අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය ටවර් නාට්‍ය උළෙල – 2025

35

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ටවර් හෝල් රඟහල පදනම විසින් 05 වැනි වරටත් සංවිධානය කරනු ලබන අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය ‘ටවර් නාට්‍ය උළෙල’ 2025 පෙබරවාරි 11 සිට 20 දක්වා මරදාන ටවර් හා එල්ෆින්ස්ටන් රංග ශාලා කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත.

නාට්‍ය රසවිඳීම සඳහා ගුණාත්මක ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය කිරීම, නාට්‍යකරුවන්ගේ ආදායම් මට්ටම වැඩිදියුණු කිරීම, නාට්‍ය ප්‍රවර්ධනය කිරීම හා නාට්‍ය පිළිබඳ පුළුල් සමාජ කථිකාවතක් ගොඩනැඟීම අරමුණු කරගනිමින් මෙම උළෙල සංවිධානය කෙරේ.

මෙවර නාට්‍ය උළෙලේදී පුරා දින 10ක් තුළ දිගු නාට්‍ය 14ක්, කෙටි නාට්‍ය 12ක් හා ළමා නාට්‍ය 08ක් වශයෙන් නාට්‍ය 34ක් දර්ශන වාර 68ක් ප්‍රේක්ෂක ජනයා වෙනුවෙන් ගෙන ඒමට ටවර් හෝල් රඟහල පදනම කටයුතු යොදා ඇත. එමෙන්ම ටවර් හෝල් රඟහල පදනම විසින් උපයාගත් ආදායමින් රුපියල් ලක්ෂ 25ක් මෙවර නාට්‍ය උළෙල සඳහා වැය කිරීමට නියමිත අතර රු.400/=ක් වැනි සුළු මුදලකට ප්‍රවේශපත්‍රයක් ලබා ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂක ජනතාව වෙත හිමි කර දී ඇත. සම්පූර්ණ ප්‍රවේශපත්‍ර ආදායම නාට්‍ය කණ්ඩායම් වෙත හිමිවීම මෙම නාට්‍ය උළෙලේ සුවිශේෂත්වයකි. සෑම නාට්‍යයක් සඳහාම නොමිලයේ ශාලා පහසුකම් ටවර් හෝල් රඟහල පදනම විසින් ලබාදෙනු ලබයි.

මෙවර නාට්‍ය උළෙල පැවැත්වෙන දින 10 පුරාවට ටවර් කලා ශිල්පීන් දෙපළක් බැගින් ශිල්පීන් 20 දෙනකුට ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන ‘ටවර්’ උපහාර සම්මානය පිරිනැමීමටත් මූල්‍යමය තිළිණයක් ප්‍රදානය කිරීමටත් ටවර් හෝල් රඟහල පදනම කටයුතු සංවිධානය කර ඇත.


advertistmentadvertistment