අපි තාක්‍ෂණය අතින් දුප්පත් වුණත් අදහස් අතින් පොහොසත්…  

62

අද රංගවේදියෙක් කතාබහ-නලින් ලූසේනා


* පිවිසුම

 මම පාසල් ගියේ මීගමුව ශා. අන්තෝනි විද්‍යාලයට සහ මීගමුව ශා. පීතර විද්‍යාලයට. මගේ තාත්තා වෘත්තියෙන් ධීවරයෙක්. අපේ පවුල තුළ කලා පසුබිමක් තිබුණෙ නැහැ. නමුත් උසස් පෙළ ඉගෙන ගන්න කාලෙ විෂයයක් විදිහට නාට්‍ය හා රංග කලාව හැදෑරුවා. පල්ලියෙන් සහ දහම් පාසලෙනුත් ඒ සඳහා අනුබලයක් ලැබුණා. 2007 වසරේදී නාට්‍ය හා රංග කලාව උපාධිය සඳහා මම කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙනව. එතැනින් තමයි මගේ නාට්‍ය ජීවිතය පටන් ගන්නෙ.

 * සම්මාන ලබයි

 2009 වසරේදී මම රාජිත දිසානායක මහත්මයාගේ නාට්‍ය කණ්ඩායමට එකතු වෙනව. ඒක මගේ නාට්‍ය ජීවිතයේ සුවිශේෂී සංධිස්ථානයක්. 2011 වසරේ යෞවන සම්මාන උළෙලේදී ‘වාදකයා වහල උඩ. නාට්‍යයේ රංගනය වෙනුවෙන් හොඳම නළුවා සම්මානය මට හිමි වෙනව. ඉන් අනතුරුව 2019 වසරේදී මම රචනා කොට අධ්‍යක්‍ෂණය කළ ‘නොකියා හිටපු දෙයක්. නාට්‍යයට හොඳම රචනය” හොඳම අධ්‍යක්‍ෂණය සහ හොඳම නාට්‍යයට හිමි සම්මානය යන සම්මාන ත‍්‍රිත්වය හිමි වෙනව.

 * අරමුණ

 අපි හැමෝම කැමතියි අපි දිහා අනෙක් අය බලනවාට. අන් අයගේ අවධානයට ලක්වෙනවාට. මටත් මේ ආසාව තිබුණා. මේ නිසා පුංචි කාලෙ ඉඳන්ම නළුවෙක් වෙන එක මගේ අරමුණ වුණා. විෂයයක් විදිහට නාට්‍ය හා රංග කලාව හදාරන්න යොමුවෙන්න මේ අරමුණ වෙනුවෙන්. නමුත් කලාව තුළින් ඉන් එහා ගිය දෙයක් සමජය වෙනුවෙන් සිදු වෙනව කියන දේ එතැනදි මට දැනෙන්න ගන්නවා. මේ ක්‍ෂේත‍්‍රයට යොමු වෙන කාලෙ තිබුණ අරමුණ නෙමෙයි අද මට තියෙන්නෙ. කලාව කියන්නෙ යම් මනුෂ්‍යයකුට ජීවිතයේ හැරවුම් ලක්‍ෂයක් පවා ලබා දෙන්න පුළුවන් දෙයක් බව අද මම දන්නවා.

 * හැදෑරීම

 ලංකාව තුළ රංගනය හදාරන්න විශේෂ තැනක් නැහැ. මම විශ්වවිද්‍යාලයේදී නාට්‍ය හා රංග කලාව උපාධිය ලබා ගත්තා. නමුත් රංගනය ඉගෙන ගන්නෙ අත්දැකීම් තුළින්. මුලින්ම මම වසන්ත ගුණවර්ධන මහත්මයා අධ්‍යක්‍ෂණය කළ ‘ගජමන් පුවත. දෙවැනි නිෂ්පාදනයට සම්බන්ධ වෙනව. මේ අවස්ථාවන් වලදී විජිත බණ්ඩාර” ප‍්‍රියංකර රත්නායක” රාජිත දිසානායක” තුමිඳු දොඩංතැන්න” නාමල් ජයසිංහ” ශ්‍යාම් ප‍්‍රනාන්දු” ධර්මප‍්‍රිය ඩයස්” ගිහාන් ප‍්‍රනාන්දු සහ ජයනි සේනානායක වැනි ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් මට මුණගැහෙනව.

අපි තාක්‍ෂණය අතින් දුප්පත් වුණත් අදහස් අතින්  පොහොසත්...  



 ඔවුන්ගෙන් ඇතැම් අය යටතේ අධ්‍යක්‍ෂණය වීමට

 අවස්ථාව ලැබීම තමයි මම ලබපු ලොකුම අභ්‍යාසය. මේ අත්දැකීම් එක්ක මගේ හැකියාව” මගේ ධාරිතාව මැන බලන්නත් මටම අවස්ථාව ලැබුණා.

 * වෘත්තිය සහ ආර්ථිකය

 අපේ රටේ වෘත්තීයමය වශයෙන් වේදිකාව පමණක් තෝරාගත්ත රංගන ශිල්පීන් ඉන්නවද කියන එක මට ගැටලූවක්. මොකද බොහෝ දෙනෙක් තවත් මොනයම් හෝ වෘත්තියකට සම්බන්ධ වෙනව. ඒ ටෙලි නාට්‍ය” චිත‍්‍රපට හෝ වෙනත් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. මෙතනදි මුදල් හම්බකරනව සහ වේදිකාවේ ඉන්නව කියන එක දෙකක්. වේදිකාව මතම යැපෙන කෙනකුට කවදාවත් ගොඩ යන්න පුළුවන් වුණේ නැහැ. ඇතැම් අවස්ථාවලදි වේදිකා නාට්‍යවලට මාස හතරක් පහක් පමණ කාලයක් පුහුණු වෙනව. මෙතනදි ආර්ථික ලාභයක් නැහැ. නමුත් එතනදි ශිල්පීන් හැටියට අපි ලබන පුහුණුව මිල කරන්න බැහැ.

 * වේදිකාවේ භූමිකාව

 රචනය” අධ්‍යක්‍ෂණය සහ රඟපෑම යන භූමිකා තුනම නිරූපණය කළත් ඇත්තටම මම දැනට රංගන ශිල්පියෙක් කියල විතරක් කියන්න පුළුවන්. රචකයෙක් විදිහට ඒ ගෞරවය ලබන්න මම තවම සුදුසු මදි. ඒ වගේම අධ්‍යක්‍ෂවරයෙක් හැටියට වැඩ කරල සම්මාන ගත්තත් තව කරන්න වැඩ ගොඩක් තියෙනව. මේ අවුරුද්දෙ මගේම රචනයකින් කරන නිර්මාණයක අධ්‍යක්‍ෂවරයෙක් හැටියටත් කටයුතු කරන්න බලාපොරොත්තුවක් තියෙනව.

 * ගැටලූ

 ලංකාව වගේ රටක පිටපත් රචනයේදී ගැටලූ මතු වෙන්නෙ නැහැ. නමුත් එහෙම රචනා කරන කතාව නිර්මාණයක් බවට පරිවර්තනය කරගැනීමේදී ගැටලූ මතුවෙනව. ලොකුම ගැටලූව මතුවෙන්නෙ නිෂ්පාදන ක‍්‍රියාවලියේදීි. අපි නිදහස ලබපු දවසෙ ඉඳන් අද වන තුරු සංවර්ධනය වෙමින් පවතින රටක්නෙ. මේ ක්‍ෂේත‍්‍රය ගත්තත් සංවර්ධනය වීමක් සිදුවෙලා නැහැ. නාට්‍යකරුවාගේ කැපවීම නිසයි කලාව මේ තරමින් හරි පවතින්නෙ. මොන බාධක ආවත් ඔවුන් නිර්මාණකරණය අත්හැරල නැහැ. සමාජයේ ඇතැම් තැන්වල ඇත්ත තත්ත්වය රචනය කරන්න පුළුවන් වුණත් ඒවා නිර්මාණයක් බවට පත්කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද කියල නම් සැකයි.

 * එදා සහ අද

 පනස් ගණන්වල හැට ගණන්වල ඒ ඒ යුගයට අදාළ ක‍්‍රමයක් තිබුණා. ඒවාට අනුකූලව ඒ ඒ කාලවල නිර්මාණ කටයුතු කෙරුණා. නමුත් සරච්චන්ද්‍ර යුගය හෝ එයින් පසු යුගය වර්තමානය සමග සංසංදනය කරන්න බැහැ. ඒක කලාවක් හැටියට සහ රටක් හැටියට හොඳ දෙයක් නොවෙයි.

 * පහසුකම්

 අපිට තිබුණ හොඳම රංග ශාලාවක් වන ජෝන් ද සිල්වා රඟහල අදටත් වසා දමලා. නෙළුම් පොකුණේ පහසුකම් තිබුණත් මිල අධිකයි. අද අපේ රට තියෙන තැනම තමයි කලාවත් තියෙන්නෙ. රටක් දියුණු වෙන්න ඕනා ඒ රටේ කලාවේ දියුණුවක් ඇති වෙන්න. අද නෙළුම් පොකුණේ තියෙන තාක්‍ෂණය නාට්‍යකරුවො කීයෙන් කී දෙනාද භාවිතා කරන්න දන්නෙ. අඩුම තරමින් තරුණ නාට්‍යකරුවන්ට වත් ඒ ගැන පුහුණුවක් ලබා දෙන්න ඕන. අපි තාක්‍ෂණය අතින් දුප්පත් වුණත් අදහස් අතින් පොහොසත්. මේ තත්ත්වයත් එක්ක ඒ ර`ගහල මම දකින්නෙ කවුරුවත් අත තියල නැති නිධානයක් වගේ.

 * නවකයෝ

 හැම කාලෙකදිම කලාවත් එක්ක එකතුවෙන නවක පිරිස් ගැන ප‍්‍රශ්න තිබුණා. වර්තමානයේත් එහෙම ඇහෙනවා. නමුත් අද වන විට රියැලිටි තරග මගින් බිහිවන ඇතැම් පිරිස් කලාව තුළ යම්කිසි ආධිපත්‍යයක් පතුරවන්නට උත්සාහ කරන බවක් පෙනෙන්නට තියෙනව. එවැනි තරග වලින් වේදිකාවට එන්න නම් පහසු නැහැ.

 * අනාගතය

 රටේ අනාගතය තමයි වේදිකාවේත් අනාගතය වෙන්නෙ. මුලින්ම රටක් තියෙන්න ඕනනෙ. අපි ගත්ත ඇතැම් තීරණවලින් පත්කරගත්ත රජයන් නිසා මේ තාක් කාලයක් කලාවට දැනෙන දෙයක් වුණේ නැහැ. කලාවේ අනාගතය වෙනුවෙන් වැඩකරන්න පුළුවන් සියලූ සුදුසුකම් අපිට තියෙනව. නමුත් ඒකට අපිට අවස්ථාව” පහසුකම් සහ නිදහස තිබිය යුතුයි.



 මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment