අපි පරිසර ප්‍රශ්න කතා කරන්නෙ රටේ අනාගතය වෙනුවෙන් – පරිසරවේදී සජීව චාමිකර

251

වැරදි තැන්වල කර්මාන්ත ශාලා හදල වටිනා පරිසර පද්ධති විනාශ කරනවා
නිලධාරීන්ට අල්ලස් දී ඉඩම් නිදහස් කරගන්න හදනවා

පරිසරයේ ඇති වටිනාකම මැනවින් වටහාගත් සංවිධාන, පිරිස් එය ආරක්‍ෂා කිරීමට දිවා රෑ වෙහෙසෙයි. ඒ අතරිනුත් සුවිශේෂී චරිතයක් වන්නේ ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයයි. එහි පර්යේෂණ, පරිසර නීති ක්‍රියාත්මක කිරීමේ භූමිකාව නිරූපණය කරන පරිසරවේදී සජීව චාමිකර මහතායි අද ‘දිවයින – කතිකා’ හා එක්වන්නේ.

පරිසරවේදියෙක් සහ පරිසර සංවිධානයක් කියූ සැණින් ජනතාවට මතකයට එන්නේ කුමන හෝ සංවර්ධන කටයුත්තක් සිදුවේ නම් එයට විරුද්ධ වන කොට්ඨාසයක් ලෙසයි. ඔබ කරන කටයුතු සඳහාත් ඒ සාම්ප්‍රදායික ලේබලය ඇලවී තිබෙනවාද? ඇත්තටම ඔබගේ සංවිධානයේ අරමුණු කුමක්ද?

පරිසර සංවිධාන රාජ්‍ය නොවන සංවිධාන යැයි කියූ සැණින් ජනතාවට හිතෙන්නෙ සංවර්ධන විරෝධී සංවිධාන ලෙස. අපේ මූලික අවධානය ලබාදෙන්නෙ වැරදි සංවර්ධන ක්‍රියාවලියක් හරහා ජනතාවගේ පාරිසරික අයිතිය අහිමි වන අවස්ථාවලදි, පාර්ලිමේන්තුවෙන් සම්මත වන අණපනත් උල්ලංඝනය වෙමින් ක්‍රියාත්මක වෙන අවස්ථාවලදි සහ ජාතික ප්‍රතිපත්ති, ජාත්‍යන්තර සම්මුති (ජෛව විවිධත්ව සම්මුතිය, තෙත්බිම් ප්‍රතිපත්තිය, රැම්සා සම්මුතිය) උල්ලංඝනය වන අවස්ථාවලදී. අපි ඊට මැදිහත් වෙලා ඒවා නිවැරදි මාර්ගයට ගෙන එන්න අපි ක්‍රියාත්මක වෙනවා. පරිසර සංවිධාන ලෙස ගත්තත් පරිසර වේදීන් ලෙස ගත්තත් අපි මූලිකවම සිද්ධ කරන්නෙ මිනිස්සුන්ට තියෙන පාරිසරික අයිතිය, පාරිසරික යුක්තිය ආරක්‍ෂා කිරීම.

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ මූලිකත්වයෙන් රටට අත්කර දුන් ජයග්‍රහණ මොනවාද?

විශාල ප්‍රමාණයක් තියෙනවා. එයින් එකක් තමයි එප්පාවල පොස්පේට් නිධිය ත්‍රීපෝට් මැක්මොරන්ට් කියන සමාගමට බදු දීමට උත්සාහ දරපු අවස්ථාවෙ මහමාන්කඩවල පියරතන හාමුදුරුවන් සම්බන්ධ කරගෙන සිදුකරපු ක්‍රියාවලිය. එහි සංවිධාන කටයුතු ඇතුළු විශාල වැඩ කොටසක් කළේ අපි. ඊට අමතරව පසුගිය කාලයේ ගොවීන් ලොකු පීඩනයකට ලක් කළ ජල කළමනාකරණ පනත් ගේන්න උත්සාහ කරපු හැම අවස්ථාවකම ඊට මැදිහත්වෙලා ඒව පරාජය කරන්න පුළුවන් වුණා. මිනිස්සුන්ගෙ විතරක් නෙවෙයි සියලුම ජීවීන්ගෙ ජල අයිතියත් තහවුරු කරගන්න හැකිවුණා. එහෙම නොවුණ නම් මේ වෙනකොට ගොවීන් තෙල්, පොහොර වගේම ජලයත් සල්ලිවලට ගන්න ඕන. ඒකෙන් ජලය සමාගම්වලට හෝ ව්‍යාපාරිකයන් අතට පත්වීම වැළැක්වීමට හැකි වුණා.

ඊට අමතරව ගොවීන් සතු බීජ අයිතිය සමාගම් සතු කරන්න බීජ පනත් ගේන්න උත්සාහ කරපු අවස්ථාවෙ ඒවා පරාජයට පත්කළා. යහපාලන රජය සමයේ රාජ්‍ය ඉඩම් බැංකු පනත ගේන්න උත්සාහ කළා. ඒකෙන් ආණ්ඩුව කරන්න හැදුවෙ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ පාලනය වන සියලු ඉඩම් රාජ්‍ය ඉඩම් බැංකු නමැති බැංකුවක් යටතට පත්කරල මහා පරිමාණ ආයෝජන සඳහා සමාගම්වලට ලබාදෙන්න. ඒව අපි පරාජය කළා. බදුල්ල, අම්පාර, මොනරාගල යන දිස්ත්‍රික්ක තුනේ අක්කර 62500 ක් උක් වගා ව්‍යාපෘතියක් සඳහා ලබාදෙන්න උත්සාහ කළා. ගොවීන්ගෙ ඉඩම් සහ වනාන්තර ඉඩම් මීට ඇතුළත් වෙලා තිබුණා. ඊට ලොකු බලපෑමක් කරල දැනට නතර කරගෙන තියෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත භූමියෙන් 6% ක (අක්කර 104,066) අවුරා ලංකා කියන සමාගම ඇමරිකාවේ සමාගමක් සමඟ සම්බන්ධ වී කෝමාරිකා වගා කරන්න උත්සාහ කළ වෙලාවෙ අපි මැදිහත් වෙලා මේ වෙනකන් නතර කරගෙන තියාගෙන ඉන්නවා. එම ව්‍යාපෘතිය කරානම් අලි මිනිස් ගැටුම වගේම ජල අර්බුදයත් මීට වඩා ගොඩක් උග්‍ර වෙන්න තිබුණා. මේක කළේ රාජපක්‍ෂ ආණ්ඩුවේ ප්‍රබල චරිත දෙකක්.

මේ වනවිට රට තුළ සිදුවන පරිසර විනාශයන් මොනවාද? හානියට ලක්වන ඉඩම් ප්‍රමාණය කොපමණද?

යුද්ධයෙන් පස්සේ චීනයට මුළු ආසියාකරයම නතුකර ගැනීමේ අරමුණින් හැදුව ජාතික භෞතික සැලැස්මට අනුව මහා නගර 5 ක් සහ ඒ නගර පහ සම්බන්ධ කරන්න අධිවේගී මාර්ග පද්ධතියක් හදල ඉඩම් ටික සමාගම්වලට බදු දීල ඊට අවශ්‍ය ජලය ලබාදීමට වාරි ව්‍යාපෘති ක්‍රියාත්මක කරනව.

ඒ යටතේ හම්බන්තොට හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව අධිවේගී මාර්ගය දිගු කිරීම කරනවා. එහි සංවර්ධනය අපට දරාගන්න බැරිවෙනකොට චීන සමාගම්වලට බදු දුන්නා. චීන සමාගම් ඒවා බදු ගනිද්දි කොන්දේසි දාල චීන කර්මාන්තශාලාවලට අක්කර 15000 ක් වෙන්කර ගත්තා. හම්බන්තොට මහ නගරයට අක්කර 25000 ක් ඉවරයි. නැගෙනහිර මහ නගර ව්‍යාපෘතියට අක්කර 17000 ක් සහ කළුගඟ සහ මොරගහකන්ද ව්‍යාපෘති දෙකට අක්කර 30,000 ක් වනාන්තර එළිපෙහෙලි කළා. අසාර්ථක උමාඔය ව්‍යාපෘතියට අක්කර 15000 ක් විනාශ කළා.

5/2001 චක්‍රලේඛය සංශෝධනය කරල ගෙනා 1/2020 සහ 2/2021 චක්‍රලේඛවලින් වන සංරක්‍ෂණ ආඥා පනත යටතේ පාලනය වුණු රජයට පහත් වනාන්තර නැවත මැනීම් කර ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම් යටතට පත්කරගන්න සැලසුම් සකස් කළා. මේ යටතේ හෙක්ටයාර් 5,75,000 වනාන්තර එළිපෙහෙළි කිරීමට නියමිතයි. මේක ප්‍රයෝජනයට ගෙන පානම ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් ඉඩම් විශාල ප්‍රමාණයක් බෙදාහැර තියෙනවා. උතුර, නැගෙනහිර සහ ඌව පළාතේ දිස්ත්‍රික්කයන්හි වනාන්තරවල මිනිස්සු පරිහරණය කරපු ඉඩම් රක්‍ෂිතවලින් ඉවත් කොට නැවත ඒ මිනිසුන්ට ලබාදීමට කැබිනට් මණ්ඩල පත්‍රිකාවකටත් අනුමැතිය ලබාගත්තා.
ලංවා සමාගමේ ප්‍රශ්නය හා නාකොලගනේ විහාරයේ ඉඩම් ගැටලුවේ මේ වනවිට තත්ත්වය සහ ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග මොනවා ද?

නාකොලගනේ විහාරයට විහාර දේවාලගම් පනත යටතේ ඉස්සර නින්දගමක් තිබුණා. නමුත් දැන් එය නැහැ. මී ඔය ව්‍යාපෘතිය යටතේ වන්දි ගෙවා ඒවාට විකල්ප ඉඩම් ලබාදීල තිබෙන්නෙ. නමුත් පැරණි ලේඛන පාදක කරගෙන වර්තමානයේ සිටින විහාරාධිපති හිමිවරු තමන්ගෙ ආර්ථිකය ගොඩනගා ගන්න හොර ලේඛන හදල සමාගම්වලට බදු දෙනවා. සොරගුණේ දේවාලයෙත් එහෙමයි. රාජ්‍ය නිලධාරීන් වලත්වැව රාහුල හාමුදුරුවන්ගෙ පැත්තට බෝලෙ පාස්කරල පැත්තකට වෙලා ඉන්නවා. ලංවා සමාගම හම්බන්තොට කර්මාන්තශාලාව ආරම්භ කරනකොට සඳහන් කළේ පහසු මිලට විදේශයන්ගෙන් අමුද්‍රව්‍ය ගෙනල්ල සිමෙන්ති නිපදවල අඩු මිලට මෙරට පාරිභෝගිකයන්ට ලබාදෙනවා කියලා. නමුත් අද වනවිට මෙරට වැදගත්ම පරිසර පද්ධති වන උඩවලව ජලාශය ඉහත්තාවෙ තියෙන ගල්පොත්තයාය කියන ස්ථානයෙන් ගන්න හදනව. ඒ හරහා ගම්මාන 6 ක ජනතාව අවතැන් වෙනවා. භූ විiා හා පතල් කාර්යාංශයේ ඉහළම නිලධාරීන්ට විශාල වශයෙන් අල්ලස් ලබාදී දැනට ඉඩම් ටික නිදහස් කරගන්න උත්සාහ දරනවා. ඒ සඳහා විශාල වශයෙන් මුදල් වියදම් කරනවා. ලංවා සමාගම ප්‍රකාශ කරල තියෙනවා හොඳින් හෝ නරකින් මේ වැඩේ කරනව කියලා. වැරදි තැනක කර්මාන්ත ශාලාව පිහිටුවල ඒ ප්‍රදේශවල වටිනා පරිසර පද්ධති විනාශ කරන්න හදනවා.

ඔබතුමාලගෙ සංවිධානයටත් විවිධ වරදාන වරප්‍රසාද ලබාදෙන්න උත්සාහ කළාද?

අපි ඉතිහාසයේ කවදාවත් එවැනි පාවාදීම් සිදු නොකළ පරිසර සංවිධානයක් නිසා අපිට එවැනි යෝජනා කරන්න එන්නෙ නැහැ. අපිට එවැනි චෝදනාවක් කරන්න පුළුවන් නම් ඒ හරහා තමයි අපව බිඳ වට්ටන්නෙ.
විල්පත්තුව, සිංහරාජය වැනි පරිසර පද්ධති පිළිබඳ ඔබේ සංවිධානය විශාල හඬක් නගනව දුටුව. නමුත් ඒ උත්සාහයන් සියයට 100 සාර්ථක වුණු බවක් දැක්කෙ නැහැ. සිංහරාජයෙ හදපු හෝටල් අදටත් කිසිම ප්‍රශ්නයක් නැතුව පවත්වාගෙන යනව. ඒ වගේම විල්පත්තුවෙ ගෙවල් තවම තියෙනව. බදියුදීන් මන්ත්‍රීවරයාට නැවත පැළ සිටුවන්න කියල දැන් අවුරුදු 2කටත් වැඩියි. නමුත් තවම එහෙම දෙයක් වුණේ නැහැ. එහෙම බැලුවම ඔබලාගෙ හඬ නැගීම නිරර්ථකයි නේද?

ඒ හඬ තමයි සාර්ථකව හඬ. ඒ හඬ මත තමයි මේ ක්‍රියාවලින් 100% පාලනය කරගන්න පුළුවන් වුණේ. රිෂාඩ් බදියුදීන් එම ව්‍යාපෘතිය ක්‍රියාත්ක කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරපු පුද්ගලයා විතරයි . එය රාජපක්‍ෂවරයකුගේ ව්‍යාපෘතියක්. මේක ජාතික භෞතික සැලසුමේ ව්‍යාපෘතියක්. එහි තියෙනවා කල්පිටියේ සිට මන්නාරම දක්වා සංචාරක කලාපයක් කරන්න. ඒකට තමයි විල්පත්තු මැදින් පාරවල් කපලා මිනිස්සු පදිංචි කරේ. පාර භාවිත කිරීම, මිනිස්සු පදිංචි කිරීම නැවැත්තුවා. කල්ලාරුවල අක්කර 5000 ක් එළිපෙහෙලි කිරීම සම්පූර්ණයෙන්ම නතර කළා. ඉතිං අපි කොතැනද පරාද වෙලා තියෙන්නෙ. හදපු ගෙවල්වලින් 90% අතහැර ගිහින්. දැන් ඒවා ඉබේම කැලෑ බවට පත්වෙමින් තියෙනවා.

පසුගිය කාලෙ හමුදාව මැදිහත්වෙලා හැදිල තිබුණු යටි වගාව සම්පූර්ණයෙන් ඩෝසර් කරල මී, කුඹුල් පැළ ඉන්දල වගා කරන්න හැදුව. එහෙම පැළ හිටවල වනාන්තර හදන්න බැහැ. ඒක අසාර්ථක ක්‍රියාවලියක්.

අපි අඛණ්ඩව හඬ නගපු නිසා පුළුවන් වුණා සිංහරාජ හෝටල් ව්‍යාපෘතියෙ ඉතිරි කොටස් සම්පූර්ණයෙන් නතර කරන්න. ඒ වගේම එල්ආර්සී එක යටතේ පවතින කොරිඩෝවෙ ප්‍රකට මැණික් ව්‍යාපාරිකයකුගේ බෑණා හදන්න හදපු හෝටල් සහිත භූමිය 2004 කැබිනට් අනුමැතියට යටත්ව කෙසේ හෝ නැවත පවරා ගත්ත.

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය කියන්නෙ විදෙස් රටවලින් මුදල් ලබන තවත් එක එන්ජීඕ එකක්ද?

පැහැදිලිවම ඔව්. මේ ආයතනයට අවුරුදු 32 ක ඉතිහාසයක් වගේම හොඳ දැක්මක් තියෙනවා. පාරිසරික ගොවිතැන, සුළු පරිමාණ ගොවියාගේ භූමියට ස්වාභාවික සම්පත්වලට තියෙන අයිතිය සුරක්‍ෂිත කරන්න අවශ්‍ය දේශපාලනික ක්‍රියාවලිය අපි ක්‍රියාත්මක කරනවා. එයට අවශ්‍ය මුදල් ධනවාදී ආකල්ප ක්‍රියාත්මක නොවන ආධාර දෙන සංවිධාන වලින් ලබාගන්නවා. අපි රජය වගේ විදේශ රටවලින් ණය අරගෙන ඒ ණය මුදල් කොල්ල කාල, ඒ මුදල්වලින් උපරිම සැප විඳල, පඩි අරගෙන, වරදාන වරප්‍රසාද ලබල එම මුදල් අවභාවිත කරල ජනතාව පීඩනයට ලක්කරන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන්නෙ නැහැ. අපි කරන්නෙ ඒගොල්ලො කරන විනාශය වැළැක්වීමට ජනතාව ඒකරාශි කරන එක.

පරිසර විනාශයට හඬ නඟන ඔබ ඒ පිළිබඳ සංකේතයක් බඳු කෙනෙක්. එහිදී ඔබට මුහුණපාන්නට සිදු වූ සිදුවීම් මොනවාද?

මේ කරන ක්‍රියා එකක්වත් මම තනියෙන් කරන ක්‍රියා නෙවෙයි. ගොඩක් දුරට මාධ්‍යයේ පෙනී ඉන්නෙ මම නිසා බොහෝ දෙනෙක් හිතනව සජීව විතරයි එහෙම නැත්නම් අපේ ආයතනය විතරයි මේ ගැන කතා කරන්නෙ කියල. එහෙම නැහැ. සජීවට එහෙම ‘පොරක්’ වෙන්න වුවමනාවක් නැහැ. අපිට එන අභියෝග තමයි සමහරු කියනව සංවර්ධන විරෝධීන් කියල. තවත් සමහරු කියනව ඩොලර් කාක්කො කියල. ඊට අමතරව රාජ්‍ය විරෝධීන් ලෙස හඳුන්වනව. නඩු දානව කියල මාධ්‍ය සංදර්ශන තියෙනව. නමුත් අපි පරිසර ප්‍රශ්න කතා කරන්නෙ රටේ අනාගතය වෙනුවෙන්

කතිකාව – සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment