අපි රජයෙන් සහන ඉල්ලන්නේ නෑ – දේශීය කර්මාන්තවලට අමුද්‍රව්‍ය ගන්න රජයේ සහාය ඕනෑ

135

ලංකා රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති එස්. එම්. ඞී. සූරියකුමාර

අපේ නිෂ්පාදනවලට දේශීය අමුද්‍රව්‍යයත් යොදා ගන්නවා

කොවිඞ් කාලයේ කර්මාන්ත කරන්න රජය ඉඩදීම ලොකු අස්වැසිල්ලක්

කර්මාන්ත කරන්න බැරි වුණොත් ඒක රජයට බරක් වෙනවා

අපට ඕන මේ වෙලාවේ ලාභ නැතත් ව්‍යාපාර පවත්වාගෙන යන්නයි

ඩොලර් ප‍්‍රශ්නයට ඉක්මන් විසඳුමක් නැති බව අප දන්නවා

විශේෂයෙන් දේශීය වශයෙන් ආහාර වර්ග නිෂ්පාදනය කරන කර්මාන්තකරුවන්ට තම නිෂ්පාදන කටයුතු කරගෙන යෑමට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට ක‍්‍රමයක් සකස් කරදෙන ලෙස ලංකා රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති එස්.එම්.ඞී. සූරියකුමාර මහතා රජයෙන් ඉල්ලීමක් කරයි. එසේම මේ මොහොතේ දේශීය ආහාර සහ රසකැවිලි නිෂ්පාදකයන් රටේ ඇති විදේශ විනිමය හිඟය හමුවේ මුහුණ දී සිටින අපහසුතා ගැන ද අපි සූරියකුමාර මහතාගෙන් ප‍්‍රශ්න කළෙමු. පහතින් සටහන් වන්නේ ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ ඇසූ ප‍්‍රශ්නවලට ඒ මහතා පිළිතුරු දුන් අයුරුයි.

ප‍්‍රශ්නය – විදේශ විනිමය ප‍්‍රශ්නය මේ රටේ කර්මාන්ත රැසකට අහිතකර බලපෑම් ඇති කර තිබෙනවා. මේ නිසා ඔබේ කර්මාන්ත ක්ෂේත‍්‍රයට ඇති වී ගැටලූ මොනවා ද?

පිළිතුර – මේ රසකැවිලි නිෂ්පාදකයින් මේ දවස්වල ගැටලූ රැසකට මුහුණ දෙමින් සිටිනවා. විශේෂයෙන්ම ලොකුම ගැටලූව තියෙන්නේ අපිට අවශ්‍ය ප‍්‍රධාන අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමේ දී ඇති වී තිබෙන අපහසුතාවය. විශේෂයෙන්ම අපේ සාමාජිකයෝ හැමෝම පසුගිය වසර දෙකේම මේ බරපතළ කොවිඞ් ව්‍යසනය වෙලාවේ අපි තමා එකම එක වියළි ආහාර ද්‍රව්‍යයක් ලෙස විශාල වියදමක් දරාගෙන නිෂ්පාදනය කරලා මොනයම් හේතුවක් නිසාවත් වෙළෙඳපොළට අවශ්‍ය අපගේ නිෂ්පාදන කිසිසේත්ම අඩුවක් වෙන්න ඇරියේ නැහැ. විශේෂයෙන්ම කොවිඞ් කාලය තුළ දී බහුතරයක් පාරිභෝගිකයින්ට විශ්වාසයෙන්. සෞඛ්‍යාරක්ෂිතව නිෂ්පාදනය කරන කෑමක් හැටියට ගොඩක් වෙලාවට පාවිච්චි කරන්න වෙලා තිබුණේ බිස්කට්.

අනිත් එක තමයි කොවිඞ් නිසා බොහොම දරුණුවටම රට වහල තියෙන කාලෙත් සියලූම ආහාර නිෂ්පාදනය කරන අනෙකුත් බේකරි, හෝටල්, පොඩි පොඩි කෑම වර්ග නිෂ්පාදනය කරන ආයතන ඔක්කොම වහල තිබුණත් අපි විශේෂ පරිශ‍්‍රමයක් දරල, විශේෂ වියදමක් දරල අපේ නිෂ්පාදන කටයුතු කරලා අපේ පාරිභෝගිකයන්ට අපේ නිෂ්පාදන ලැබෙන්න සැලස්සුවා. මොකද හේතුව අපි හිතුව මේ වෙලාවේ ඒක අපේ රටට කරන යුතුකමක්, සේවයක් සහ අපෙන් විය යුත්තක් කියල. පසුගිය වසර දෙකේම අපි ඇත්තටම අපේ සාමාජිකයන් සියලූ දෙනාම බොහොම කැපවීමෙන් ඒ නිෂ්පාදන කටයුතු කළා.

ප‍්‍රශ්නය – දැන් තත්ත්වය කොහොමද?

පිළිතුර – ඔව් ඒ කාලවකවානුවට වැඩිය දැන් අපිට අමුද්‍රව්‍ය සොයා ගැනීමට ලොකු ප‍්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. අපි දන්නවා මේ ව්‍යසනය නිසා ලෝකයේ හැම රටකම ප‍්‍රශ්න තියෙනවා. ඒකෙදි අපි දන්නවා රජයටත් අපහසුතා තියෙනවා. ඒ නිසා අපෙත් ඒකායන අරමුණ මේ අවස්ථාවේ කොහොම හරි ලාභ නැතත් ව්‍යාපාරය කරගෙන යාම. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා තව අවුරුද්දකින් විතර මේක හරි යයි කියල. ඒ නිසා අපේ සාමාජිකයෝ හැමෝම අපිට පුළු පුළුවන් විදියට කටයුතු කරනවා. අපි එකිනෙකාට උදව් කරගන්නවා. මන්චි එක මැලිබන් එකට උදව් කරනවා. මැලිබන් එක මන්චි එකට උදව් කරනවා. ඒ වගේ අපේ සාමාජිකයෝ අතරත් අපි උදව් කරගන්නවා. තව කෙනෙකුට අමුද්‍රව්‍ය නැත්නම් අපි එයාට උදව් කරගෙන අපි ඔක්කොම කර්මාන්තයක් හැටියට එකට වැඩකටයුතු කරගෙන යන වේදිකාවක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වුණත් දැන් වෙනකොට අපිට බලපාල තියෙන ලොකුම ප‍්‍රශ්නය විදේශ විනිමය හිඟය. ඩොලර් නෑ අපේ අමුද්‍රව්‍ය නිදහස් කරගන්න. මේ වෙලාවේ ලාභයට වඩා අපිට ඕන වෙලා තියෙන්නේ වහන්නේ නැතුව අපේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නයි. ඇත්තටම අපි සතුටින් ප‍්‍රකාශ කරන්න ඕන. මොනයම් හේතුවක් නිසාවත් කොපමණ අඩුපාඩුකම් ආවත් අපේ එකම නිෂ්පාදන ආයතනයක්වත් අද වෙනකම් නිෂ්පාදන කටයුතුවලින් බැහැර වෙලා නැහැ.

ප‍්‍රශ්නය – ඔබගේ සංගමයේ සාමාජිකයින් කී දෙනෙක් ඉන්නවා ද?

පිළිතුර – 28 දෙනෙක් ඉන්නවා.

ප‍්‍රශ්නය – එතකොට දැන් ඔබලාට තියෙන්නේ අමුද්‍රව්‍ය සපයා ගැනීමේ ප‍්‍රශ්නය?

පිළිතුර – බරපතළ ලෙසම අපේ ප‍්‍රශ්නය වෙලා තියෙන්නේ එයයි. ඇත්තටම අපි දන්නවා ආණ්ඩුවත් අපහසුතාවෙන් ඉන්නේ කියල. නමුත් අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන්නේ. මේක විශේෂයෙන්ම දේශීය කර්මාන්තයක් නිසා අපිට අපේ අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට සහය දෙන්න කියලයි. අනිත් එක අපේ සේවකයෝ සාමාන්‍යයෙන් ගත්තොත් ඔක්කොම පනස් දහසක් විතර වැඩ කරනවා. එසේම අපේ කර්මාන්තය නිසා තව ලක්ෂ පහකට විතර වක‍්‍ර ලෙස රස්සා හමුවෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපි පසුගිය වසර පහ විතර තුළ මම හිතනවා බිලියන දහයක් විතර අපේ සාමාජිකයෝ අපේ නිෂ්පාදන තත්ත්වය, ප‍්‍රමාණ සහ අලූත් තාක්ෂණය සඳහා නැඹුරු වීමට ආයෝජනය කරලා තියෙනවා. ඒව හුඟක් වෙලාවට අපි ණය අරන් කරලා තියෙන්නේ. ඒව
ගෙවීමටත් තියෙනවා. ඒ නිසා කොහොම හරි මේ අවුරුද්ද කරගෙන යන්න රජයෙන් යම් සහයක් තමයි ඕන. අපි සහන ඉල්ලන්නේ නැහැ. අපි කිසිම වෙලාවක අපිට බදු අඩු කරලා දෙන්න හරි අපි මොනවත් සහන ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලන්නේ අපට අවශ්‍ය මේ අමුද්‍රව්‍ය ටික ගෙන්වා ගන්න ක‍්‍රමයක් හදල දෙන්න කියලයි.

ප‍්‍රශ්නය – ගෙනාවත් ඒවා වරායේ හිර වෙලා ප‍්‍රමාද ගාස්තු ගෙවන්නත් වෙනවා?

පිළිතුර – ඒ සියල්ල අපි විඳ දරාගෙන ඉන්නේ. හේතුව අපි මේ ප‍්‍රශ්නේ තේරුම් අරගෙනනේ ඉන්නේ. ඒ ප‍්‍රශ්නෙට විසඳුම් හොයනවා මිසක් අපි කාටවත් චෝදනා කරලා, ඇඟිලි දික් කරලා මේ ප‍්‍රශ්නේ විසඳගන්න නෙවෙයි අපි උත්සාහ කරන්නේ. අපි හොඳටම දන්නවා අපිට විතරක් නෙවෙයි ප‍්‍රශ්න තියෙන්නේ. අපි හොඳටම දන්නවා මේ කොවිඞ් වසංගතය නිසා අනිත් රටවලත් නිෂ්පාදන අඩු වෙලා තියෙන්නේ. ඒ තුළ මිල වැඩි වෙලා තියෙනවා. නිෂ්පාදන කරන ප‍්‍රමාණ අඩු වෙලා තියෙනවා. ඒවා ඉතිං ලෝකේ පුරාම තියෙන පොදු ප‍්‍රශ්න.

ප‍්‍රශ්නය – මේ තත්ත්වය ලෝකෙටම අඩු වැඩි වශයෙන් බලපාල තියෙනවා.?

පිළිතුර – බලපාල තියෙනවා. ඒක අපිටත් බලපාල තියෙනවා. අපේ නිෂ්පාදන සඳහා වැඩිම අවශ්‍ය අමුද්‍රව්‍ය තමා පිටි, සීනි සහ එළවළු තෙල්. විශේෂයෙන් චොකලට් වගේ දේවල් හදන්න අවශ්‍ය විශේෂ ෆැට් වර්ග අපේ ලංකාවේ නිෂ්පාදනය කරන්නේ නෑ. ඒකට කියන්නේ කොකෝ බටර් සබ්ස්ටිටියුට් කියල. ඒවා ලංකාවේ නිෂ්පාදනය කරන්නේ නෑ. ඒවා ගේන්නම ඕන.

ප‍්‍රශ්නය – ඔබ කියන්නේ අමුද්‍රව්‍ය නිසි කලට වෙලාවට සපයාගන්න බැරි වුණොත් නිෂ්පාදන ක‍්‍රියාවලියට බාධාවක් වෙනවා?

පිළිතුර – අනිවාර්යෙන්ම. මේක වක‍්‍රානුකූලව ඊළඟට රජයට බලපාන්නේ. අපි නිෂ්පාදනය නවත්තපු ගමන් අපිට සිද්ධ වෙනවා සේවකයන්ගේ අඩු කිරීම් සහ පඩි අඩු වීම් කරන්න. එවිට මේක වක‍්‍රානුකූලව රජයට බරක් වෙනවා. උදාහරණයක් හැටියට දැන් අපේ පනස් දහසක් වැඩ කරනව. දවස් පහක් වැඩ කරන එක දවස් තුනකට විතර අඩු කරා කියල හිතමු. එතකොට සේවකයන්ගේ පඩි නඩි, අතිකාල දීමනා ඔක්කොම අඩු වෙනවා. එවිට ඒක රජයට බරක් වෙන්නේ.

ප‍්‍රශ්නය – ඒවගේම රටේ නිෂ්පාදන ක‍්‍රියාවලියටත් අහිතකර බලපෑමක් වෙනවා?

පිළිතුර – අනිවාර්යෙන්ම. මම හිතනවා ලංකාවේ සියයට සියයක්ම කිසිම විදේශ සමාගමකට රුපියලකවත් ආයෝජනයක් නැතුව දුවන එකම එක කර්මාන්ත අංශය මෙය කියල. සියලූම අපේ සාමාජිකයන් ලංකාවේ. ලංකාවේ සල්ලිවලින්ම තමයි ආයෝජනය කරලා තියෙන්නේ.

ප‍්‍රශ්නය – ව්‍යාපාරික කුලතුංග රාජපක්ෂ මහතා යෝජනා කරල තිබුණ අත්‍යවශ්‍ය භාණ්ඩවලට වගේ කර්මාන්තවලට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යවලටත් විදේශ විනිමය ලබා දී ඒවා ඉක්මනට වරායෙන් මුදා ගන්න ක‍්‍රමයක් හදන්න කියල.?

පිළිතුර – අපේ නිෂ්පාදනත් අත්‍යවශ්‍ය භාණ්ඩ නොවුණට දැන් ලංකාවේ පාරිභෝගිකයන්ට සාමාන්‍ය ආහාරයක් බවට පත් වූ දෙයක්. ඒකට හේතුව තමයි අපේ නිෂ්පාදන අපි හදන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් දීල තියෙන උපදේශ සහ නිසි ප‍්‍රමිති අනුවයි. ඒ නිසා මොනයම් හෝ හේතුවක් නිසා පාරිභෝගිකයන්ට අහිතකර නිෂ්පාදනයක් අපි හදන්නේ නැහැ. එතකොට අත්‍යවශ්‍ය භාණ්ඩයක් නොවුණත් විශේෂයෙන්ම කොවිඞ් කාලේ කොවිඞ් හැදුණු ළමයි බත් කෑවේ නැහැ. කන්න බෑ, රස දැනෙන්නේ නෑ. අපට සෞඛ්‍ය අංශවලින්ම ඉල්ලීමක් තිබුණ. මේ ළමයි බත් කන්නේ නෑ. ඒ නිසා ලෙඬේ තව තව බරපතළ වෙනවා. ඒ නිසා අපේ බිස්කට් ටිකක් ගෙනත් දෙන්න කියල. අපි ඒ බිස්කට් භාර දුන්නම. සෑහෙන්න ළමයි ඒවා කාල තිබුණ. ඒවායින් ඒ අයට අවශ්‍ය පෝෂණය ලැබුණ.

මේ නිසා නිෂ්පාදන ක‍්‍රියාවලිය හැම පැත්තෙන්ම රටක ආර්ථිකයට බලපානවා. එතකොට මේ නිෂ්පාදන ක‍්‍රියාවලියට අවශ්‍ය අමුද්‍රව්‍ය තමයි ඕන. මොකද ගේන අමුද්‍රව්‍යවලට ආපහු අපි සියයට 60 ක පමණ අගය එකතු කිරීමක් කරනවා. ඒ අගය එකතු කරලා තමයි නිෂ්පාදනය අපි පාරිභෝගිකයන්ට දෙන්නේ. ඒකෙන් අපි රජයට බදු ගෙවනවා. විදේශ විනිමය ගේනවා. අපි රටවල් 55 කට අපේ භාණ්ඩ අපි අපනයනය කරනවා.

ප‍්‍රශ්නය – ඔබේ සංගමයේ සාමාජිකයන් පමණක්?

පිළිතුර – ඔව් සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 100 ක විතර භාණ්ඩ අපනයනය කරනවා. ඒ අපේ ආයතන ඔක්කොම එකතුව.

ප‍්‍රශ්නය – අමුද්‍රව්‍ය ප‍්‍රශ්නය නිසා භාණ්ඩ අපනයනය කරන්නත් ගැටලූ මතු වෙලා තියෙනවා ද?

පිළිතුර – අමුද්‍රව්‍ය ප‍්‍රශ්නේ නිසා අපේ අපනයන ඇණවුම් අපට වෙලාවට දී ගන්න බැරි කමක් තියෙනවා.

ප‍්‍රශ්නය – ඔබ සංගමය තේරුම් අරන් තියෙනවා කොවිඞ් වසංගතය නිසා රජයටත් ප‍්‍රශ්න තියෙනවා. වෙනත් රටවලත් ප‍්‍රශ්න තියෙනවා. එසේ නම් අමුද්‍රව්‍ය ප‍්‍රශ්නයට ඔබලා රජයෙන් කරන ඉල්ලීම කුමක් ද?

පිළිතුර – අපි රජයෙන් බොහෝ දුරට ඉල්ලීම් කරලා තියෙනවා. රජයටත් මේ වෙලාවේ මොන සහනය දුන්නත් ඩොලර්වලට සහනයක් දෙන්න බැරිකමක් තියෙන බව හොඳටම පේනවා. මම දන්නේ නෑ කොයි විදියට අප වෙනුවෙන් ඒ සඳහා රජයට උදව් කරන්න පුළුවන් වෙයිද කියල. අපට ඉල්ලීමක් කරන්න තමයි පුළුවන්. නැත්නම් මම කලින් කිව්වා වගේ වක‍්‍රානුකූලව මේක රජයටම බරක් වෙනවා.

අපි රජයෙන් සහන ඉල්ලන්නේ නෑ - දේශීය කර්මාන්තවලට අමුද්‍රව්‍ය ගන්න රජයේ සහාය ඕනෑ

සාමාන්‍යයෙන් නිෂ්පාදනයක් නොකර ටේ‍්‍රඩින් බිස්නස් එනම් වෙළෙඳාම පමණක් කරන අය ඉන්නවා. භාණ්ඩ එහෙන් ගෙනල්ල මෙහේ වෙළෙඳපොළට බෙදා හරිනවා. එතකොට ඒ අයට සේවකයෝ නෑනේ. අනිත් වියදම් මොනවත් නෑ. නිෂ්පාදන ක‍්‍රියාවලියක් නැහැ. ඒ අය පිටරටින් භාණ්ඩ ගෙනත් බෙදා හරිනවා විතරනේ. ඒ අයට බඩු ආවේ නැත්නම් සේවකයෝ හතරයි නැවැත්තුව හිටියා. කඩවලට කියනව බඩු ආවේ නෑ කියල. ඒත් අපට එහෙම බෑනේ. අපට ස්ථිර සේවකයෝ ඉන්නවා. මැෂින්වලට ලොකුවට ණය අරගෙන ආයෝජනය කරලා තියෙනවා. ඒවගෙන් අපට අයින් වෙන්න ලේසි නෑ. ඒ නිසා නිෂ්පාදන ක‍්‍රියාවලිය යන්න ඕන. ඒ නිසා මොනවා හරි කරලා රටේ නිෂ්පාදනයට රජයෙන් යම් කිසි සහයක් දෙන්න ඕන. එනම් නිෂ්පාදන ක‍්‍රියාවලිය අඛණ්ඩව කරගෙන යන්න මොනවා හරි වැඩපිළිවෙළක් සාකච්ඡා කරලා අපට හදල දෙන්න.

ප‍්‍රශ්නය – එහෙම නැති වුණොත් වෙන්නේ කර්මාන්ත කරගෙන යන්න බැරි වීම?

පිළිතුර – ඔව්. එතකොට වෙන්නේ රජය අපහසුවට පත් වෙන එක. අපට මේ වෙලාවේ ප‍්‍රශ්න තිබුණට අප උත්සාහ කරනවා අපේ අපනයන වැඩි කරගන්න. එතකොට තමයි අපට වැඩිපුර ඩොලර් ටිකක් ලැබෙන්නේ. අපනයන වැඩි කරගන්න අපි ප‍්‍රමුඛතාව දීල තියෙනවා. ඊට අමතරව අපි උත්සාහ කරනවා ඇත්තටම පුළුවන් තරම් දේශීය දේවල් අරගෙනත් අපේ නිෂ්පාදනය කරන්න. ඒ අනුව ගොඩක් වෙලාවට සහල්, තිරිඟු, සෝයා පොල්තෙල් වැනි දේශීය අමුද්‍රව්‍ය කොහොම හරි භාවිතා කරන්නත් අපි උත්සාහයක් දරනවා.

ප‍්‍රශ්නය – ඔබ සංගමයේ ඉන්න සාමාජිකයන්ගේ ප‍්‍රධාන නිෂ්පාදන වර්ග මොනවාද?

පිළිතුර – බිස්කට් වර්ග, චොකලට් වර්ග, අයිස් ක‍්‍රීම්, කේක්, කුකීස්, ස්නැක් වර්ග, මාස් මෙලොව්ස්, ජුජුබ්ස්, ටොෆි වර්ග සහ අනෙකුත් සියලූම රස කැවිලි වර්ග යනාදී වශයෙන් අපේ නිෂ්පාදන වර්ග සඳහන් කරන්න පුළුවන්.

ප‍්‍රශ්නය – ණයවර ලිපි විවෘත කිරීමේ ගැටලූව දැන් කොහොම ද?

පිළිතුර – බරපතල විදියට තියෙනවා. අපි ඒ වුණාට පුළු පුළුවන් විදියට අපේ අපනයනවලින් ලැබුණු ඩොලර් භාවිතා කරලා එල්සී ඇරගෙන අමුද්‍රව්‍ය ගෙන්වාගෙන තියෙනවා. විශේෂයන්ම අපිත් එක්ක ගනුදෙනු කරපු අපේ විදේශීය සපයන්නන්ගෙන් අපි ගොඩක් ණය පහසුකම් අරන් ආනයනය කරගෙනත් තියෙනවා. මේ නිසා පසුගිය වසර දෙකේ අපි අපේ ඩොලර් භාවිත කරලා. එසේම තියෙන සම්බන්ධතා භාවිතා කරලා අමුද්‍රව්‍ය සපයා ගත්තා. දැන් හැබැයි මේ වන විට අපට ඒවත් අමාරුම තත්ත්වෙට ඇවිත් තියෙන්නේ. සාමාන්‍යයෙන් ණයවර ලිපි විවෘත කරගන්න පෝලිමේ ඉන්න වෙනවා. සමහර විට මාසයක් වෙන්න පුළුවන්, දවස් 45 ක් වෙන්න පුළුවන්. ඒ වගේ තියෙනවා. වරායට එන භාණ්ඩ නිදහස් කරගන්නත් එක එක්කෙනාට එක එක විදියට ප‍්‍රමාදයන් තියෙනවා. සමහර අයට සති දෙකක් යනවා. තවත් අවස්ථාවල මාසයක් හෝ දවස් 45 ක් ගිහින් තියෙනවා. ඒ බැංකුවේ සහ ඒ අයගේ අවශ්‍යතාව මත ගේන අමුද්‍රව්‍ය නිදහස් කර ගැනීමේ ප‍්‍රමාදයක් තියෙනවා.

ප‍්‍රශ්නය – පසුගිය දා ජනාධිපතිතුමාගේ සාකච්ජාවක දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තමයි එතන වැඩි අවධානය යොමු වෙලා තිබුණේ. එහිදී අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ලබා දෙන්න බැසිල් රාජපක්ෂ ඇමැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් දාල තිබුණ. ව්‍යාපාරික කුලතුංග රාජපක්ෂ මහතා ඉල්ලල තිබුණ කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශය මත අමුද්‍රව්‍ය නිදහස් කරගන්න ප‍්‍රමුඛතාවක් දෙන්න කියල?

පිළිතුර – ඔව්. මේ සඳහා රජයටම දොස් නොකිය කර්මාන්ත අමාත්‍යාංශය මේකට මැදිහත් වෙලා මේ සඳහා ක‍්‍රමවේදයක් හදල සහනයක් දෙන්න කියල තමයි අපි ඉල්ලන්නේ. කර්මාන්ත පවත්වාගෙන යන්න අමුද්‍රව්‍ය සපයා ගන්න ප‍්‍රමුඛතාවක් දෙන්න කියල. අපේ ආර්ථිකය සම්පූර්ණයෙන් තියෙන්නේ කර්මාන්ත තුළින්නේ. අපි දන්නේ නෑ රටට කොහොම එනවා ද කියල. ඒත් රටට ඇපල්, දොඩම්, මිදි ඔක්කොම එනවනේ. දැන් මහ බැංකු අධිපතිතුමා කියනව ගිය වසරට වඩා මේ වසරේ භාණ්ඩ ආනයනය කරලා තියෙනවා කියල. අපි දන්නේ නෑ ඒ කොහොම ද කියල. ඒත් අපට නම් අපේ අමුද්‍රව්‍ය ආනයනය කරගන්න අමාරුවක් තියෙනවා. මේ නිසා ඇතැම් අය වැඩි මිලට ඩොලර් ගැනීමටත් යොමු වෙනවා.

අපි ප‍්‍රශ්නය තේරුම් අරන් තියෙන්නේ. අපි දන්නවා මේ ප‍්‍රශ්නෙට ආණ්ඩුවට ඉක්මන් විසඳුමක් දෙන්නත් බෑ. හැබැයි ටික ටික හරි යම් විසඳුමක් දුන්නේ නැති වුණොත් වෙන්නේ කඩාම වැටිලා යනවා. එතකොට ආයි ගොඩ ගන්න බෑ.

ප‍්‍රශ්නය – ඇතැම් ව්‍යාපාරිකයන් යෝජනා කරනවා රුපියල පා වෙන්න අරින්න කියල?

පිළිතුර – අපිත් කියන්නේ පා වෙන්න අරින්න. මේක පා වෙන්න ඇරියම මාස කිහිපයක් ඇතුළත සෙට්ල් වෙයි. මේක දැන් පා වෙන්න අරින්නේ නැති එක තුළ රජයේ තියෙන සංචිත භාවිතා කරන්නත් වෙනවා ඒක බැලන්ස් කර ගන්න. අනිත් එක ඩොලර් ඔය මිලට තිබ්බට කොහෙවත් ගන්න නෑනේ. ඒ නිසා අපි කියන්නෙ මේක ඇත්තටම පා වෙන්න අරින්න. එකපාරටම යම් කිසි අර්බුදයක් එයි. ඒත් මාස තුනක් යනකොට යම් කිසි තැනකට එයි.

ප‍්‍රශ්නය – සංගමය ලෙස ඔබගේ ප‍්‍රශ්න ගැන කර්මාන්ත ඇමැතිතුමා සමග සාකච්ඡා කළා ද?

පිළිතුර – අපි මේකත් කියන්න ඕන. කොවිඞ් කාලෙ රජයෙන් අපිට ලොකු සහයෝගයක් දුන්න. එනම් කර්මාන්ත පවත්වාගෙන යන්න අපට ඉඩ දුන්න. ඒ ගැන අපි රජයට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් අපේ කර්මාන්ත නිෂ්පාදන අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකල සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ අපේ කර්මාන්ත පවත්වාගෙන යන්න ඉඩ දුන්න. ඒක අපට ලොකු අස්වැසිල්ලක්. එහෙම නිෂ්පාදන කරගන්න ඉඩ දුන්න නිසා රටේ පාරිභෝගික ජනයාට අපේ නිෂ්පාදනත් දුන්න. අපත් නිෂ්පාදන ක‍්‍රියාවලිය කරගෙන ගිහින් අපේ සේවකයන්ට අපි පඩිනඩි ගෙව්වා. බෝනස් ගෙව්වා. අත්තිකාරම් දුන්නා. නොයෙකුත් සහන දුන්න. ගොඩක් දේවල් අපි කළා. ඒකෙදි අපට කර්මාන්ත අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය යනාදී මේ සෑම දෙනාම අපට ලොකු සහයෝගයක් දුන්න ඒ වෙලාවේ. ඒ සියල්ලටම රජයට ස්තුති කරන අතර මේ වෙලාවේ අපේ අමුද්‍රව්‍ය ප‍්‍රශ්නයට විසඳුමක් දෙන ලෙසත් ඉල්ලනවා. අපිට ඇත්තටම ඕන නෑ ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන්න. අපට දේශපාලනයක් නෑ. අපට ඕන ව්‍යාපාර කටයුතු කරගෙන යන්න. හැබැයි අපට ආණ්ඩුවේ සහයෝගය නැතුව බිස්නස් කරන්න බෑ. අපි ඉල්ලා සිටින්නේ ආන්න ඒ සහය දෙන්න කියල. ආණ්ඩුව විවේචනය කරන්නවත්, ආණ්ඩුවට විරුද්ධව වැඩ කරන්නවත් අපේ එකම සාමාජිකයකුටවත් කිසිම වුවමනාවක් නෑ. මේ ව්‍යාපාරය ගෙනි යන්නයි. ඒ සමගම රැකියා සුරක්ෂිත කරගෙන අපි අමාරුවෙන් ආයෝජනය කරලා ගොඩ නගා ගත්ත මේ සියයට සියයක්ම දේශීය කර්මාන්තය කරගෙන යන්නයි අපට ඕන. ඒ තුළින් රටේ ජාතික නිෂ්පාදනයට අවශ්‍ය දායකත්වය දෙන්නයි.

සාකච්ඡා කළේ –
ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment