අපි මේ අර්බුද පාලනය කරගෙන යන්නේ…ඉක්මනට රටට හොඳ කලක් යයි – විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ

151

දෛනික ජන ජීවිතය සඳහා විදුලි බලය අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වී ඇත. එම පසුබිම තුළ විදුලි බලය කප්පාදු කිරීම නිසා ඇතිවන තත්ත්වය පිළිබඳව අමුතුවෙන් සඳහන් කළ යුතු වන්නේ නැත. එසේ වුවද පසුගිය දින කිහිපයකදී විදුලිය කප්පාදු කිරීම සිදුවිය. එසේම ඉදිරියේදී ද විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව වාර්තා වේ. එබැවින් අප ඒ පිළිබඳව විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගෙන් විමසා සිටියෙමු. විදුලිය කැපීමට සිදුවූ හේතු සාධකයන් පිළිබඳව මෙන්ම ඉදිරියේ දී විදුලිය කැපීමට සිදුවන්නේ ද යන්න පිළිබඳව ඇමැතිවරයා පළ කළ අදහස් මෙසේය.

ප‍්‍රශ්නය – ඔබ විදුලිබල ඇමැතිවරයා ලෙස පසුගිය දිනවල දී දිගින් දිගටම ප‍්‍රකාශ කළා විදුලිය කැපීමක් සිදු නොකරන බව. නමුත් පසුගිය දිනවලදී දිගින් දිගටම විදුලිය විසන්ධි වීම් සිද්ධ වූවා. ඒ ආකාරයට විදුලිය විසන්ධි වීම් සිද්ධ වූයේ කෙසේද?

පිළිතුර – අපි අපේක්ෂා කරන්නේ රටේ විදුලිය විසන්ධි කිරීමකින් තොරව පවත්වාගෙන යන්න. එම අපේක්ෂාවෙන් තමයි එම ප‍්‍රකාශ කළේ. නමුත් නොවැළැක්විය හැකි හේතුවක් නිසා තෙල් සංස්ථාවෙන් අපේක්ෂා කළ ආකාරයට ඉන්ධන නොලැබීම නිිසා විදුලිය විසන්ධි කිරීමට සිද්ධවූවා. එම නිසා තමයි පැය එකහමාරක් වැනි කාලයක් විදුලිය ලබාදීමට නොහැකි වූයේ.

විදුලිය විසන්ධි විය හැකි කාල සටහනක් පිළිබඳව ජනතාව දැනුවත් කළේ විදුලිය විසන්ධි කිරීමට සිද්ධ වුවහොත් ජනතාව ඒ පිළිබඳව කල් වෙලා ඇතිව දැනුවත් වියයුතු නිසා. ඒ ආකාරයට ජනතාව දැනුවත් කළත් පසුගිය දින කිහිපයක දීම විදුලිය විසන්ධි කළේ නැහැ.

ප‍්‍රශ්නය — මෙම අර්බුදකාරී තත්ත්වය තවදුරටත් කොතරම් කාලයක් පවතීවිද?

පිළිතුර — මේ දිනවල අපි ලංකාවටම විදුලිය ලබාදුන්නේ ගල්අඟුරු සහ ජල විදුලි බලයෙන්. මේ වන විට අපගේ එක් ගල් අඟුරු බලාගාරයක් අකි‍්‍රය තත්ත්වයට පත්වී තිබෙනවා. එය ඉක්මනින්ම යථා තත්ත්වයට පත් කළ හැකි බව ඉංජිනේරු මහතුන් විසින් ප‍්‍රකාශ කරලා තිබෙනවා. එම බලාගාරයේ ධාරිතාව පද්ධතියට එක්වූ පසු මෙම අර්බුදය අවසන් වනවා.

ප‍්‍රශ්නය — බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කර තිබෙනවා විදුලිය උත්පාදනය සඳහා ඉන්ධන ලබාදුන්නොත් ප‍්‍රවාහනය සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමට නොහැකි වන බව. එම නිසා මීට වඩා අර්බුදකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බවත් ඒ මහතා ප‍්‍රකාශ කර තිබෙනවා. එම අදහස පිළිබඳව ඔබගේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර – – එම කාරණා පිළිබඳව දෙපාර්ශ්වයම සාකච්ජා කරලා සමතුලිත තාවකින් යුතුව ඉදිරියේ දි කටයුතු කිරීමට අපි තීරණය කරලා තිබෙනවා. එම නිසා එහෙම ගැටලූවක් මතුවන්නේ නැහැ.

ප‍්‍රශ්නය — විදුලි පාරිභෝගිකයන් නිසි වෙලාවට විදුලි බිල් නොගෙවීමත් මෙම අර්බුදකාරී තත්ත්වයට හේතුවක් වී ඇති බවත් පැවසෙනවා. එම ප‍්‍රකාශ වල සත්‍යතාවක් තිබෙනවා ද?

පිළිතුර – – ඇත්ත වශයෙන්ම අපි කොවිඞ් වසංගතය නිසා රට වසා පැවති කාලයේදී විදුලි බිල් ගෙවීම සඳහා සහනයක් ලබාදුන්නා. අපට විදුලි බිල් වලින් රුපියල් බිලියන 44 ක් පමණ අයවිය යුතුව තිබෙනවා. සහනයක් විධියට අය නොනළ බිල් දැන් අපට අය කර ගැනීමට සිද්ධ වී තිබෙනවා. දැන් අපි ඒ සඳහා කටයුතු කරමින් සිටිනවා.

ප‍්‍රශ්නය — තෙල් ලබාගැනීම සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක් ලැබුණු බවත් එම මුදල මාස එකහමාරක කාලය සඳහා ප‍්‍රමාණවත් බවත් පැවසෙනවා. ඒ කියන්නේ එම කාලයෙන් පසුව යළිත් අර්බුදයක් ඇති වන බවද?

පිළිතුර — එම මුදලින් මාස එකහමාරක් දෙකක් වැනි කාලයක් සඳහා තෙල් සපයාගන්න පුළුවන් වේවි. ඒ වගේම මේ වන විට එන්නත්කරණය නිසා කොවිඞ් වසංගත තත්ත්වය යම් පාලනයකට නතුවී තිබෙනවා. එම තත්ත්වය තුළ අපි සංචාරක ව්‍යාපාරය පිළිබඳව බලාපොරොත්තු තබාගෙන සිටිනවා. කොවිඞ් වසංගතය ඇතිවීමට පෙර සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණු ආදායමෙන් භාගයක් හෝ මෙම අවස්ථාවේදී ලැබුනොත් එම ආදායමෙන් මෙම තත්ත්වය පාලනය කරගැනීමට පුළුවන් වනවා.

ප‍්‍රශ්නය — පෙබරවාරි මාර්තු යන මාසවලදී ජලවිදුලිය සැපයීමට දායක වන ජලාශවල ජල මට්ටම පහළ යනවා. එම තත්ත්වය අඛණ්ඩ විදුලිය සැපයුම කෙරෙහි මොන ආකාරයකට බලපාවි ද?

පිළිතුර — ඔය හේතුව නිසාම මහවැලි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සමග අපි කල්වේලා ඇතිවම සාකච්ඡා කළා. එහිදී එකඟතාවකට ආවා ලබන අපේ‍්‍රල් දක්වා මේ ආකාරයටම ජලය සැපයීමට.

ප‍්‍රශ්නය — බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කර තිබෙනවා දිනකට පැය එකහමාරක් විදුලිය නොකැපුවහොත් ලබන මාසයේදී රටම අඳුරු විය හැකි බව. එම යෝජනාව පිළිබඳව ඔබගේ අදහස කුමක් ද?

පිළිතුර — අපි දැන් විදුලි ඉංජිනේරු මහත්වරුන් සමග සාකච්ජා කරමින් සිටින්නේ ඒ ආකාරයට විදුලිය නොකපා අඛන්ඩව විදුලිය ලබාදෙන්නේ කෙසේද කියන කාරණය පිළිබඳව තමයි.

ප‍්‍රශ්නය — මෙගාවොට් 300 ක විදුලි ජනන යන්ත‍්‍රයක් දින 48 ක් තිස්සේ අකි‍්‍රයව පවතින බව වාර්තා වනවා. මෙබඳු අර්බුදකාරි තත්ත්වයකදී එම යන්ත‍්‍රය කඩිනමින් යථා තත්ත්වයට පත් කළ යුතු වුවත් මේ ආකාරයට ප‍්‍රමාද වීමට හේතුව කුමක්ද?

පිළිතුර — එම යන්ත‍්‍රය හදිසියේම අකි‍්‍රය වී තිබෙනවා. එම යන්ත‍්‍රය මේ වන විට යථා තත්ත්වයට පත්කරමින් සිටිනවා. 25 වැනිදා වන විට එම යන්ත‍්‍රය කි‍්‍රයාත්මක කළ හැකි බව පවසා තිබෙනවා.

ප‍්‍රශ්නය — තමන් සඳහන් කළ ආකාරයට විදුලි පද්ධතියට නව උත්පාදන බලවේගයන් එක් නොකිරීම නිසා වත්මන් අර්බුදය ඇති වී ඇති බව විදුලි ඉංජිනෙරුවන් ප‍්‍රකාශ කරනවා. එම චෝදනාව පිළිබඳව සඳහන් කිරීමට තිබෙන්නේ කුමක් ද?

පිළිතුර — අද වන විට කප්පාදුවකින් තොරව විදුලිය සපයන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේදී ගල් අඟුරු

බලාගාරය හදපු නිසා තමයි. ඊට පසුව කි‍්‍රයාත්මක කළ යුතුව තිබුණු ව්‍යපෘති පසුගිය යහපාලන ආණ්ඩු කාලයේදී කි‍්‍රයාත්මක නොකළ නිසා විශාල අර්බුදයක් ඇති වී තිබෙනවා. එම කාලයේ දී සැම විටම උත්සාහ කළේ පුද්ගලික අංශයෙන් විදුලිය මිලයට ගන්න. අපි පුද්ගලික අංශයෙන් විදුලිය මිලයට ගැනීම නවතා දමා තිබෙනවා. බැරිම වුණොත් තමයි අපි පුද්ගලික අංශයෙන් විදුලිය මිලයට ගන්නේ. කාලය අවසන් වූ පුද්ගලික අංශය සමග අත්සන් කර තිබූ ගිවිසුම්වල කාලය අපි දීර්ඝ කළේ නැහැ. අපේ පැත්තෙත් එවාට අනුබල දෙන අය සිටිනවා. ඔවුන් විදුලිය කපන්න වේව් කියලා නොයෙකුත් කතන්දර කියනවා. නමුත් අපි උත්සාහ කරන්නේ මෙම කටයුත්ත රටට ලාබදායී ලෙස කරන්න.

ප‍්‍රශ්නය — අතීතයේ දී විදුලි බල සහ බලශක්ති යන ක්‍ෂේත‍්‍ර දෙක සඳහා එක් අමාත්‍යාංශයක් පැවතියා. මේ වන විට ඒ සඳහා අමාත්‍යාංශ දෙකක් පවතිනවා. එම කාරණයත් වත්මන් අර්බුදයට හේතුවක් බව සමහරුන් පවසනවා. එබඳු ගැටලූවක් පවතිනවාද?

පිළිතුර — එහෙම ප‍්‍රශ්නයක් නම් නැහැ. මොකද බලශක්ති ඇමැතිවරයා ලෙස කටයුතු කරන්නේ අපේ සහෝදර ඇමැතිවරයෙක්නේ. අපි කටයුතු කරන ආකාරය අනුව එහෙම ගැටලූවක් මතුවන්නේ නැහැ.

සාකච්ජා කළේ –
එරික් ගාමිණි ජිනපි‍්‍රය

advertistmentadvertistment
advertistmentadvertistment