13 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ තිබෙන ඉඩම් සහ පොලිස් බලතල පළාත් සභාවලට ලබාදෙන බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා ඊයේ (12දා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පැවැති මාධ්‍යහමුවේදී පැවසීය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
සැප්තැම්බර් 21 වැනිදා පවත්වන ජනාධිපතිවරණයෙන් මෙරට ජනාධිපතිවරණ ඉතිහාසය වෙනස් කරමින් නාමල් රාජපක්ෂ මහතා තරුණ අපේක්ෂකයෙකු ලෙස ජයග්‍රහණය කරනවා. අරගලය ඉල්ලා සිටියෙත් තරුණ නායකයෙක්. යුද්ධය ජයග්‍රහණය කළ තාත්තාගේ පුතා විදියට ඒ අත්දැකීම් සමග තමයි නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ.
අරගලය අවස්ථාවේදී වසර දෙකකට පෙර රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස තෝරන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පුළුවන් නම් ඇයි දැන් බැරි කියල සමහරුන් අහනවා. ඒ වගේම පෝලිම් යුගය නතර කළ, කිරි පැකට් එකේ මිල අඩු කළ රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දෙන්න බැරි ඇයි කියලත් අහනවා.
රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීම සඳහා අපි අහපු පළමු ප්රශ්නය තමයි 13 වන ව්‍යවස්ථාවට දෙන පිළිතුර කුමක්ද කියන එක. අපි ඇහුවා පළාත් සභාවලට ඉඩම් සහ පොලිස් බලතල ලබාදෙනවාද කියන එක. රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී කිව්වා මම ලබාදීමට තමයි කටයුතු කරන්නේ කියලා. අපේ ප්‍රතිපත්තිය තමයි එක ජාතික ගීයයි, එක කොඩියයි කියන එක. ඒකීය රටක් තුළ සැමට සමානව ජීවත්වෙන්න පුළුවන් රටක් බිහිකිරීම තමයි අපේ අරමුණ. ඉන්දියාවේ හෝ වෙනත් රටක වුවමනාව මත දෙනවද කියල තමයි අපි ඇසුවේ. 13 වන සංශෝධන යටතේ තිබෙන පොලිස් බලතල ලබාදුන්නොත් වෙනත් නිල ඇඳුමක්, නීතියක් තබාගන්න පුළුවන්. අපි ජාතිවාදී කඳවුරක් නොවෙයි. නමුත් අපේ කඳවුර ජාතිකවාදියි.
එරික් ගාමිණී ජිනප්‍රිය