43 වන සේනාංකයේ නායක සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක
ගෙදර යන්න කියනකොට නොගිහින් ආණ්ඩු හදන්න කතා කරලා වැඩක් නෑ
මේ වෙලාවේ පාර්ලිමේන්තුව වගකීමෙන් වැඩ කරන්න ඕන
රට තුළ උද්ගතව ඇති සමාජ, ආර්ථික සහ දේශපාලන අර්බුදයන් සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ 43 වන සේනාංකයේ නායක සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මුණ ගැසුණෙමු.පහතින් පෙළ ගැසෙන්නේ ඒ මහතා සමඟ ‘දිවයින ඉරිදා සංග්‍රහය’ කළ සම්මුඛ සාකච්ඡාවයි.
ප්‍රශ්නය:- රටේ පවතින අර්බුදයට විසඳුමක් ලෙස සර්වපාක්ෂික ආණ්ඩුවකට එකඟ බව ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. ඒ සඳහා ඔබතුමන්ල සූදානම්ද?
පිළිතුර:- මේ රටේ ඇතිවෙලා ඇති ව්‍යසනය රට බංකොලොත්වීමක්. ඒක අපේ ඉතිහාසයේ කවදාවත් නොවුණු දෙයක්. මේක හුදු ආර්ථික අර්බුදයක් නෙමෙයි. මේ වෙද්දි රට ආයෙත් අවුරුදු දහයකටත් නැගිට්ටන්න බැරි ව්‍යසනයට පත්වෙලා ඉවරයි. මේකෙ ප්‍රධාන වගකිවයුත්තා මහින්ද රාජපක්ෂ මහත්තය.
ගෝඨාභය රාජපක්ෂ මහත්තය මෝඩකම් කීපයක් කළා. ඒක මේ අර්බුදය තීව්‍ර කරන්න හේතු වුණා. එකක් බදු සහන. ඒක දුන්නෙ ධනපතියන්ට. ඒකෙන් රටේ ආදායමෙන් 40%ක් නැතිවුණා. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ සමාගම් අපිව පහළට දැම්ම. ඒ නිසා අපට අන්තර්ජාතික වෙළඳපොළේ ණය ගන්න බැරිවුණා. ඊළඟට මේ රටට සහනදායී ණය ආපු ව්‍යාපෘති 332ක් නැවැත්තුව. ඒ මගින් රටට වර්ෂයකට සහනදායී ලෙස එන්න තිබුණු ඩොලර් බිලියන 2ක විතර ආදායමක් අහිමි වුණා. ඒ වගේම 23000ක් රැකියාවලින් එළියට දැම්ම. ඒ වගේම ඔහු ආරම්භ කරපු කිසිම දෙයක් නෑ. අද වෙද්දි ඔහුට සිද්ධවෙලා තියෙන රටේ තියෙන සියලුම සංවර්ධනයන් නවත්වන්න. ඊළඟට පොහොර ප්‍රශ්නයෙන් රටේ ආහාර සුරක්ෂිතතාව සම්පූර්ණයෙන් බිඳ වැට්ටෙව්ව. යුද හමුදාව දාල කොවිඩ් වසංගතය පාලනය කරන්න යෑම නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල අර්බුදයක් ඇතිවෙලා තියෙනව ඖෂධ නැති නිසා. ඒ වගේම මේ ජනාධිපතිවරයා රට මිලිටරීකරණය කළා. හමුදා නිලධාරීන් තැන් තැන්වලට දැම්ම වැඩ කරයි කියල. ඒක අසාර්ථක වුණා. නීතියේ ආධිපත්‍යය නැති කළා. තක්කඩි මිනීමරුවො නිදහස් කළා. තමන්ගෙ දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගත්ත. ඒ නිසා අන්තර්ජාතික වශයෙන් අපිට අනවශ්‍ය ප්‍රශ්න ගණනාවක් ඇති කළා.
අද ප්‍රධාන තේමාව ඔහු ගෙදර යා යුතුයි. එහෙම නැති අන්තර්කාලීන ආණ්ඩු ගැන මොනව කතා කළත් වැඩක් නෑ.
ප්‍රශ්නය:- ජනාධිපතිවරයා යම් හෙයකින් ධුරය අතහැර ගියහොත් කවුද එතනට එන්නෙ….?
පිළිතුර:- ඒකට තමයි පාර්ලිමේන්තුව තියෙන්නෙ. පාර්ලිමේන්තුවෙ රහසිගත ඡන්දයකින් රටේ ඊළඟ ජනාධිපති පත්කරගන්න පුළුවන්. ඊළඟට ජනාධිපතිවරයගේ අන්තර්කාලීන යෝජනාවෙන් මහින්ද රාජපක්ෂ සහ රාජපක්ෂවරු ඉවත් කරනවා නම් ඒක යම් සාධනීය යෝජනාවක්. මොකද මහින්ද රාජපක්ෂ හිතාගෙන ඉන්නවා එයා සහ එයාගෙ පවුල සෞදි රජ පවුල කියල. එහෙම එකක් නෑ. ඔහු තමයි ප්‍රධාන වගකිවයුත්ත මේ රට සම්පූර්ණයෙන් බංකොලොත්වීමට. ඔහුගෙ ධුර කාලය තුළ ඩොලර් බිලියන 19ක් මේ රටින් නීතිවිරෝධීව පිට කළා. ඒ වගේම විදේශවල තියෙන බදු පාරාදීසවල මේ අයගෙ ධනය රැඳිල තියෙනව. මේව රජයේ දේපල, මේ නිසා තමයි රට බංකොලොත්වෙලා තියෙන්නෙ.
ප්‍රශ්නය:- ඔබ කියන්නෙ මේ බංකොලොත්භාවයට යහපාලන ආණ්ඩුව වගකියන්න ඕන නෑ කියලද?
පිළිතුර:- යහපාලන ආණ්ඩුවට ස්තුති වෙන්න ඕන මේ රට බංකොලොත්වෙන්න නුදුන්නට. යහපාලන ආණ්ඩුව 80%ක්ම කළේ මහින්ද රාජපක්ෂගෙ ණය ගෙවපු එක. ගිය අවුරුද්දෙ ගෝඨාභය ගෙවපු ණයවලින් 78.8%ක් විදේශ ණයවලින් වාරිකය මහින්ද රාජපක්ෂගෙ. එතකොට ගෝඨාභය රාජපක්ෂ කළෙත්, රනිල් වික්‍රමසිංහ කළෙත් මහින්ද රාජපක්ෂගෙ පව් ගෙවපු එක.
ප්‍රශ්නය:- එතකොට මහ බැංකු කොල්ලය නිසා මේ රටේ ආර්ථිකයට කිසිම බලපෑමක් වුණේ නැද්ද?
පිළිතුර:- බැඳුම්කර වංචාව බිලියන 12යි. ඒකෙන් බිලියන 9 ක්ම ආපහු ගත්ත. රටේ දළ දේශීය නිෂ්පාදනය කීයද? ඕවා බන්දුල ගුණවර්ධන වගේ තක්කඩි කියන කතා. බැඳුම්කර වංචාව පටන් අරන් තියෙන්නෙ 2008. වෝහාරික විගණනයෙ ඒක තියෙනව. කබ්රාල් පටන් අරන් තියෙන්නෙ. රනිල් වික්‍රමසිංහගෙ කාලයෙ රත්තරන් බිජු වක්කරපු කිකිළි මරල කන්න ගිය නිසා තමයි අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු කණ්ඩායම මේක ඇති කළේ. හැබැයි දළ ජාතික නිෂ්පාදනය ට්‍රිලියන 15ක්. මේ බිලියන 12ක් කියන්නෙ .1%යි. එතකොට මේ අය කරපු වංචාව, සුදුලූනු වංචාව, නිරෝධායන වංචාව, ඇවන්ගාඩ් එක මේ වංචා ටික ඔක්කොම එකතු කළාම ඒව තමයි දැවැන්ත වංචා.
බැඳුම්කරයෙන් නෙමෙයි ආර්ථික අර්බුදය ආවෙ. අධිවේගී මාර්ග හරහා ප්‍රකෝටි ගණනින් ධනය මංකොල්ලකෑමෙන්.
ප්‍රශ්නය:- ආර්ථික අර්බුදයක් එනව කියල ඔබතුමා 2013 කාලයක ඉඳන් කියනව. අද ඔබ කිව්වට වඩා වේගයෙන් ඒ අර්බුදය ඇවිත් තියෙනව…
පිළිතුර:- ඔව් මම පුරෝකථනය කළේ 2023 මේක එයි කියල.
ප්‍රශ්නය:- දැන් ආර්ථික අර්බුදයෙන් ගොඩයන්නෙ කොහොමද?
පිළිතුර:- ඒක හරිම අසීරුයි. දැන් රට බංකොලොත්භාවයට පත්වෙලා ඉවරයි. එවැනි රටකට ගොඩයන්න මං දෙකයි තියෙන්නෙ. එකක් විදේශ මිතුරු රාජ්‍යයන් විසින් අපිව ගලව ගන්න ඕන. ඒ ගලවා ගැනීමෙත් අවදානමක් තියෙනව. ඒ තමයි ඒ තුළින් රටේ ස්වෛරීත්වය නැතිවෙන්න පුළුවන්. ඊළඟට දේශපාලන ඉල්ලීම් නැති මිත්‍ර රටවලින් උදව්වක් ගන්නත් පුළුවන්. හැබැයි මේ තියෙන විදිහට අන්තර්ජාතික වෙළෙඳපොළෙන් අපට මුදල් ආධාර ලැබෙන්නෙ නෑ.
දෙවැනි ක්‍රමය තමයි ඉතා දුෂ්කර මාර්ගයක් ඔස්සේ විශාල කැපකිරීම් කරමින් රට අමාරුවෙන් මේ තත්ත්වයෙන් ගොඩගැනීම. ඒකට සෑහෙන්න කැපවීම් කරන්න ඕන. එතනදි අපිට ඕන ඕන දේවල් කරන්න බෑ. අලුත් ඩොලර් උපයන මාර්ගවලට ගිහින් බඩු මිල පාලනය කරල, ඩොලරය පාලනය කරන්න අඩුම තරමෙ අරවුරුදු තුනක්වත් යනව. අයිඑම්එෆ් උපකාරත් අපිට ලැබෙන්නෙ නැති බව දැන් පැහැදිලියි.
ප්‍රශ්නය:- ගොඩක් දෙනා කිව්වෙ අයිඑම්එෆ් ගියාම ඔක්කොම හරි කියල…
පිළිතුර:- එහෙම හිතුවෙ ආණඩුවෙ ඉන්න මෝඩයොනෙ. අපි දැනගෙන හිටිය එහෙම වෙන්නෙ නෑ.
ප්‍රශ්නය:- අයි.එම්.එෆ් යෑම සම්බන්ධයෙන් චීනයේ නොසතුට පළ කර තිබෙනවා.
පිළිතුර:- ඕවා තමයි ප්‍රශ්න. එක්තරා කාලයක ඇතැම් රටවල් මත යැපීමේ ප්‍රතිවිපාක තමයි පේන්න තියෙන්නෙ. දැන් අපි ඒ අයගෙ හිරකාරයො බවට පත්වෙලා. එතනදි රාජපක්ෂ සම්පූර්ණයෙන් වගකියන්න ඕන. එතනදි අනෙක් රාජපක්ෂවරු නෙමෙයි, මහින්ද රාජපක්ෂ වග කියන්න ඕන.
මේ යන විදිහට අපේ බැංකු පද්ධතිය කඩාවැටෙමින් තියෙනව. ලංකාවෙ බැංකු පද්ධතිය සම්පූර්ණයෙන් විනාශ කළේ පී.බී. ජයසුන්දරයි, කබ්රාලුයි, රාජපක්ෂවරුයි. හැබැයි තාම සම්පූර්ණයෙන්ම වැටිල නෑ.
ප්‍රශ්නය:- පැහැදිලියි, දැන් නැව ගිලෙමින් තියෙන්නෙ. තවම පතුල වැදුණෙ නැති එක විතරයි. කවුද මේ නැව පතුලෙ වදින්න දෙන්නෙ නැතිව බේරගන්න පුළුවන් කපිතාන්. ඔබට බැරිද ඒ ගොඩගැනීම කරන්න…
පිළිතුර:- පැහැදිලිවම පුළුවන්. අපි වැඩකරල පෙන්නපු උදවිය. 2015 තෙල් සංස්ථාවෙන් තෙල් මිල අඩුකරල දුන්න සහනය, විදුලිබිල අඩුකරල දුන්න සහනය ඔබට මතක ඇති. තෙල් සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය ලාබ ලබන තැනට ගෙනාව. දේශපාලනඥයන්ගෙ බලන්න ඕන වත්කම් බැරකම් විතරක් නෙමෙයි, කාර්යසාධනය. මේ රටේ කාර්යසාධනය මැන්නෙ එකම අවස්ථාවයි. ඒ අවස්ථාවෙ හොඳම අමාත්‍යාංශය බවට පත්වුණෙ අපේ අමාත්‍යාංශය. ඒ නිසා මේ වගකීම් ගන්න අපි මැලිවෙන්නෙ නෑ.
හැබැයි දැන් මෙතන වෙන්න ඕන සාමූහික ප්‍රයත්නයක්. පාර්ලිමේන්තුවේ ඇමැති ධුර විස්සක් විතර පත්කරගෙන ඒකට අධීක්ෂණ කාරක සභාව හදල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලුදෙනාම දොළොස් දෙනා බැගින් ඒවට බෙදල, ඒකෙ සභාපති ඇමැති බවට පත්කරල, ඇතැම් ආයතන කෙලින්ම වෘත්තීමය වශයෙන් ඇතැම් දේවල් කරල පෙන්නපු කණ්ඩායමට භාරදෙන්න ඕන.
ප්‍රශ්නය:- ආණ්ඩුව අසමත් වෙලා ඉන්න මොහොතක විපක්ෂයත් තමන්ගෙ අසමත් බව පෙන්වමින් ඉන්න බව තමයි ජනතාව නම් කියන්නේ. ඇතැමුන් කියනව මැතිවරණයකට යා යුතු බව…
පිළිතුර:- මේ වෙලාවෙ මැතිවරණ පවත්වන්න ගියාම මීට වඩා භයානක ප්‍රතිඵලයක් ඇතිවෙන්න පුළුවන්. ජනතාව ඉන්නෙ බඩගින්නෙ. කෝපයෙන් පාරවල්වල. ඒ වගේ කෝපයෙන් ඉන්න, බඩගින්නෙන් ඉන්න ජනතාවක් නිවැරැදි තීරණ ගන්නෙ නෑ. ඒ බව ගෝඨාභය රාජපක්ෂගෙන්ම පැහැදිලියි. ගෝඨාභය රාජපක්ෂ ඔය තැනට ආවෙ පාස්කු ප්‍රහාරය නිසා කෝපයට පත්වෙච්ච ජනතාවක් මාධ්‍ය විසින් ඇවිස්සීම නිසා. ඒ වගේ දේවල් ලෝකයෙත් වුණා. යුක්රේනය, ඉතාලියෙ, ස්පාඤ්ඤයෙ, පෘතුගාලයෙ වගේ රටවල ඒක වුණා. ප්‍රංශයෙත් ඒක වුණා. හැබැයි ඒක හොඳ අතට තමයි වුණෙ. ජනකාන්තවාදී පිරිස් ඉන්න ඒ කියන්නෙ නළුවො, නිළියො, ගායකයො වගේ අය තමයි මේකෙ මතුවෙන්නෙ. ඔවුන් මෙරු මතුවුණා වගේ මතුවෙලා යනව. ඒක නිසා අපි මතක තියාගන්න ඕන එහෙම වුණොත් මේ රට යටත්විජිතයක් වෙන්න ඉඩ තියෙනව, එහෙම නැත්නම් මේ රට සම්පූර්ණ මානව කාන්තාරයක් වෙන්න ඉඩ තියෙනව. ඒ නිසා මේ ඉන්න අය වගකීමෙන් කටයුතු කළ යුතුයි. ඒ නිසා මැතිවරණයක් තියන්න පෙර ජනතාවගෙ බඩගින්න නිවල ඔවුන්ට සහනශීලීබවක් ලබාදෙන්න ඕන. ඊට පස්සෙ මැතිවරණයක් තිබ්බට කමක් නෑ.
ප්‍රශ්නය:- අරගලය ඇතුළෙ 225ම එපා කියනවනෙ. බඩගින්න නිවුණට පස්සෙ ඒ සටන් පාඨ යට යයි කියල ඔබතුමා විශ්වාස කරනවද?
පිළිතුර:- 225ම එපා කියන එක ගෙනාවෙ ගෝඨාභය රාජපක්ෂ බලයට ගේන්නනෙ. ඔහු ප්‍රාදේශීය සභාවකවත් හිටිය නැති නිසා සිස්ටම් එක වෙනස් කරන්නනෙ ගෝඨාභය රාජපක්ෂ ගෙනාවෙ. ඒක අත්හදා බැලුවනෙ. දැක්කනෙ මොකද වුණේ නෑ කියල. 225ම එපා කියන්නෙ ලංකාවෙ දේශපාලන ක්‍රියාදාමයම අසාර්ථකයි කියන එක. එහෙම නැතුව 225ම පුද්ගලයො වශයෙන් අසාර්ථකයි කියන එක නෙමෙයි. ඇයි අසාර්ථක වෙලා තියෙන්නේ…? පවුල්වාදයයි, පාදඩ සල්ලියි නිසා සහ ඒ මගින් නඩත්තු වන ජඩමාධ්‍යයි නිසා. ඒක අසමත්. ඒක තමයි තරුණ පිරිස කියන්නෙ. ඒ නිසා පිටින් අය ගෙනාව කියල මේක විසඳෙන්නෙ නෑනෙ.
ප්‍රශ්නය:- තරුණ අරගලය ඇතුළෙ නායකයො බිහිවෙන්න බැරිද?
පිළිතුර:- ඇත්තෙන්ම අරගලය ඇතුළෙ හොඳ නායකයො බිහිවෙයි. ඒ අයට රටේ ඊළඟ පාලනය ලැබිය යුතුයි. හැබැයි ඒ අයට බලය දෙන්න ඉස්සරවෙලා මේ රට ස්ථාවර කරන එක සම්ප්‍රදායික දේශපාලන නායකයින්ගේ වගකීම.
ප්‍රශ්නය:- ඇත්තටම මන්ත්‍රීතුමා රටේ දේශපාලනඥයන් විගණනය කරන්න ඕන බව මේ වන විට සෑම කෙනෙක්ම කියන කාරණයක්. නමුත් විගණනයෙන් හොරු අල්ලන්න පුළුවන්ද?
පිළිතුර:- මට කියන්න බලන්න විගණනයෙන් අල්ලගත් හොරකමක්. අධිවේගී මාර්ගයෙ, වරායෙ එක හොරකමක් හොයාගෙන තියෙනවද? ඒවා විගණනවලට අහුවෙන හොරකම් නෙමෙයි. ඒවා තාක්ෂණික හොරකම්. මහ බැංකු හොරකම වුණත් හෙව්වෙ වෝහාරික විගණනය කරන්න පිටින් ආපු නිසා. ඒ නිසා ලංකාවේ විගණකාධිපති දෙපාර්තමේන්තුව තාක්ෂණික වශයෙන් ශක්තිමත් කරන්න ඕන. විගණන දෙපාර්තමේන්තුව බලන්නෙ ප්‍රසම්පාදන ක්‍රමවේදය විතරයි. තාක්ෂණික ක්‍රමවේද බලන්නෙ නෑ.
ප්‍රශ්නය:- දැන් රටේ තියෙන මතයක් තමයි රාජපක්ෂල හොරකම් කරපුව දීල යන්න කියල. එහෙම හොරකම් කරල තියෙනව නම් ඒවා නැවත අරගන්න ඔබ ජනාධිපති වුණොත් මොනවගේ වැඩපිළිවෙළක්ද තියෙන්නේ…
පිළිතුර:- ඒක දුෂ්කර ක්‍රමවේදයක්. හැබැයි එහෙම ක්‍රමවේද ලෝකයෙ තියෙනව. පැහැදිලිව මේ රටේ පවුල්වාදය නැතිවෙලා, කුසලතාවාදයට මුල්තැන ලැබිය යුතුයි. ඒ වගේම තරුණ පරම්පරාවට මේ රටේ දේශපාලනය හා රාජ්‍ය ආයතන මෙහෙයවීමේ අවස්ථාව ලබාදිය යුතුයි.
ප්‍රශ්නය:- සමගි ජනබලවේගය මේ වෙලාවෙ පාගමනක් යනව. මොකද ඒ ගැන හිතෙන්නේ…
පිළිතුර:- මිනිස්සුන්ගෙ විරෝධය පළ කරන්න පක්ෂවලින් විරෝධතා දැක්වීම වරදක් නෑ.
ප්‍රශ්නය:- ඔබතුමාගෙ පාර්ශ්වයෙන් තමයි ඒ විරෝධතා පෙළපාලිය යන්නෙ. ඔබ ඊට සම්බන්ධ වෙන්නෙ නැද්ද?
පිළිතුර:- රටේ අයිතියක් විරෝධතාවලට එක්වීම. හැබැයි මේ වෙලාවෙ කළ යුතු වෙන්නෙ පාර්ලිමේන්තුව ඇතුළෙ වගකීම් සහගත විදිහට ක්‍රියාකරල අවම වැඩපිළිවෙළකට එකඟවෙලා ඉන්පසු මැතිවරණයක් පැවැත්වීම. එයයි අපේ වගකීම විය යුත්තේ.
ප්‍රශ්නය:- ඔබට ඒ වැඩපිළිවෙළේ නායකත්වය ගන්න කියල පාර්ලිමේන්තුවෙන් කිව්වොත් සූදානම්ද?
පිළිතුර:- ඔව්… අපට යම් වගකීමක් දුන්නොත් ඒක ඉටුකරන්න අපි සූදානම්. ඒකට බැඳිල ඉන්නව හැම පක්ෂයකම.
● සාකච්ඡා කළේ:-
සිරිමන්ත රත්නසේකර