වැහි ළිහිණි ඉඟිලෙද්දී අපි දන්නවා වැස්සක් ළඟයි කියලා….දැන් ආයෙත් පල්ලිවල බෝම්බ සෙල්ලමක් යනවා. එහෙම නම් ළඟදීම ජන්ද සෙල්ලමකුත් ඇති වේවි යැයි අපට සිතා ගත හැකියි, යනුවෙන් දෙවන පරපුර සංවිධානයේ ප‍්‍රධාන සංවිධායක උවිඳු විජේවීර මහතා පැවසීය.
බිංගිරිය මැතිවරණ කොට්ටාසයේ දළුපොත, කොස්වත්ත පැවැති එම සංවිධානයේ සාමාජික හමුවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව පැ වසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජේවීර මහතා, අද ශ‍්‍රී ලංකාව අරමුණක්, ඉලක්කයක්, සැලස්මක් නොමැතිව ඔහේ පාවෙන රටක් බවට පත්වෙමින් පවතිනවා. අවුරුදු 73ක් 74ක් තිස්සේ අපේ නායකයෝ යැයි කියා ගන්නා පිරිස් රට පාලනය කළේ එහෙමයි. නමුත් මේ වනතුරු අපිට ජාතික චින්තනයක් නෑ, ජාතික සැලස්මක් නෑ. පාසලකට ළමයෙක් දාගන්න, ලෙඩෙක් රෝහලකට ඇතුළුකර ගන්න, තරුණයකුට රැුකියාවක් දෙන්න තවම නිසි ක‍්‍රමවේදයක්, සැලැස්මක් නෑ. රුසියාව ලෝකෙන් විශාලම රට, ඔවුනට අපිට වඩා ප‍්‍රශ්න තියෙනවා. ඒ රටේ ළමයින්ගෙන් සියයට 50ක් පමණම 9 වසරෙන් හැලී යන අතර මේ හැලීයන පිරිස සඳහා ඒ රට සැලසුම් හදා අවසන්. අපේ රටේ 2040 පමණ වන විට 2020 ඉපදුණු දරුවෝ රැුකියා වෙළෙඳ පොළට එනවා. මොනවද ඔවුන් වෙනුවෙන් අප කර ඇති සැලසුම්, මොකුත් නෑ. බලයේ සිටින රජය හදන සැලැස්ම ඊලඟට බලයට එන රජය විසිකරනවා. අවුරුදු 74ක්ම අපි කළේ මේ සෙල්ලමයි. දැන් මේ ආණ්ඩු, ඒවායේ පාලකයෝ සෙල්ලම් කළා ඇති.
අපි ලෝකෙන් ගත්ත ණය ගෙවන්න හදන්නේ තවත් ණය අරන්. අතීසාරෙට අමුඩ ගසා පලක් නෑ. මේ රටේ ආර්ථික අර්බුදයෙන් මෙහෙම කවදාවත් ගොඩ එන්න බෑ. ගොඩ ඒමට නම් මේ රට ආර්ථික නිෂ්පාදනයට යා යුතුයි. ඒ ගැන හැම පාලකයෙක්ම කටින් බතල හිටවනවා පමණයි. දෙවැන්න සේවා ආර්ථිකයට යා යුතුයි. පුහුණු ශ‍්‍රමිකයින් බිහිකල යුතුයි. එයට වැඩ පිළිවෙලක් තියෙනවද. අඩුම තරමේ එක තරුණයෙක් භාෂා 5ක් වත් දන්නවද. බොහෝ දෙනෙක් දන්නේ එක භාෂාවක් පමණයි. මේක තරුණයන්ගේ වරදද. අනෙක් කරුණ මේ රට තුළ කෘෂි ආර්ථිකයක් ඇති කළ යුතුයි. මේ ගැන මහා ලොකුවට පම්පෝරි ගැසුවාට කෘෂි ආර්ථිකයක් ඇති කිරීමේ සැලසුම් මොනවද. රජ කාලේ වැව් දහස් ගාණකින් අක්කර ලක්ෂ ගාණක් වී ගොවිතැන් කළා. අපේ රටේ අද හාල් කිලෝවක් රුපියල් 150 ට ඉහළයි. අපේ රටේ කිරි ගොවියා ගේ කිරි ටික බහු ජාතික සමාගම් තුට්ටු දෙකට ගනිද්දී, හරක්ට කන්න දෙන්න නැතිව උන් ටික මසට විකුණද්දී අපේ අසල්වැසී රටේ ගොවීන් අමූල් සමාගම හදලා ඉහළම ආර්ථිකයකට ඔවුන් ගෙන ගොස් තිබෙනවා. අපට සම්පත් තියෙනවා, මේ රටේ බලයට එන පාලකයින් ඒවා නිසි කළමනාකරණයක් නොකිරීම, ඒවා ගැන අධ්‍යනයක් නොකිරීම පමණක් නොව ඒ ගැන නොසිතීමයි අද සිදුව ඇත්තේ. ඔවුන්ගේ
එකම අරමුණ රටේ සම්පත්වලින් ඔවුන් පල ලබන්නේ කෙසේද නැතහොත් ඊළඟ වතාවේදීත් බලය තහවුරු කරගන්නේ කෙසේද යන්නයි. අද පැහැදිලිවම මේ රටට අලූත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි. නමුත් පාලකයින් හදන්නේ ගේම් ගහන, බලය රැුකගන්නා ව්‍යවස්ථාවක්. නමුත් අපට අවශ්‍ය මෙරටට ඔබින, සාධනීය ව්‍යවස්ථාවක්. එහි උගතුන්ට, බුද්ධිමතුන්ට, දක්ෂයින්ට තැනක් තිබිය යුතුයි. අපි කාගේවත් බළල් අතක් නොවෙයි. දූෂිත දේශපාලකයින් සමග අපේ ගමනක් නෑ. අපේ අරමුණ චීනයට, ඇමරිකාවට, ඉන්දියාවට උකස් කොට ඇති අපේ රට දෙවන පරපුරට බේරාදීමයි.
දෙවන පරපුර සංවිධානයේ කමිටු සාමාජික, සුමිත් නන්දන මහතාද මෙහිදී අදහස් දැක්වීය.
බිංගිරිය – සෝමසිරි ඒකනායක