අපේම හයිකු කවියක රුවගුණ රැගත් ගඟබඩ ය මේ උයන

151

17 වැනි සියවස වනවිට ජපන් සාහිත්‍යයේ පැවැති විස්තීරණ කාව්‍ය සම්ප‍්‍රදායන්ට ප‍්‍රතිචාරයක් වශයෙන් ජපන් හයිකු කාව්‍ය සම්ප‍්‍රදාය බිහිවූ බව පිළිගැනීම යි. නමුත්, 19 වන සියවස වන තෙක් එය හයිකු නමින් ප‍්‍රචලිත නොවීය. ජපානය පුරා සංචාරය කරමින් ලද අත්දැකීම්වලින් එය ප‍්‍රචලිත කරන්නට කටයුතු කරන ලද්දේ මත්සුවෝ බාෂෝ නම් කවියා විසිනි. හයිකු බිහි කිරීමේ පුරෝගාමී මෙහෙයක් ඉටු කරන ලද්දේ ඔහු විසිනි. මත්සුවෝ බාෂෝ හයිකු කවියේ පියා සහ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම හයිකු කවියා ලෙස ද සැලකේ.

හයිකු කවිය ඊටම සුවිශේෂ වූ නීති රීති කීපයකින් නිර්වචනය වී තිබේ. හයිකුවක පවත්නා ප‍්‍රධාන ලක්ෂණය වන්නේ එහි කෙටි බව යි. හයිකුවක් වචන කීපයකට සීමා වේ. කවි ගණනාවකින් සමන්විත ජපන් කවි පන්ති හැඳින්වෙන්නේ ‘රෙංගා’ හෝ ‘රෙංකු’ යන නමිනි. රෙංකු කවි පන්තියක පළමු කවිය හැඳින්වුනේ ‘හොක්කු’ යනුවෙනි. ‘හොක්කු’ යන ජපන් වචනයේ තේරුම ‘පළමු කවිය’ යන්න යි. හයිකුවේ අද ඇති නීති රීති බොහොමයක් හොක්කු කවියට ද අදාළව පැවතිණි.

දහ හත්වන සියවසේ සිටි ජපන් කවියෝ හොක්කු කවිය නොහොත්, කවි පන්තියක පළමු කවිය වෙනුවට එය තනි නිර්මාණයක් ලෙස යොදා ගැනීමට පටන් ගත්හ. ඉන් පසුව මේ තනි හොක්කු කවි හැඳින්වුණේ ‘හයිකු’ යන නමිනි.

මෑතක දී හයිකු පිළිබඳව කළ පැහැදිලි විවරණයක් අපට හමුවන්නේ, හර්ශනී රණතුංග කිව`දියගේ ‘සඳ එළිය ටික ටික’ නම් තවමත් නොපළ කෙටි කවි සංග‍්‍රහයට පෙරවදන සපයමින් ප‍්‍රවීණ කිවිවර නන්දන වීරසිංහයන් හයිකු කවිය පිළිබඳව තැබූ සටහනකිනි. එයින් කොටසක් මෙහිලා උපුටා දක්වන්නේ හයිකු කවිය පිළිබඳ මූලික අදහසක් අපට එයින් ගත හැකිවන හෙයිනි.

‘කවරකු විසින් හෝ ලියනු ලබන කෙටි කවියක් යනු යම් පමණකට කාව්‍යෝචිත චිත්තරූපය යනු කුමක් දැයි හඳුනා ගැනීමේ ඵලයක් විය යුතු ය. චිත්තරූප හෙවත් ඉන්ද්‍රිය රූප යනු කෙටි කවියකට ජීවනය ලබා දෙන සූක්ෂම ස්ප‍්‍රීතුව ලෙස හැඳින්විය හැකි ය. ඒවා යම් කවියක සෘජු රූපකාරය දමනය කර ඊට කවි බවේ සියුමු ගුණසපුව ලබාදීමට සමත් වෙයි. චිත්තරූපය කවරක් දැයි වටහා ගැනීමට අපට ප‍්‍රබල ආධාරකයක් වන්නේ ‘හයිකු’ කවිය යි.’

හයිකු කවිය පිළිබඳව වන එම අර්ථ සම්පන්න විවරණයේ පිහිටා ඉතාමත් මෑතක දී එළිදුටු අපූරු හයිකු කවි සරණියක රුව ගුණ විනිස කරන්නට අදහස් කරමු.

ඒ, හයිකු කවි සරණිය වන්නේ නව පරපුරේ ප‍්‍රවීණ කවියකු වන වැලිගම එන්. ඩබ්. පී. ලාල්ගේ ‘ගඟබඩ ය මේ උයන’ කවි සරණිය යි. අපූරු හයිකු කවි එකසිය අටකින් සමන්විත ‘ගඟබඩ ය මේ උයන’ තුළ පිපි සියලූ හයිකු කවි මල් එකකට එකක් වෙසෙස් ය. එසේම, ඒවා එකකට එකක් උසස් ය, හරවත් ය, රසවත් ය.

එසේ ම, ලාල්ගේ හයිකු කවිය සම්ප‍්‍රදායික ජපන් හයිකු කවියට කොටු නොවෙමින් කළ නිර්මාණ වීම ද අගය කළ යුත්තකි. සම්ප‍්‍රදායික ජපන් හයිකු කවියට ආවේණික මාත‍්‍රා පිළිවෙත සම්පූර්ණයෙන්ම බැහැර කරන අපේ කවියා ඔහුටම ආවේණික එකිනෙකට වෙනස් කාව්‍යාකෘති සොයා යෑම ඔහුගේ කවියේ අප දකින අනෙක් සුවිශේෂත්වය යි. එහි දී ඔහු ජපන් හයිකු කවියේ දක්නට ලැබෙන සෙන් බුදුදහමේ සෙවනැලිවල සෙවණ ලබමින් ජීවිතයේ ශුන්‍යත්වය තම නිර්මාණවලට ද ගෙන එන්නට අමතක නොකරයි.

සම්ප‍්‍රදායික ජපන් කවිය මුළුමනින්ම බැහැර නොකරන ඔහු එහි සංක්ෂිප්ත බව අනුයමින් රසික සිත් තුළ අපූරු චිත්තරූප මවන්නට ව්‍යංගාර්ථවත් කවිබසක් උපයෝගී කර ගනියි. එසේම, එමගින් රසික සිත්සතන් ප‍්‍රකම්පනයට පත්කර ඔවුන් සිතන්නට පොළඹවයි. මෙහි ඇතුළත් ඔහුගේ බොහෝ කවිවල අපට හමුවන දාර්ශනික සිතිවිලි රසික සිත් ඥානනය කරන්නේ නිරායාසයෙනි.

පහත දක්වා ඇති ඔහුගේ හයිකු කවි ඊට නිදසුනි.

වැටුන පසුත්

ගහ දිහාම

බලාගෙන

මල්

ගැඹුරු සිතිවිලි පරම්පරාවකින් ජනිත එම භාවමය ප‍්‍රකාශනය සොබාදහමේ සිදුවීම් සමඟ ඒකාබද්ධ කර ඔහු ඉදිරිපත් කළ සැටි කෙතරම් අපූරු ද?

වදන් රැුසකින් පැවසිය හැකි දිග කතාවක් වචන හත අටකින් ව්‍යංගාර්ථවත්ව අපට කියන කවි කිහිපයක්ම ‘ගඟ බඩ ය මේ උයන’ තුළ සැරිසරන අපට හමුවෙයි. මේ ඊට නිදසුන් දෙකක් පමණි.

වැහි බිංදුත්

හිරු එළියත්

එකම සිදුරින්

ගෙබිම

ගොම්මනේ

ගෙදර යන ගවයන්

ගොපල්ලා නැතුව ම

සියල්ල වානිජකරණයට ලක් වූ ලෝකයට කරන සරදමක් වැනි ඔහුගේ මේ කව තුළ මොනතරම් දේ සඟවා ඇති ද?.

මේ වෙළඳ නුවරට

සඳ පායලා

නොමිලේ ම

පසුගිය දිනවල පොහොර ඉල්ලා කළ උද්ඝෝෂණවල යථා ස්වරූපය මෙය දැයි පහත කවිය කියවන විට අපට සිතෙයි.

ගොයම් අස්සේ

සැඟවී

පොහොර ඉල්ලනවා

වල් පැළත්

පහත සඳහන් මේ කවිය අපට කියා දෙන්නේ සමාජය පැවති යුතු ආකාරය නොවේ ද?..

එක ම උයනෙ

වෙනස් වෙනස් මල්

කිසිම වෙනසක්

නැතිව

කේ. බඞ්. පී. ලාල් කවියා පරිසර විනාශයට සංවේදී වන්නේ ඓතිහාසික පුරාවෘත්තයක දෙබස් ඛණ්ඩයක් උත්ප‍්‍රාසවත් ලෙස යොදා ගනිමිනි.

හිමියනි

ඒ අඹ ගස ද

අනෙක් අඹ ගස් ද

ලී මඩුවල

පැරණි ජපන් හයිකු කවීන්ගේ එක් අරමුණක් වූ සොබාදහමේ චමත්කාරය උත්කර්ෂයට නැංවීම තම කවියට ගෙන එන්නට ද ලාල් අමතක නොකර යි. ඒ මෙසේ ය.

වැටුණු තැන්

හැඩ කරන හැටි මල්

‘ගඟබඩ ය මේ උයන’ අපට තිළිණ කරන මේ නවක හයිකු කවියා දීර්ඝ කාලයක් තිස්සේ දෙස් විදෙස් හයිකු කවි සමය අධ්‍යයනය කරමින්, ඒ පිළිබඳ අනවරත සතතාභ්‍යාසයක යෙදෙමින් සිටින්නකු බව මෙම කෘතියට සාරගර්භ පෙරවදනක් සපයන හයිකු කවිය පිළිබඳ ප‍්‍රාමාණිකයෙකු වන පාලිත සේනාරත්න ප‍්‍රවීණ කවියා සඳහන් කර තිබේ.

අපට දක්නට ලැබෙන ආකාරයට ඔහුත්, මෙම කවි සරණියේ කතුවරයාත් දෙස් විදෙස් හයිකු කවියේ ආලෝකය ලබා අපේම වන හයිකු කව් මගක් සොයා ගමනේ යෙදෙන්නන් බව පෙනේ. ඔවුන් එක්ව යන එ් දුෂ්කර ගමන නුදුරේ දී ම සඵලවනු දැක්ම අපගේ ප‍්‍රාර්ථනය යි.

* අනුර බී. සෙනෙවිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment