අපේ කාලයේ විප්ලවවාදී පත‍්‍ර කලාවේදියා

227

සුනිල් මාධවගේ පුවත්පත් කලා දිවියෙහි උත්කර්ෂවත් අවදිය ‘දිවයින’ සමග ගෙවී ගිය කාලය යැයි මම සිතමි. ඔහුට නිදහසේ, සිතැඟි පරිදි ලිවීමට දිවයින දුන් අවකාශය එයට හේතු විය. අසූවේ දශකයෙහි එඞ්මන් රණසිංහ මහතාගේ ප‍්‍රමුඛත්වයෙන් ලේක්හවුසියෙන් අභිනික්මන් කළ කුඩා හත් අට දෙනාගේ කණ්ඩායමට සුනිල් මාධව ද අයත් විය.

සුනිල් මාධව පේ‍්‍රමතිලකයෝ දැයෙන් සමුගෙන ගොස් සිටිති. ඔවුන් පිළිබඳ නෙක ඇගයුම් නෙත ගැටුණි. වෙනත් පැසසුම් ද සවනත වැකුණි. ඒ සියල්ලම සුනිල් මාධවගේ අභීත අදීන අසාමාන්‍ය මාධ්‍ය භාවිතයට කළ උත්තම පූජාවක් වැන්න. මට සුනිල් මාධව මුල්වරට හමුවූයේ හැත්තෑව දශකයේ මුල් භාගයේදී පමණ විය යුතුය. ඔහු ඒ වනවිටත් විශ්වවිද්‍යාලවල හා තරුණ රැුඩිකල්වාදී කවවල ප‍්‍රමුඛ අවධානයක් දිනා ගෙන සිටියේය. සාහිත්‍ය හා පුවත්පත් කලාව පිළිබඳව මානවවාදී හා විප්ලවීය ආස්ථානයක පිහිටමින් තාරුණ්‍යය ආමන්ත‍්‍රණය කළ යුතු බව ඒ වනවිට ද ඔහු නිවැරදිව වටහා ගෙන සිටියේය. ලෝක සමාජවාදී විප්ලවය යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණ උදෙසා ප‍්‍රබුද්ධ කලාකරුවන් මෙන්ම බුද්ධිමත් තරුණ පිරිස් ද සංවිධානය කළ යුතු බව ඔහු පැහැදිලිවම ප‍්‍රකාශ කළේය. අහම්බයකින් මෙන් හැත්තෑව දශකයේ මැද භාගයේදී පමණ මට ද ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වීමට හැකි විය. මා මෙයට පෙර දුටු ඔහුගේ විලාසය මඳකින් හෝ වෙනස් නොවූ බව අපගේ දෙවන හමුවේදීත් මා දුටු විශේෂිතම කරුණ විය. සිහින් සිරුරින් ද, පනාවක් නුදුටු කෙස්වලින් යුතු හිසකින් ද හෘදයාංගම සිනහවකින් ද ඔහු මගේ මතකය තුළ රැුඳී සිටියේය. ඔහුගේ තියුණු නෙත් සඟළ වජ‍්‍ර බුද්ධිය පිළිබිඹු කරන්නකැයි මට හැඟුණි.

අපේ කාලයේ විප්ලවවාදී පත‍්‍ර කලාවේදියා

සුනිල් මාධව සමග ඇසුරට මා බෙහෙවින් පි‍්‍රය කිරීමට හේතු කීපයක්ම විය. ඉන් වඩාත් ප‍්‍රබල හේතුවක් වූයේ ඔහුගේ ස්වාධීන මනසත් බුද්ධිමය සමාජ දැක්මත්ය. පේරාදෙණි විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් වර්ධනය වූ සාහිත්‍ය විරෝධයෙහි මෙන්ම නිසඳැස් කවියෙහි ද සටන් මධ්‍යස්ථානය බඳු ලේක්හවුස් ආයතනයෙහි සෙන්පතියකු වූද කොළඹ කවියේ ප‍්‍රමුඛයකු වූද මීමන පේ‍්‍රමතිකගේ පුත‍්‍රයකු වුවද ඔහු වඩාත් සමීප වූයේ නව සාහිත්‍ය න්‍යාය හා නව කවියට ය. පේරාදෙණි සරසවියෙන් පිටවූ තරුණයකු වූ මා සමග ඔහු මිත‍්‍ර සන්ථවයකට වැටුණේ ද ඒ අලූත් කියවීම නිසා යයි මම සිතමි. කොහොමටත් සාත්‍රෙ, කැමූ ගැන කතා කළ හදපෙත්ලෙන්ම චේ ගුවේරාට ආදරය කළ විප්ලවවාදියකු වූ සුනිල් මාධවට වඩාත් සාම්ප‍්‍රදායික කොළම කවිය මෙන්ම ගතානුගතික සාහිත්‍යය රුචි නොවීම ද පුදුමයක් නොවේ. තම පියා වූ මීමන කතු පදවිය හෙබවූ සිළුමිණ පත‍්‍රයෙහි ‘හදවත ඇඳි ගී’ නමින් නව ආරක කවි පිටුවක් ආරම්භ කිරීමට ද සුනිල් පසුබට නොවීය. ඔහුගේ නූතනවාදී සාහිත්‍ය ඇල්ම මෙන්ම නව කවියට දැක්වූ උනන්දුව ඒ වනවිට ඒ සාහිත්‍ය කලා ක්‍ෂේත‍්‍රවල කැපී පෙනුනු මහගමසේකර වැනි අයගේ ඇසුර යයි මම කල්පනා කරමි. අපේ සමීප ඇසුර වැඩි වූයේ ද සාහිත්‍ය කලාව නිසාමය. ඒ දිනවල ජනතාවේ මාණ්ඩලිකයකු වූ සුනිල් මාධව බොහෝ විට සිළුමිණට ද ලිපි හා විශේෂාංග ලියා දුන් බව ද මට මතකය. ඒ එඞ්මන් රණසිංහ මහතා සිළුමිණ කර්තෘව සිටියදීය. වරක් ඔහු සිය පියා වූ මීමන ගැන ලිපියක් ලීවේය. මේ එදා ඔහු තාත්තා දුටු හැටිය.

ඇහළ මගේ අඩ සඳ රේඛාවක
ඇළක දොළක විකසිත පෙන පිඬුවක
කිරට හඬන බිලිඳුගෙ පිණි කඳුළක
ඔබ සැඟවුණ බව කොඳුරයි මගෙ සිත

ඔහුගේ විප්ලවාදී මනස තුළ නිදන්ව පවත්නා සෞන්දර්ය ප‍්‍රවාහයක් ද ඔහු තුළින් මම දකිමි. එහෙත් ඔහු ජනතා අරගලයක සිහින දුටු බව ද කිව යුතුය. විප්ලවය හා ආගම ගැන සුනිල් මාධව තුළ ගැඹුරු හා වෙනස් කියැවීමක් ද තිබුණි. සැබැවින්ම ඔහු මාක්ස් හා ලෙනින් පූජා වස්තු ලෙස නොසැලකූ පුවත්පත් කලාවේදියෙකි. දුප්පත් ජනතාව වෙනුවෙන් ඔවුන්ට විනෝද වෙන්න නාට්‍යාගාරයක්, සිනමාහලක් නැතිවීම ගැන ඔහු කතා කළේ තරමක් ආවේගශීලීව ය. අපි ඇතැම් සැඳෑවක මෙබඳු බොහෝ දේ ගැන වාද කර ඇත්තෙමු. අවන්හලකට ගොස් මධුවිතක් තොල ගාමින් ඔහු දිගින් දිගට කතා කළ අයුරු මා අභියස මැවෙයි. බොහෝ විට අපට එක් වූ තවත් සහෘදයෙක් ද විය. ඒ වේලාසනිම සමුගෙන ගිය අජිත් සමරනායක ය. ඉංගී‍්‍රසි පුවත්පත් කලාවේදියකු වුව ද ඔහු වඩාත් පි‍්‍රය කළේ සිංහල පුවත්පත් කලාවේදීන්ගේ සමාගම ය.

සුනිල් මාධවගේ පුවත්පත් කලා දිවියෙහි උත්කර්ෂවත් අවදිය ‘දිවයින’ සමග ගෙවී ගිය කාලය යැයි මම සිතමි. ඔහුට නිදහසේ, සිතැඟි පරිදි ලිවීමට දිවයින දුන් අවකාශය එයට හේතු විය. අසූවේ දශකයෙහි එඞ්මන් රණසිංහ මහතාගේ ප‍්‍රමුඛත්වයෙන් ලේක්හවුසියෙන් අභිනික්මන් කළ කුඩා හත් අට දෙනාගේ කණ්ඩායමට සුනිල් මාධව ද අයත් විය. (එඞ්මන් රණසිංහ, දයාසේන ගුණසිංහ, ඩබ්. ආර්. විජේසෝම (කාටුන් ශිල්පී), දයාරත්න රණසිංහ, උපාලි තෙන්නකෝන්, ධර්මරත්න විජේසුන්දර, ගාමිණී සුමනසේකර, නන්දසේන සූරියආරච්චි (ඔහු කලින්ම පැමිණි අයෙකි.) හා දවස පත‍්‍රයේ මෙරිල් පෙරේරා ද මේ පිරිසට අයත් වූහ.)

කෙසේ හෝ දිවයින සුනිල් මාධවට මෙන්ම සුනිල් මාධව දිවයිනට ද දුන් දේ බොහෝ විය. අප කාටත් දිවයින අලූත් වැඩ බිමක් විය. පුවත්පත් ක්‍ෂේත‍්‍රයේ එවක තිබූ අධිපතිවාදයට අභියෝග කිරීමට තරම් ශක්තියක් දිවයිනට ගොඩනඟා ගත හැකි විය. කැපවීමෙන් පොදු ජනතා ප‍්‍රශ්න ගැන කතා කිරීම එදා දිවයින ඇරඹු සම්ප‍්‍රදාය විය. අසූවේ වැඩ වර්ජනය ගැන සුනිල් මාධව ලියූ ලිපිය එවක පැවති ආණ්ඩුවේ දැඩි නොසතුටට හේතු විය. සුනිල් මාධව කීවේ පීඩිතයකුගේ නැති බැරි මිනිසෙකුගේ දුකට හඬන්නට කඳුළක් නැති මිනිසකුට පත්තරකාරයකු විය නොහැකි බවය. දිවයින ජනතාවාදී පත‍්‍ර කලා යුගයේ පළමු සිංහනාදය බව සුනිල් මාධව ලියා තිබේ. එහෙත් ඔහු දිවයිනේ මුල්ම යුගයේ පරිපාලනය සමග ගැටුම් ද ඇති කර ගෙන තිබේ. ඒ ගැටුම් ඔහු වෙනුවෙන් නොව අනෙක් අය වෙනුවෙන් බව ද ලියා තැබිය යුතුය. ජයවර්ධන හා පේ‍්‍රමදාස පාලන යුගවලදි දිවයින පුවත්පත විසින් ඉටු කරන ලද කාර්යභාර්ය අතිශය විප්ලවීය මෙන්ම තීරණාත්මක ද විය.

එදා සුනිල් මාධවගේ නිර්දය, නිරනුකම්පක, නිර්භීත විවේචනවලින් ඒ ආණ්ඩුවල නායකයෝ දණ්ඩෙන් පහර ලද නයින් සේ කුපිතව සිටියහ. බුද්ධිමතුන්, කලාකරුවන් මෙන්ම පොදු ජනතාව දිවයින පිළිගත්තේ තම සමීපතම නෑයකු ලෙසය. ජයවර්ධන පාලනයේ ආදර්ශ පාඨය වූ ධර්මිෂ්ඨ සමාජය යන්න ධනවාදයේ සෙප්පඩ විජ්ජාවක් බව ලියන්නට සුනිල් මාධවට ශක්තිය දුන්නේ දිවයිනය. ඔහුගේ සත්‍යවාදියකුගේ දිනපොත ඔහු සංස්කරණය කළ අටවැනි පිටුව එදා නවමානයක පුවත්පත් විශේෂාංග විය. එදවස නැඟුණු කලා ඛාදන ප‍්‍රයත්නයන් මෙන්ම ඝාතනවලට එරෙහිව ද ලියූ සුනිල් මාධව පොදු ජනතාවගේ වීරයෙකු බවට ද පත්ව සිටියේය. මෙහිදී එක් දෙයක් අවධාරණයෙන් කිව යුතුය. එනම් සුනිල් මාධවට පුවත්පතේ හිමිකාරීත්වයෙන් මෙන්ම ප‍්‍රධාන කතුවර එඞ්මන් රණසිංහ මහතාගෙන් ද සුවිශේෂ අනුබලයක් ලැබුණු බවය. වරක් සුනිල් ලියා තිබුණු තීරු ලිපියක ‘අපි ආණ්ඩුවේ වසුරු බුදින්නන් නොවෙමු’ යන වැකිය බරපතළ ප‍්‍රශ්නකාරී විය. එහෙත් සුනිල් මාධවගේ පෑනට සීමා නොපැනවිණි.

සුනිල් මාධව මා දන්නා තරමින් ජ.වි.පෙ. සාමාජිකයකු නොවේ. එහෙත් ඔහු ජ.වි.පෙ. තරුණ තරුණියන් බහුතරයකගේ ආකර්ෂණය දිනා සිටියේය. රෝහණ විජේවීර ඝාතනය වීමෙන් පසු ඔහු ලියූ සටහනෙහි මෙබඳු වැකි කීපයක් තිබුණි.

‘‘ඕනෑම එකෙක් මට මොන හංවඩුව ගැහුවත් විජේවීර මියගිය දිනය මට අමතක වන්නේ නැහැ. අපේ රටේ දේශපාලනයේ ලොකුම පෙරළිය කළේ ඔහුයි. විජේවීර හරි ද වැරදි ද කියන එක ගැන මම දැන්මම තීරණයක් ගන්නෙ නෑ. ඒක ඉතිහාසය විසින් දෙන උත්තරයක්. ඒ වුණත් පත්තරකාරයෙක් හැටියට මම එකක් පිළිගන්නවා ලංකා ඉතිහාසයෙන් කවදාවත් විජේවීර කියන නම මකා දමන්න බෑ.’’

ජයවර්ධන යුගයේ ඇරඹුණු බහුජාතික සමාගම්වලට එරෙහිව සුනිල් ලියූ දේ ඈත ගම්දනව්වල ගොවි ජනතාව අතර ද පැතිර ගොස් තිබුණි. දඹුල්ලේ ලූනු ගොවියා කැරළි ගැසිය යුතු බව ඔහු වරක් දිනපොත විශේෂාංගයෙහි ලීවේය. පුවත්පත් නිදහස, මාධ්‍ය නිදහස පිළිබඳ ඔහුගේ අරගල අප‍්‍රමාණ විය. මාධ්‍ය නිදහස ගැන කතා කරන්නට රට වටේ ගිය සුනිල් මාධව එදා ජනපි‍්‍රයම කථිකයෙක් ද විය. අජිත් සමරනායකට අනුව එය සුනිල් මාධව කැරිස්මාවකි. වෙළෙඳ කලාපයේ සුන්දර ලියන්ගෙන් ඔහුට ආදර හසුන් ද ලැබ ඔහු සත්‍යවාදියාගේ දිනපොතේම ලියා තිබුණේ ‘‘මම ඔබ හැම දෙනාටම ආදරෙයි’’ යනුවෙනි.

සුනිල් මාධවගේ අදහසක් අනුව සංවිධානය වූ ජනතා සාහිත්‍ය උළෙල ද මට මතකය. ඔහුගේ සමීපතමයකු වූ ගුණදාස කපුගේ ඒ උත්සවවලට කැපවූ තවත් කලාකරුවෙකි. කලාවේ නිදහසට තහංචි වැටුණු එකල ඒ වෙනුවෙන් වීදි බැසීමට තරම් සුනිල් මාධව අභීත විය. සුනිල් ආරියරත්න හා නන්දා මාලිනී ඉදිරිපත් කළ ‘පවන’ සංගීත ප‍්‍රසංගය පිළිබඳ මවිසින් එදා දිවයින පුවත්පතට ලියන ලද ඇගයීමට ආණ්ඩුවේ කලාකාර නඩයකගේ දැඩි උදහසට හේතු විය. ඒ භීෂණ සමයෙහි සුනිල් හා නන්දා රට හැර ගොස් සිටියහ. මගේ විවේචනය නීතිය ඉදිරියට ගෙන යන බවට රාවයක් ද තිබුණි. එය දේශපාලන ප‍්‍රහාරයක් බව පාලකයෝ ද කීහ. මෙහිදී සුනිල් මාධව මට කී අපූරු කතාවක් මගේ සිහියට නැෙඟයි.

‘‘මචං උඹව උසාවි ගෙනිහිල්ලා උන්ට අහන්න තියෙන්නෙ එක ප‍්‍රශ්නයයි. කවුද ඕක ලියන්න කිව්වේ කාගෙ හරි ඉල්ලීමකට ද ලිව්වේ.’’

‘‘උඹ කියපන් ඔව් කියලා.’’

‘‘නඩුකාරයා අහයි කවුද කිව්වෙ තමුන්ට ඕක ලියන්න.’’

‘‘උඹ කියපන් ස්වාමීනි ජනතාව කියලා.’’

සුනිල් ඒ මට කීවේ එදා බ්‍රෙෂ්ට් උසාවියේදී දුන් පිළිතුරකි. ජනතාවගේ හදගැස්ම නොදන්නා පාලනයකදී අප ලිවිය යුත්තේ ඔවුන් වෙනුවෙන් බව සුනිල් නිතරම කීවේය.

සුනිල් වරක් මා සමග කීවේ ඔහුගේ හද පුරා ඇත්තේ ශෝක ගීතවලින් බවය. මානව දයාව හා පේ‍්‍රමය පිළිබඳ අප‍්‍රමාණව කඳුළු හෙළා තිබෙන බව ද ඔහු සඳහන් කර ඇත. ඒ සියල්ල වෙනුවෙන් ඔහු චේ ගුවේරාට, කැමූට හා සාත්‍රෙට ණයගැති බවත් කීවේය. ඔහු කීවේ හුස්ම පොද හිස් අවකාශයට දන් දෙන තුරුම මාක්ස් හා ලෙනින් පිළිගන්නා විප්ලවවාදියකු බවය. මා දන්නා තරමින් ඔහු භෞතික යස ඉසුරු ඉපයූ කෙනෙක් ද නොවේ. විරැකියාවෙන් ගෙදරට වී සිටි කාලසීමාවන් ද ඔහුට තිබුණි. මධුවිතට හා දුම්පානය ඔහුට පි‍්‍රය විය. ඒවා නරක පුරුදු වුවත් හොඳම මිතුරන්ගෙන් ලැබුණු තිළිණ බව ද ඔහු කියයි. මධුවිතෙන් සප්පායම් වී සිටි මොහොතක ඔහු තරමක් බිහිසුණු ය. ඔහුගේ වාග් මාලාව දැඩි ය. ඒ අයුක්තිය හා අසාධාරණය වෙනුවෙන් පමණි. අනෙක් හැමවිටකම ඔහු කුඩා දරුවකු මෙන්ය. කුමක් හෝ ආවේගයකින් ඇතැම් සැඳෑවක කාර්යාලයට එන සුනිල් කා සමග හෝ වාදයක පැටලූනු අවස්ථා ද විය. ඔහුගේ රතු ඉර පනින තෙක් අපේම සගයෙක් ඔහු සමග ඔට්ටු වූ අවස්ථා ද විය. එහෙත් සංවාදය අවසාන වන්නේ සුනිල් මාධව සිය ප‍්‍රතිවාදියා බදාගෙන හැඬීමෙනි. ඒ සුනිල් තුළ සිටි අහිංසක මුදු මොළොක් සිතින් පිරි මිනිසාය. ඒවා ඔහුගේ ප‍්‍රබල චරිතයේ මිනිස් දුබලතා විය හැකිය. එහෙත් ඔහු අපට ඉතිරි කළ සැමරුම් චිත‍්‍රය බෙහෙවින් පිරිපුන්ය. ප‍්‍රතාපවත්ය. ගාම්භීරය, ධනවාදය, පන්ති සමාජය පය දූවිලි තරම් නොතැකූ අපේ කාලයේ විප්ලවවාදී පුවත්පත් කලාවේදියා සුනිල් මාධව බව මම ලියා තබමි. මානව දයාව, පේ‍්‍රමය හා සුන්දරත්වය විනිවිද දුටු සෞන්දර්යකාමී රසවතකු ඔහු තුළ නිබඳව ජීවත් විය. මානව සංහතියට මනුෂ්‍යත්වයේ යහපත් ප‍්‍රතිලාභ හිමි කෙරෙන රටක්, පුවත්පත් කලාවක් ගැන ඔහු සිහින දුටුවේය. විප්ලවවාදියකු වැටුණු කල්හි දෙගුණ තෙගුණ ජවයකින් නැඟී සිටිමු යැයි ඔහුගේ ආදරණීය වැකිය විය.

සුනිල් මාධව පිළිබඳ මේ සංක්ෂිප්ත සටහන අවසන් කළ යුතුය. සත්තකින්ම සුනිල් මාධව යුගයක් විචිත‍්‍ර කළ යුග තාරකාවකි. ප‍්‍රතාපවත් බවත් සියුමැලි බවත් ඔහුගේ ආත්මය තුළ නිධන් වී තිබුණි. ඔහු පිළිබඳ ධාරණාවන් අප‍්‍රමාණ වුව ද මෙය අවසන් කළ යුතුය. මගේ කාලයේ වෘත්තීය සගයකු හදවතින් සමීපව සිටි සහෘදයකු විපතේදී අතහැර නොයන වීරයකු මෙන් ඔහු අප සමග සිටි බව ද ඔහුට ගෞරවයක් ලෙස ලියා තබමි.

සුනිල් මාධව ඔබට නිවන්සුව!

ගාමිණී සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment