නා ආකාරය පවා අප මෙහි ඉදිරිපත් කර තිබෙනවා. ආණ්ඩුව මේ වෙලාවේ ලොක්ඩවුන් එකක් දැම්මට මදි. ආණ්ඩුව කොවිඞ් මර්දනයේදී පාර්ලිමේන්තුවේ සහභාගිත්වය ලබාගෙන නැහැ. ආපදා කළමනාකරණ වැඩසටහනේ සහභාගීත්වය ලබාගෙන නැහැ. වසංගත රෝග මර්දන අංශයේ පවා පුළුල් සහභාගීත්වයක් ලබාගෙන නැහැ. මෙහෙම තනියෙන් වැඩ කරන්න

ගියොත් ඒ වැඩවල ප‍්‍රතිපල තනිවම භුක්ති විඳගැනීමට ආණ්ඩුවට සිදුවනවා. ආණ්ඩුව මේ වැරදිවල දේශපාලන වගකීම ගත්තා කියලා ප‍්‍රයෝජනයක් නැහැ. මිනිසුන් දිගටම මැරෙනවා. ඒක නවත්ත ගන්නේ කොහොමද? කෙනකු මියගිය පසු තව කෙනකු එහි වගකීම භාරගත්තා කියලා මැරුණු මනුස්සයට පණ එන්නේ නැහැ. ආණ්ඩුව කොවිඞ් සම්බන්ධයෙන් වැඩ කරනවා නම් කැබිනට් මණ්ඩලය සහ වෛද්‍ය උපදේශක සභා එකතු කර නිවැරදි තීරණවලට එළඹිය යුතුයි. පාර්ලිමේන්තුවේ අදහස් අරගෙන වෙනම උපදේශක සභාවක් ඇතිකරලා එහි අදහස් හා නිර්දේශ සැලකිල්ලට ගත යුතුයි. මේ තීරණ සියල්ලම ආපදා කළමනාකරණ අංශවලට සන්නිවේදනය කළ යුතුයි. මේ වගේ සාමුහික වැඩපිළිවෙළක් ආවොත් කොවිඞ් මර්දනය කරන්නට පුළුවන්.

ගිය වතාවෙත් ආණ්ඩුව කොවිඞ් මර්දනය කළා. හැබැයි නැවතත් මතුවුණා?

කොවිඞ් පාලනය කරලා ටික දවසකින් රෝගය නැවතත් මතුවෙනවා. කොවිඞ් කියන්නේ දිනෙන් දින ස්වරූපය වෙනස් කරන ඉතාම දරුණු වෛරසයක්. මේ මාසයේ තියෙන වෛරසය නෙමෙයි ලබන මාසයේ තියෙන්නේ. ඒ නිසා විවිධ ස්වරූපවලින් එන මේ වෛරස් සතුරා හඳුනා ගැනීම ආණ්ඩුවේ වෛද්‍ය පර්යේෂණ අංශ කළ යුතුයි. යුරෝපයේ හැම රටක්ම මේ වනවිට සෑහෙන දුරකට කොවිඞ් පාලනය කර අවසන්. එක්සත් රාජධානිය මේවනවිට තම රටේ ජනතාවගෙන් 80 % ට කොවිඞ් එන්නත ලබාදී තිබෙනවා. ඔවුන් එන්නත් දෙකම දී තිබෙනවා. මේ අතර ඩෙල්ටා ප‍්‍රභේදයෙන් ආරක්ෂාවීම සඳහා තවත් තුන්වන එන්නතකුත් සූදානම් කරගෙන යනවා. එක්සත් රාජධානියත් මුලදී රට ලොක්ඩවුන් කළා. ඒ වගේම සාර්ථක ප‍්‍රතිපලත් ලබා ගත්තා. ශ‍්‍රී ලංකාවේ දෙකෝටි විසි ලක්ෂයක ජනගහනයක් ඉන්නවා. මෙයින් දෙවතාවක්ම එන්නත් ලබා දී තිබෙන්නේ තිස් ලක්ෂයකට විතරයි. වඩා නිවැරදි ක‍්‍රමය වන්නේ නොවැම්බර් සිට තුන්වන එන්නත ලබාදීම පටන් ගැනීමයි. හැබැයි එය කොතරම් සාර්ථක වේවිද කියලා හිතන්න බැහැ.

මොකක්ද ඒකට හේතුව?

මොකද එසේ කිරීම සඳහා එන්නත් තොග අප සතුව නැහැ. ඇස්ට‍්‍රාසෙනෙකා, මොඩර්නා, ෆයිසර් ගහපු අයට දෙවැනි එන්නත දිය යුතුයි. සයිනෝෆාම් ගහපු අයටත් දෙවැනි එන්නත දිය යුතුයි. එහෙත් බොහෝ තැන්වල දෙවැනි එන්නත දීම පටන්ගෙන නැහැ. විශාල ප‍්‍රමාණයකට මේ දෙවැනි එන්නත ලැබිය යුතුව තිබෙනවා. එය ඉවර කළාම තමයි තුන්වන එන්නතක් ලබාදිය යුතුව ඇත්තේ. බටහිර රටවල් කිසිවක් සයිනෝෆාම් එන්නත පිළිගන්නේ නැහැ. ඔවුන් සියලූදෙනාම ෆයිසර් පිළිගන්නවා. තවත් සමහරු ස්පුට්නික් පිළිගන්නවා. සමහරු ඊට අමතරව ඇස්ට‍්‍රාසෙනෙකාත් පිළිගන්නවා. මෙය බටහිර රටවල් චීනයට විරුද්ධව කරන දේශපාලනයක් විය හැකියි. හැබැයි තත්ත්වය ඒකයි. එන්නත් වර්ග පහක් පමණ අපේ සමාජයේ පැතිරයෑම නිසා දෙවන තුන්වන මාත‍්‍රාවලට යෑමේදී විශාල වියදමක් දරන්නට සිදුවනවා. එන්නත් ක‍්‍රියාවලියේදී හා කොවිඞ් මර්දන ක‍්‍රියාවලියේදී ආණ්ඩුව කිසියම් අසාර්ථකත්වයක් පෙන්නුම් කර තිබෙනවා. එය අප පිළිගත යුතු ඇත්තක්. මේ ඇත්ත පිළිගත්තොත් සිද්ධ වූ පෙර වැරදි දිහා බලාගෙන ප‍්‍රතිසංස්කරණය වෙලා කොවිඞ් මර්දනය කිරීමට අපට පුළුවන්. ඉදිරි සති දෙක ඇතුළත කොවිඞ් පාලනය ඉක්මන් කළ යුතුයි. එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කර ඇති වැඩසටහන තුළ මේවා සිදුකරන්නේ කොහොමද කියන එක හරියටම දැක්වෙනවා. පුළුල් ලොක්ඩවුන් එකකට ගියොත් එන්නත් දීම කඩාකප්පල් විය හැකි බව ඇත්ත. එහෙත් එය කළමනාකරණය කළ හැකියි. උදාහරණයක් වශයෙන් එන්නත ලබාදිය යුතු අය කුඩා කණඩායම් වශයෙන් වර්ගීකරණය කරලා ඒ අය නිසි කාලසටහනක් යටතේ එන්නත් මධ්‍යස්ථානවලට ගෙන්නා එන්නත් කළ යුතුයි. හරක් වගේ එක ගොඬේ එන්නත් ලබාගන්නට ආවොත් රෝගය තවදුරටත් ව්‍යාප්ත වන්නට පටන් ගන්නවා. ඔන් ලයින් යොදාගෙන වෙලාව වෙන්කරලා කොවිඞ් එන්නත දෙන එකේ ප‍්‍රායෝගික ගැටලූ තිබෙනවා. සමහරුන්ට ඔන්ලයින් පහසුකම් නැහැ. තව සමහරු ඔන්ලයින් හරහා වැඩ කරන්න දන්නේ නෑ. මේ වගේ ගැටලූ අපේ රට තුළ තිබෙනවා.

සාකච්ඡා කළේ –
අනුර සොලමන්ස්

advertistmentadvertistment
advertistmentadvertistment